Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලාංකික ඔබ තරණය කල යුතු කඳු පහක්

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය, සියවස් ගණනක් මුළුල්ලේම, ශ්‍රී ලාංකිකයන්ගේ සහ ලොව වටා සිටින සංචාරකයන්ගේ සිත් වසඟයට ගැන්මට සමත්වී ඇත. සුප්‍රසිද්ධ මධ්‍යම – ආසියානු දේශාටකයෙකු වූ ඉබන් බතුතා සහ ෆාහියන් භික්ෂුව වැනි පුරාණ දේශ ගවේෂකයන්ගේ සිට, දුෂ්කර සහ අසීරු ශිඛර තරණයකදී පමණක්ම ලැබෙන ඒ අත්දැකීම සොයා යන අද කාලයේ කඳු නගින්නන් සහ ත්‍රාසය සොයා යන්නන් දක්වාම, ශ්‍රී ලාංකික ගිරි ශිඛර තෝතැන්නක් වී ඇත. කඳු නැගීමට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම අද අපි එම ගොන්නෙන් හොඳම සහ අභියෝගාත්මකම ඒවා කිහිපයක් තෝරා ගත්තෙමු. :

ශ්‍රී පාද කන්ද

ශ්‍රී පාද කන්ද. චායාරුපකරණය: Bourgeois

ශ්‍රී පාද කන්ද. චායාරුපකරණය: Bourgeois

මෙය නිසැකයෙන්ම, වඩාත් ප්‍රසිද්ධම සහ විශාලතම ජනකායක් විසින් තරණය කෙරෙන කන්ද ලෙස සැලකිය හැකිය. රත්නපුර නගරයේ (එනම් මැණික් නගරය) සිට කි.මි. 40 ක් දුරින් පිහිටා ඇති අතිශය පූජනිය සහ මහත් වූ ගෞරවාදරයට පත් මෙම ශිඛරය ශ්‍රී ලාංකික කඳු අතර ප්‍රධානතම තැනක් ගනී. මුහුදු මට්ටමේ සිට අඩි 2,243 ක් උසකින් පිහිටි ශ්‍රී පාදය දිවයිනේ පිහිටා ඇති සිව් වැනි උසම කන්ද වන අතර, එහි සුවිශේෂී කේතු ආකාර හැඩය කොළඹ නගරාසන්නය තරම් ඈතින් පිහිටි ප්‍රදේශ වල සිටද, පැහැදිලි අහසක් ඇති දිනවල කළුතර හා බෙන්තොට වන් පෙදෙස් වල සිට පවා ද දැක ගත හැකිය.

කඳු පාමුල සිට මීටර 2000ක් පමණ උසකින් පිහිටි සමනල කඳු මුදුන, සැබැවින්ම ශ්‍රී ලංකාවේ ඇති නැගීමට අසීරුම කඳු වලින් එකකි. රත්නපුර- පලාබද්දල, හැටන් – නල්ලතන්නිය, කුරුවිට – එරන්ත, මුරේවත්ත, මූක්කූවත්ත සහ මාලිම්බොඩ වශයෙන් කඳු මුදුනට ලඟා විය හැකි එකිනෙකට වෙනස් මාර්ග හයක්  තිබේ. වන්දනාකරුවන් වඩාත් ප්‍රිය කරන්නේ මේ අතරින් කෙටිම මග වන හැටන් හරහා යන මාර්ගය වුවද, සැබෑ ශ්‍රී පාද චාරිකාවක අත්දැකීම ලබා ගැනීමට නම් අප යෝජනා කරන්නේ රත්නපුර මාර්ගයයි. අවාරයේදී තරණය කිරීමට තරමක් අපහසු වුවත්  (නමුත් ඒ තරමටම විනෝදය ද ඉහල වනු ඇත), පුරා දිනයක් මුළුල්ලේ අඛණ්ඩ නැග්මක් අවසන, පසු දින අලුයම් කාලයේ කඳු මුදුනට ලඟා වනවිට දැනෙන ඒ විස්තර කල නොහැකි ජයග්‍රාහී හැඟීම අන් කිසිවකට සම කල හැකි නොවේ. එය වඩාත් සුන්දර කරමින් මනස්කාන්ත හිරු උදාවක් ඔබට දර්ශනය වනු ඇත.

ලක්ගල කන්ද

ලක්ගල කන්ද- කෙතරම් සුන්දරද බලන්න. චායාරුපකරණය: Astronomyinertia

ලක්ගල කන්ද- කෙතරම් සුන්දරද බලන්න. චායාරුපකරණය: Astronomyinertia

කොළඹින් කි.මි.175ක් පමණ ඔබ්බෙන් නක්ල්ස් කඳු වැටියේ මධ්‍යයේ පිහිටා ඇති මෙම සුවිසල් පර්වතය, දිවයිනේ,  සමහර විට මුළු ලොවෙහිම පවා, තිබෙන වඩාත් තැතිගන්වෙන සුළු  පෙනුමක් ඇති ශිඛරයකි.

