අවුරුද්ද පටන් ගත්ත ගමන්, යෙදෙන්න තියෙන නිවාඩු එහෙම ගැන කල් තියාම සොයා බලා, චාරිකාවක් දෙකක් සැලසුම් කරගෙන “කටින් උනත් ට්‍රිප් එකක් යන්න” ලක ලැහැස්ති වී ඉන්න එක ලංකාවේ අපේ කාගේත් පුරුද්දක්. කොම්පියුටර, දුරකථන එක්ක හරඹ කරලා මීටිමෙන් මීටිමට දුව දුව හෙම්බත් වෙලා ඉන්න අපට 2017 අවුරුද්ද නම් දීර්ඝ නිවාඩු වල තෝතැන්නක්. හා හා පුරා කියල ඔබ අවුරුද්දේ පළමු චාරිකාව යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ රටේ නැගෙනහිර දෙසට වෙන්න තියෙන පෙදෙසක නම්, රටේ ඉතිහාසය ගැන යමක් ඉගෙන ගන්නත් එක්ක පවුලේ කට්ටිය හෝ යහළු මිත්‍රාදීන් එක්ක ලාහුගල මගුල් මහා විහාරයට යන්න අමතක කරන්න එපා.
ළඟා වෙන හැටි
පුරාවිද්‍යාත්මක වටිනාකම අතින් ගත්විට ඉතා සුවිශේෂී වූ ස්ථානයක් වූවත් ලාහුගල මගුල් මහා විහාරය, අනුරාධපුර පොළොන්නරු යුගයේ තැනු වෙහෙර විහාර, පුරාවස්තු සහ නටඹුන් සමඟ සැසදීමේදී අප අතර තවමත් තරමක් අප්‍රකට ස්ථානයක් ලෙස සැලකිය හැක. අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල රක්‍ෂිතය මායිමේ පිහිටා ඇති ඓතිහාසික මගුල් මහා විහාරය සියඹලාණ්ඩුවේ සිට ආරුගම්බේ දෙසට පැමිණෙන ඔබට කිලෝ මීටර 22ක් පමණ ගිය තැන හමුවන අතර පොතුවිල් දෙසින් පැමිනෙන්නෙකුට කොළඹ මඩකලපුව මාර්ගයේ කිලෝ මීටර 11ක් පමණ ගමන් කල තැන හමුවේ.
ගූගල් සිතියම් වල මෙම ස්ථානය පැහැදිළිව සටහන් කර ඇති නිසා සොයා ගැනීම අපහසු වෙන්නේ නැහැ. ඔබේ පෞද්ගලික වාහනයකින් පැමිනෙනවානම් විහාර පරිශ්‍රය අසළටම කිසිදු අපහසුතාවකින් තොරව ලඟා විය හැකි අතර වාහන නවතා තැබීමේ ඉඩකඩද විහාර පරිශ්‍රය මෙපිටින් ඇත.
ඉතිහාසය
මෙය මගුල් මහා විහාරය ලෙස අද හැඳින්වූවත් එහි ඇති ටැම් ලිපියකට අනුව ඉතිහාසයේ මෙය හඳුන්වා ඇත්තේ රුහුණු මහා විහාරය නමිනි. රුහුණේ රජ කල කාවන්තිස්ස රජුගේ කාලයට (205-162 BC) තරම් ඈත අතීතයට දිව යන මෙම විහාර පරිශ්‍රය ජනප්‍රවාදයේ එන පරිදි ඉදිකර ඇත්තේ කාවන්තිස්ස රජු, විහාරමහාදේවිය විවාහ කරගත් ස්ථානයේදීය. පුරාවෘත වලට අනුව කැලණිය රජකල කැලණිතිස්ස රජුගේ දියණිය වූ විහාරමහාදේවිය රට වෙනුවෙන් තම ජීවිතය මුහුදට බිලි දුන්නත් ඇය නිරුපද්‍රිතව පොතුවිල් මුහුදු මහා විහාරය ඇති ස්ථානයට ගොඩ බසිනවා. එහිදී ඇය හමුවන කාවන්තිස්ස රජු, මගුල් මහා විහාරය ඇති ස්ථානයට ඇය රැගෙනවිත් අභිෂේක කරනවා.
වෙනත් මූලාශ්‍ර වල කියා පාන පරිදි මෙය ධාතුසේන රජු (463-479 AD) කරවන ලද්දක් වන අතර සියවස් ගණනක් තුල තවත් අධිරාජ්‍යයන්ගේ සෙවන යටතේ වරෙන් වර ප්‍රතිසංස්කරණය වූ විහාර පරිශ්‍රයක් ලෙස දැක් වෙනවා.
අක්කර 10,000 පුරාවට විහිදී ඇතැයි කියැවෙන මෙම පරිශ්‍රය තුල අදටත් දැකගත හැකි සඳකඩ පහන්, අගනා කැටයම් සහිත ගල් කණු, බෝ මළු, ස්ථූප සහ අදටත් ජලයෙන් පිරී ගිය පොකුණු සිහි කරන්නේ පුරාණ ලංකාවේ ගල් වඩුවාගේ විශ්මය දනවන හැකියාවන්ය.
