අප කුමන ආගමකට අයත්වුවත් දෙවියන් වන්දනාමාන කරන්න අමතක කරන්නේ නැහැ. එකට නොයෙක් හේතු කාරණා තියෙන්න පුළුවන්. නමුත් විශ්වාසයත්, භක්තියත් ඇති පුද්ගලයා දෙවියන් යැදීම අනිවාර්යයෙන්ම කරන දෙයක්. ආගමික හා සංස්කෘතික පසුබිම අනුව ඒ ඒ පුද්ගලයා බුයුමන් දක්වන දෙවියන් වෙනස්.
බොහෝ සිද්ධස්ථානවල දෙවියන් උදෙසා විශේෂ ස්ථානයක් වෙන්කර තිබෙන අයුරු අප කොතෙකුත් දැක තිබෙනවා. දේවල, දෙවොල, ආදී නම් වලින් හැඳින්වෙන මේවා ඒ ඒ දෙවියන්ගේ අනන්‍යතාවය පිළිබිඹු වන අන්දමින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
බෞද්ධාගමික රටක් වූ ලංකාවට දේව සංකල්පය පිවිසීමට ප්‍රධානම හේතුව වුනේ ඉන්දියානු ආභාෂයයි. ඒ පුරාණ රජවරුන් තමන්ගේ අග මෙහෙසිය වශයෙන් ඉන්දියානු කාන්තාවන් සරණපාවා ගැනීමයි. එම බිසෝ වරුන්ට වන්දනාමාන කිරීමට දේවාල මෙහි ඉඳි කිරීමට පියවර ගැනුණා. කල්යත්ම දේව වන්දනාව බෞද්ධයින් අතරත් ප්‍රචලිත වීම නිසා නොයෙකුත් දෙවියන් උදෙසා විවිධ දේවාල රැසක් ලංකාව පුරා ඉන්දිවෙන්න පටන් ගත්තා.
ලංකාවේ ප්‍රධාන දේවාල
වර්තමානයේ බෞද්ධ, හින්දු භේදයකින් තොරව සෑම දෙනෙක්ම වන්දනා කරන ප්‍රධාන දේවාල කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ.
- රුහුණු මහා දේවාලය – කතරගම
- මහා සමන් දේවාලය – රත්නපුර
- දැඩිමුණ්ඩ දේවාලය – අලුත් නුවර
- පත්තිනි දේවාලය – නවගමුව
- විභීෂණ දෙවාලය – කැලණිය
- විෂ්ණු දේවාලය – බෙල්ලන්විල
- මුන්නේශ්වරම් දේවාලය – හලාවත
1- රුහුණු මහා දේවාලය – කතරගම
ලංකාවේ ඇති පූජා නගර අතරින් ප්‍රධාන තැනක් ගන්නා නගරයක් තමයි කතරගම. බෞද්ධ, දෙමළ, හින්දු සහ මුස්ලිම් භේධයකින් තොරව බොහෝ දෙනෙක් වැඳුම්පිදුම් කිරීමට මෙම පූජා නගරයට පැමිණෙනවා. ඒ සියලු ආගම් වෙන්වූ සිද්ධස්ථාන සංකීර්ණයක් මෙහි ඇති නිසයි. මේවා අතරින් රුහුණු කතරගම මහා දේවාලය විශේෂ තැනක් ගන්නවා.
ඓතිහාසික තොරතුරු
කතරගම මහා දේවාලයේ ඉතිහාසය ක්‍රි. පූ. 60 දශකය දක්වා දිවයනවා. එකල රජකල දුටුගැමුණු රජතුමා තමයි මේ දේවාලය ඉදිකරලා තියෙන්නේ. දේවාලය ඉදිකිරීම සම්බන්ධව නෙයෙක් ජනප්‍රවාද තියෙනවා. දුටුගැමුණු කුමාරයා එළාර සමඟ යුද්ධයට යන්න පෙර කතරගම දෙවියන්ට බාර වූ බවත්, යුද ජයග්රහණයෙන් පසු එම බාරය ඔප්පු කිරීම සඳහා මෙම දේවාලය සෑදු බවත් තමයි මේ ජනප්‍රවාද වලින් කියවෙන්නේ. එකල “ වැඩහිටි කන්ද ” නමින් හඳුන්වන කන්දේ වාසය කල කතරගම දෙවියන්, දුටුගැමුණු රජතුමාගේ ඉල්ලීම පරිදි දේවාලයක් ඉදිකිරීමට සුදුසු තැනක් ලෙස වර්තමානයේ දේවාලය පිහිටි භුමිය පෙන්වා තිබෙනවා. ඒ, වැඩිහිටි කන්දේ සිට ඊතලයක් විදීමෙන්. එම ඊතලය වැටුණු තැන තමයි අද අප දකින දේවාලය ඉදිකරලා තියෙන්නේ.
