කොළඹ සිට කි. මී. 127ක් දුරින් පිහිටි ගම්පොළ මහනුවර දිස්ත්‍රික්කයට අයත් සුන්දර ප්‍රදේශයක්. පැරණි බෙදීම් අනුව උඩ පළාත දිසාවේ ගඟ පහළ කෝරළයට ගම්පොළ නගරය අයත් වෙනවා.
අප රටේ කුරුණෑගලින් පසු රාජධානිය බවට පත් වුණේ ගම්පොළ යි. නගරය ආසන්නයෙන් මහවැලි නදිය ගලා යනවා. කොත්මලේ සිට දොරුවක් ඔස්සේ වේගයෙන් ගලන මහවැලිය පහත්බිමක් සහිත පෙදෙසකට එළඹෙන්නේ ගම්පොළින්. මෙහිදී ගඟ ගලන වේගය ද අඩුවෙනවා. මහවැලියට ඔය මාර්ග තුනක් ගම්පොළ දී එක්වී ගඟ පෝෂණය කරනවා.
ඉතිහාසය
රජරට සහ වයඹ තැනිතලාවල පිහිටා තිබූ අගනුවර කදුරටට ප්‍රථම වරට පිවිසෙන්නේ ගම්පොළින්. එය ක්‍රි. ව. 1341 සිට 1415 දක්වා ශ්‍රී ලංකාවේ අගනුවර වශයෙන් පැවතුණා. මුලින්ම ගම්පොළ රාජධානිය බවට පත්කර ගන්නේ හතරවන බුවනෙකබාහු රජු යි. ඔහුගෙන් පසු පස්වන පරාක්‍රමබාහු, තුන්වන වික්‍රමබාහු, සහ පස්වන බුවනෙකබාහු යන රජවරු ගම්පොළ සිට රට පාලනය කළා. ගංගාශ්‍රීපුර, ගඟසිරිපුර ආදී නම්වලින් ද මූලාශ්‍රවල ගම්පොළ හැඳින්වෙනවා. මේ රාජධානියේ නෂ්ටාවශේෂ අද වන විට ඉතිරිව නැහැ. රජ මාලිගාව පැවති බව සැලකෙන සිංහයාපිටියේ තිබුණු ගජසිංහ රූප දෙකක් මහනුවර කෞතුකාගාරයේ දී දැකගත හැකියි. පසුකාලීනව වතුවගාව සහ ජනාවාස නිසා මේ නටබුන් වැනසී යන්නට ඇති. නමුත් ගම්පොළ ඉතිහාසයට දෙස් දෙන සාධක රාශියක් අවට දැකගත හැකියි. ඔබ ගම්පොළ යන විට ඒවාත් දැකබලා ගැනීමට උනන්දු වන්න.
අම්බුළුවා කන්ද
ගම්පොළ නරගයට පිටුපසින් ඉහළ නැගි මේ කන්ද ගඟසිරිපුර රාජධානියේ ආරක්ෂක කඩවතක් වශයෙන් සැලකුණා. මයුර සංදේශයේ ඒ බව මෙසේ සදහන් වෙනවා.
ගහන් වියත වියකෙත සිටි සිටි තැනිනී
වහන් කරන මල්මුවරද තුරු හිසිනී
පහන් සදෙහි රිවි දෙවි උදයන මතිනී
පහන් සදින් වඩු අම්බුළුවා කඩිනී
පැරණි රාජධානියේ බටහිරින් ආරක්ෂක පවුරක් ලෙසින් මේ කන්ද පිහිටා තිබෙනවා. කන්දේ සිට සිව්දිසාවට ජල දහරා ගලායන බැවින් ‘දිය (අඹ) පිහිටි කන්ද’ යන අරුතින් අම්බුළුවා වූ බව යි පැවසෙන්නේ. මධ්‍යම පළාත සහ සබරගමු පළාත් සීමාව වැටී තිබෙන්නේ ද මේ කඳු පාමුලින්.
