Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවෙන් සැඟවුණු ග්‍රීන්ලන්තයේ ස්වභාවික අසිරිය

ග්‍රීන්ලන්තය ගැන මතකයට නගන්න කියන විට අපි බොහෝ දෙනාගේ මතකයට නැඟෙන්නේ අයිස් වලින් වැසුණු බිමක්. ලෝම කබා ඇඳ ගත්ත එස්කිමෝ වරුන් ඊග්ලූ හදන ආකාරය. නමුත් ඇත්තෙන්ම ග්‍රීන්ලන්තයටත් කෙටි කාලීනව ග්‍රීෂ්මයක් ලබන්න වාසනාව තියෙනවා. එහි ඇති කෙටි කාලීන බව නිසා බොහෝ දෙනා ග්‍රීන්ලන්තයේ ස්වභාවික සුන්දරත්වය අමතක කරනවා. බැලූ බැලූ අත සුදුම සුදු පාට දීර්ඝ කාලීන ශිශිරයට වඩා සීතලට තමන්ගෙ ශරීරයේ දවටගෙන ඉන්න හිම සළුව ග්‍රීන්ලන්ත කුමරිය විසින් උණා දාන මාස දෙක තුනක කෙටි කාලයේදි ඇයගේ පරිසරයේ තියෙන අමුතුම ලස්සන පේන්න ගන්නවා. මේ ලිපිය ඒ ගැනයි.

සාමාන්‍යයෙන් ග්‍රීන්ලන්තයේ ග්‍රීෂ්ම ඍතුව මාස 2-3 කට සීමා වෙනවා. එය ජුනි මාසයෙන් පටන් ගෙන අගෝස්තු මාසයේ අවසන් වෙනවා. ආක්ටික් වෘත්තයේ පිහිටා ඇති නිසා දිනකට පැය 20කට වැඩි හිරු එළියත් සෞම්‍ය, සෙල්සියස් අංශක 10ත් 15ත් අතර උෂ්ණත්වයත් මේ කාලයේදී මෙහි සංචාරය කරන්නෙක්ට විඳගන්නට ලැබෙන විශේෂ අත්දැකීම්.

මධ්‍යම රාත්‍රී හිරු

මධ්‍යම රාත්‍රී හිරු දැකගත හැකි වෙන්නේ ආක්ටික් වෘත්තයේ උතුරට වන්නටයි. එය ප්‍රදේශය අනුව එක දිනක සිට මාස පහක් දක්වා වන්නට හැකියි. සරලවම කියනවානම් මෙම කාලයේදී හිරු බැස යාමක් සිදු වෙන්නේ නෑ. මධ්‍යම ග්‍රීන්ලන්තයේ දී මැයි මස අවසානයේ සිට ජූලි මස අවසානය වනතුරු හිරු බැස යන්නේ නෑ. මේ කාලය තුලදී ඉතා සෞම්‍ය ලෙසින් අහසේ පහළ තැනක සිට ආනතව වැටෙන හිරු එළිය අයිස් කඳු, පාවෙන අයිස් කුට්ටි මත වැදී මවන්නේ පාරාදීසයක චමත්කාරයක්.

අනුයාත දින වල මධ්‍යම රාත්‍රී හිරුගේ පිහිටීම (alexfinds.com)

මේ ක්‍රියාදාමයට හේතුව පෘථිවි අක්ෂයේ ඇති ආනතියයි. පෘථිවිය කක්ෂය වටා වාර්ෂිකව භ්‍රමණය වන විට ක්‍රමිකව හිරු දෙසට එල්ල වී ඇති ප්‍රදේශ මේ නිසා වෙනස් වෙනවා. නිරක්ෂයෙන් උතුරට හෝ දකුණට යන්නට යන්නට ග්‍රීෂ්මයේ හා ශිශිරයේ දිවා කාලයේ වෙනස එන්න එන්න ම වැඩි වී ආක්ටික් හෝ ඇන්ටාක්ටික් වෘත්ත වල උතුරු පෙදෙසේදී ග්‍රීෂ්මයේ පය 24 ම හිරු උදා වී පවතින කාලත් ඉන් ප්‍රතිවිරුද්ධ කාලත් (ශිශිරයේ දී) උදා වෙනවා. ග්‍රීන්ලතෙයේ උතුරෙන්ම පිහිටා අතික්වනාක් නගරෙයේදී වැඩිම කාලයක් මධ්‍යම රාත්‍රී හිරු නරඹන්න්ට හැකියි.

සත්ත්ව ප්‍රජාව

ග්‍රීන්ලන්තය සතුව ඉතාම විශේෂිත සත්ත්ව ප්‍රජාවක් පවතිනවා. ගොඩබිමේ මෙන්ම දියෙත් ව්‍යාප්ත වෙලා ඉන්න මොවුන් සියල්ලම ධ්‍රැවාසන්න දේශගුණයට හුරු වෙලා තියෙනවා. මොවුන්ව වැඩිපුරම නිරීක්ෂණය කරන්න හැකි වෙන්නේ ග්‍රීෂ්මයේදී.

