තොටගමුව කියල කියපු ගමන් අපට නම් මතක් වෙන්නේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. රාහුල හිමියන් වැඩ විසූ තොටගමුව පන්සල දේශීය මෙන්ම විදේශීය සංචාරකයනුත් යන එන තැනක්. දකුණේ පිහිටි පැරණිම පූජනීය ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබෙන මේ විහාරය ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රදේශයට ආසන්නව තෙල්වත්ත ග්‍රාමයේ පිහිටා තිබෙනවා.
ගාල්ල-කොළඹ මහා මාර්ගයේ ගමන් ගන්නා අයෙකුට ගාලු පාරේ කොළඹ සිට ගමන් ගනිද්දී, කහව පසුකොට කිලෝමීටර් දෙකක් පමණ ඉදිරියට යනවිට පුරාණ තොටගමු රජමහා වෙහෙර යනුවෙන් සඳහන් කොන්ක්‍රීට් නාම පුවරුවක් දකුණු පසින් දකින්නට ලැබෙනවා. එතැනින් මීටර් 500ක් පමණ නැඟෙනහිරට පිහිටි මාර්ගයේ ගමන්ගත් විට පිවිසෙන්නේ පුරාණ තොටගමු වෙහෙරට යි. ගාල්ලට යනවා නම් ඔබට පහසුවෙන්ම නැරඹිය හැකි අපූරු ගමනාන්තයක් තමයි තොටගමු විහාරය.
විහාරය අවට ගම්
ජනප්‍රවාද අනුව තොටගමුව පන්සලට සම්බන්ධ ගම් රැසක් අවට පිහිටා තිබෙනවා. එහි පිහිටි විජයබා පිරිවෙණේ ශිල්ප හැදෑරූ භික්ෂුන්ට බත සැපයූ ගම බද්දේගම නමින් ද, හකුරු සැපයූ ගම සීනිගම නමින් ද හඳුන්වනවා. ප්‍රතිමාකර්ම ආදියට මැටි ලබාදුන් ගම හඳුන්වා තිබෙන්නේ මැටිවල නමින්. මල්වැන්න කියලා කියන්නේ මල් සැපයූ ගම යි. පහන් පූජාවලට පෙරහන්කඩ සැපයූ ගම පැරෑලිය යි. තෙල් ලබාදුන් ගමට කියන්නේ තෙල්වත්ත.
ඉතිහාසය
මෙය අනුරාධපුර යුගයේ පටන් පැවති පුදබිමක් බවම සාධක සෙල්ලිපි ආශ්‍රයෙන් ලැබෙනවා. අදටත් මෙම විහාර භූමියේ නාථ දේවාලය වටා පිහිටි ශිලා ස්ථම්භ හත විහාරයේ පෞරාණිකත්වයට සාධක සපයනවා. ඒ අතරින් ටැම් හතරක, ඒවා කරවූ අයගේ නම් සඳහන් කර පූජා කර තිබෙනවා. ගල්ටැම්වල ඇති අක්ෂර 8-10 සියවස්වලට අයත්. එම කුලුණු එදා සලපිළිම වහන්සේ වැඩසිටි පිළිමගෙයි නටබුන් බවට සැලකෙනවා.
මහාවංශයේ තීර්ථගාම කියලා කියන්නේ තොටගමුව යි. පොළොන්නරු යුගයේ දී පළමුවන විජයබාහු රජු
(1055-1110) තොටගමු විහාරයේ පන්සාලිස් දිග ප්‍රාසාදයක් ගොඩනැගූ බව සඳහන්. කුරුණෑගල රජකළ සිව්වැනි පරාක්‍රමබාහු (1302 – 1326) මනහර තිස්රියන් ප්‍රාසාදයක් කරවා විජයබා පිරිවෙන පිහිටවූ බවත් මහාවංශය කියනවා. මේ රජු විජයබා පිරිවෙන විශ්වවිද්‍යාල මට්ටමට ගෙන එන ලද බව පැවසෙනවා. ගලතුරුමුල මෛත්‍රී නාහිමි සහ උත්තරමුල රාහුල මහ තෙර ආදී මහ පඬිවරු මෙහි අධිපතීත්වය දැරූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.