කවුද මේ කතරගම දෙවියෝ ?
සිංහල ජනතාව අතර “කතරගම දෙවියන්” නමින්ද, හින්දු බැතිමතුන් අතර “මුරුගන්” නමින්ද මේ දෙවියන් හඳුන්වනවා. ඉන්දියාවේ සෘග්වේදයේ “වස්කන්ධ” නමින් හැඳින්වුණු දෙවියන් පසු කලෙක “ස්කන්ධ” නමින් ප්‍රසිද්ධියට පත්වූ බව විචාරකයි සඳහන් කරනවා. ඉන්දියාවේ සිට මෙහි පැමිණි හින්දු බැතිමතුන්ගේ විශේෂ සැලකිල්ල නිසා මුරුගන් හෙවත් ස්කන්ධ කුමරු ලංකාවට පැමිණ කතරගම ආශ්‍රිතව වාසය කරන්නට පටන් ගත බව ජනප්‍රවාද වලින් පැහැදිලි වෙනවා.
තවද, සිංහල ජනතාවගේ පිළිගැනීමට අනුව, කතරගම රජ කල මහසෙන් රජතුමා මරණින් පසු දේවත්වයට පත්ව මෙසේ කතරගම දෙවියන් ලෙස බැතිමතුන්ගේ වන්දනාවට පත්රව සිටිනවා.
සෑම වසරකම කතරගමට එන බෞද්ධ, දෙමළ, හින්දු සහ මුස්ලිම් බැතිමතුන් දෙස බලන විට, කතරගම දෙවියන්ට ජනතාව තුළ ඇති භක්තිය, විශ්වාසය මැනවින් තේරුම් ගන්න පුළුවන්.
2- මහා සමන් දේවාලය – රත්නපුර
සීතාවක රාජධානිය සබරගමුව සමන් දෙවියන්ගේ අඩවියයි, සමන් දෙවියන් යනු බෞද්ධ ජනතාවගේ ඉමහත් භක්තියටත්, වන්දනාවටත් පත් වූ කීර්තිමත් දෙවියෙක්. බුදුන් වහන්සේගේ ශ්‍රීපා සලකුණ පිහිටි සමනල කන්ද මෙම දෙවියන්ගේ ප්‍රධාන වාසභුමිය ලෙස සැලකෙනවා. එනිසා රත්නපුර මහා සමන් දේවාලය, මෙම දෙවියන් උදෙසා ඉදිකළ ප්‍රධානම දේවාලය ලෙස ජනතා ගෞරවාදරයට අතීතයේ සිටම පාත්රවී තිබෙනවා.
සමන් දේවාලයේ ඉතිහාසය
මුලින්ම සමන් දේවාලයක් ශ්‍රීපාද අඩවියේ ඉදිකර තියෙන්නේ 2 වන පැරකුම්බා රජතුමා කියලයි වංශකතා වල දැක්වෙන්නේ. මුල් කාලයේදී සිරිපා අඩවියේ සමන් දෙවි ප්‍රතිමාවක් තිබිලා නැහැ. මේනිසා 2 වන පැරකුම්බා රජතුමාගේ නියෝගයෙන් දේව ප්‍රතිමාව ඉඳි කිරීම ප්‍රතිරාජදේව නම් අමාත්‍යවරයාට පවරලා තියෙනවා. අනතුරුව එම ඇමතිවරයා ගම්පොල ප්‍රදේශයේ ශිල්පියකු ලවා සමන් දෙව් රුවක් තනවා සමන් ගිරට ගෙන ගොස් ශ්‍රීපාද චෛත්‍යය භුමියෙහි පිහිටුවීමෙන් තමයි සමන් දේවාලය ආරම්භ වෙලා තියෙන්නේ.
මේ මුල්ම දෙවොලට සතර දෙසින් තවත් දේවාල සතරක් සාදා තිබෙනවා. ඒවා නම් :
1.බටහිරින් රත්නපුර මහ සමන් දේවාලය
2.උතුරින් දැරණියගල මහ සමන් දේවාලය
3.දකුණින් බොල්තුබේ මහ සමන් දේවාලය
4.නැගෙනහිරින් මහියංගන මහ සමන් දේවාලය
සිරිපා මළුවේ තිබුණු මෙම සමන් දෙවියන්ගේ ප්‍රතිමාව පසුකාලයේදී අතුරුදහන්වී තිබෙනවා. සිරිපා වන්දනා කිරීමට ගිය ශීලවංශ නම් හිමිනමක් සමන් දෙවියන්ගේ ඇරයුමින් ගල් ගුහාවක සඟවා තිබු දේව ප්‍රතිමාව සපරගමු විහාරයට ගෙනගිය බව ජනප්රවාදයේ දැක්වෙනවා.
