කෑගලු දිස්ත්‍රික්කයේ දෙහිගම්පල් කෝරළයට අයත් කිතුල්ගල කොළඹ සිට කි. මි. 101ක් දුරින් පිහිටි නගරයක්. මේ ගමේ දකුණු සීමාවෙන් ගලා බසින්නේ කැලණි නදිය යි. උතුරු දෙස කඳුවලින් ගලාඑන ලියන් ඔය මෙහි දී කැලණි ගංගාවට එකතු වෙනවා. ගඟට දකුණු දෙස මාකන්දාව කුරුලු කැලේ හරහා ගලාඑන දොළ පහරවලින් ද මෙහිදී කැලණි නදිය පෝෂණය වෙනවා. මේ නිසා කිතුල්ගල ඉතා සුන්දර පෙදෙසක් බවට පත් වෙලා. කලකට පෙර තේ හා රබර් වගාවෙන් යැපුණු මේ අවට ජනතාව මෑතක සිට සංචාරක කර්මාන්තයට යොමු වෙලා (මේ දිනවල නම් කොවිඩ් 19 උවදුර නිසා සංචාරක කර්මාන්තය ඇණහිටලා).
කිතුල්ගල සංචාරයට එන වැඩි දෙනෙකු කැලණි ගගෙන් දියනෑමට පමණ යි උනන්දු වන්නේ. ඒ කාටත් අවට පිහිටි දියඇලි නැරඹීමෙන් අපූරු අත්දැකිමක් විදගත හැකියි. ඒ සඳහා මඟ පෙන්වන උත්සාහයක් තමයි මේ.
මකුළු ඇල්ල සහ ලේන්තිරි දියඇල්ල
කිතුල්ගල තානායම අසලින් කැලණි ගගෙන් ඔරුවෙන් එගොඩ වූ විට අපට මාකන්දාව රක්ෂිත වනයට ඇතුළුවිය හැකියි. කුරුල්ලන් නැරඹීම සදහා මේ වනය දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රසිද්ධ යි. ඒ නිසා කුරුළුකැලේ නමින් ද හඳුන්වනවා. මේ වනපෙත තුළ අලංකාර කුඩා දියඇලි දෙකක් තිබෙනවා. ඒ ලේන්තිරි ඇල්ල සහ මකුළු ඇල්ල යි. දියඇලි නැරඹීමට වන සංරක්ෂණ නිලධාරින්ගේ උපදෙස් ඔබට අවශ්‍ය නම් ලබාගත හැකියි.
මකුළු ඇල්ලට පරවලතැන්න ගම පසුකර වනය හරහා කි. මී. 1ක් පියමං කළ යුතුයි. වනාන්තරය හරහා පල්ලෙබාගේ ගමට දිවයන ලී පාලම තනා ඇත්තේ ගල්පර්වතයක් මත යි. මේ පාලම යටින් ගලා යන දොළ පාර, පළලින් වැඩි පව්වේ විවිධ රටා මවමින් මීටර් 120ක් දුරට තුනී දිය පටලයක් සේ ඇදී යනවා. ජල ධාරාව අවසානයේ කඩා හැලෙන්නේ සුන්දර දියඇල්ලක් තනමින්. එම ඇල්ල මිටර් 4ක් උස යි. මේ අවට වනයේ දිවිමකුළුවා ඇතුළු මකුළු වර්ග රාශියක් දිවි ගෙවන නිසා මකුළු ඇල්ල නම ලැබී ඇතැයි ගැමියන් පවසනවා.
මකුළු ඇල්ල නරඹා තවත් කි. මී. 1ක් පමණ ඉදිරියට යන විට ලේන්තිරි ඇල්ල හමුවෙනවා. වනය හරහා දොළ පාර වෙතට ඇති බෑවුමට ගමන් කර එය නැරඹිය හැකියි. එය මිටර් 10ක උසකින් යුක්ත යි. තනි ජල ප්‍රවාහයක් වශයෙන් ගල්පර්වත අතරින් ඇල්ල කඩා හැලෙනවා. වර්ෂා කාලයට මෙහි විශාල ජල ප්‍රවාහයක් දැකගත හැකියි. ඇල්ල වැටෙන ගල්තලාව අසල අලංකාර ස්වභාවික තටාකයක් ද දැකගත හැකියි. මාකන්දාව කුරුළු කැලේට එන සංචාරකයන් වැඩි දෙනෙක් මේ ඇල්ල නැරඹීමට නොයන්නේ ඒ ගැන ඔවුන් දැනුවත් නැති නිසයි.
සම්පත් ඇල්ල
කිතුල්ගල නගරය පසුකළ විට ඉංඔය රබර් වතුයාය හරහා වැටුණු මහබාගේ පාර හමුවෙනවා. බෙලිලෙනට යන්නෙත් මේ පාරෙම තමයි. බෙලිලෙනට හැරෙන අතුරු පාර පසුකරගෙන ඉදිරියට ගමන් කළ යුතුයි මේ දියඇල්ල නැරඹීමට. කිතුල්ගල සිට ඇල්ලට දුර කි. මි. 7ක් පමණ වෙනවා. කිතුල්ගලට උතුරින් පිහිටි අංපාන කදුවලින් උපත ලබා පැමිණෙන ලියන් ඔයෙන් තමයි සම්පත් ඇල්ල නිර්මාණය වන්නේ. මහබාගේ, අතුලඋඩ කියන ගම්මාන ඇල්ල අසල තිබෙනවා. මහබාගෙන් පසු මාර්ගය අඩි පාරක් බවට පත් වන නිසා පයින් තමයි ඇල්ල ළගට යායුතු වන්නේ.