ගිරා සංදේශයේ තොටගමුව ගැන සඳහන් වන්නේ මෙලෙසයි;
විඳි විහිගුම් සමුදුර වෙරළත හමුව
සුරපුර බිම් බටමෙන් වඩවන ළමුව
සැදි පලරම් විසිතුරු ගෙඋයන් සුමුව
දකු මනරම් සව්සිරි පිරි තොටගමුව
රාහුල හාමුදුරුවෝ
වෑත්තෑවේ හිමි සහ වීදාගම මෛත්‍රීය හිමි ද තොටගමු විහාරයේ භාරකාරත්වය දරමින් වැඩ සිට තිබෙනවා. වීදාගම මෛත්‍රීය හිමිගේ ගෝලයකු ලෙස සිටි තොටගමුවේ ශ්‍රී රාහුල හිමි සංස්කෘත, ප්‍රාකෘත, මාගධි, පෛසාමි, සෞරසේනි, අපභ්‍රංස යන භාෂා හයෙහි කෙළ පැමිණි උගතෙක් වුණා. එබැවින් උන්වහන්සේ ෂඩ් භාෂා පරමේශ්වර නමින් හැඳින්වූවා. කාව්‍යරණයේ ද විශිෂ්ට වූ රාහුල හිමි තොටගමු විහාරයේ විහාරාධිපතිත්වය දැරූ අතර, විජයබා පිරිවෙනේ පරිවේණාධිපතිධූරය දැරුවා. තොටගමුවේ ශ්‍රී රාහුල හිමි 1408 වසරේ උපත ලබා වර්ෂ 83ක් ආයු වළඳා, 1491 වර්ෂයේ දී අපවත් වී වදාළ බව පැවසෙනවා. එම හිමියන් අපවත්වීමෙන් පසු දේහය පෘතුගීසින් ගෝවට ගෙනගිය බවත්, සිද්ධාලෝක රසය නම් ඖෂධය පානය කර ඇති නිසා උන්වහන්සේගේ දේහය අදටත් නොදිරා තිබෙන බවත් පැවසෙනවා.
පරංගිගෙන් වූ හානිය
ක්‍රි. ව. 1588 දී පෘතුගීසින් විහාරය විනාශ කරනවා. විනාශ වූවාට පසු ශතවර්ෂ දෙකක් යනතුරු තොටගමු විහාර භූමිය වල් බිහිවී පැවතුණා. පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයන් සමග මෙහෙයවූ ආගමික පුනරුදය නිසා තොටගමු විහාරය දෙසට යළිත් අවධානය යොමු වී තිබෙනවා. පල්ලත්තර පුඤ්ඤසාර නාහිමි 1765 දී පමණ පුරාණ විහාරයක් මෙහි පවතින බව දැනගෙන වැඩමකර, විහාරයක් ඉදිකර වැඩවාසය කළ බව සඳහන් වෙනවා. ක්‍රි. ව. 1780 දී එවකට ගරාවැටී තිබූ දාගැබ ද අලුතින් විශාල කර බඳවා තිබෙනවා.
විහාර දෙකක්
තොටගමු රජමහා විහාරස්‌ථානයේ විහාර මන්දිර දෙකක් දක්‌නට ලැබෙනවා. ඒවා දකුණේ බෞද්ධ දානපතියන් එක්වී ඉදිකරවා තිබෙනවා. ඉන් පළමුවැන්න ඉදිකොට කොට ඇත්තේ 1779 වසරේ දී යි. ඒ මුහුදුබඩ පළාත් ඕලන්දයන් පාලනය කළ කාලයේ. පැරණි විහාර මන්දිරය මේ වන විට ජරාවාස වෙමින් පවතිනවා. මෙහි නිර්මිත බුද්ධ ප්‍රතිමාවල වර්ණ වියැකී යමින් පවතිනවා.
විශාල විහාර මන්දිරයක් වූ දෙවැන්න 1805 වසරේ දී ඉදිකර තිබෙනවා. මේවායේ මහනුවර සම්ප්‍රදායට අයත් බිතුසිතුවම් හා ප්‍රතිමා නිර්මාණය කර තිබෙනවා.
