Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කලවානේ ගිහින් නොබලන තැන්

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි කලවාන කාලෙක ඉඳන් මැණික්වලට ප්‍රසිද්ධ තරමක් පිටිසර ප්‍රදේශයක්. පැරණි බෙදීම් අනුව මෙය අයත් වන්නේ කුකුළු කෝරළයට. කුකුළු කෝරළයට ඉස්සර කිව්වෙ දික්ගම්පොත කෝරළේ කියලා යි. සිංහරාජ වනය ඇතුළත්ව ගෙදගල කන්ද, නැගිරිකන්ද, මානාන කන්ද, ගලඋඩ කන්ද, තපස්වර කන්ද , ඉළුඹකන්ද, ගවරගිරියේ මානෙල් ගල්ලෙනත් ඇතුළු ඉතා දැකුම්කළු සුවිශේෂි ස්ථාන රාශියක්ම පිහිටා ඇති වනගත ප‍්‍රදේශයක්.

අද නම් කලවාන සංචාරකයන් අතර ප්‍රසිද්ධ සිංහරාජ වනාන්තරය නිසා යි. සිංහරාජය හැරුණුවිට සොබාදහමට සහ අපේ උරුමයට කැමති කවුරුත් දැකබලා විඳගත යුතු තැන් රාශියක් කලවානේ තියෙනවා. නමුත් ඉතින් ඒවා ගැන වැඩිදෙනෙක් දන්නේ නැහැ. ඒ නිසාම ඒවා බලන්න යන්නෙත් නැහැ. අන්න ඒ හින්දයි අපි මේ ලිපිය ලියන්නේ. ඔබත් මේ තැන් බලන්න ගියොත් තේරේවි ඉන් ලබාගත හැකි අත්දැකීම කෙතරම් අපූරුදැයි. ඉතින් ගමන පටන්ගමු.  

කලවාන යන අතර හමුවන ඉංග්‍රීසි කාලෙ හැදූ අහස් බෝක්කුව- කුසුම්සිරි විජයවර්ධන

කොළඹ ඉඳන් අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ හරහා කි. මී. 110ක් දුරින් කලවාන පිහිටා තිබෙනවා. කොළඹ-මතුගම හරහා සාමාන්‍ය දුර කි.මී. 120ක්. මේ මාර්ගයේ යනවිට අහස් බෝක්කුව නම් ඉතා උස් බෝක්කුවක් සහිත පාලමක් අත්වැල්තොට පසුකළ විට හමුවෙනවා. රත්නපුර දෑල හරහාත් ඉංගිරිය අයගම හරහාත් කලවානට එන්න පුළුවන්. මේ සෑම මඟකදීම තේවතු, කඳු බෑවුම්, වනාන්තර හරහා වැටුණූ අපූරු මාර්ගයක ඔබට ගමන් කිරීමට සිදුවෙනවා.

සමන් දේවාලය- කොඩිප්ලිපිකන්ද

සමන් දේවාලය – – කුසුම්සිරි විජයවර්ධන

මතුගම පසුකර කලවාන දෙසට එනවිට, බදුරලියෙන් පසු වනගත පරිසරයක කඳු බෑවුමක පිහිටි මෙම දේවාලය හමුවෙනවා. කලවානට යන කවුරුත් මෙහිදී පඬුරක් දමා සමන් දෙවියන් සිහිපත් කර යාම සිරිතක්. දේවාලය පිහිටා ඇත්තේ සබරගමු පළාත් සීමාවේ. අතීතයේ පටන් මෙහි පඬුරු දමා සමන් දෙවි පිහිට යැදීමේ සිරිත පැවතී තිබෙනවා. එහෙත් පුරාණ නටබුන් නම් මෙහි නැහැ.