ඇල්ල උසින් මීටර් 30ක් පමණ වෙනවා. වනය මැදින් ගල්පර්වත අතරින් එය කඩාහැලෙන්නේ අලංකාර දර්ශනයක් මවාපාමින්.
හඳුන් ඇල්ල
සම්පත් ඇල්ලත් බලන ගමන් යා හැකි තවත් අලංකාර දියඇල්ලක් තමයි හඳුන් ඇල්ල. මේ වෙත යාමට ඉංඔය වත්ත පසුකර තවත් තේවතු හරහා ගමන් කළ යුතුයි. මාර්ගයේ අවසන් කොටස ඉතා දුෂ්කර යි. ගමේ මඟපෙන්වන්නෙකුගේ සහාය ලබාගත හැකි නම් ගමන වඩාත් පහසු වේවි.
මීටර් 1321ක් උස උනලුගල කන්දෙන් ඇරඹෙන ජල ධාරාවෙන් නිමා වූ හඳුන් ඇල්ල උසින් මීටර් 30ක්. එය පැතලි ගල් බිත්තියක් වැනි පර්වතයක් හරහා කඩා හැලෙනවා. මේ පර්වතය තරණය කිරීමට ත්‍රාසජනක ක්‍රීඩාවලට කැමති පිරිස් ප්‍රිය කරනවා. ඒත් ඒ සදහා නිසි සූදානමක් තිබිය යුතුයි. අවට වනයේ හඳුන් ගස් බහුල නිසා ඇල්ලට හඳුන් ඇල්ල යයි නම් කර තිබෙනවා. මේ ඇල්ල උඩටත් වනය හරහා දුෂ්කර අඩි පාරක් ඔස්සේ ගමන් කිරීමේ හැකියාව තිබෙනවා.
මන්නකැති ඇල්ල
කිතුල්ගල පිහිටි දියඇලි අතරින් වඩාත් සුන්දර මෙන්ම විශාලම ඇල්ල මන්නකැති ඇල්ල යි. මේ වෙත යාමට නම් කිතුල්ගලින් හැරී මල්වත්ත පාරේ කි. මී. 4ක් පමණ කදු නැග තවත් කි. මි. 1ක් පමණ අඩි පාරක තේවතු හරහා ගමන් කළ යුතු වෙනවා.
මෙය අලංකාර නැම්මකින් යුක්තව ගලා ගැලෙන දියඇල්ලක්. දොලොස්බාගේ කදුකරයේ උනලුගල කන්දෙන් උපත ලබන ගිරන්කිත්ත ඔයෙන් මන්නකැති ඇල්ල තැනී තිබනවා. පර්වතයේ ඉහළ කොටසේ දී වක් ආකාරයෙන් ගලන ජල ධාරාව පර්වත බෑවුමේ දී තවත් ඇද වෙනවා. ඇල්ලේ උස මීටර 60ක්. මෙලෙස මන්න කැත්තක හැඩයෙන් යුක්ත නිසා ඒ නමින් හැඳින්වීමට ගැමියන් පෙළඹී තිබෙනවා. ඇල්ල ඇද හැලෙන්නේ විහාල බේසමක් වැනි ගල් තටාකයකට යි. එහි සිට තවත් මීටර් 100ක් පමණ යනතෙක් ගල්වලින්ම නිර්මාණය වූ ස්වභාවික ඇළ මාර්ගයක් ඔස්සේ ඇල්ලෙ ජලය ගලා යනවා. මෙය සංචාරකයන් කලාතුරකින් පැමිණෙන ස්ථානයක් නිසා ඇල්ල අවට කදිම නිස්කලංක වටපිටාවක් තමයි තිබෙන්නේ.
අඩි පාරක ගමන් කිරීමෙන් මන්නකැති ඇල්ල ඉහළට යාමට පුළුවන්. ඒ මාර්ගය ගැමියන්ගෙන් අසා දැනගත යුතු වෙනවා. කුඩා ගල් දොරුවක් අතරින් ඇල්ල කඩාහැලෙන දුලබ දසුන එහිදී දැකගත හැකියි. ඇල්ල ඉහළ කුඩා දියඇලි සහ දිය තටාක කිහිපයක් ද පිහිටා තිබෙනවා.
මේවාට අමතරව කිතුල්ගලට නුදුරු යටියන්තොට අවට කැලණි නදියේ තවත් ශාඛාවක් වන වීඔය නිම්නයේ දියඇලි කිහිපයක් ම තිබෙනවා. වී ඔය ඇල්ල, ඕලු ඇල්ල, කිතුල් ඇල්ල ආදී දියඇලි ඒවායි. දියඇලි නැරඹීමේ දී ඒවායේ නෑමට යාම සහ ඉහළට නැගීම නම් නිසි මඟපෙන්වීමකින් තොරව කිරීම අවදානම් බව හිතන්න.