Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මඩකලපු ලන්දේසි කොටුවේ කාලතුවක්කු

මඩ සහිත වූ විශාල කලපුවකින් වටව පවතින මුහුදුබඩ නගරයට ඒ නිසාම “මඩකලපුව” යන නම වැටී තිබෙනවා. දෙමළ බසින් මේ නගරයට කියන්නේ මට්ට කලප්පු කියල යි. නගරයේ අතීතය ගොඩනැගී ඇති ප්‍රධාන සිහිවටනය විදිහට එහි බලකොටුව කැපී පෙනෙනවා. නමුත් වැඩි දෙනෙක් මේ බලකොටුවේ අතීත තොරතුරු දන්නේ නැහැ. අදත් භාවිතයට ගන්නා මඩකලපුවේ බලකොටුවේ අතීතය සොයා යාමත් රසබර චාරිකාවක්.

ඉතිහාස තොරතුරු

ලන්දේසි ඇඳි බලකොටුවේ සිතියම – Wikipedia.org

ක්‍රි. ව. 1505 දී ලොරෙන්සෝ ද අල්මේදාගේ ප්‍රධානත්වයෙන් තමයි පෘතුගීසින් ලංකාවට අහම්බෙන් ගොඩබැස්සේ. ටික කලකින්ම ලංකාව වටා පිහිටි සියලුම නැව් තොටවල පාලනය කිරීමේ බලය තමන් වෙත ලබාගැනීමට පෘතුගීසින් සමත් වුණා. නගර කේන්ද්‍රකර ගනිමින් නාවික බලකොටු ඉදිකිරීමට ඔවුන් උනන්දු වුණා. මඩකලපුවේ ද ඔවුන් ආරක්ෂක බලකොටුවක් ඉදිකළා. ඒ සඳහා අවටින් සපයාගත හැකි හිරිගල්, මැටි, හුණු ආදිය මෙන්ම දැව ද යොදාගත්තා. ඔවුන් මේ බලකොටුව මඩකලපුව පුලියන්තිව් දූපතේ ඉදිකළේ 1628 දී යි. 

යුරෝපීය ජාතීන් මේ රටට එන්නට කලින් මේ දූපත ප්‍රධාන දිවයිනෙන් වෙන් වෙලා තිබුණ බව තමයි සඳහන් වන්නේ. ප්‍රධාන දිවයිනේ ඉඳලා මේ දූපත සමග හැම සබඳතාවක්ම පවත්වා ගත්තේ කුඩා ඔරු භාවිතයෙන්. මේ ඔරුවලින් දූපතේ ඉඳලා දිවයිනට එන වැසියන් තමන්ගේ යාත්‍රා අතීතයේ දී නතර කළ බව පැවසෙන්නේ අද තිබෙන මඩකලපු ද්වාරය කියන තැන යි.

පෘතුගීසි අත්දැකීම්

කොටු පවුරේ සක්මන් මළු –  travelgumbo.com

පෘතුගීසි කපිතාන්වරයකු වූ ජොආඕ රිබෙයිරෝ බලකොටුව ඒ කාලේ පැවති අන්දම ගැන මෙසේ සඳහන් කරනවා:

මුහුදු යාත්‍රාවලට නැංගුරම් ලෑම සඳහා සුදුසු ස්ථානයක් වූ මඩකලපුව බලකොටුව පිහිටා ඇත්තේ ගොඩබිමේ තුඩුවක ය. මෙහි සිට ලීග විසිහතරක් දකුණෙන් උතුරු දෙසට දිවක් ලෙස වෙරළ ඇදී යාමේ දී එහි කෙළවර ත්‍රිකුණාමලය බලකෙටුව ආසන්නයේ ය. මඩකලපුව කොටුව පිහිටි තුඩුව ආරක්ෂිත ස්ථානයකි. එය පැරණි තාලේ අට්ටාල හතරකින් යුත් හතරැස් නිර්මාණයකි. එහි යකඩ කාලතුවක්කු දුසිමක් සමග කපිතාන්වරයකු හා හේවායන් පනසක් ද, කොස්තාපල්වරයෙක් ද, ස්වදේශිකයන් විසිදෙනෙක් ද වූහ. තව ද පල්ලියක් සහ බඩුගබඩාවක් ද වෙඩි බේත් ගබඩාවක් ද එහි විය

(රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය – පරි. ටි. කේ. රුබේරු)

බලකොටුව තුළ ක්‍රි. ව. මුල් යුගයේ ඉදිකරන ලද දාගැබකට අයත් ඡත්‍ර ගලක් ද ආසන ගලක් ද හමුවීම නිසා බලකොටුව ඉදිකිරීමට පෙර මෙහි බෞද්ධ විහාරයක් තිබූ බවත් හෙළිව තිබෙනවා.