හිම වලසා ග්‍රීන්ලන්තයේ ජාතික සංකේතයක් (expeditionsalaska.com)

හිම වලසා ග්‍රීන්ලන්ත ගොඩබිමේ දකින්නට ලැබෙන විශාලම විලෝපිකයායි. කොටින්ම ග්‍රීන්ලන්ත රාජ්‍ය ලාංඡනයේ පවා මෙම සත්ත්වයා අන්තර්ගත කර තිබෙනවා. මීට අමතරව මස්ක් ගවයන්ද, මුහුදු සිංහයන් වැනි වෝල් රූස් සත්ත්වයන් හා තල්මසුන්ද තවත් සුලභව දකින්නට හැකි ක්ෂීරපායින්. මීට අමතරව පිණි මුවන්, කඳුකර හාවුන්, ආක්ටික් නරින්, වෘකයන් වැනි සතුන්ද මෙහි වෙසෙනවා. සුදු වල්ගය සහිත උකුස්සා වැනි කුරුල්ලන් වර්ග 60 කට පමණද ග්‍රීන්ලන්තය තෝතැන්නක්.

වෝල්රස් සත්ත්වයින් (andreasdeja.blogspot.com)

ගස් වැල්

ග්‍රීන්ලන්තය ග්‍රීෂ්මයේදී බොහෝ දෙනා හිතනවාට වඩා කොළ පැහැයෙන් බබලනවා. හාත්පස විචිත්‍ර වර්ණ වලින් යුක්ත මල්, පැළෑටි, පාසි වලින් පිරී ඉතිරී යනවා. ඕකිඩ් වර්ග 5ක් ග්‍රීන්ලන්තයේ වැවෙනවා. ග්‍රීන්ලන්තයෙ සමහර තැන් වල කුඩා ගස් පවා වැවෙනවා. විවිධ මල් පූදින ගස්, වැල්, පැළෑටි වර්ග 500 ක් පමණ ග්‍රීන්ලන්තය සතුයි. ග්‍රීන්ලන්තයේ ජාතික පුෂ්පය Niviarsiaq මලත්, broad-leaf fireweed නැමති මලත්, බ්ලූ බෙල් මලත් ග්‍රීෂ්මයේදී හැම තැනකම දැකිය හැකියි. පලතුරු ගැන කතා කිරීමේදී ග්‍රීන්ලන්තය බ්ලූබෙරි, කව්බෙරි, බ්ලැක්බෙරි වලින් පොහොසත්. මේවා බොහෝ ග්‍රීන්ලන්ත කෑම වට්ටෝරු වල අන්තර්ගත වෙනවා.

Niviarsiaq, ග්‍රීන්ලන්තයේ ජාතික පුෂ්පය (sites.google.com)

ග්‍රීන්ලන්ත බෙරි වර්ග (avidcruiser.com)

ග්‍රීන්ලන්ත උණුදිය උල්පත්

ඌනර්ටොක් දූපතේ පිහිටා ඇති උණුදිය උල්පත් සෙල්සියස් අංශක 38ක් තරම් අගයක් ගන්නවා. ඉතින් ග්‍රීන්ලන්තයේ සංචාරයක යන කෙනෙක්ට උස්, හිමෙන් වැසුණු කඳු මුදුන් හා පාවෙන අයිස් කුට්ටි දකිමින් මඳ උණු ජලයේ බැස සිටින චමත්කාර අත්දැකීම විඳගන්නට පුළුවන්.

මඳ රස්නයෙන් යුතු ජලය නාමින් අයිස් කුට්ටි පාවෙනු නැරඹීම පුදුමාකාර අත්දැකීමක් (pinterest.com)

මීට අමතරව ග්‍රීන්ලන්තයේ තැන තැන උණුදිය උල්පත් විසිරී තිබෙනවා. සමහර ඒවායේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50-60 පමණ වෙනවා. මේවා ශ්‍රී ලංකාවේ කින්නියා හා මහ ඔයෙහි පිහිටා ඇති උණු දිය උල්පත් වලට සමානයි. ඒවා ඇති වන්නේ පෘථිවි කබොලේ අභ්‍යන්තරික ඝට්ටන නිසා යැයි විශ්වාස කරනවා.

ග්ලැසියර

නෙතට ප්‍රිය ග්ලැසියරයක් (justviral.eu)

ග්‍රීන්ලන්තය සතු ග්ලැසියර වලින් බහුතරයක් ඉතා සෙමින් ගලා යන අයිස් වලින් වැසුණු ගංගා වන අතර ඒවායේ ආරම්භය සිදු වන්නේ මධ්‍යම අයිස් ස්ථරයෙනි. ග්ලැසියර තවත් දිය වූ පසු ගංගා මත පාවෙන අයිස් කුට්ටි බවට පත් වේ. මේ ග්ලැසියර වල අඛණ්ඩතාවය පවතින්නේ රටේ මධ්‍යම කොටසේ ඇති අයිස් තට්ටු මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බල නිසා ඒවා පහළට තල්ලු වීමෙනුයි. මේවා ගලා යන්නේ ඉතාම සෙමින්. විවිධ කාලගුණ තත්ත්ව යටතේ මේවා දිය වී ගංගා මෙන් ගලා යන්නටද සම්පූර්ණයෙන් මිදීමට ලක් වී තාවකාලිකව නවතින්නටද හැකියි. වර්ථමාන කාලගුණික විපර්යාස නිසා ග්ලැසියර වලට අත් වී ඇත්තේ හොඳ දසාවක්නම් නොවෙයි. ග්‍රීෂ්මයේදී මේවායේ ක්‍රියාකාරීත්වය වේගවත්.

