අපගේ අසල්වැසි ඉන්දියාව ද ශ්‍රී ලංකාව මෙන්ම බ්‍රිතාන්‍ය පාලනයට යටත් වී තිබී ඒ නිසාම සැලකිය යුතු තරම් විශාල දුම්රිය මාර්ග පද්ධතියක් ලබන්නට වාසනාවන්ත වූ රටක්. කොහොම නමුත් විශාලත්වය, දියුණුව, සංකීර්ණත්වය, ආදායම වගේ බොහෝ අංශවලින් ඉන්දියාවේ රේල්ලුව අපිට වඩා සිටින්නේ බොහෝ ඉදිරියෙන්. අද තම රටේම නිෂ්පාදනය කරන දුම්රිය පවා ඉන්දියාවේ ධාවනයට යොදා ගන්නවා.
මේ ලිපියෙන් කියවෙන්නේ ඉන්දියාවේ ධාවනය වන විවිධ වර්ගවල කෝච්චි ගැනයි.
විවේක් දුම්රිය
ඉන්දියාවේ පහළම කෙළවර වන කන්‍යාකුමාරි සිට ඉහළම කෙළවරේ බංග්ලාදේශයට උඩින් තිබෙන ඇසෑමයේ ඩිබෘගර් දක්වා ගමන් කරන විවේක් දුම්රිය කිලෝමීටර 4243ක දුරක් ගමන් කරනවා. සතියකට වරක් පමණක් ධාවනය වන එම දුම්රිය පැය 80ක් එනම් දින තුනකුත් තවත් පැය 8ක් පමණ කාලයක් ගමනට ගත කළ යුතුයි. නැවතුම්පළවල් 55ක නවත්වන මෙම විවේක් එක්ස්ප්‍රස් දුම්රිය දුම්රිය ස්ථාන 714ක් සිය සම්පූර්ණ ගමනේදී පසු කර යනවා. ඇසෑමය කියන්නේ ඉන්දියවේ තිබෙන දුප්පත් පළාතක්. වර්තමානයේ ඉන්දියාවේ දක්ෂිණ කොටස හෙවත් ලංකාවට වඩාත් ලංව පිහිටි කොටස අනෙක් ඉන්දීය පළාත්වලට වඩා කාර්මීකරණය වි තිබෙනවා. ඇසෑමයේ සිට ඇදෙන දුප්පත් ජනයා සිය ගමන් පහසුව සලසා ගන්නට මෙම දුම්රිය යොදා ගන්නවා.
මෙම දුම්රියේ පෙට්ටි 24ක් පමණ ධාවනය වන අතර එහි සම්පූර්ණ කිලෝමීටර 4243ම ගෙවා යන්නට සාමාන්‍ය පන්තියේ ටිකට්ටුවක අවම මිල වන්නේ ඉන්දීය රුපියල් 637ක්. එම දුම්රියේම පූර්ණ ගමනට දෙවන පන්ති වායුසමන මැදිරියක් ඉන්දීය රුපියල් 4285ක මිල වෙනවා. විවේක් දුම්රිය ඉන්දියාවේ තිබෙන වැඩිම දුරක් ධාවනය වන තනි දුම්රිය නිසා සංචාරකයින් අතරද මෙම දුම්රිය ජනප්‍රියයි.
මේ විවේක් දුම්රිය අයිති වන්නේ ඉන්දීය දුම්රිය සේවයේ සුපර්ෆාස්ට් නැමැති දුම්රිය වර්ගයට යි. විවේක් දුම්රියේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 55ක් පමණ වෙනවා. දින ගණනාවක් පුරා නිදන මැදිරිද සහිතව ධාවනය වන, සාමාන්‍ය දුප්පත් ජනයා ඉලක්ක කරගත් දුම්රිය ඉන්දියාවේ වඩාත්ම භාවිත වන ප්‍රවාහන මාධ්‍යය ලෙස දක්වන්නට හැකියි.