ඉන්පසුව වර්තමාන රත්නපුර මහා සමන් දේවාලය ඉඳි කිරීමට මූලික වෙන්නේ දෙවන පැරකුම්බා රජ දවස ආර්යකාම දේව නම් නම් ඇමතිවරයා බව සමන් සිරිතේ සදහන්. ඒ අනුව ඔහු එහි තෙමහල් ප්‍රාසාදයක් කරවා තිබෙනවා. සමන් සිරිතෙහි මේ බව සඳහන් වෙන්නේ මෙසේයි :
“සුරිදුනි සිරි බර
අප මිණි කම් කරන වර
ලදුවොත් මිනි පවර
ගෙයක් කරවමි තුන් මහල් කර.”
සමන් දෙවොල වඩාත් සංවර්ධනය වී ඇත්තේ කෝට්ටේ කාලයේ විසු හයවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදීයි. ඒබව එම රජු විසින් පිහිටුවා ඇති ශිලා ලේඛනයේ ද සඳහන් වෙනවා. මෙම දේවාලය සඳහා ගම්වර ලෙස ගම් 26 දේවාලයට හා විහාරයට පිදු බව සඳහන් වෙනවා.
අද පවත්නා සමන් දේවාල සංකීර්ණය නිර්මාණය කරන්නේ 2 රාජසිංහ රජතුමයි. 1 වන හා 2 වන රාජසිංහ රජවරුන් කල සේවාවන් පැටලී ඇති බැවිනි සමන් දේවාලය පිළිබඳ නිවැරදි තොරතුරු සොයාගැනීම ඉතා දුෂ්කර කාර්යයක්.
3- දැඩිමුණ්ඩ දේවාලය – අලුත් නුවර
“බුදුන් තනි කරලා
දෙවියන් ගියයි හැර ලා
දැඩි දෙවිඳු සිට ලා
යුද කරම් සල කළේ වඳ ලා ”
( උපුටාගැනීම : ගල කැප්පු සැහැල්ල )
සිදුහත් තවුසා බුද්ධත්වයට පත්වන අවස්ථාවේදී සිදුවූ මාර පරාජයේදී සිදුහත් තවුසා සමඟ රැඳීසිටි එකම දේවතාවාද වන්නේ මෙම දෙවියන්ය. එපමණක් නොව, තථාගතයන් වහන්සේ පිරිනිවන්පාන අවස්ථාවේදී, සක්දෙව් අමතා ලංකාව භාර කරන ලෙස කීවේද දැඩිමුණ්ඩ දෙවියන්ටය. මේ කාරණා නිසා උපුල්වන් දෙවියන් ලෙසින් ද හඳුන්වන දැඩිමුණ්ඩ දෙවියන් බොදු ජනතාවගේ ප්‍රසාදයට ලක් වූ දෙවි කෙනෙක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටිනවා.
දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා ඈත අතීතයේ සිටම විවිධ ප්‍රදේශ වල පුද පුජා පවත්වා තිබෙන බව විවිධ ඉතිහාසගත සාක්ෂ්‍ය වලින් පැහැදිලි වෙනවා. එහෙත් මෙම දෙවියන් උදෙසා ඉඳිකර ඇති ප්‍රධාන දේවාලය ලෙස සලකෙනේ අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයයි.
ඉතිහාස කතා
මාවනැල්ල, අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය වසර තුන්සියයක් ඉක්මවු ඉතිහාසයකට හිමිකම් කියන්නක්. පෙර රජ දවස සුනේත්‍රා දේවිය විසින් කළ යෝජනාවකට අනුව මෙම දේවාලය ඉදිකළ බවයි පොතපතේ සඳහන් වෙන්නේ. දේවාලය පිලිබඳ තවත් කතාවක කියවෙන්නේ මෙසේයි: මේ දේවාල භූමියේ ඇති සුවිශේෂී අලංකාර මණ්ඩපයක් වන්නේ, ගල බිඳ තනන ලද දේවාලය නොහොත් පත්තිරිප්පුවයි. මොල්ලිගොඩ අධිකාරම් රටින් පිටුවහල් කිරීමට නියමවූ අවස්ථාවේදී, එතුමන්ගේ ජීවිතය බේරි දුක්කරදර නිමා වුවහොත්, ගල බිඳ දේවාලයක් ඉදිකරන බවට බාර වී ඇත.