කුකුලේගම නෙරවන ගල්ලෙන

40 දශකයේ කැණීම් කළ ලෙන- – කුසුම්සිරි විජයවර්ධන

මේ ලෙන හමුවන්නේ කලවාන-මතුගම පාරේ කි. මී. 7ක් ගමන්කරන විට යි. මහාමාර්ගය අද්දරම කුකුලේගම සුමන ගල්ලෙන් විහාරය යයි සඳහන් දැන්වීම් පුවරුවක් තිබෙනවා. කඳු මුදුනක පිහිටි විහාරයට අවට රමණීය දර්ශනයක් දැකබලා ගැනීමටත් පුළුවන්. එදා මධ්‍යශිලා යුගයේ හෙවත් බලංගොඩ මානවයන් ජීවත් වූ ලෙන්වල පසුකාලයක විහාරයක් ආරම්භ කරලා. මෙහි මුලින්ම කැණීම් කළේ ආචාර්ය පී. ඊ. පී. දැරණියගල 1945 දී. එහිදී ඔහුට පුරාණ මානවයන් ජීවත්වූ බවට සාධක හමුවුණා. ඒ ක්ෂුද්‍ර ශිලා මෙවලම්, අස්ථි ශේෂ ආදිය යි. ඒවායින් සමහරක් රත්නපුර කෞතුකාගාරයේ දී අදත් දැකගත හැකියි.

පර්වතය මත පිහිටි දාගැබ- කුසුම්සිරි විජයවර්ධන

ලෙන්වල තනා ඇති නූතන විහාර නිසා පුරාවිද්‍යා අගය හානියට පත්වෙලා. පර්වතය මත තැනූ දාගැබක් ද මෙහි දැකගත හැකියි. රහතන් වහන්සේලාගේ ප්‍රතිමා රැසක් ද පර්වතය මත ඉදිකර තිබෙනවා.

කුකුළුවා ලෙන් විහාරය

කුකුළුවා ලෙනේ පිහිටීම-   lakdasun.org

වනාන්තරයක් මැද කඳු මුදුනක පිහිටි මේ විහාරය කඳු නැගීමේ අත්දැකීම විඳ ගන්නටත් කදිම තැනක්. විහාරයට පැමිණීමට ප්‍රධාන වශයෙන් මාර්ග තුනක් පවතිනවා. කලවාන සිට පැමිණෙන අයට රජ්ජුරුවත්ත හරහා සමන්පුරට පැමිණ මෙහි ආ හැකිය. මේ මාර්ගය කලවානේ සිටම දුෂ්කර යි. මෝටර් රථයකට නම් ගමන් කිරීමට බැහැ. සමන්පුර සිට අඩි පාරක් ඔස්සේ කන්ද තරණය කළ යුතු වෙනවා. උඩකන්ද හා පිඹුර හරහා ද මෙහි ආ හැකිය. අනෙක් මඟ නිරිඇල්ල වතුයාය පසුකොට පැමිණ නිරිඇලි කන්ද තරණය කර පැමිණීම යි. විහාරයට යන පාර ද ඇළදොළ පසුකරමින් තේවතු සහ වනාන්තර හරහා යන සුන්දර මාර්ගයක්.

නිරිඇලි කඳුවැටිය මුදුනේ කඳු ශිඛරයක මෙම ලෙන් විහාරය පිහිටා තිබෙනවා. මෙහි ප්‍රධාන ලෙන් දෙකක් දැකිය හැකි අතර, විශාල ලෙන විහාරය සඳහාද කුඩා ලෙන දේවාලය සඳහා ද වෙන්වී තිබෙනවා. මෙම විහාරයේ සිට රත්නපුර පොත්ගුල් විහාරය දක්වා උමං මාර්ගයක් වෙතැයි ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.

සඳකඩ පහණක්- lakdasun.org

සොළී ආක්‍රමණ වලින් ආරක්ෂා වීමට වන වැදී සිටි වට්ට ගාමිණී අභය (වලගම්බා) රජු මෙම ලෙන්වල ද තුන් මාසයක් පමණ රැඳී සිටිය බවත්, පසුව විහාරස්ථානයක් බවට පත්කළ බවත් ජනප්‍රවාදයන්වල දැක්වෙනවා. සීතාවක රාජසිංහ රජ සමයේ ගණින්නාන්සේලා සැඟවී සිටි ස්ථානයක් බව තවත් කතාවක සඳහන් වෙනවා. මෙම දෙවන මතය සනාථ වන බව පවසන  පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමියෝ මෙම විහාරයේ ඉතිහාසය සීතාවක යුගයෙන් එහාට නොයන බව සබරගමු දර්ශන පොතේ ප්‍රකාශ කරනවා.

