Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටුවාලු: අමතක සංචාරක ගමනාන්තය

අප සැම දෙනාගේම ජීවිත ඉතාමත්ම කාර්යබහුලයි. ඒ කාර්ය බහුල ජීවන රටාවත් එක්ක දිනෙන් දින හීනවන මානසික නිදහස වඩ වඩාත් දියුණු කර ගැනීමට බොහෝ දෙනා විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට පෙලඹෙනවා.

ඒ අතරින් බොහෝ දෙනා නිවාඩුවක් ගතකිරීම සඳහා තමන් නොගිය පළාතකට යන්න බොහොම ප්‍රියයි. එයිනුත් විදේශ රටකට යාමට වඩාත් කැමතියි. බහුතරයක් දෙනා සංචාරයක් සඳහා යුරෝපීය රටවල් හෝ ආසියානු රටවල් තෝරාගැනීමට වඩාත් කැමැත්තක් දක්වනවා.

ඔබ දන්නවාද CNN travel වෙබ් අඩවියට අනුව ලොව අඩුම සංචාරකයන් පිරිසක් පැමිණි රට කුමක්ද කියා? ඔට්ටුයි, ඔබට එය අනුමාන කරන්න අපහසුයි. මේ රට පිලිබඳ ඔබ අසා තිබෙනවානම් ඇත්තටම ඔබ ඉතා හොද දේශ ගවේශකයෙක් බව නොඅනුමානයි. බලමු ඔබේ අනුමානය සාර්ථකද කියලා.

පොලිනීසියානු දූපත් රාජ්‍යය

ඒ තමයි හවායි හා ඕස්ට්‍රේලියාව අතර මැද පැසිෆික් සාගරයේ පිහිටා ඇති ටුවාලු (Tuvalu) නම් පොලිනීසියානු දූපත් රාජ්‍යය.

වර්ග කිලෝමීටර් 25 කින් සමන්විත වන ටුවාලු රාජ්‍යයට 2017 වසරේදී පැමිණි සංචාරකයන් ගණන 2,000ක් පමණ වනවා. ටුවාලු රාජ්‍යය ලොව අඩුම සංවර්ධිත රටවල් අතරට අයත් වන අතර එහි දළ දේශීය නිෂ්පාදනය 2018 වසරේදී අමෙරිකා ඩොලර් මිලියන 40 වුවත් අය වැය අතිරික්තයක් මත ක්‍රියාත්මක වනවා.

ටුවාලුහී අසල්වැසි රාජ්‍යයක් වන ෆීජි දූපත් සතු සංචාරකයින් පිරුණු කාර්යබහුල වෙරළ තීර සමඟ සංසන්දනය කරන විට සංචාරකයන්ගෙන් කිළිටි නොවූ නොඉඳුල් මනරම් වෙරළ තීරයකට ටුවාලු රාජ්‍යය හිමිකම් කියනවා. ඒවගේම කාරුණික මිත්‍රාශීලි ජනතාවක් ටුවාලු රාජ්‍යයේ දිවි ගෙවනවා. සංචාරක පැමිණිම පහළ මට්ටමක පවතින නිසා සංචාරකයන් සඳහා පවතින්නේත් සීමිත පහසුකම් ප්‍රමාණයක්.

ටුවාලු අගනුවර වන ෆනාෆුටි හි නිජබිම වන ෆොන්ගාෆේල් දූපත
ටුවාලු අගනුවර වන ෆනාෆුටි හි නිජබිම වන ෆොන්ගාෆේල් දූපත-theguardian.com

අසිරිමත් ඉතිහාසය

ටුවාලු ජනතාවගේ ඉතිහාසය වසර 2,000ක් දක්වා ඉතිහාසයකට දිව යනවා. 1820න් පසු යුරෝපීය වෙළඳුන්ගේ පැමිණීමත් සමඟ ටුවාලු වැසියන්ගේ ජීවිතවල සැලකිය යුතු වෙනස්කම් සිදුවනවා. 1860 ගණන්වල ලන්ඩන් මිෂනාරි සංගමයේ සැමෝවැන් දේවගැතිවරයාගේ පැමිණීමත් සමඟ පුරවැසියන් කිතුනු දහම වැලඳගන්නවා. ටුවාලු හි පවතින එකම ආගම ද කිතුනු දහමයි. 1878 දී බ්‍රිතාන්‍ය අධිකරණ බලයට ටුවාලු යටත් වන අතර එය 1892 දී බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්වනවා.

