![](https://assets.roar.media/Sinhala/2017/11/1-1-e1510039983846.jpg?w=1200)
දුම්බර හෙවත් නකල්ස් කඳුවැටියේ එක් අන්තයක් වූ බඹරැල්ලට සංචාරකයන් යන්නේ ඉතා අඩුවෙන්. සොඳුරු සොබාසිරියෙන් යුත් මේ ප්‍රදේශය සොබාදහම් රසිකයෙක් දැකගත යුතුම පැත්තක්. මහනුවර කටුගස්තොට වත්තේගම හරහා බඹරැල්ලට පහසුවෙන් ළඟාවෙන්න පුලුවන්. මහනුවර සිට දුර කි. මී. 37යි.
![](https://assets.roar.media/Sinhala/2017/11/18-701x526.jpg)
දුම්බර කඳු – කුසුම්සිරි විජයවර්ධන
පෞද්ගලික වාහනයකින් යනවා නම් පැය එකහමාරක් විතර වැය වෙනවා. එයට හේතුව කඳුකර මාර්ගයක් නිසා වේගයෙන් ධාවනය කිරීම අසීරු වීමයි. මේ අවට පිහිටි ප්‍රධාන නගරය වත්තේගමයි. ඔබගේ අවශ්‍යතා එම නගරයෙන් සපුරාගෙන බඹරැල්ලට ගමන් කළ යුතුයි. වත්තේගම නගරයේ සිට කි.මී 28 ක දුරිනුයි බඹරැල්ල පිහිටල තියෙන්නෙ. වත්තේගම සිට පන්විල හරහා බඹරැල්ලට බස්රථ ධාවනය වෙනවා. මේ අතරමඟදී හුළුගඟ නගරයත් අපි පසුකරනවා. තේ වතුයායන් වගේම වනාන්තරත් අවට දැකගත හැකියි. වැසි කාලයක යනවා නම් කඳුවලින් කඩාහැලෙනා දියඇලි සුලබයි.
![](https://assets.roar.media/Sinhala/2017/11/28-701x366.jpg)
මහනුවර සිට බඔරැල්ලට සිතියම- isuruflicker.blogspot.com
බඹරැල්ලෙන් තාර පාර අවසාන වෙනවා. ඊට පසු ආරම්භ වන්නේ කඳු අතර පිහිටි තේවතු හරහා ගමන් කරන කුඩා මාර්ග. කඳුවලට වැටුණු අඩිපාරවල්. මේ මාර්ග අප රැගෙන යන්නේ සුන්දර ගමනාන්ත වෙතටයි. ( ඔබ මේ ප්‍රදේශවල සංචාරය කරනවා නම් කූඩැල්ලන්ගෙන් පරිස්සම් විය යුතුයි). මේ ප්‍රදේශයේ ප්‍රධාන ජල ප්‍රවාහය වන්නේ මහවැලි ගඟේ ශාඛාවක් වන හුලුගඟයි. එය වික්ටෝරියා ජලාශයට එක්වෙනවා.
![](https://assets.roar.media/Sinhala/2017/11/3ු.jpg)
බඹරැල්ලට යන අතරමඟ- කුසුම්සිරි විජයවර්ධන
අඩි 3500ක් පමණ උසකින් පිහිටා ඇති බඹරැල්ල සීත දේශගුණයෙන් යුක්ත නිතර සුළං හමන පෙදෙසක්. වතු ලයිම් නිවාස බහුලව දැකගත හැකියි. නකල්ස් කඳුවලින් කඩා හැලෙන සුන්දර දියඇලි මේ වටපිටාව අලංකාර කරනවා. හුළුගඟ දිය ඇල්ල, ජෝඩු ඇල්ල, ලෙබනන් වත්ත දිය ඇල්ල ඉන් කිහිපයක්. මේ අවට සංචාරය කිරීමට වඩාත් සුදුසු වන්නේ මැයි සිට අගෝස්තු දක්වා කාලයයි. බඹරැල්ල අයත් වන්නේ පාතදුම්බර මැතිවරණ කොට්ටාසයටයි.
බඹරැල්ල
![](https://assets.roar.media/Sinhala/2017/11/46-701x526.jpg)
හුලු ගඟ ගලාබසිමින්- කුසුම්සිරි විජයවර්ධන
බඹරැල්ලෙන් තේවතු හරහා ඇති අඩිපාරවල් ඔස්සේ ගමන් කිරීමෙන් නකල්ස් වෙත පිවිසීමට පුලුවන්. ලෙබනන් වත්ත, රත්නගිරිය වත්ත හරහා ගමන් කිරීමෙන් නකල්ස් වනාන්තරයේ සීමාවට ළඟාවිය හැකියි. ඉන්පසු බට ගස් වලින් පිරුනු බටහිර බැවුමේ කඳුවැටි ඔස්සේ මාර්ගය වැටී තිබෙනවා.