දශක දෙකකට පමණ ඉහත දී මෙහි ජෛව විවිධත්ව සංකීර්ණය නම් උද්‍යානයක් පිහිටුවා ගොඩනැගිලි රාශියක් ඉදිකළ නිසා කන්දේ වනාන්තරය නම් බොහෝ දුරට වැනසිලා. කන්ද මුදුනටම කාර් රථයක් පවා යා හැකි ලෙස මාර්ගය තනා තිබනවා. කදු මුදුනට මහනුවර මෙන්ම කෑගල්ල ප්‍රදේශයේ කදුවැටි අලංකාරව දැකගන්න පුළුවන්. මේ නිසා සංචාරකයන් බහුලව එන තැනක් බවට එය පත්වී තිබෙනවා. ගම්පොළ සිට හෙම්මාතගම පාරේ මඳ දුරක් ගියවිට කන්දට යන ප්‍රවේශය හමුවෙනවා.
නියම්ගම්පාය විහාරය
ගම්පොළ නගරයේ සිට කි. මී. 1.5ක් දුරින් නාවලපිටිය මාර්ගය අසල පිහිටා තිබෙන මේ විහාරය ගම්පොල රාජධානි සමයේ පැවති දළදා මාලිගය ලෙස සැලකෙනවා. විහාරයට ගම්පොළ යුගයට එහා ගිය ඉතිහාසයක් සහිත යි. මහාවංශයේ මෙය සඳහන්ව ඇත්තේ නියාමග්ගාමපාසාද යනුවෙන්. දඹදෙණියේ සිව්වන විජයබාහු රජු සමනළ කන්ද වැදගෙන එන ගමන් නියම්ගම්පා විහාරයට ගොස් එය අලුත්වැඩියා කරවූ බව මහාවංශය සඳහන් කරනවා. නියම්ගම්පා සෙල්ලිපියේ විහාරය ඉදිකරවූ ආකාරය විස්තර සහිතව දැක්වෙනවා. විගුලවත්ත සෙල්ලිපියේ මෙන්ම මහනුවර යුගයේ ලියවුණු සිංහල දළදා වංශයේ ද ගම්පොළ දළදා මැදුර ගැන සඳහන් වෙනවා. පස් වැනි බුවනෙකබාහු රජු රිදී හත් දහසක් වියදම් කොට කරඩුවක් තනා දළදා පූජාවක් කළ බව මහාවංශය පවසනවා. විහාරයේ තිබෙන තඹ සන්නසේ දැක්වෙන්නේ මහනුවර යුගයේ දී ශ්‍රී විකුම රාජසිංහ රජු විහාරයට ගම්වර පූජා කිරීමක් පිළිබඳව යි.
ජනප්‍රවාද අනුව වර්තමාන විහාර ගොඩනැගිල්ල පුරාණ දළදා මාලිගය පිළිසකර කර ඉදිකරවූවක්. එය ඉදිකර ඇත්තේ බොරදම් සහ කැටයම් සහිත අලංකාර කළුගල් පදනමක් මත යි. එය ගම්පොළ යුගයේ කැටයම් කලාව අධ්‍යයනයට වැදගත් වෙනවා. විහාර ගොඩනැගිල්ල ගර්භ ගෘහයකින් ද එයට සම්බන්ධ විවෘත මණ්ඩපයකින් ද යුක්තයි.
පදනමේ හමුවන කැටයම්වල රබන්කරුවන්, නැට්ටුවන්, නාට්‍යාංගනාවන්, මල්ලවපොරකරුවන්, බෙරකරුවන්, වාදකයන්, සහ පිනුම්ගසන්නන් දැක්වෙනවා. මෙම කැටයම් සජීවී බවින් යුක්ත යි. මෙය පෙරහරක් බව යි පේන්නේ.
