බොහෝ කාලෙකට ඉස්සර සුද්දන්ගේ වෙඩි හඩ ගිගුම් දුන් දඩබිමක් මෑතකදී යුනෙස්කෝ පාරිසරික ලෝක උරුමයක් බවට පත් වුණා. ඒ තමයි හෝටන් තැනිතලාව. කොළඹ සිට ඒ වෙත දුර කි. මී. 188ක්. කඳුකරයේ පාරාදීසය කියලා කියන ලංකාවේ තියෙන විශාලතම කඳුකර තැනිතලාව තමයි හෝටන් තැන්න. මහඑළිය කියන්නේ ඒකට කියපු සිංහල නම. හැබැයි මේ නම නම් දැන් භාවිතයෙන් ඉවන් වී ඇති බවයි පේන්නේ. නුවරඑළියේ ඉඳන් ලංකාවේ උසම දුම්රිය ස්ථානය පිහිටි පට්ටිපොල හරහා හෝ ඔහිය හරහා මේ තැනිතලාවට ළඟාවීමට මාර්ග පහසුකම් තිබෙනවා. තරුණයන්ට නම් දුම්රිය ගමන චඩාත් විනෝදජනක බව නිසැකයි.
රාත්‍රී 8.35 බදුල්ල තැපැල් දුම්රියේ ගිහින් පාන්දර පට්ටිපොළින් හෝ ඔහියෙන් බැස ඉතිරි දුර (කි. මී. 9) පයින් යන්නත් පුලුවන්. නැත්නම් ත්‍රිවීල් එකක් හොයාගෙන යන්නත් ඉඩ තිබෙනවා. ඔහිය බිංගෙය අසල සිට වනය මැදින් මේ තැනිතලාවට වැටුණූ කෙටි පාරකුත් තිබෙනවා.
ඔබ පයින් ගියත් තැනිතලාවට පිවිසුණු විට එහි සුන්දර වටපිටාව වගේම සීත දේශගුණය ඔබේ විඩාව නම් දුරුකරන බව නිසැකයි. ඔබ මේ ගමන යන්නේ නම් සීතලට අඳින ඇඳුම් අනිවාර්යයයෙන් රැගෙන යායුතු වෙනවා.
ඉතිහාසය
1833 දී පමණ ඉංග්‍රීසි ජාතික කපිතාන් විලියම් පිෂර්, කර්නල් ඇල්බට් වොට්සන් යන දෙදෙනා විසින් පිදුරුතලාගල මුදුනේදී මුලින්ම හෝටන් තැන්න දැක එය සොයා ගමන් කර තිබෙනවා. මෙයට හෝටන් තැන්න යන නාමය ලැබී ඇත්තේ ඒ කාලේ සිටි රොබට් හෝර්ටන් ආණ්ඩුකාරවරයා මෙහි සංචාරය කළ පසුවයි. පසුව මෙය සුද්දන්ගේ ගෝනුන් දඩයම් කරන බිමක් වශයෙන් ජනප්‍රිය වුණා. එංගලන්තයට සමාන දේශගුණයක් මෙහි පැවතීම නිසා මෙම බිම්කඩට ඔවුන් ඉතා ප්‍රිය කළා.
පාරිසරික වැදගත්කම නිසා 1969 දී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කළ මේ බිම්කඩ 1988 දී ජාතික වනෝද්‍යානයක් බවට පත් කළා. මෙහි පිහිටි ලෝකාන්තය සංචාරකයන් අතර ඉතා ජනප්‍රියයි.
අප රටේ වසර 6000කට ඉහතදී මුලින්ම වී ධාන්‍ය වගාකළ භූමියක් වශයෙන්ද මේ තැනිතලාව වැදගත්. මෙහි කරන ලද පුරාවිද්‍යා ගවේෂණ වලදී ප්රාග් ඓතිහාසික බලංගොඩ මානවයන් භාවිත කළ ගල් මෙවලම් ද හමුවී තිබෙනවා.
පිහිටීම
ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ වැඩිම උසකින් පිහිටි එකම ජාතික වනෝද්‍යානය වන හෝටන් තැන්න මුහුදු මට්ටමේ සිට මීටර් 1200-2300 පමණ උසකින් පැතිර තිබෙනවා. එහි විශාලත්වය හෙක්ටයාර 3160 ක්. මෙහි කඳුකර තණබිම් හා කඳුකර කුරු වනාන්තර දැකගත හැකියි. තැනිතලාව වටා පිහිටා තිබෙන්නේ ලංකාවේ දෙවැනියට උසම කන්ද වන කිරිගල්පොත්ත (උස මීටර 2388), තෙවැනියට උස කන්ද වන තොටුපොළ (උස මීටර 2357) සහ අග්රාබෝපත් යන කඳුවැටියි. අවශ්‍ය නම් කිරිගල්පොත්තට සහ තොටුපොළ කන්දට පිවිසීමේ අවස්ථාවද නරඹන්නන්ට ලැබෙනවා.