1978 දී රට ස්වාධීන ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක් බවට පත්වන අතර එහිදී පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ද ලබා ගන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ටුවාලු ලොව සාමකාමී හා අවම සංවර්ධිත රටවල්වලින් එකක්. ටුවාලු රාජ්‍යය 1975 ට පෙරදී එලිස් දූපත් ලෙසින් ද හදුන්වා තිබෙනවා.

ටුවාලු හි රැජින ලෙස දෙවන එළිසබෙත් රැජින තවමත් කටයුතු කරනවා. ආණ්ඩුකාර ජෙනරාල් ඇය නියෝජනය කරන දේශීය නියෝජිතයායි. ටුවාලු අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත රැජන එම තනතුරට සුදුසු අයෙක් පත් කරයි. අගමැතිවරයා තෝරා පත් කර ගන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ දායකත්වයෙන් වන අතර අගමැතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා ද වෙනවා. වත්මන් ටුවාලු අගමැතිවරයා ලෙස කෝසා නටානෝ (Kausea Natano) කටයුතු කරනවා.

Woman on Funafuti, Tuvalu, then known as Ellice Islands. H. C. Fassett (1900)
එවකට එලිස් දූපත් ලෙස හැඳින්වූ ටුවාලු හි ෆනාෆුටි නගරයේ කාන්තාවක්-H. C. Fassett 1900

භූමිය සහ කාලගුණය

වර්ග කිලෝමීටර් 25 ක වපසරියකින් සමන්විත වන ටුවාලු රාජ්‍යයේ අගනුවර වනුයේ ෆනාෆුටි (Funafuti) නගරයයි. 100 වඩා වැඩි විසිරී ඇති දූපත්වලින් ටුවාලු රාජ්‍යය සමන්විත වන අතර ලෝකයේ ඇති වඩාත්ම හුදෙකලා රටවල් වලින් එකක්ද වෙනවා. කිසිම ගංගාවකට උරුමකම් නොකියන ටුවාලුහි බොහෝ දූපත් මුහුදු මට්ටමේ සිට අඩි 13 සිට අඩි 16 දක්වා පහත් බිම් වනවා. ටුවාලු ජනතාව වැසි මගින් හා ළිං මගින් පමණක් ජලය ලබා ගන්නවා. ප්‍රධාන දූපතේ උතුරේ සිට දකුණට දුර කිලෝමීටර් 11ක් පමණ වන අතර වාහනයකින් ඔබට විනාඩි විස්සකින් පමණ ගමනාන්තයට ළඟාවිය හැකිවනවා. දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 සිට 29 දක්වා පරාසයක පවතින අතර වර්ෂාපතනය සාමාන්‍යයෙන් උතුරේදී මිලිමීටර් 2,500ක් සහ දකුණේදී මිලිමීටර් 3,175 පමණ වනවා.

ටුවාලු වෙත ළඟා වීම හා ප්‍රවාහන පහසුකම්

ටුවාලු වෙත ගමන් කරන්නේ නම් එකම ක්‍රමය ගුවන් මඟින් එහි ළඟා වීමයි. ෆිජී දූපත්වල සිට හා කිරිබටි (Kiribati) සිට හැරෙන්නට ඔබට ටුවාලු වෙත ළඟාවීමට සෘජු හෝ වක්‍ර ගුවන් සේවයක් සොයාගැනීමට නොහැකි වෙනවා. කිරිබටි රාජ්‍ය සතු එයා කිරිබටි ගුවන්සේවය එහි අගනුවර වන ටරාවා (Tarawa) සිට සතියකට එක් වරක් ටුවාලුහි අගනුවරවන ෆනාෆුටි වෙත සිය මෙහෙයුම් කටයුතු සිදු කරනවා.

ෆිජී රාජ්‍යයේ අගනුවරවන සුවා (Suwa) සිට ටුවාලුහි ෆනාෆුටි වෙත සතියකට තෙවරක් ෆිජී එයාර්වේස් සිය මෙහෙයුම් වල නිරත වෙනවා. එක් ගමනාන්තයක් සඳහා අමෙරිකා ඩොලර් 350කට වැඩි මුදලක් ගුවන් ටිකට්පත් සඳහා වැය කිරීමට සිදුවනවා. රට ඇතුළත ගමන් කිරීමට මෝටර් රථ හා මෝටර් බයිසිකල් කුලියට ලබා ගැනීමට හැකි වන අතර මිනි බස් රථද (Mini bus) ධාවනයට යොදවා තිබෙනවා. ගෝලීයකරණයට හසුනොවූ ජීවිත හා ගැමි පරිසරයේ සුන්දරත්වය සමඟ ටුවාලු සුන්දර වෙරළ තීරයේ අසිරිය විඳීමට හැකි පහසුම ක්‍රමය පයින් ගමන් කිරීමයි.