විහාර මන්දිරයේ පියස්ස රඳවා ඇත්තේ කළුගල් කුලුනු 16ක් මත යි. විහාරය තුළ හිඳි බුද්ධ ප්‍රතිමාවක් ද හිටි බුදු පිළිම දෙකක් ද දැකගැනීමට පුළුවන්. සත් සතිය ඇතුළු චිත්‍රවලින් බිත්තිය සහ සිවිලිම සරසා තිබෙනවා. මේ චිත්‍ර පසුකාලීනව අලුත්වැඩියා කර ඇති බව පෙනෙන්නට තිබෙනවා.
කහටපිටිය මුස්ලිම් පල්ලිය
මහනුවර ගම්පොළ පාරේ පිහිටා ඇති මේ පල්ලිය, ප්‍රදේශයේ පැරණිම මුස්ලිම් පල්ලිය වශයෙන් සැලකෙනවා. ජනප්‍රවාද අනුව ගම්පොළ සිව්වන බුවනෙකබාහු රජුගේ කාලයේ ශ්‍රිපාදය වන්දනා කිරීමට පැමිණි ආතුල්ලා නම් ශාන්තුවරයා රජුගෙන් ලබාගත් ඉඩම් කොටසක ජීවත් වී තිබෙනවා. ඔහු එතැන තෝරාගත්තේ ශ්‍රීපාද කන්ද පේන නිසා බව යි කියවෙන්නේ. ශාන්තුවරයාගේ මරණින් පසු අනුගාමිකයන් පල්ලිය ඉදිකර තිබනවා. අනුහස් ඇති සිද්ධස්ථානයක් ලෙස සැලකෙන නිසා පළාතේ මුස්ලිම් පමණක් නොව වෙනත් ආගම්වල අය ද බාරහාර වීමට පල්ලියට පැමිණෙනවා. කෙසේ වුවත් මෙහි දැනට දක්නට ලැබෙන්නේ මෑතකාලීනව ඉදිකළ දේවස්ථාන ගොඩනැගිල්ලක්.
වල්ලහගොඩ දේවාලය
නියම්ගම්පාය බලාගෙන ඒ අසලම පිහිටි වල්ලහගොඩ දේවාලයට යන්න ඔබට පුළුවන්. එය පිහිටා තිබෙන්නේ ගම්පොළ මරියවත්තේ. එහි පැරණි නම වල්වාසගොඩ. කතරගම දෙවියන්ට කැපකළ දේවාලයක් සහ විහාරයක් ද මෙහි තිබෙනවා. මේ දේවාලය හතරවන බුවනෙකබාහු රජු විසින් තැනවූ බව සඳහන් වෙනවා. මෙහි දාගැබ ඉදිකර තිබෙන්නේ ථූපඝරයක් සහිතව යි. උඩරට ගෘහනිර්මාණ ශිල්පය හැදෑරීමට කදිම ස්ථානයන් ලෙස පැවසිය හැකියි. මෙහි දේවාලය කුඩා යි. එය ඉදිකර තිබෙන්නේ උස් පදනමක් මත යි. දේවාලයේ ඉදිරිපස හේවිසි මණ්ඩපයක් ද සහිත යි.
ලැගුම්දෙනියේ රොබට් නොක්ස් සිහිවටනය
17 වැනි සියවසේ අවුරුදු 19ක කාලයක් උඩරට රාජධානියේ සිරකරුවකු වශයෙන් සිටි රොබට් නොක්ස් වැඩි කලක් ජීවත් වී ඇත්තේ ගම්පොළට නුදුරු ලැගුම්දෙනිය ගමේ. නොක්ස් ලැගුම්දෙනියේ වාසය කළේ ලිව්ලෑන්ඩ් නම් ඔහුගේ මිතුරා සමග බව ඔහු ලියූ කෘතියේ දැක්වෙනවා. ඔහු විසූ නිවස තිබුණේයැ යි සැලකෙන තැන 1908 දී ගල්පුවරුවක් පිහිටුවා සිහිවටනයක් ඉදි කළා. එය මීටර් 1.23ක් උස ගල් පවුරුවක්. එම ස්මාරකය පුරාවිද්‍යා රක්ෂිත ස්ථානයක් ලෙස නම්කර තිබනවා. ගම්පොළ පුපුරැස්ස පාරේ පන්විලතැන්නෙන් වමට හැරි යන පුස්සේතැන්න පාරේ කි. මී. එකක් දුරින් කන්ද මුදුනේ මේ ස්ථානය පිහිටා තිබෙනවා.