ලක්ගල (එනම් ලංකාවේ ගල/පර්වතය) කන්දට පිවිසිය හැක්කේ මීමුරේ නම් සන්සුන් වූ හුදෙකලා ගම්මානය  මැදින්ය (එහි ඇති අනර්ඝ පොලොස් මැල්ලුම නිසා පමණක්ම මෙය නැරඹීමට යාම වටී); නිසැකයෙන්ම එය ලංකාවේ දී ඔබට හමුවන දුෂ්කරතම කඳු තරණයයි. ඔබ තෝරා ගන්නා ගමන් මාර්ගය අනුව පැය ගණනාවක් පවා ගත විය හැකි කඳු පාමුල පිහිටි ලඳු කැලෑ ප්‍රදේශය පසු කළ පසු, කඳු මුදුන වෙත ලඟා වීමට ලණු සහ/හෝ කඳු නැගීමේ කට්ටල අවශ්‍ය වේ. මෙනිසා ලක්ගල තරණය උසවල් සහ දුෂ්කරතා වලට අකමැති අයට  නම් සුදුසු ගමනක් නොවේ; කෙසේ වුවද අවම වශයෙන් ඔබ ඔබේ ජීවිතය තුල එවැන්නක් කර ඇති බව පැවසීමට හෝ එම දරන පරිශ්‍රමය සහ මුහුණ දෙන අවදානම නිසැකයෙන්ම වටිනා බව සඳහන් කළ යුතුය.

කිරිගල්පොත්ත

කිරිගල්පොත්ත. චායාරුපකරණය: Rehman Abubakr

කිරිගල්පොත්ත. චායාරුපකරණය: Rehman Abubakr

මෙය ශ්‍රී ලංකාවේ ඇති දෙවැනියට උසම කඳු මුදුනයි. කඳු මුදුනේ හමුදා මූලස්තානයක් තිබෙන නිසා බොහොමයක් සිවිල් වැසියන් හට යාමට අවසර නැති පිදුරුතලාගල කන්ද අත්හැර දැමූ විට, සාමාන්‍ය ජනතාවට  පිවිසිමට ඉඩ ඇති උසම කන්ද ලෙස ද මෙය සැලකිය හැකිය.

සුන්දර හෝටන් තැන්නේ මධ්‍යයේ පිහිටා ඇති කිරිගල්පොත්ත කන්ද, මුහුදු මට්ටමේ සිට ආශ්චර්යමත් මීටර 2388ක උසකට විහිදෙයි. හෝටන් තැන්න ද මුහුදු මට්ටමේ සිට මීටර 2100ක් උසින් පිහිටා තිබෙන නිසා, කඳු මුදුනට ලඟා වීමට සත්‍ය වශයෙන්ම නැගිය යුත්තේ මීටර දෙතුන් සියයක් පමණි. කඳු තරණය එතරම් වෙහෙසක් දැරිය යුත්තක් නොවන නමුදු, අයහපත් කාළගුණික තත්ත්ව (හෝටන් තැන්නේ කාලගුණය එතරම් විශ්වාස කල හැක්කක් නොවේ)  ගමන් වේගය තරමක් දුරට අඩාල කරනවා පමණක් නොව  ඔබේ ප්‍රාණවත් බව ද මදක් දියාරු කර දැමීමට ඉඩ තිබේ. කෙසේ නමුත් කඳු මුදුනට පෙනෙන මනෝහර දර්ශනයෙන් මේ සියලු දුෂ්කරතා සියල්ල  හිලව් වී යනු ඇත.

අලගල්ල

අලගල්ල: චායාරුපකරණය: ලක්දසුන්/lakdasun

අලගල්ල: චායාරුපකරණය: ලක්දසුන්/lakdasun

තනි දවසේ චාරිකාවකට මෙම කන්ද ඉතා සුදුසුය. දුම්රියෙන් මහනුවර බලා ගොස් ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් බැස ගතහොත්, අලගල්ල කන්දේ පාමුල ද, එම රේල් පාර හරහාම වැටී ඇති කඳු මුදුනට යන ගමන් මාර්ගයේ ආරම්භය ද ඔබට හමු වනු ඇත.  