![](https://assets.roar.media/Sinhala/2017/11/54-701x526.jpg)
බඹරැල්ලෙන් නකල්ස් බලා- කුසුම්සිරි විජයවර්ධන
මෙම ප්‍රදේශය 1:50000 සිතියමේ “සෙල්වාකන්ද සානුව” ලෙස හැඳින්වෙනවා. මේ කඳුබෑවුම් හරහා ගමන් කිරීමෙන් නකල්ස් කඳුකරයේ දෙවැනි උසම කන්ද වන නකල්ස් කඳු මුදුනට (මීටර් 1864, අඩි 6112) ළඟාවීමටත් පුලුවන්. දන්දෙනිකුඹුර, ලෙබනන්වත්ත, රිලාගල ආදී කඳු ප්‍රදේශ අවට පැතිර තිබෙනවා. මේ කඳු හරහා අළුගල්ලෙනට හෝ කෝබට් කපොල්ලට ළඟාවීමටත් හැකියාව තිබෙනවා. එහෙත් ඒ සඳහා ඔබ කලින් සැලසුම් කළ යුතුයි.
නවාතැන්
නවාතැන් ගැනීමට අවශ්‍ය සංචාරකයන්ට බඹරැල්ල අවට නවාතැන් කිහිපයක්ම තිබෙනවා. මේ වැඩි හරියක් පාරිසරික බංගලා ලෙසයි ක්‍රියාත්මක වන්නේ. අන්තර්ජාලයෙන් පිරික්සා බලා ඒවා කලින් වෙන්කර ගෙන පැමිණිම තමයි වඩාත් සුදුසු වන්නේ. දියඇලි නැරඹීමට මඟසලකුණු සොයා ගැනීමට ස්මාට් දුරකථනවලින් ගූගල් සිතියමක් ආධාර කර ගැනීමටත් පුලුවන්.
රහස් ඇල්ල
මහනුවර සිට චාරිකාව අරඹන ඔබට මුලින්ම දැකගන්න ලැබෙන්නේ රහස් ඇල්ලයි. වත්තේගම සිට තේ වතු අතරින් වැටුණු මාර්ගයේ විත් පන්විල දෙසට කි. මී. එකහමාරක් පමණ ගමන් කරන විට රවන් ඔය හරහා ඉදිවූ පාලම අසලින් ගල්පර්වත අතරින් ගලා හැලෙනා රහස් ඇල්ල දැක ගැනීමට ලැබෙනවා. මෙහි දියඇලි දෙකක් තිබෙනවා. පළමු ඇල්ල මහාමාර්ගයට හොඳින් පේනවා. දියඇල්ලේ උස මීටර් 15ක්. ඇල්ල පාමුල ගැඹුරු ජලතටාකයක් නිර්මාණය වී තිබෙනවා. දෙවැනි දියඇල්ල ගලා බසින්නේ පාලමට යටින්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙම දියඇල්ලට ඉහළ වනාන්තරයේ සතුරු ආක්‍රමණ කාලවලදී සැඟවී සිටි බව පැවසෙනවා.
හුලු ගඟ ඇල්ල
![](https://assets.roar.media/Sinhala/2017/11/6-srilankan-travelogueblolspot1-701x467.jpg)
හුලු ගඟ ඇල්ල කඩාහැලෙමින්- srilankantravalogue.blogspot.com – Kasun de Silva
පන්විල පසුකරමින් අප පිවිසෙන්නේ තේවතු පිරිවරාගත් කඳු අතර පිහිටි හුලුගඟ හන්දියටයි. කුඩා කඩමණ්ඩියක් වූ එහි සුද්දන්ගේ කාලයේ තැනූ යකඩ පාලමක් ද පිහිටා තිබෙනවා. මේ පාලම යටින් ගුගුරමින් විශාල දියඇල්ලක් කඩාහැලෙනවා. එය උසින් මීටර් 68ක්. හුලු ගඟින් නිර්මාණය වන විශාලම ඇල්ල මෙයයි. ජල වාෂ්ප විහිදුවමින් දියඇල්ල ගලාහැලෙන අන්දම මහාමාර්ගයේ සිටම දැකගත හැකියි.
නකල්ස් කඳුකරයේ බටහිරින් පිහිටි ගොම්බානිය සිට කිරිගල්පොත්ත දක්වා පිහිටි කඳු මුදුන්වලින් උපත ලබන ජල ධාරාවලින් ඇරඹෙන හුලු ගඟෙන් තැනෙන මේ සොඳුරු ඇල්ලේ දර්ශනයට හන්දියේ අවිධිමත් කඩසාප්පු ඉදිකිරීම් නිසා බාධා එල්ල වී ඇති බවයි අපට පෙනුණේ.