ඔහුගේ අපේක්ෂාව ඉටු වූයෙන්, ගල බිඳ දේවාලය ඉදි කිරීමට කටයුතු කළ බව කියැවෙනවා. දේවාලය ඉදිකිරීම සඳහා ගල බිඳීමට යක්ෂ ගෝත්‍රිකයන් ගෙන්වාගෙන ඇත්තේ දැඩිමුණ්ඩ දෙවියන්ට කළ කන්නලව්වක් ඔස්සේය. මේ හෙයින් දැඩිමුණ්ඩ දෙවියන්ගේ දැඩි මෙහෙයවීමෙන් එක් රැයකින් ගල බිඳින්නට හැකිවූ බව ඉතිහාස කරුණුවල දැක්වෙනවා.
හොඳට හොඳ, නරකට නරක හදවතක් ඇති දැඩිමුණ්ඩ දෙවියන් දුකට පිහිට විය හැකි ශක්තියක් ඇති දෙවියකු ලෙසට බැතිමතුන් විශ්වාස කරනවා. එනිසා ඔවුන් දැඩිමුණ්ඩ දෙවියන්ට බාරහාර වෙමින් අලුත් නුවර දේවාලයට එම බාරහාර ඔප්පු සිද්ධ කරන්නේ ඉමහත් භක්තියකින්.
අලුත්නුවර හැරුණු කොට, කතරගම කිරිවෙහෙර අසලත් දැඩිමුණ්ඩ දේවාලයක් දකින්න තියෙනවා. ඒ වගේම වෙනත් ප්‍රදේශ වලත් පිහිටි දැඩිමුනඩ දේවාල ගැන නොයෙකුත් සඳහන් දක්නට පුළුවන්. ඒ කොහොම උනත් ප්‍රධාන දේවාලය ලෙස සැලකෙන්නේ මාවනැල්ල, අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයයි.
4- පත්තිනි දේවාලය – නවගමුව
බස්නහිර පළාතේ කොළඹ දිස්තික්කයේ, කඩුවෙල ප්‍රදේශයේ පිහිටි නවගමුව ග්‍රාමයේ පත්තිනි දේවාලය පිහිටා තිබෙනවා. මෙය අවිස්සාවේල්ල මාර්ගයේ පිහිටි අර්ධ නාගරික ප්‍රදේශයක්. මෙම ගම, හේවගම් කෝරළයේ බටහිර කලාපයේ පල්ලෙ පත්තුවට අයත් වෙනවා.
වර්තමානයේ නවගමුව දේවාලය ලෙස ව්‍යවහාර කෙරුනද අතීතයේදී එය හැඳින්වෙලා තියෙන්නේ “නා ගොමුව”ලෙසින්. දේවාලය නා ගස් ගොමුවක පිහිටි නිසා නවගමුව ලෙස හැඳින්වුණා වෙන්න පුළුවන්. දේවාලය අසල දැනටත් දක්නට ඇති නා ගස් ගොඩ එයට හොඳ සාක්ෂියක්. නවගමුවට, ගම් නවයක් එක් විම නිසා එම නම ඇතිවු බවද, නාග ගෝත්‍රිකයන් ගොමුවක් වශයෙන් ජීවත් විම නිසා නවගමුව වි යැයිද තවත් මතයක් තිබෙනවා.
අතිතයේ දී බෞද්ධ විහාරස්ථානයකුත් මෙහි තිබුනද, දේවාලය සමග එම විහාරස්ථානය විනාශවු බව පෘතුගිසි වාර්තාවල සඳහන්වෙනවා. නැවත එම විහාරස්ථානය ආරම්භ කර දේවාලයද යථා තත්වයට පත්කර ඇත්තේ, කටුවාවල සුමන තිස්ස හිමිපාණන් වහන්සේ විසින්.
පත්තිනි දේවිය වෙනුවෙන් ඉඳිකළ දේවාලයක් ලෙස නවගමුව දේවාලය, අතීතයේ සිටම බැතිමතුන් අතර ගෞරවාදරයට පාත්‍ර වී තිබෙනවා.