ග්‍රීන්ලන්ත ජාතික උද්‍යානය

බොහෝ දෙනෙක් නොදන්නා නමුත් ලොව විශාලතම ජාතික උද්‍යානය අයත් වෙන්නේ ග්‍රීන්ලන්තයටයි .මෙහි ඇති ස්වභාව සෞන්දර්යය ලොව වෙනත් කිසිම තැනකින් විඳගන්නට නොහැකි තරමේ එකක්. අයිස් වලින් වැසුණු කඳු මුදුන්, සීතල සුළඟ සමඟ ලාවට වැවුණු තණ පිට්ටනි ග්‍රීෂ්ම කාලයේදී මවන්නේ දිව්‍යමය චමත්කාරයක්. මෙය පිහිටා ඇත්තේ  ග්‍රීන්ලන්තයේ ඊසාන දිගට වන්නට. නමුත් මෙහි ඇති විශාලත්වය හා ලඟාවීමේ අපහසුතා නිසා බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය නැහැ.

ග්‍රීන්ලන්ත ජාතික උද්‍යානය ශ්‍රී ලංකාව මෙන් 15 ගුණයක් විශාලයි (greenland-travel.com)

පාවෙන අයිස් කුට්ටි

මුහුදේ පාවෙන අයිස් කුට්ටි හෙවත් අයිස්බර්ග් වලට උපත දෙන්නේ ග්ලැසියර. අඩි දෙතුන් සීයක් පමණ උසින් යුතු අයිස්බර්ග් මෙන්ම කුඩා ප්‍රමාණ වල ඒවාද ග්‍රීන්ලන්තය තදාසන්න මුහුද සතුයි. මේවාගේ මුහුදෙන් ඉලිප්පී ඇත්තේ 1/8 ක් පමණ කොටසක්. විවිධ හැඩයෙන් සෑදෙන මේවා සමහරක් මැදින් ගමන් කල හැකි කුහර වලින්ද යුක්තයි. මේ අයිස් කුට්ටි ආක්ටික් වෘත්තයේ දියවැල් වල බලපෑම නිසා මුහුදේ ඔබ මොබ පාවෙනවා. සමහර ඒවා කිලෝමීටර් 4000ක් පමණ පාවී උතුරු අක්ෂාංශ 40 ට වඩා සමකාසන්නයට පැමිණ දිය වෙනවා. මේවා ග්‍රීන්ලන්තය අවට පරිසරයට දෙන්නේ ඉතාම විසිතුරු බවක්.

(සමහර අයිස් බර්ග් ඉතාම විශාලයි -www.hurtigruten.com)

අවුරෝරා

මෙය ග්‍රීන්ලන්ත ග්‍රීෂ්මයට ඒ තරම් අදාල නැති නමුත් ග්‍රීන්ලන්තය ගැන කතා කරන විට නම් අමතක කරන්නම බැරි දෙයක්. මෙය උතුරුකුරු ආලෝකය ලෙසද හඳුන්වනවා. අවුරෝරාව ග්‍රීෂ්මයේ බොහෝ කොටම දැකිය නොහැකි අතර සරත් සමයේදී හා ශිශිරයේදී දීප්තිමත් ලුමිනස් කොළ පැහැ ආලෝක කදම්භ ලෙස දැකගන්න පුළුවන්. මෙය සිදු වන්නේ උත්තර ධ්‍රැවය අසලදී එක් රැස් වන උද්දීපනය වූ ඉලෙක්ට්‍රෝන කදම්භ පෘථිවි චුම්භක ක්ෂේත්‍රය ඔස්සේ ගමන් කරද්දී වායු අණු සමඟ ගැටීම නිසායි. ග්‍රීන්ලන්තයට සංචාරය කරන්නෙක්ට දක්නට ලැබෙන මනස්කාන්ත දර්ශනයක් ලෙස මෙය හැඳින්විය හැකියි.

ග්‍රීන්ලන්තයට දර්ශනය වුනු මනස්කාන්ත අවුරෝරාවක් (travel.nationalgeographic.com)

ඝර්ම කලාපීය ශ්‍රී ලංකාව වැනි රටක ජීවත් වන්නෙක්ට එක වරක් හෝ ග්‍රීන්ලන්තයට සංචාරය කළ හැකිනම් ඔහුට හෝ ඇයට එය ජීවිත කාලයටම අමතක නොවෙන අත්දැකීමක් වනු නොඅනුමානයි.

කවරයේ පින්තූරය: greenland.com

මූලාශ්‍ර

  1. greenland.com
  2. greenland-travel.com

Related Articles