ජනයා හා ආර්ථිකය

ටුවාලු ජනගහනය 2002 වසරේදී කළ සංගණනයට අනුව 9,561 වන අතර මුළු ජනගහනයෙන් 47% එනම් 4,192 අගනුවර වන ෆනාෆුටිහි වාසය කරනවා. ටුවාලු හා ඉංග්‍රීසි යන භාෂා එහි ජනතාව සිය භාෂා ලෙස භාවිත කරන්නේ. ටුවාලු නිල මුදල් ඒකකය ඕස්ට්‍රේලියානු ඩොලරය වන අතර එහි ඇති එකම බැංකුව ටුවාලු ජාතික බැංකුවයි. කිසිදු ATM යන්ත්‍රයක් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් සේවාවක් ටුවාලු රාජ්‍යය තුළ ක්‍රියාත්මක වන්නේ ද නැහැ.

ටුවාලු රාජ්‍යයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ මත්ස්‍ය සම්පතයි. භූගෝලීය වශයෙන් පවතින බාධක නිසා නිෂ්පාදන කටයුතු ඉතාමත් අවම වන අතර ආනයනය ඉතා ඉහළ මට්ටමට පවතිනවා. ජනතාවට වැඩි ආදායම් ප්‍රමාණයක් පොල් ආශ්‍රිත නිෂ්පාදන හා මත්ස්‍ය කර්මාන්තයෙන් ලැබෙන අතර විදේශයන්හි සිටින ශ්‍රමිකයන්ගෙන්ද සැලකියයුතු ආදායමක් ටුවාලු වැසියන්ට ලැබෙනවා.

ටුවාලු හි සාම්ප්‍රදායික ඇඳුමෙන් සැරසුණු තරුණයන් දෙදෙනෙකුගේ ඡායාරූපයක්-australianvolunteers.com

වර්ණවත් සංස්කෘතිය

දකුණු පැසිපික් දූපත්වලට සමාන සංස්කෘතියකට ටුවාලු හිමිකම් කියන අතර සාම්ප්‍රදායික හා මිත්‍රශීලී සැහැල්ලු ජීවන රටාවක් ටුවාලු වැසියන් ගත කරනවා. ටුවාලුහි නැටුම් සංගීතය හා අත්කම් සඳහා ඉහළ පිළිගැනීමක් තිබෙන අතර සාම්ප්‍රදායික රටා හා වර්ණ භාවිතයෙන් අතින් සායම් කළ පැන්ඩනස් (Pandanus) ශාකයේ කොළ තීරුවලින් නිර්මිත සාම්ප්‍රදායික ඇඳුම් කාන්තාවන් භාවිත කරනවා. සාම්ප්‍රදායික නැටුම් හා සංගීතය ඇතුළත් මංගල්‍යය බොහෝවිට ප්‍රජාවේ කේන්ද්‍රස්ථානයක දී පවත්වනවා. ඉරුදින විවේකී දිනයක් වන අතර පල්ලියට පැමිණ ආගමික කටයුතුවලට සම්බන්ධ වීමට ටුවාලු ජනයා අමතක කරන්නේ නෑ.

සාම්ප්‍රදායික නර්තනයක යෙදෙන කාන්තාවන් පිරිසක්
සාම්ප්‍රදායික නර්තනයක යෙදෙන ටුවාලු කාන්තාවන් පිරිසක්-timelesstuvalu.com

ආවේණික ක්‍රීඩා

ටුවාලු ජාතික ක්‍රීඩාව වන්නේ ටී ඇනෝ ය. කණ්ඩායම් දෙකක් එකිනෙකාට මුහුණ ලා සිටින අතර තරගය ආරම්භ වන්නේ එක් සාමාජිකයෙක් පන්දුව අනෙක් කණ්ඩායම දෙසට විසි කිරීමෙන්. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම පන්දුව වැටීමට ඉඩ දී පළමු කණ්ඩායම ජයග්‍රහණ 10 ක් කරා ළඟා වුවහොත් ලකුණු ලබා ගන්නවා. තරගය අවසන් වන්නේ පරාජිතයන් විනෝදජනක ගීතයක් සහ නර්තන අංගයක් ඉදිරිපත් කරමින් අනතුරුවයි.

