මිලියන 12 කට අධික ජනගහනයක් වාසය කරන භූමියක් වන පැරීසිය අති කාර්යබහුල අග නගරයක්. “ලා විල් ලුමියා – ආලෝකයේ නගරය” යන අන්වර්ථ නාමයෙන් හඳුනා ගන්නා පැරීසිය ප්‍රංශයේ අග නගරය යි. මෙය ලොව සුන්දරම අග නගරය වශයෙන් ද ප්‍රසිද්ධ යි.
මේ ලිපියෙන් අද සාකච්ඡා වන්නේ මේ පැරිස් නගරයේ සුන්දරත්වය ගැන නම් නොවේ. පැරීසිය සුන්දරත්වය නිසාම කොතරම් නම් දැරුවත්, ඔබ නොදන්නා තවත් නාමයක් ද මෙයට අන්වර්ථ වී තිබෙනවා. එනම් “පැරීසියේ උමං සුසානය” යන්න යි.
පැරිස් කැටකොම්බ්ස්
“පැරිස් කැටකොම්බ්ස්” යන්නෙහි අර්ථය වන්නේ “පැරීසියේ උමං සුසානය” යන්න යි. මෙය සැබවින්ම භූගත උමඟක්. මෙහි භූගත අවකාශයේ පැරීසියේ පැරණි පදිංචිකරුවන්ගේ ශේෂයන් තැන්පත් කර තිබෙනු දැකගත හැකියි. සැබවින්ම මෙය ප්‍රංශයේ මළවුන්ගේ අධිරාජ්‍යය යි.
පුරාණයේ හුණු ගල් ලබා ගැනීම සඳහා කණින ලද පතල් උමං පද්ධතියකින් ය මේ උමඟ නිර්මාණය වී ඇත්තේ. මේ උමං ජලය තුළ පිහිටි හුණු ගල් රෝමානු යුගයේ සිට නගරයේ ගොඩනැඟිලි ඉදිකිරිම සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිත කොට තිබෙන බවයි පැවසෙන්නේ. කිලෝ මීටර් 300 කට අධික ප්‍රදේශයක් පුරාවට මේ උමං ජාලය විසිරී තිබෙනවා. මෙහි බිත්ති මියගිය ප්‍රංශ වැසියන්ගේ හිස් කබල් සහ අනෙකුත් අස්ථි කොටස්වලින් සරසා තිබෙනු එහි යන ඔබට දැකගත හැකියි. එසේ සරසා ඇත්තේ එක්තරා රටාවකට සහ නිමාවකට අනුව යි.
උමං සුසානයේ ඉතිහාස කතාව
මේ ප්‍රදේශය සොහොන් ගැබක් ලෙසින් නිර්මාණය වන්නේ 18 වන සියවසේ දෙවැනි අර්ධයේ සිට යි. 18 වන සියවස වන විට පැරීසියේ විශාලතම සුසාන භුමිය වුයේ “ලු ඉනොසෝන්” සුසාන භුමිය යි. නමුත් මේ සුසාන භුමියේ ද ඉඩකඩ මදි වූ නිසා මිනී වළ දැමීමේ ගැටළු සහගත තත්ත්වයන් එකළ නිරන්තරයෙන් ඇති වී තිබෙනවා. ඒ නිසාම ඇතැම් මිනී නිසි පරිදි සුසාන භූමියක වළ දැමීමේ හැකියාවක් ලැබී තිබුණේ නැහැ.
ඇතැම් අවස්ථාවල දී අලුත් මිනී වළ දැමීමේ අවශ්‍යතාව නිසා සම්පුර්ණයෙන් දිරාපත් නොවූ, වළ දමා තිබු මිනී ද නැවත ගොඩට ගැනීමට සිදු වුණා. මේ නිසා සුසාන භුමිය අවට ජනතාව ජීවත් වූයේ ද ඉතාමත් අපහසුවෙන්. මිනී වලේ අධික දුර්ගන්ධය ඉවසා ගැනීම ම ඔවුන්ට අතිශය දුෂ්කර වී අැති බව පැවසෙනවා. මිනී වල විෂ බීජ නිසා විවිධ රෝගාබාධ ද මේ ප්‍රදේශයේ පැතිරී ගිය බවක් ද කියවෙනවා.