නවගමුව පිළිබඳ ජනප්‍රවාද
දක්ෂිණ භාරතිය වන්දනාවට ලක්වු පත්තිනි දේවියගේ රන් සළඹත් සිවු දේවාලයේ ආයුධත්,වළගම්බා රජු සමයේ එරටට ගෙන ගිය පාත්‍රා ධාතුවත් ගෙන ඒම තුළ සංස්කෘතික වෙනස්කම් රැසක් සිදුවී තිබෙනවා. ජනප්රවාදයේ මේ පුවත විස්තර වන්නේ මෙසේය:
වළගම්බා රජු සොළි රට ජය ගෙන රුවල් නැවකින් ලංකාවට පැමිණෙන අතර දරුණු කුණාටුවකට හසුවී තිබෙනවා. ගජබා රජු ඇතුළු පිරිස එයින් බේරි කැලණි ගඟ ඔස්සේ ඉදිරියට පැමිණ රාත්‍රි කාලය ගත කර තිබෙන්නේ නවගමුවේයි. කැලණි ගඟ අසල නාගස් ගොමුවක පුජාසනයක රන් සළඹ හා පාත්‍රා ධාතුව තැන්පත් කර ඇත.
පසු දින අනුරාධපුරයට යාමට ඒ අසලට ගිය අවස්ථාවේ සුදු නාගයින් හත් දෙනෙකු සළඹ වට කර ගෙන සිටිනු දක්නට ලැබිම නිසා වළගම්බා රජතුමා ඒ පුජාසනය වට කොට නවගමුවේ දේවාලය තැනවු බව කියවෙනවා.
කෙසේ වෙතත් නවගමුව දේවාලය වළගම්බා රජු ගේ නිර්මාණයක් ලෙසයි සැලකෙන්නේ.
අනෙකුත් දේවාල
මේ දේවාල වලට අමතරව තවත් දේවාල කිහිපයක් ප්‍රධාන තන්හි ලා සැලකෙනවා. ඒවා අතරින්, විභීෂණ දෙවියන් උදෙසා කැළණි විහාරස්ථානයේ ඉඳි කර ඇති විභීෂණ දෙවාලයත්, විෂ්ණු දෙවියන් සඳහා වන බෙල්ලන්විල විහාරයේ විෂ්ණු දේවාලයත්, හලාවත මුන්නේශ්වරම් දේවාලයත් ප්‍රධාන තැනක් ගන්නවා. මෙයින් කැලණියේ විභීෂණ දෙවාලය සහ බෙල්ලන්විල විෂ්ණු දේවාලය මෑත කාලයේදී ඉඳි කරන ලද ඒවා උවත්, හලාවත මුන්නේශ්වරම් දේවාලය රාවණා රජ දවසේ සිට පවත එන දේවාලයක් ලෙසටයි සැලකෙන්නේ.
ක්‍රි.ව.1448 දී එවකට ලක්රජය කරවු 6 වන පරාක්‍රමබාහු රජතුමා මුන්නේශ්වරම් දේවාල සංකීර්ණය ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. දේවාල සංකීර්ණය තුල ප්‍රධාන දේවාලය වන මහා විශ්ණු දේවාලයට අමතරව අයියනායක දේවාලයක්, කතරගම දේවාලයක්, මහා භද්‍රකාලි දේවාලයක්, ගණ දේව කෝවිලක්, සහ පත්තිනි දේවාලයක් සහ ශිව ලිංග දේවාලයක්ද අන්තර්ගතයි. අතීතයේ සිටම ලංකාවේ සුප්‍රසිද්ධ දේවාලයක් වන මුන්නේෂ්වරම් දේවාලය, නිරන්තර පුද පුජා කටයුතු සිදු කරන බැවින් මෙහි වු සියලුම ගොඩනැගිලි වරින්වර ප්‍රතිසංස්කරණයන්ට ලක්ව තිබෙනවා. මහා විශ්ණු දේවාලය විමාන සහිත ගලකින් කල පැරණි දේවාල ගෘහය තවමත් හොඳින් ආරක්ෂාවි තිබීම විශේෂ කරුණක්. දේවාල සංකීර්ණයට අයත් දේවාලයන්හි ඇති ප්‍රතිමා සියල්ල ගලින් කල ඉපැරණි ඒවා වන අතර ප්‍රතිමා සියල්ල ඉන්දියාවේ සිට ගෙන එන ලද බව කියවෙනවා.
දේව සංකල්ප, දේව විශ්වාස, අදහලි ක්‍රම කුමක් උවත් අදත් බොහෝ හුදී ජනයා තම ජිවිතයේ ඕනෑම කටයුත්තකදී දෙවියන් අමතක නොකරන බව නොකියාම බැරිය.
ඡායාරූප : flickriver.com, samandevalaya.lk, Mapio.ne, BT Options, SriLankaTravelNotes.com, Lanka Wisdom, Nilneth Sri Lanka, Mapio.net, inforinsrilanka, Lankabhimanee.blogspot.com