වායුසමනය කළ, දිගු දුර යන දුම්රිය
ඉන්දියාවේ මුල්ම අගනුවර වූයේ කල්කටාවයි. එය නව දිල්ලියට මාරු වූයේ 1915 දී වගේ. ඒ කාලයේ ගුවන් ගමන් නොමැති වූ බැවින් දුම්රිය හොඳ ප්‍රවාහන මාධ්‍යයක් බවට පත් වුණා. මේ නිසාම දිල්ලිය සහ කල්කටාව අතර තරමක වේගවත් දුම්රිය සේවාවක් ඇති වුණා
දිල්ලිය සහ කල්කටාව අතර සම්පූර්ණයෙන්ම වායුසමනය කරන ලද දුම්රිය 7ක් පමණ ධාවනය වෙනවා. එම දුම්රිය කල්කටාව සහ දිල්ලිය අතර වූ කිලෝමීටර 1500කට ආසන්න දුර ප්‍රමාණය පැය 16ත්-20ත් අතර කාලයකින් ගෙවා දමන්නේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 70 – 86 අතර අගයක පවත්වා ගනිමින්.
මෙලෙස වායුසමනය කරන ලද පෙට්ටිවලින් පමණක් සමන්විත, සැප පහසුවට කැමති, දුර යන මගීන් වෙනුවෙන්ම සැකසූ දුම්රිය වර්ග කිහිපයක්ම ඉන්දිය දුම්රිය සේවයේ පවතිනවා. රාජධානි දුම්රිය තමයි එලෙස ඇතිවුන පළමු දුම්රිය වන්නේ. ඒවා ඉන්දියාවේ ප්‍රධාන නගර සම්බන්ධ කරන අතර ඇතැම් විට උපනගර කරාද වේගවත් සම්බන්ධතාවයක් ලබා දෙනවා.
ඩුරන්ටෝ නමින් ප්‍රධාන නගර සම්බන්ධ කරන සීමිත නැවතුම්පොළ ගණනක පමණක් නවත්වන දුම්රිය සේවයක්ද තිබෙනවා . උදාහරණ ලෙස චෙන්නයි සිට දිල්ලි දක්වා කිලෝමීටර 2176ක් ගෙවා යන ඩුරන්ටෝ දුම්රිය අතරමග නවත්වන්නේ ස්ථාන 7ක පමණයි.
වායුසමනය කරන ලද, එහෙත් මදක් පහසුකම් අඩු පෙට්ටි පද්ධතියකින් සමන්විත ගරිබ්‍රාත් දුම්රියත්, රූපවාහිනී, වෙන්ඩින් මැෂින්, සුවපහසු නිදන පහසුකම්, නවීන වැසිකිලි සහිත අලුත්ම හම්සෆර් දුම්රියත් ඉන්දිය දුම්රිය සේවයේ සම්පූර්ණයෙන් වායුසමනය කරන ලද දිගු දුර දුම්රිය ලෙස ධාවනය වෙනවා. බැංගලෝර් නගරයේ සිට ඇසෑමයේ තිරූපා හි අගර්තලා වෙත ගමන් කරන බැංගලෝර් අගර්තලා හම්සෆර් ශීඝ්‍රගාමි දුම්රිය මෙම වායුසමනය කරන ලද දිගුදුර දුම්රියවලින් වැඩිම දුරක් ගෙවායන දුම්රියයි. එය පැය 65ක් පුරාවට කිලෝමීටර 3570ක් පසු කරමින් සතියකට වරක් ගමන් කරනවා.