තලිය වැටුණු ඇල්ල
![](https://assets.roar.media/Sinhala/2017/11/7-lakdasun-701x526.jpg)
තලිය වැටුණු ඇල්ල – lakdasun.org Darshana Herath
මෙම දියඇල්ලට ගමන්කිරීමට නම් හුලුගඟ හන්දියේ සිට අලකොළය තේවතුයාය හරහා ගමන් කළ යුතුයි. තේ කම්හල ආසන්නයේදී කඳු බෑවුමකින් ගලාහැලෙනා දියඇල්ල දක්නට ලැබෙනවා. මළු දෙකක් වශයෙන් කඩාහැලෙන මෙය උසින් අඩු දියඇල්ලක්.
ජෝඩු ඇල්ල
![](https://assets.roar.media/Sinhala/2017/11/84-701x526.jpg)
ජෝඩු ඇල්ලට ඈත සිට බැල්මක් – කුසුම්සිරි විජයවර්ධන
බඹරැල්ලට නුදුරින් පිහිටි ගෝමරේ හන්දියෙන් හැරි ටික දූරක් ගමන් කළ පසු දියඇල්ල අසලට ළඟාවිය හැකියි. වත්තේගම – බඹරැල්ල මාර්ගයේ තවලන්තැන්න ග්‍රාම නිලධාරි වසමේ නකල්ස් ජනපදය අසලින් සුන්දර ජෝඩු දිය ඇල්ල ගලා බසිනවා. උසින් මීටර් 45 පමණ වෙන මෙම දිය ඇල්ල එක ළඟ පිහිටි දිය ඇලි දෙකකින් යුක්ත නිසා ජෝඩු ඇල්ල යන නම වැටී තිබෙනවා. මෙය නිර්මාණය වී ඇත්තේ හුලු ගඟේ අතු ගංගාවක් වන මොරගහ ඔයෙන්. මහාමාර්ගය අද්දරට වුවත් දියඇල්ල කඩාහැලෙන අන්දම ඈතින් අපූරුවට දැකගත හැකියි.
සාරිඇල්ල
![](https://assets.roar.media/Sinhala/2017/11/9-thepearl-lk.jpg)
සාරි ඇල්ලේ සුන්දරත්වය-thepearl.lk
බඹරැල්ලේ දී හුලුගඟ සිරිසිරියාවෙන් ගල්පර්වත අතරින් ගලායනු දැකගත හැකියි. එහි තවලන්තැන්න ගමේ සිට සිට තවත් කි. මී. දෙකක් පමණ තේවතු හරහා ගමන් කර නකල්ස් සීමාවට පැමිණි විට වනගත සාරිඇල්ල දැකගත හැකියි.
![](https://assets.roar.media/Sinhala/2017/11/104-701x423.jpg)
සාරි ඇල්ල ආසන්නයෙන් – srilankantravalogue.blogspot.com – Kasun de Silva
උසින් මීටර් 25ක් වන සාරි ඇල්ල කඩා හැලෙන්නේ කාන්තාවකගේ සාරියක් වගේ. සිහින්ව පිහිටි ඇල්ලේඉහළ කොටස සාරි පොට ලෙසත් පහල කොටස සාරියේ නෙරිය ලෙසත් කඩා හැලෙන නිසා එයට සාරි ඇල්ල කියන නම ලැබී තිබෙනවා. වනය මැදින් ගලාහැලෙන නිසා මේ දියඇල්ලේ ජලය ඉතා පිරිසිදුයි.
ලෙබනන් වත්තේ දියඇල්ල
![](https://assets.roar.media/Sinhala/2017/11/113-701x471.jpg)
ලෙබනන් වත්තේ අලංකාරය- srilankantravalogue.blogspot.com – Kasun de Silva
බඹරැල්ල ලෙබනන් තේ වතුයායයේ පිහිටා තිබෙන මෙය උසින් මීටර් 40ක්. හුලු ගඟේ ශාඛාවක් මොරගහ ඔයෙන් නිර්මාණය වී තිබෙනවා.
![](https://assets.roar.media/Sinhala/2017/11/123-701x344.jpg)
දියඇලි අද්දර සොඳුරු දසුනක්- කුසුම්සිරි විජයවර්ධන
නම් සඳහන් කළ ඉහත දියඇලිවලට අමතරව තවත් දියඇලි රාශියක් මේ අවට සංචාරය කරන ඔබට දැකගැනීමට ලැබේවි. මේ ජලමාර්ගවල ස්නානය කිරීමේදී වඩාත් ප්‍රවේසම් වීමට ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම පොලිතින්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගේ කසළවලින් මේ සුන්දර පරිසරය අපවිත්‍ර නොකිරීමටත් වගබලාගත යුතුයි.
ආශ්‍රිත මූලාශ්‍ර
සුන්දර දුම්බර- කුසුම්සිරි විජයවර්ධන