Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉපැරණි නයින්දනාව පුදබිම

“නයින්දනාව” යන නාමයම ඔබට නුපුරුදු වන්නට ඇත.  නයින්දනාව යන්න විහාරය පිහිටි භුමියේ ව්‍යවහාර නාමය යි. මෙහි ලෙන් විහාර තුනකි. මාර පරාජය සිතුවම් කර ඇති ලෙනක්, පෙන හතක් (7) ඇති සුවිශේෂී නාග රූපයක් සහිත ලෙනක්, දොළොස් රියන් ඔත් පිළිමයක් මෙන්ම විෂ්ණු හා සමන් දෙවියන්ගේ රූප ද ඇති මෙය ඉපැරණි පුද බිමකි.

නයින්දනාවට ළඟා වීම

ඉබ්බාගමුව – පොල්පිතිගම මාර්ගයේ එගඩෝගම හන්දියෙන් හැරී හක්වටුනා ඔය ව්‍යාපාරයට යන මාර්ගයේ සැතපුම් 3 ක් පමණ ගොස් රාවා ඇළ අසලින් වැටී ඇති පටු පාර දිගේ ද තවත් සැතපුම් එක හමාරක (1 ½ ) ක පමණ දුරක් ගිය පසු මේ ස්ථානය හමු වේ.

නයින්දනාව පුද බිම

මේ ගම හඳුනා ගන්නේ මාඑළිය ගම ලෙස යි. “අගාර” මේ විහාරය අයත් නින්දගම ලෙස සැළකෙයි.  1950 වර්ෂය පමණ වන තෙක්ම බිහිසුණු ඝන වනාන්තර මේ ප්‍රදේශය වැසී තිබුණත් පසුව ජනාකීර්ණ වීමෙන් අනතුරුව පුද බිම ද එළි පෙහෙළි වී ඇති බවක් පෙනේ.

මෙය තරමක් විශාල ගල් කුළු කිහිපයකින් යුක්ත කඳු ගැටයක්. ලෙන් පිහිටියත් මෙහි විශාල කඳු දැකගත හැකි වන්නේ නැහැ. කෙසේ වුව ද පුරාවස්තු ශේෂයන් තවමත් මෙහි දැකගත හැකියි.

නයින්දනාව පුද බිමට ඇතුළු වන විටම හමුවන්නේ පැරණි ස්ථූපය යි. මේ හැර වෙනත් කිසිදු ලකුණක් මෙහි ඉතිරි වී ඇති බවක් නොපෙනේ. තැන තැන විසිරි පවතින ගඩොල් එහි පෞරාණිකභාවය හඟවයි. කෙසේ වුව ද මේ ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමේ දී සර්වඥ ධාතුන් වහන්සේලා 17 නමක් ද, රන් කඩුවක් ද හමු වී ඇති බවයි පැවසෙන්නේ.

නයින්දනාව පුදබිමේ ලෙන්

නයින්දනාව විහාරය ඇත්තේ ද ලෙනක් තුළ ය. තරමක් විශාල වන මේ ලෙන ඉදිරියෙන් බිත්ති බැඳ වහලක් ද සවි කරන ලද්දක්. අට රියන් ඔත් පිළිමයක් ද මෙහි දැකගත හැකියි. ඉදිරිපස බිත්තියේ ඉහළ කොටසේ ආරාධනා ගල, මිහින්තලය, අන්භස්තය, ශෛල චෛත්‍යය, භායාගිරිය, ජේතවනාරාමය, දීඝවාපි චෛත්‍යය, ජය ශ්‍රී මහා බෝධිය, තිස්සමහාරාමය, මුතියංගනය, මහියංගනය, සෝමාවතිය, ථුපාරාමය, මිරිසවැටිය යන ස්ථාන සිතුවමට නඟා තිබේ. එහි පහළ කොටසේ දේවතා රූප 9 කි.

pinterest.com

මෙයට උතුරින් ද තවත් ලෙනකි. බිත්ති බැඳ ඉදිරියට පියස්සක් සාදා ඇති මෙය අනෙක් විහාර දෙකටම වඩා විශාල යි. දොළොස් රියනක් උස ඔත් පිළිමයක් මෙහි අඹා තිබෙනු දැකගත හැකියි. මෙහි සිරස පැත්තට වන්නට හිඳී පිළිමයක් සහ හිටි පිළිමයක් ද, සිරිපා යුගලය පැත්තට වන්නට හිටි පිළිම යුගලයක් ද අඹා තිබෙන අතර ඒවා මැටි වලින් සකස් කර ඇති බවක් ය, පෙනී යන්නේ. මාර පරාජය සිතුවම් කර ඇත්තේ මෙහි වන අතර ලෙන් වහලේ එය දැක ගත හැකි යි. ඉදිරිපස බිත්තියේ දම්සක් දෙසුම හා සූවිසි විවරණය සිතුවම් කර තිබෙනු ද දැකගත හැකියි. ඉදිරි දොරටුවේ මකර තොරණ අඹා ඇත. ඔත් පිළිමයේ සිරස පැත්තට වන්නට විෂ්ණු සමන් දේව රූප අඹා ඇත.