දවසක් ගත වන ගමනක් ඉක්මනින් යන්න ඉඩ සලසන කෙටි දුර ශීඝ්‍රගාමි දුම්රිය
ඉන්දියාවේ දැනට දුවන වේගවත්ම දුම්රිය තමයි ඝටිමාන් එක්ස්ප්‍රස් කියන්නේ. එය නව දිල්ලියේ සිට සුප්‍රකට සාජාහන් රජුගේ ආදරණිය සිහිවටනය වන ටාජ් මහාල් පිහිටි අග්‍රාව දක්වා කිලෝමිටර 188ක දුර පැයකුත් විනාඩි 35කින් සම්පූර්ණ කරනවා. එම දුම්රියේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 113ක්. ලෝකයේ අධිවේගී දුම්රිය එක්ක බැලුවාම මෙය අධිවේගී දුම්රියක් ලෙස හඳුන්වන්න නම් අමාරුයි. එහෙත් සාමාන්‍ය දුම්රිය මගක ගත හැකි උපරිම වේගයක් වන මෙවැනි සාමාන්‍ය වේගයකට ළඟාවීමට දුම්රිය කිහිපයකට හෝ අවස්ථාව ලැබීම ඉන්දියාවට සාපේක්ෂව යම් ජයග්‍රහණයක් ලෙසත් සලකන්නට හැකියි.
එක් දිනකදී ස්ථාන දෙකක් අතර දුර සම්පූර්ණ කරන ශටාබ්දි නැමැති දුම්රිය සේවයක්ද තිබෙනවා. එහිදී කිලෝමීටර 250 ත් 500ක් අතර දුරක් වායුසමන කළ, මනා ලෙස සැපපහසු ආසන සහිතව පැයට කිලෝමීටර 60-80ක් අතර වේගයකින් ගමන් කරන්නට මගින්ට අවස්ථාව ලැබෙනවා. එය ලංකාවේ වගේ තදබල ට්‍රැෆික් සහිත නගරවල සිට තරමක දුරබැහැරට යන්න බලාගෙන ඉන්න මගීන්ට ලොකු අස්වැසිල්ලක්.
දකුණු ඉන්දියාවේ මේ වගේ වායුසමනය කරන ලද සැප පහසු ආසන සහිත කදිම දුම්රියක් දැකගන්නට හැකියි. ඒ තමයි ඩබල් ඩෙකර් දුම්රිය. තට්ටු දෙකකින් සමන්විත මෙම දුම්රිය කිහිපයක් මෑතකදි අලුතින් ධාවනයට එකතු කළා. මේ තට්ටු දෙකේ දුම්රියත් දවසේ ගමන්වලට යොදාගන්නා දුම්රිය වර්ගයක්.
තවත් දුම්රිය වර්ග
ශිම්ලා කල්කා, ධාර්ජිලින්, ශ්‍රී නගර්-බානිහාල්, ආදී කඳුකර දුම්රියද ඉන්දියාවේ දී දකින්නට හැකියි. මේ ඉහතින් දක්වා ඇත්තේ ඉන්දියාවේ දකින්නට ලැබෙන ප්‍රධානතම, ජනප්‍රියම දුම්රිය කිහිපයක් පමණයි. මීට අමතරව දුම්රිය වර්ග රැසක්ම ඉන්දියාවේ දුම්රිය මාර්ගවල ධාවනය වෙනවා. ශ්‍රී ලංකාවේ දුම්රියක ගෙවා යන වැඩිම දුර වන මාතර සිට යාපනය දක්වා වූ කිලෝමීටර 500ක දුර වැනි දුරක් ඉන්දියාවේදී සැලකෙන්නේ පැය කීපයකින් ළගාවිය හැකි මධ්‍ය දුරක් ලෙසයි.
මීට අමතරව නගරාසන්නයේ කෙටි දුරක් ඉතා මන්දගාමීව ගමන් කරන (අපේ භාෂාවෙන් කොට කොට යන) දුම්රියද ඉන්දියාවේ තිබෙනවා. ඉන්දිය දුම්රිය කියන්නේ විටෙක ධාවනය වන ප්‍රදර්ශනාගාර වැනි විවිධත්වයෙන් යුතු දුම්රිය රැසක් ධාවනය වන පද්ධතියක්. ඉන්දියාවේ ගමනක යෙදෙනවා නම් සාමාන්‍ය ජනයාගෙන් කරදර අඩු හොඳ මට්ටමේ දුම්රිය නැගී එහි පොඩි ගමනක් හෝ ගමන් කිරිමත් අපේ ජීවිතයට එක් කරගත හැකි මතක සටහනක් බවට පත් වේවි.
කවරයේ රූපය (රචකයාගෙනි)