මහවැලි ගංගාව සහ වලවේ නදිය ආරම්භ වන්නේ හෝටන් තැනිතලාවේ කඳු බෑවුම්වලිනුයි. ඒ නිසා මෙය ඉතා වැදගත් ජල පෝෂක ප්‍රදේශයක් ලෙස සැලකෙනවා. තොටුපොළ කන්දෙන් උපත ලබන වලවේ ගඟේ මුල් අවස්ථාව වන බෙලිහුල් ඔය මෙහි සුන්දරත්වය වැඩි කරනවා.
ලෝක උරුමය
මෙම තැනිතලාවේ පාරිසරික වැදගත්කම නිසා 2010 දී හෝටන් තැනිතලාව, සමනල අඩවිය හා දුම්බර කඳුවැටිය එක්ව ගෙන යුනෙස්කෝ ලෝක උරුමයක් වශයෙන් නම් කෙරුණා. ඊට පසු මෙම පරිසර පද්ධතියට ජාත්‍යන්තර අවධානය වැඩියෙන් ලැබෙනවා.
ආවේණික විශේෂ වැඩියි
පර්යේෂණවලට අනුව මෙහි ශාක විශේෂ 101 ක් පමණ සොයාගෙන ඇති අතර ඉන් 49 ක්ම ශ්‍රී ලංකාවට ආවේණිකයි. බහුතරයක් හෝටන් තැන්නට පමණක් ආවේණික ඒවා වීම විශේෂ වූවක්. මෙහි පක්ෂි විශේෂ 98 ක් ද ක්ෂීරපායි විශේෂ 14 ක්, උභයජීවී විශේෂ 16-20 ක් පමණ ද, සමනල විශේෂ 40 ක් ද හඳුනාගෙන තිබෙනවා. පක්ෂි විශේෂ අතරින් 12ක් ආවේණිකයි. ඒ අතරින් කැහිබෙල්ලා, ලංකා මල් කුරුල්ලා, අඳුරුනිල් මැසිමරා සුලබයි. අරංගයා නම් දුලබ පක්ෂියා ද මෙහි ජීවත්වුණත් දැකගැනීම නම් ලේසි නැහැ.
මෙය ගෝනුන් පහසුවෙන් දැකගත හැකි භුමියක්. සවස් කාලයට තණබිම්වල ඇවිදින විශාල ගෝන රංචු දැකගැනීමට පුලුවන්. ඒ වගේම හීලෑවුණු ගෝනුන් කිහිපදෙනෙක්ද ඔබ කෑම දෙන තෙක් බලා සිටිනවා. ශ්‍රී ලංකා කොටියා මෙහි ජීවත්වුවත් දැකගැනීම නම් අසීරුයි. ලංකා කළු වඳුරා, කඳුකර ලේනා, හාවා ඇතුළු ක්ෂීරපායීන් මෙහි ජීවත් වෙනවා. ඉතා දුලබ අංකටුස්සා ද මෙහි දී දැකගැනීමට ලැබෙනවා.
ලේ රත් පැහැති පුෂ්ප පිරි මහරත්මල් තැනිතලාව අලංකර කරනවා. කුරු උණ, හීන් බෝවිටියා, නිල් බිනර, සීතා පේර, වල් ස්ට්‍රෝබෙරි, දඹ, කීන, ඇත්හොඩ ඇතුළු ශාක වර්ග රාශියක් දැකගත හැකියි.
ලෝකාන්ත දෙකයි
සෘජු බෑවුමක කොණක සිට පහළ සෙබා සෞන්දර්යය නැරඹීමේ ත්‍රාසය මේ ස්ථානවලින් විඳගන්න පුලුවන්. මේ වූ කලී හෝටන් තැන්නේ දකුණු සීමාවේ පිහිටා ඇති දැඩි අගාධ සහිත මුදුන් දෙකක්. කුඩා ලෝකාන්තය මුදුනේ සිට පහත ප්රපාතය මීටර් 274ක් වෙනවා. එහි සිට කි. මී. බාගයක් දුරින් පිහිටි මහ ලෝකාන්තය මුදුනේ සිට ප්රපාතය මීටර් 884ක්.
වනජීවී කාර්යාලය අසලින් මහ ලෝකාන්තය සහ කුඩා ලෝකාන්තය වෙතට යන මාර්ග වැටී තිබෙනවා. එහි සිට මහා ලෝකාන්තයට කි. මී. හතරමහාරක් දුරයි. මේවා වෙත අඩි පාරක් ඔස්සේ ගමන් කළ යුතුයි. දැන් ලෝකාන්ත පිහිටි ස්ථාන සුරක්ෂිතව නැරඹිමට පහසුවන ලෙස නැරඹුම් වේදිකා ඉදිකර තිබෙනවා. පහළ ඇති තේ වතු හා ගිනිපෙට්ටි ප්‍රමාණයට පේන එහි කර්මාන්තශාලා දකින්න පුළුවන්. ඈතින් බලංගොඩ පිහිටි සමනල වැව ජලාශයත් පේනවා.