බලකොටුව කුරුසයක් වගේ

බලකොටුව ඈතට දිස්වන අයුරු – Wikipedia.org

බලකොටුවේ බිම් සැලැස්ම කුරුසයක හැඩය ගන්නවා. දූපතක පිහිටි නිසා එහි ආරක්ෂාව තහවුරු වී තිබුණා. එය පෘතුගීසි කාලෙ දී මුර අට්ටාල තුනකින් සමන්විත වුණා. සෑම මුර අට්ටාලයකම කාලතුවක්කු සහ භට පිරිස් යොදවා තිබුණා. එහි ආරක්ෂාවට පිත්තල සහ යකඩ කාලතුවක්කු 11ක් පැවති බව සඳහන් වෙනවා. සෙබල නිවස්න, ගබඩා සහ පල්ලියක් ද එතුළ තිබුණා.

ලන්දේසි බලකොටුව

කොටු පවුරේ ලන්දේසි ලාංඡනය- Wikipedia.org

පෘතුගීසින් පරදවා ලන්දේසි විසින් මේ බලකකොටුව 1638 දී අල්ලා ගනු ලැබුවා. ඒ සඳහා ලන්දේසින් කටයුතු කළේ දෙවන රාජසිංහ රජු සමග පැවති එකඟත්වයක් මත යි. ඉන්පසු ලන්දේසි රජු සමග ගිවිසුමකටත් අත්සන් කළා. එහි එවක පැවති තත්ත්වය විස්තර කරන ලන්දේසි දේවගැති පිලිප්පුස් බැල්දියස් :

ලන්දේසි සැතපුම් දෙකක් පමණ ප්‍රමාණයෙන් යුත් කොදෙව්වක පිහිටා තිබුණු මඩකලපු කොටුව ගඟේ සිට සැතපුම් තුනක් රට ඇතුළට වන්නට පිහිටියේ ය. බලකොටුව උස් කළුගල් පවුරුවලින් යුතු විය. එය ගල් තුන්සියයකින් තනනු ලැබ පිත්තල හා යකඩ තුවක්කු පහකින් ද ප්‍රවාහ්‍ය තුවක්කු කීපයකින් ද සන්නද්ධව තිබුණි. වෙඩි බෙහෙත්, ඊයම්, මූනිස්සම්, හා එවැනි වෙඩි ද්‍රව්‍ය ද එහි විය. එහි තිබුණු හාල් තොගය සතුරාට දෙමසක පරිභෝජනයට ප්‍රමාණවත් තරම් විය. එහෙත් පානීය ජලය සපයා ගැනීම තරමක් දුෂ්කර විය.

(බැල්දියස්ගේ ලංකා පුරාවෘත්තය- පරි. බී. එන්. ආර්. ජයසේන).

දිය අගලකින් වටවූ කොටු පවුර – travelgumbo.com

බලකොටුව තමන් අතට ගත් පසු ලන්දේසින් එහි ආරක්ෂාව තහවුරු වන සේ විශාලකර නැවතත් ඉදි කළා. කොටුබැම්ම විශාලකර මුර අට්ටාල හතරක් ඉදි කළා. ඒ අතරින් විශාලම මුර අට්ටාලය වුණේ කොලොම්බු අට්ටාලය යි. එහි ඝන්ඨාර කුලුනු දෙකක් පැවති බවට සාධක තිබෙනවා. එවකට කොලොම්බු මුර අට්ටාලයේ සහ හාර්ලිම් මුර අට්ටාලයේ කාලතුවක්කු 12 බැගින් ද, ඇම්ස්ටර්ඩෑම් හා ගෝල් අට්ටාලවල 10 බැගින් ද සවිකර තිබුණා. ඇම්ස්ටර්ඩෑම් අට්ටාලයේ නෙදර්ලන්ත කොඩියත් ඔසවා තිබුණා.

පිවිසුම් දොරටුව

දොරටුව තුළින් කොටුවට- travelgumbo.com

එය පිහිටා තිබුණේ ඇම්ස්ටර්ඩෑම් හා ගෝල් මුර අට්ටාල දෙක අතරින්. දොරටුවට ඉහළින් ත්‍රිකෝණාකාර ගල් පුවරුවක 1682 යන්න සටහන් කර තිබෙනවා. ඒ බලකොටුව ප්‍රතිසංස්කරණය කර නිම කළ අවුරුද්ද බව පේනවා. දොරටුවට ඉදිරියෙන් කලපුවේ සිට පැමිණෙන යාත්‍රා නවත්වන ජැටිය දක්නට ලැබුණා. ජැටිය අසලත් ගබඩා ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙන බව සැලසුම්වල දකින්න පුළුවන්.