ඊට අමතරව නාථ දේවාලය, විෂ්ණු දේවාලය, ධර්මශාලාව, පොහොය ගෙය, ඝණ්ටාර කුලුන, ආවාස ගෘහ දෙකක් ද ඉදිවුණා. පැරණි පිළිම ගෘහයෙහි වෙස්සන්තර ජාතකය, දහම් සොඬ ජාතකය, සස ජාතකය සිතුවමට නඟා තිබෙනවා.
අනංග දෙවියෝ
නව විහාර ගෘහය තුළ පිහිටි අනංග දෙව් රුව විශේෂිත යි. උසින් අඩි 20ක් පමණ වන මෙය විවාහයට, ප්‍රේමයට අධිපති ලෙස සැලකෙන දෙවියන්ගේ ප්‍රතිමාව යි. ලංකාවේ විහාරයක තිබෙන එකම අනංග ප්‍රතිමාව ද මෙය යි. හැබැයි ප්‍රේමය පතා කවුරුත් මේ දෙවියන්ට පුදපූජා පවත්වන බව නම් පේන්නෙ නැහැ. එක් අතකින් උක්දඬු දුන්න ද අනෙක් අතින් මල් හී සර ද රැගෙන සිටින සේ දෙව්රුව නිර්මාණය කර තිබෙනවා.
බිතුසිතුවම්
විහාරය අලංකාරකොට ඇති සිතුවම් උඩරට සම්ප්‍රදායේ දකුණු උපසම්ප්‍රදායට අයත් වෙනවා. අපේ බිතුසිතුවම් කලාවේ වැදගත් ස්ථානයක් මේ විහාර බිතුසිතුවම් හිමිකර ගන්නවා. පැරණි විහාර ගෘහයේ සිතුවම් නිර්මාණය කර ඇත්තේ ගාලු දිසාවේ එවට දක්ෂ ශිල්පීන් වූ කඩොල්ගල්ලේ ‘මහ සිත්තරා’ සහ ‘පොඩ්ඩා සිත්තරා’ විසින් බවත්, නව පිළිමගෙයි සිතුවම් නිර්මාණයට අටකෝරළේ මුදියන්සේ සිත්තරාගේ සේවය ලබා ඇති බවත් විහාර පුරාණයේ සඳහන් වෙනවා.
නටබුන් සහ ස්මාරක
අක්ෂර සහිත ගල් කුලුනු හැරෙන්නට විහාර මළුව මැද තබා තිබෙන ගලින් සැකසූ විශාල මල් ආසනය ද, පැරණි දොර උළුවස්ස ද, තැනින් තැන ඇති කැටයම් සහිත ගල් කුලුණු ද විහාර භූමියේ ඓතිහාසිකත්වය පැහැදිලි කරනවා. විහාර මළුවට උතුරු දිසාවට පිහිටා ඇති තෙමහල් ප්‍රාසාදයක්ව පැවති ‘විජයබා’ පිරිවෙණේ කළුගල් පාදම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මතුකරගෙන තිබෙනවා. කාලයත් සමග වැලි තලාවට යට වී තිබූ එම පාදම සමග ඒ අවට තවත් පෞරාණික ස්ථාන හා භාණ්ඩ රාශියක් පුරාවිද්‍යා කැණීම්වලින් සොයාගෙන තිබෙනවා.
මීට අමතරව හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් පැවිදි වූ පොහොය ගෙය සහ පුරාණ ධර්ම ශාලාව ද වැදගත් ගොඩනැගිලි වශයෙන් සැලකිය හැකියි. දකුණේ සංචාරය කරන ඔබටත් මේ පුරාණ පුදබිම නරඹා අපූරු අත්දැකීමක් ලබාගත හැකියි.
ආශ්‍රිත මූලාශ්‍රයයන්:
තෙල්වත්තේ පුරාණ තොටගමු රත්පත් විහාරය- සීනිගම මහානාම මංගලසිරි
සිංහල වෙහෙර විහාර- ජේ. බී. දිසානායක
ගාල්ල දිස්ත්‍රික්කයේ පෞරාණික ස්මාරක- පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
කවරය:
තොටගමුවේ බිතුසිතුවම්- කුසුම්සිරි විජයවර්ධන