මේ තත්ත්වය තුළ මේ කාලයේ ප්‍රංශයේ රජු වූ 15 වැනි ලුවී රජු විසින් රාජාඥාවක් නිකුත් කරනු ලැබුවා. ඒ 1763 වර්ෂයේ දීයි. රාජ ආඥාවට අනුව මිය ගිය පුද්ගලයන් පැරිසියේ මිහිදන් කිරීම තහනම් ක්‍රියාවක්. නමුත් පැරීසියේ පල්ලි මේ රාජාඥාවට එතරම් කැමැත්තක් දැක්වුයේ නැති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මේ රාජාඥාව 1780 වන තෙක්ම ක්‍රියාත්මක වුයේ නැහැ.
1780 වර්ෂයේ දී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව පැරීසියට මහත් ව්‍යසනකාරී වූ අතර එයින් ලු ඉනොසෝන් සුසාන භුමිය මුළුමනින්ම පාහේ කඩා වැටුණා. සුසානයේ තාප්ප මුළුමනින්ම බිමට කඩන් වැටුණ අතර නිසි පරිදි වළ නොදැමූ මිනී මෙන්ම නිසි පරිදි විනාශ නොවූ ගොඩගත් මිනීත් අසළ පිහිටි ඉඩකඩම් දෙසට වැසි ජලය ද සමඟ ඇදී ගියා. ප්‍රංශ බලධාරීන් මෙයින් කැළඹුණු අතර පෙර 15 වැනි ලුවී රජු විසින් නිකුත් කළ රාජ ආඥාව නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතුම යැයි ඔවුන් මෙදින තීරණය කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙසය, “උමං සුසානය” නිර්මාණය වන්නේ.
එතෙක් “තෝම්බි ඉස්වා” ලෙසින් හඳුන්වනු ලැබූ හුණුගල් පතන, පල්ලිය මඟින් ආශිර්වාද ගන්වා දෙවියන්ට කැප කොට “පැරිස් කැටකොම්බි” ලෙසින් එය නම් කරනු ලැබුවා. එයයි මේ වන විට “පැරිසියේ උමං සුසානය” බවට පත්ව තිබෙන්නේ.
මෙයින් පසුව ප්‍රංශ බලධාරීන් සිදු කළ පළමු කාර්යය වන්නේ ලූ ඉනොසෝන් සුසානයේ ඉතිරිව තිබුණු සියලු අස්ථි කොටස් නැවත මේ භූගත සුසාන භුමියේ තැන්පත් කිරීම යි. ඉන් පසුව පැරීසියේ වෙනත් සුසාන භුමිවල ද තිබුණු අස්ථි කොටස් මෙහි තැන්පත් කෙරුණු අතර ප්‍රංශ විප්ලවයෙන් මිය ගිය අයගේ සිරුරු ද මෙහි තැන්පත් කිරීම සිදු වුණා. ඒ සඳහා ඔවුන්ට වසර 2 ක පමණ කාලයක් ගත වුණු බවයි පැවසෙන්නේ.
ජනතාවට විවෘත කිරීම
1859 වර්ෂය වන විට මෙහි සියලුම මිහිදන් කිරීම් සිදු කර අවසන්. එයින් වසර 7 කට පසුව යි මේ සුසාන භුමිය ජනතාවට විවෘත වන්නේ. ඒ කාලයේ මුළු උමඟම ජනතාවට විවෘත වුවත් අද වන විට ජනතාව වෙත විවෘත වන්නේ සීමිත ප්‍රදේශයක් පමණ යි.
කැටෆයිල්ස් (cataphiles)
මේ උමං මාර්ගයට ඇතුළු වීම සඳහා අවසර දී ඇත්තේ එක් ස්ථානයකින් පමණ යි. නමුත් වර්තමානයේ “කැටෆයිල්ස්” නමින් තමන්ව හඳුනා ගන්නා ත්‍රස්ත කණ්ඩායමක් මේ ප්‍රදේශයේ සැරිසරන අතර ඔවුන් විවිධ තහනම් ස්ථානවලින් උමඟ වෙත ඇතුළු වෙනු දැකගත හැකියි. උමං මාර්ගයට රහසේ ඇතුළු වන ඔවුන් ඒ තුළ විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ නීතිවිරෝධී ආකාරයෙන්. සංචාරකයන් උමඟ වෙත ඇතුළු වීම වැළැක්වීමට නිරන්තරයෙන් උත්සාහ දරන කැටෆයිල්ස් කණ්ඩායම් මෙන්ම සංචාරකයන් විවිධ රහස් මාර්ගවලින් උමඟ තුළට ගෙන ගොස් මුදල් ගරා ගන්නා කැටෆිල්ස් කණ්ඩායම් ද මෙහි දැකගත හැකියි.
කවරයේ කතාව – getyourguide.com
මුලාශ්‍ර
www.tripadvisor.co
www.ancient-origins.net
www.catacombes.paris.fr