බේකර්ගේ ඇල්ල
තැනිතලාවේදී හමුවන අලංකාර දියදහරක් වන මෙය බෙලිහුල්ඔයේ ඉහළින්ම පිහිටි ඇල්ලයි. එහි උස මීටර 22ක්. මෙහි ජලය අධික සීතලයි. ඒ නිසා දියනෑම නම් අනතුරුදායකයි. මේ ඇල්ලට 1847 සිට 1855 දක්වා ලංකාවේ සිටි සර් සැමුවෙල් බේකර් සිහිවීමට ඔහුගේ නම ලබාදී තිබෙන්නේ ඉංග්‍රීසින් විසින්. දිය ඇල්ලට ගමන් කරන්න තියෙන සාමාන්‍ය මාර්ගය නම් ගොඩක්ම දුෂ්කරයි. ඒ නිසා විකල්ප මාර්ගයක් හා ඡායාරූප ගැනීමට වේදිකාවක් සකස් කරල තියෙනවා. ගමන ආරම්භයේ ඉඳල මේ ඇල්ල ගාවට කිලෝමීටර 3ක් විතර තියෙනවා. කුඩා ලෝකාන්තය නරඹා ඊට පසු මේ දියඇල්ල වෙතට ළඟාවීම පහසුයි.
නවාතැන් ගන්නවාද?
හෝර්ටන්තැන්නේ සංචාරක නිවාස දෙකක් සහ පොදු වන නිවහනක් තිබෙනවා. කඳවුරු බිම් කිහිපයකුත් තිබෙනවා. ඒවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙන්කර ගත යුතුයි. සීත තැනිතලාවක රැයක් ගතකිරීම අපූරු අත්දැකීමක් බව ඔබ දන්නවනේ. සංචාරක නිවාසවලට අමතරව ආපන ශාලා, තොරතුරු මධ්‍යස්ථාන, වාහන අංගයනයන්ද තිබෙනවා. වැසිකිළි, විවේක ස්ථාන, සැමරුම් අලෙවි සල්, නිරීක්ෂණ ස්ථාන මෙන්ම පුස්තකාල පහසුකම්ද සපයා තිබෙනවා. නොවැම්බර් පෙබරවාරි දක්වා අධික ශීතලක් මෙහි පවතිනවා. සංචාරය කිරීමට හොඳම කාලය වශයෙන් සැලකෙන්නේ මාර්තු- අප්‍රේල් කාලයයි.
දේදුනු ට්‍රවුට්
13 බෙලිහුල්ඔය- Wikipedia.org
තැනිතලාව මැදින් ගලායන බෙලිහුල්ඔයේ දක්නට ලැබෙන විදේශීය මත්ස්‍ය විශේෂයක් දේදුනු ට්‍රවුට්. මාළු බිලී බෑම සහ දඩයම විනෝදාංශය කරගෙන සිටි බි්රතාන්යයන් එම මාළු විශේෂය මෙහි බෝකර තිබෙනවා. ඊට අමතරව දුඹුරු ට්රව්ට් මාළු විශේෂය හෝටන්තැන්න සහ නුවරඑළිය ආශ්රිත ජල පහරවලට මුදාහැර බෝවීමට ඉඩ සලසා තිබෙනවා. ට්රව්ට් මාළු බිලීබෑමට මෑතක් වනතුරු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව බලපත්‍ර නිකුත් කළ නමුත් අධිකව මසුන් ඇල්ලීම නිසා දැනට අත්හිටුවා තිබෙනවා.
වලාකුළු වනාන්තර
වලාකුළු වනාන්තර ක්‍රියාත්මක වන ආකාරය දැක ගැනීමට කදිම ස්ථානයක් ලෙස මෙම වනය සැලකෙනවා. පහත්බිම්වල සිට ඉහළ නගින ජල වාෂ්ප ඝනීභවනය වී වලාකුළු බවට පත්වෙනවා. පසුව වැස්ස ලෙස කඩැහැලෙනවා. ශාක සහ පැළෑටි මගින් වාතයේ පවතින ජලවාෂ්ප රඳවා ගන්නවා. ඊට පසු ඒවා ජල බිංදු ලෙස වෑස්සෙනවා.
ලංකාවටම එකයි
මෙම කඳුකර තැනිතලාව ඉතා වටිනා පරිසර පද්ධතියක්. ඇත්තමට එය ලංකාවටම එකයි. 1970 දශකයේ අර්තාපල් වගාකිරීම නිසා මෙයට විශාල හානියක් වුණා. පසුව එය නවතා දැම්මා. අදත් සමහර සංචාරකයන් මෙහි තිබෙන දුලබ ශාක වර්ග ගෙවල්වලට රැගෙන යාමට උත්සාහ දරන බව පේනවා. බිනර මල් කඩා විසිකරනවා. පොලිතින් තැන තැන දමනවා. ඒවායෙන් වැළකීම අත්‍යවශ්‍ය බව සිතන්න.
ආශ්රිත මූලාශ්‍ර:
www. dwc.gov.lk
පාරාදීසයට ගමනක්- කුසුම්සිරි විජයවර්ධන
මෑකීයන වනපෙත්- ඩග්ලස් ඩී. රණසිංහ
කැප්ෂන්-
කවරය- බේකර්ස් ඇල්ල Wikipedia.org