තවත් සුවිශේෂී ලෙනක් මෙහි වේ. මෙය ද බිත්ති බැඳ පිය ගැට පෙළක් සහිතව නිර්මාණය කර තිබේ. දොරටුවේ තිබුණු මුරගලක් යැයි සැළකෙන ශෛලමය ප්‍රතිමාවක් තවමත් දැකගත හැකියි. මෙය විනාශ වී ගොස් ඇති අතර හිස, මුහුණ, උදරය, කැඩී පතුරු ගැලවී ගොස් ය.

මේ ලෙනෙහි වම් කෙළවරේ විශේෂ නාග රූපයක් අඹා තිබෙනු දැකගත හැකියි. අඟල් 6 ක් පමණ උන්නත වන සේ මතුකර දක්වා තිබෙන මෙය විචිත්‍රවත් ය. නාගයාට පෙන හතකි. වෙනත් නාග රූපවලට වඩා මෙහි විශේෂ අදහසක් ගැබ් වන බවයි විචාරකයන් පවසන්නේ.

pinterest.com

මේ අසළ ඇති පොකුණ ද අතිශයින් පැරණි ය. අතීතයේ මේ ස්ථානයේ නාග වන්දනාව පැවතෙන්නට ඇති බව යි විචාරකයන්ගේ මතය.

කුඩා ලෙනක් ද මේ පරිශ්‍රයේ තිබෙනු දැකගත හැකියි. මෙහි බිත්ති බැඳ නොමැති අතර බිම් මට්ටමේ සිට අඩි 1 යි අඟල් 2 ක් උස ආසනයක් මැටියෙන් තනා තිබෙනු දැකගත හැකියි. චතුරශ්‍ර ශෛලමය ඵලකයක් ද මේ මත තිබෙන අතර එය සායම් කර ඇති බවක් පෙනේ. ආසන බැම්මේ අසළ ලෙනේ ඇති සෙල්ලිපියේ අකුරු ලියා ඇත්තේ කිසියම් සායම් වර්ගයක් භාවිතා කරමිනි. ඒ ඉදිරියෙන් වාක්‍යයක් ලියා ඇති බවක් පෙනුනත් ඒවා මේ වන විට මැකී යමින් පවතී.

නයින්දනාව විහාරයේ ඉතිහාසය

මෙහි ඉතිහාසය පොදු වර්ෂ ක්‍රමය ආරම්භ වීමටත් පෙර කාලය, එනම් ක්‍රිස්තු පූර්ව දෙවැනි ශතකය දක්වා දිව යයි. ප්‍රමුඛ මහා තිස්සගේ පුත්‍ර චූල අයිමර විසින් මෙහි සංඝාවාස ලෙන කරවා මහ සඟ රුවනට පුජා කර ඇති බවයි සැළකෙන්නේ.

pinterest.com

එක් ලෙනක ඇති මාර පරාජය සිතුවම පොළොන්නරු යුගයට දිව යන්නක්. දම්සක් දෙසුම සිතුවම අයත් වන්නේ මහනුවර යුගයට යි. එක් ලෙන් විහාරයක සිදු කර ඇති කර්මාන්ත ඉංග්‍රීසි යුගයට අයත් ඒවා යි.

දාසෙත් කැලි රජු මහහෙලි වැව කරවූ බව පූජාවලිය දක්වයි. මහහෙලි වැව කරවුයේ පළමුවන විජයබාහු රජු බව මහාවංසය දක්වයි. ඒවායේ කෙසේ සටහන් වුවත්, මෙයින් පැහැදිලි වන්නේ මේ නයින්දනාව පුද බිම පිහිටි මාඑළිය ගම ඒ රජ දරුවන්ගේ නිබඳ අවධානයට ලක්ව ඇති  බවයි.

සාම්ප්‍රදායිකව ජනප්‍රිය පුදබිම් වෙනුවට සැඟවී ගිය පුද බිම් දැක බලා ගැනීමට කැමති කා හටත් නයින්දනාව අපූරු අත්දැකීමක් වනු ඇත.

කවරයේ රූපය :  greenhearttravel.org

මුලාශ්‍ර :

https://www.online.buddhistcc.com

Related Articles