ඉංග්‍රීසින් අතට

ඉංග්‍රීසින් ඉදිකළ දිසාපති කාර්යාලය – travelgumbo.com

වර්ෂ 1796 දී ලංකාවේ මුහුදුබඩ පළාත්වල අයිතිය ලන්දේසින්ගෙන් ඉංග්‍රීසින් අත්පත් කර ගන්නවා. ඔවුන් බලකොටුව ඇතුළත ගොඩනැගිලි වෙනස්කර පරිපාලන කාර්යාල ලෙස සකස්කර තිබෙනවා. ඒ අනුව ගබඩා ගොඩනැගිලි ආලින්දයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක් බවට පත්කර දිසාපති කාර්යාලය බවට පත් කළා. ඇම්ස්ටර්ඩෑම් මුර අට්ටාලයේ යුද කාමර දෙකක් අදත් දක්නට ලැබෙන අතර ඒවා භාවිතයකින් තොරව වසා දමා තිබෙනවා.

තවමත් ක්‍රියාත්මක කාලතුවක්කුව – Wikipedia.org

පසුකාලීනව නූතන ගොඩනැගිලි කිහිපයක් ද කොටුව තුළ ඉදිකර තිබෙනවා. කොටුව වටා පිහිටි දිය අගල ද නිසි නඩත්තුවකින් තොරවීම නිසා කොටුවේ පෙනුමට බාධාවක් වෙලා. කොටු බැම්ම නම් අදත් පුරාණ ස්වරූපයෙන් දැකගත හැකියි. අංග සම්පූර්ණ ආධාරකයක් සහිත කාලතුවක්කුවක් දැකගත හැකි එකම බලකොටුව මඩකලපුව පමණ යි. තවමත් එය සක්‍රිය කළ හැකි මට්ටමේ පවතිනවා. 

අද බලකොටුව කාර්යාල සංකීර්ණයක්

කොටුව සහ දියඅගල ඉදිරිපසින් -timeout.com

කලපුවට මුහුණලා ඇති බලකොටුවට මුහුදු ප්‍රවේශ මාර්ගය ඔස්‌සේ ළඟාවීම පහසු ලෙස යි තනා තිබෙන්නේ. එසේම, මේ මතට නැගී බලන විට කලපුවත්, වත්මන් නගරයත්, කල්ලඩි පාලම ආදියත් ඉතා දැකුම්කළුව නැරඹිය හැකියි. මේ තුළ අදටත් මඩකලපුව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය, කෞතුකාගාරය ඇතුළු රජයේ කාර්යාල රැසක්‌ පිහිටා තිබෙනවා.

කොටු පවුර – Wikipedia.org

බලකොටුවේ  පසෙක ඇති පියගැටපෙළ දිගේ කොටු පවුර මතට නැඟුණු විට කලපුව හා අවට සුන්දර දසුනක් දැකබලා ගත හැකියි. කොටු පවුර මත, ප්‍රධාන ද්වාරයට ඉහළින් ඇති ප්‍රදේශයේත් රජයේ කාර්යාල පවත්වාගෙන යනු ලබනවා. කොටුව බලන්නට පැමිණෙන සංචාරකයින්ටත් ඒ සඳහා වෙනම  ඉඩකඩක්‌ වෙන්කර තිබෙනවා. 

කලපුවේ ඔබ මොබ යන ඔරු-පාරු මෙන්ම තෙර නොපෙනෙන මහ සයුරත් නිසල කලපු දියත් දෙස බලා සිටීම මනස සුවපත් කරන ව්‍යායාමයක්. යෝධ පවුර මතට එක්‌ පසෙකින් කල්ලඩි පාලම හොඳින් දර්ශනය වෙනවා (කල්ලඩි පාලම ගැන කෙටි විඩියෝවක් මෙතැනින් නරඹමු). පැරැණි කළු පාලම වගේම, අලුතින් ඉදිවන පාලමත් මෙහිදී දැකගත හැකියි. තැන් තැන තිබෙන පැරැණි මුර අට්‌ටාල වගේම, පැරණි කාලතුවක්‌කුවත් අපි නැවතත් ලන්දේසි යුගයකට කැඳවාගෙන යාමට සමත්.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

Archeaology.gov.lk

ජාතික උරුමය පුවත් හසුන- 2012 ඔක්.

බැල්දියස්ගේ ලංකා පුරාවෘත්තය- පරි. බී. එන්. ආර්. ජයසේන

Cover - බලකොටුව දෙස ගුවනින් බැල්මක්-derana.lk

Related Articles