ටුවාලු වැසියන් සතු ජනප්‍රිය සාම්ප්‍රදායික ක්‍රීඩා දෙකක් සදහන් කරන්න පුළුවන්. නූතන ක්‍රිකට් ක්‍රීඩාවට සමාන කිලිකිට් (Kilikit) එක් ක්‍රීඩාවක් වන අතර පැන්ඩනස් කොළවලින් සෑදූ තද රවුම් බෝල දෙකකින් ක්‍රීඩා කරන නූතන වොලිබෝල් ක්‍රීඩාවේ නීති රීතිවලට සමාන අනිත් ක්‍රීඩාව ඇනෝ (Ano) ලෙස සඳහන් වනවා. 

නූතනයේදී පාපන්දු ටුවාලුහී ජනප්‍රියතම ක්‍රීඩාවයි.  2007 ලෝක කුසලානය සඳහා නිල සුදුසුකම් ලැබීමේ තරගය සදහා ක්‍රීඩා කල ප්‍රථම ෆිෆා (FIFA) නොවන සාමාජිකයා බවට ටුවාලු පත්වෙනවා. රට තුළ ක්‍රීඩාව ජනප්‍රිය වුවත් ඇති අවම පහසුකම් නිසා තවමත් ෆිෆා සාමාජිකයෙකු ලෙස පිළිගෙන නැහැ. සීමිත ඉඩකඩ හේතුවෙන් ක්‍රීඩාංගන ඉදිකිරීමට ටුවාලු වැසියන්ට නොහැකි වුවත් ගුවන්තොටුපළ ධාවන පථය ඔවුන් ඒ සඳහා භාවිත කරනුයේ ගුවන්තොටුපොළේ ඇති සීමිත ගුවන් ගමන් හේතුව නිසයි. 

ගුවන් ධාවන පථයේ ක්‍රීඩාකරන තරුණයින් පිරිසක්
ගුවන් ධාවන පථයේ ක්‍රීඩාකරන තරුණයින් පිරිසක්-timelesstuvalu.com

නිදහස් අධ්‍යාපනය

ටුවාලු අධ්‍යාපන පද්ධතිය දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමට හැකි ලෙස සකසා තිබෙනවා. ප්‍රාථමික හා ද්විතීක ලෙස එය වර්ග කර ඇති අතර අවම අවුරුදු හතරක් අධ්‍යාපනය ලැබීම අනිවාර්ය වනවා. අවුරුදු හත දක්වා ප්‍රාථමික අධ්‍යාපනයත් ඉන් අනතුරුව තවත් අවුරුදු හයක් ද්විතීක අධ්‍යාපනය ලෙසත් වර්ග කර තිබෙනවා. ටුවාලු රාජ්‍යය සතුව මරීන් පාසලක් හා දකුණු පැසිපික් විශ්වවිද්‍යාල ශාඛාවක් ෆනාෆුටි නගරයේ ආරම්භ කර තිබෙනවා.

ටුවාලු ජනතාව ඉතාමත් සාමකාමී කොටසක් වනවා සේ ම ඔවුන් සතුව යුද හමුදාවක් ඇත්තේද නැහැ. ජාතික පොලිස් බළකාය හරහා සමුද්‍රීය නිරීක්ෂණ ඒකකය, රේගුව, බන්ධනාගාරය, ආගමන හා විගමන සේවා ක්‍රියාත්මක වනවා. අන්තර්ජාල පහසුකම් හා විදුලිය ද ක්‍රමවත් අයුරින් රාජ්‍යය තුළ ක්‍රියාත්මක වනවා. ලොව සිව්වන කුඩාම ජාතිය වන ටුවාලු වැසියන් වඳ වී යාමට මුහුණ දී ඇති බව සඳහන් අතර දශක කිහිපයකින් ටුවාලු රාජ්‍යය ලෝක සිතියමෙන්ද මැකී යනු ඇත. ඔබ ටුවාලු වෙත සංචාරයක් සැලසුම් කරන්නේ නම් ඒ සදහා පමා වන්නට එපා. කොරෝනා වසංගතයෙන් පසුව ඒ සඳහා හොඳම කාලය එළඹෙනු ඇත.

කවරයේ ජයරුපය:  අව්‍යාජ සිනහවෙන් සපිරුණු ටුවාලු අනාගත පරපුර (timelesstuvalu.com)

මූලාශ්‍ර:

paclii.org

jasons.com

youtube.com

britannica.com

theguardian.com

timelesstuvalu.com 

edition.cnn.com

nationsencyclopedia.com

 

Related Articles