කුකුළුවා විහාරය ගැන නැවත අසන්නට ලැබෙන්නේ 1892 දී මෙහි සැතපෙන පිළිමය සොරුන් විසින් විනාශ කිරීමෙන් පසුවයි. මෙහිදී පිළිමයේ හිසට, පපුවට, උරහිස් වලට වෙඩි තබා විනාශ කළ බව සඳහන්.

මේ කාලය වන විට කුකුළු කෝරළය භාර රටේ මහත්තයා වූ දෙල්වල ලොකුබණ්ඩාර මහතා එවකට කලවාන තිලකරත්නාරාම විහාරාධිපති දැලිවල සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේගේ උපදෙස් පරිදි සැදැහැවතුන්ගේ ආධාරයෙන් කුකුළුවා විහාරය ප්‍රතිසංස්කරණය කරවා තිබෙනවා. නැවත 1934 දී රත්නපුර සද්ධාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් කුඩා ලෙන තුළ දේවාලයක් හා භණ්ඨා කුළුනක් ඉදිකර තිබෙනවා. පෙති පිළිම හා බිතුසිතුවම් මෙම ප්‍රතිසංස්කරණයේ දී ඉදිකළ ඒවා යි. පැරණි නටබුන් දක්නට නැතත් අපූරු අත්දැකීමක් විඳගත හැකි ස්ථානයක් ලෙස කුකුළුවා විහාරය වැදගත්. වෙසක් පොසොන් පෝය දිනවලට විශාල බැතිමතුන් පිරිසක් කුකුළුවා විහාරය වැඳපුදා ගැනීමට පැමිණෙනවා.  

දෙල්ගොඩ ලෙන්

දෙල්ගොඩ ගඟ- කුසුම්සිරි විජයවර්ධන

කලවානේ සිට සිංහරාජ පාරේ හෙවත් වැද්දාගල පාරේ කි. මී. 5ක් ගමන්කළ විට දෙල්ගොඩ ලෙන් විහාරය හමුවෙනවා. දෙල්ගොඩ ගංගාව ගලායන්නේ මේ අසලින්. මහාමාර්ගයේ සිට විහාරයට යාමට පියගැට පෙළක් ද, එයට නුදුරින් මාර්ගයක් ද සකසා තිබෙනවා. මෙහි කටාරම් කෙටූ ලෙනක ප්‍රතිමා මන්දිරය පිහිටා තිබෙනවා. අද දක්නට ලබෙන්නේ මෑත අතීතයේ තැනූ ප්‍රතිමා සහ බිතුසිතුවම්.

ගල්පාත්තිය

ගල් පාත්තියේ ගල්පර්වත- කුසුම්සිරි විජයවර්ධන

දෙල්ගොඩ ගඟේ ශාඛාවක වූ කුඩා ගඟෙන් නිර්මාණය වූ සොබාදහමේ සුන්දරත්වය කියාපාන ස්ථානයක්. කලවානේ සිට වැද්දාගල පාරේ විත් වෙම්බියගොඩ පාරට හැරී ගමන් කර යළිත් වතුරාව පාරේ යනවිට කුඩා ගඟ වනතුරු අතරින් ගයායන අන්දම දැකගන්න පුළුවන්. මෙහි එක් ස්ථානයක වක්‍රාකාර ගල්පර්වත බහුලව  පිහිටා තිබෙනවා.

අවට සුන්දරත්වය- කුසුම්සිරි විජයවර්ධන

ජලයෙහි පාත්තියක් ලෙස ගල්පර්වත පිහිටි නිසා එයට ගල්පාත්තිය කියන නම ලැබිලා. නදිය තැනින් තැන දියඇලි ආකාරයෙන් ගලාබසිනවා. කලවාන ටවුමේ ඉඳන් මෙතැනට කි. මී. 6ක් පමණ දුරයි. ස්නානය සඳහා අපූරු ස්ථානයක්. නමුත් මෙහි සමහර තැන් ගැඹුරු නිසා නෑමේ දී පරිස්සම් විය යුතුයි.  

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

කුකුළු කෝරළේ ජනප්‍රවාද- කලවානේ ජයසේකර

සබරගමු වංශය- සබරගමුව පළාත් සභාව

Cover- Miles To The Wild

Related Articles