බෝතලාපිටිය ගංගාරාම රජමහා විහාරය
ගම්පොළ නගර සීමාවේ උතුරු කෙළවරේ කහටපිටියේ මේ විහාරය පිහිටා තිබෙනවා. මෙහි පෞරාණික නටබුන් දක්නට නැතත් විහාරය පිහිටා ඇත්තේ ඓතිහාසික ස්ථානයක යි. දඹදෙණියේ දෙවැනි පැරකුම් රජු දවස ප්‍රතිරාජ ඇමැති ශ්‍රීපාද ගමන් මාර්ගය ඉදිකිරීම ආරම්භ කළේ මෙහි සිට බව ජනප්‍රවාදවල සඳහන්. වර්ෂ 1871 පැවති ගම්පොළවාදය පවත්වා තිබෙන්නේ ද මේ ස්ථානයේ යි. අද මෙහි ප්‍රකට පිරිවෙණක් ද පැවැත්වෙනවා.
අටබාගේ රජ මහා විහාරය
ගම්පොළ සිට නාවලපිටිය පාරේ පාරේ කි. මී. 4ක් පමණ ගොස් අතුරු මාර්ගයක තවත් කි. මි. 2ක් ගමන් කිරීමෙන් අටබාගේ විහාරයට පැමිණිය හැකියි. අටබාගේ ඔය ගලායන්නේ මේ ආසන්නයෙන්. සුන්දර කඳුකර වටපිටාවක පිහිටි විහාරය දළදා වහන්සේ කලක් සඟවා තැබූ තැනක් වශයෙන් මූලාශ්‍රවල දැක්වෙනවා. ඒ 1814 දී උඩරටට ඉංග්‍රීසි ආක්‍රමණ අවදානමක් පැමිණි අවස්ථාවේ දී යි.
විහාරය උඩපළාත් කඳුකර ඉහළ කෝරළයේ පිහිටා තිබෙනවා. උඩරට සම්ප්‍රදායේ විහාර මන්දිරයක් සහ පැරණි ධර්ම ශාලාවක් ද මෙහි දැකගත හැකියි. විහාරය පිට මාලයකින් ද යුක්ත යි. මකර තොරණක් සහිත ප්‍රවේශයකින් විහාරයට ඇතුළුවිය යුතු යි. ඇතුළත බිත්තිවල සහ සිවිලිමේ බිතුසිතුවම් ආරක්ෂා වී තිබනවා. විහාරය තුළ චෛත්‍යඝරයක් ද පිහිටා තිබීම විශේෂත්වයක්. චෛත්‍යඝරය වටා බිත්තිවල සොලොස්මස්ථානය සහ සූවිසි විවරණය සිත්තම් කර තිබෙනවා. ඇතුළු මාලයට පිවිසිය යුත්තේ ආරුක්කු හැඩැති දොරටුකින්. එය දෙපස දොරටුපාල මූර්ති දෙකක් සහිත අතර ඉහළින් බිත්තියේ මකර තොරණක් ඇද තිබෙනවා. පිට මාලයේ වෙස්සන්තර ජාතකය සහ අපාය සිතුවම් කර තිබනවා. මේ සිතුවම් දැන් දුර්වර්ණවෙමින් තීන්ත මැකී යන බව පෙනෙනවා.