සුවිශේෂ සඳකඩ පහන
පෙර සඳහන් කල පරිදි මගුල් මහා විහාර සංකීර්ණයේ ඉතිහාසය දිවයන 5 වන ශතවර්ෂය වකවානුව හෙළ කලාවේ ස්වර්ණතම යුගය ලෙස සැලකෙනවා. මෙයට හොඳම නිදසුන ලෙස මෙහි ඇති සඳකඩපහන හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපට අනුරාධපුර පොළොන්නරු යුගවලට අයත් සඳකඩ පහන් වල දකින්නට ලැබෙන සතුන් 4 (ඇතා, අශ්වයා, වෘෂභයා සහ හංසයා) වෙනුවට මෙහි දක්නට ලැබෙන්නේ ඇතුන් පේළියක් පමණි.
ප්‍රථමයෙන්ම, මේ සඳකඩ පහන මධ්‍යයේ දක්නට ලැබෙන්නේ ඉතා සියුම්ව සහ අලංකාරව නෙලා ඇති නෙළුම් පෙති පේළියකි. ලංකාවේ වෙනත් සඳකඩ පහන් වලට වඩා වෙනස් වූ, හොටෙන් මල් පොහොට්ටු දරා සිටින හංස පේලියක් ඉන් පසුව දැකගත හැකියි. අනතුරුව කැටයම් කොට ඇති ලියවැලේ ඉතා පැහැදිලිවත්, සියුම්වත් නෙළා ඇති නෙළුම් මල්, පොහොට්ටු සහ නෙළුම් කොළ පවා ඉතා අලංකාරව දැකගත හැකියි.
මේ සියල්ලන්ටම වඩා වැදගත් වන්නේ සඳකඩ පහනේ පිටත අන්තයේ නෙළා ඇති ඇත් රූ පෙළයි. එක් ඇතෙක් අනෙකාට වෙනස් ලෙසින් නිමවා ඇති මෙහි සුවිශේෂත්වය වන්නේ ඇත් ගොව්වාවද ඉතා අලංකාර අන්දමින් නිරූපණය කර තිබීමයි. සාමාන්‍යයෙන් ඇත් ගොව්වෙකු ගමන් කරන්නේ ඇතාගේ ගෙලේ වුවත්, මෙහි කැටයම් කොට ඇත්තේ ඇත් ගොව්වා මහත් ආයාසයෙන් ඇතාගේ පිට ප්‍රදේශයේ එල්ලී සිටින අයුරකිනි. මෙයට හේතුව ලෙස විද්වතුන් දක්වන්නේ සඳකඩ පහණේ ඉදිරිපස කොටස තව දුරටත් විශාල කිරීමෙන් වැළකීමට නිර්මාණකරුවා මෙසේ ඇත් ගොව්වාව නිර්මාණය කර ඇති බවයි. මේ කරුණු සියල්ල සලකා බැලීමේදී විද්වත් මතයන්ට අනුව මෙම සඳකඩ පහන රුහුණේ කලාකරුවාට ආවේනික ඉතා විශිෂ්ඨ නිර්මාණයකි.
අනෙකුත් නටඹුන්
මෙම විහාර පරිශ්‍රයේ ඇති අනෙකුත් නටඹුන් අතර පොහොය ගෙයක්, බෝධිගරයක්, ස්තූපයක් සහ කැටයම් සහිත සහ රහිත තවත් සඳකඩ පහන්, කොරවක්ගල් සහ ගල් කුළුණු විශාල ප්‍රමාණයක් දැකගත හැකියි. ඉතිරිව ඇති මේ නටඹුන් වටා ශක්තිමත්ව ගලින් තැනු ප්‍රාකාරයක්ද ප්‍රධාන දොරටුවට පිවිසීමට එන මග දෙපස අලංකාර පොකුණු දෙකක්ද දැකිය හැක. මේ සියල්ල වටකොට ඇති ඝන වන්නන්තරය ලාහුගල රක්ෂිතයට අයත්වන අතර මනහර තුරුලතා අතර කොන්ක්‍රීට් වනන්තරයේ අප නොදකින කුරුළු විශේෂ පවා දැකගැනීමට පුළුවන්.
ලඟා විය හැකි අනෙකුත් ආකර්ශනීය ස්ථාන
ලාහුගල සිට පොතුවිල් දක්වා ඇත්තේ කිලෝමීටර 14ක් වැනි දුරක්. වෙලාව බාධාවක් නොවේනම් පොතුවිල් මුහුදු මහා විහාරයත් දැක බලාගෙන, පොතුවිල් මුහුදු වෙරළේ සුන්දරත්වයත් විඳගෙන ආරුගම්බේ අසල නවාතැනක රැයක් ගත කරන්න. පසුවදා හිමිදිරියෙන්ම ඉර සේවය බලා, සුන්දර පානම හා කොට්ටකාලි මුහුදු තීරයට යන්නත් අමතක කරන්න එපා.
තවමත් එතරම් ප්‍රචලිත නොවන මේ සිද්ධස්ථානය සහ මුහුදු තීරයන් බොහෝදුරට පොලිතීන් සහ ප්ලාස්තික් වලින් නොඉඳුල් අඩවි ලෙස හැඳින්වීමේ වරදක් නැත. ඒ නිසා ගියා වගේම, පිය සටහන් පමණක්ම ඉතිරි කර එන්නත් වග බලා ගන්නවානම් මේ සුන්දර තැන් අපේ අනාගත පරම්පරා වලටත් රස විඳින්න ඉතුරු වෙයි.
කවරයේ පින්තුරය: srilankatravelnotes.com
මුලාශ්‍ර: ලංකාවේ ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ පුරාවිද්‍යා ස්ථාන – TV program by professor Osmund Bopearachchi, amazinglanka.com, en.wikipedia.org