මෙම මාර්ගය දෙපස ගම්මාන කිහිපයක් තිබෙන අතර (එහි ගොස් වසර 5ක් පමණ ගතව ඇති නිසා මා හට ඒගැන නම් වැඩි මතකයක් නොමැත) එතැන් පටන් කඳු මුදුන තෙක් දිගටම (තේවතු දෙක තුනකට ඔබ්බෙන්) ඇත්තේ ණ කැලෑ සහ තණ පිට්ටනි කිහිපයකි. මේ නිසා, ඕනෑම කඳු තරණයක කරනවා සේම  ප්‍රමාණවත් තරම් ජලය රැගෙන යාමට අමතක නොකරන්න. කාලගුණය අනුව මෙම මාර්ගය මදක් දුෂ්කර විය හැකිය. තවද, යම් තැනෙකදී සෙවණක් පෙනෙන තෙක් මානයක වත් නොමැති කටු පඳුරු වලින් වැසුණු ප්‍රදේශයක් හමු වෙයි. තරණය සඳහා සාපේක්ෂව ගත වන්නේ අඩු කාලයක් වුවද මෙය සුළු කොට නොසලකන්න. හරිහැටි සුදානම් නොවී ගියහොත් , විශේෂයෙන්ම ආර්ද්‍රතාවය සහ  සූර්ය රශ්මිය ඉහල දිනයක් නම්, ඔබට මහත් අපහසුතා වලට මුහුණ දීමට සිදු වනු ඇත. කඳු මුදුන ගලෙන් වැසී ඇති නිසා සූර්ය තාපය දෙගුණ තෙගුණ වෙයි.

නමුත් එවැන්නකින් පසුබට නොවන්න. කඳු මුදුනට පෙනෙන දර්ශනය අතිශය මනෝහර ය. බතලේගල කන්දේ සහ හන්තාන, නක්ල්ස් වන් කඳු වැටි වල මනස්කාන්ත  දර්ශනයක් එහි සිට දැක ගත හැකියි. එසේම, ඔබ කඳු නැගීමට  නවකයෙකු නම් අලගල්ල කන්ද ඔබට කඳු තරණයට හොඳ ආරම්භයක් ලෙස සැලකිය හැකිය.

නක්ල්ස්

නක්ල්ස් කඳු පද්ධතිය. චායාරුපකරණය: astronomyinertia

නක්ල්ස් කඳු පද්ධතිය. චායාරුපකරණය: astronomyinertia

මෝහනීය, සිත් වසඟ කරවන සුළු පෙනුමක් සහිත නකල්ස් යනු එක් කන්දකටත් වඩා මිට මෙලවූ අතක ඇට පෙළක් මෙන් ස්ථාපනය වූ කඳු වළල්ලකි.

සෑම ආකාරයේම අත්දැකීම් සමන්විත  දුර්ලභ ගණයේ සංචාරක ආකර්ශණයක් ලෙස මෙය හැඳින්විය හැක. පුරාතන ලෝකයේ මේඝ වනාන්තර සහ පෞරාණික ගල්ගුහා වලින් සමන්විත නක්ල්ස් කඳු වැටිය, ලොව අන් කිසි තැනෙක හමු නොවෙන තරම් සත්ත්ව සහ ශාක විශේෂත්ව ගණනාවකට නිවහනක් වෙමින් ඉහල ජෛව විවිධත්වයකින් යුතු වේ.

දිවයිනේ අන් කොතැනක හෝ නැති තරම් වෙන් ව සහ හුදෙකලාවේ පිහිටා ඇති ( ඉහත සඳහන් මීමුරේ වැනි) ගම්මාන කිහිපයක් මෙම කඳු වැටිය මධ්‍යයේ දැක ගත හැකියි. අතිශය සාම්ප්‍රදායික, තාක්ෂණයෙන් පරිබාහිර වූ, නවීන බව පිලිබඳ සංකල්පයකින් තොර මෙම ගම්මාන වල ගත වෙන ජීවිතය,  ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ වල හෝ වෙනත් ඕනෑම ප්‍රත්‍යන්ත පෙදෙසක දිවි ගෙවන ශ්‍රී ලාංකිකයන් පවා හුරු වී ඇති ජිවිතයට හාත්පසින්ම වෙනස් ය. මෙම ප්‍රදේශ වල වාසය කරන්නන් පසුගාමී හෝ ශිෂ්ට සමාජයෙන් ඈත් වූවන් බව මින් මා අදහස් නොකරමි. ඇත්තටම එය එසේ නොවේ. මෙම තත්වය නවීන විදුලිසංදේශ සේවා ආදියෙහි ආගමනයත් සමඟ, එහි ප්‍රතිපලය හොඳ හෝ නරක වේවා, දැන් වෙනස් වෙමින් පවතී. (අප 2012 වසරේ එහි යන විට ගම්මානයේ එක් CDMA දුරකතනයක් තිබීණි). කෙසේ නමුත්, ඔබට ‘මදකට සියල්ලෙන්ම ඈත් වී යාමට’ අවශ්‍ය නම්, යෝගා ගුරුවරුන් විසින් නිරතුරු සඳහන් කෙරෙන ඒ චිත්ත සමාධිය සොයා ගැන්මට  නක්ල්ස් තරම් සුදුසු ස්ථානයක් තවත් නොමැති බව කිව යුතුය. මගේ විචාරය අනුව, මෙයට ලකුණු 10/10 දීමට සුදුසුය , තවද නැවත නැවතත්  නැරඹීමට යාමට සුදුසු ය.

මෙම ලැයිස්තුවට අඩංගු කල හැකි කඳු ඔබත් දන්නවාද? පහතින් දක්වා ඇති ප්‍රතිචාර කොටසින් අපට කියන්න.

Related Articles