මේ කතරගම දෙවියන්ගේ අඩවියට බැතිමතුන් රොක්වන ඇසළ මාසයයි. වෙනදා නම් කතරගම වන්දනාවේ යන දහස් සංඛ්‍යාත බැතිමතුන් දැකගත හැකි වුවත් මෙවර කතරගම පාළුවට ගොස් තිබෙනවා. ඇසළ මංගල්ලයේ සිරිත්විරිත් බැතිමතුන්ගෙන් තොරවයි මෙවරත් ඉටු කිරීමට සිදුව ඇත්තේ. ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද, ලොව වෙනත් රටවල ද පදිංචි බැතිමතුන් ස්කන්ධ හෙවත් කතරගම දෙවිඳුන් අදහන දේවාල රාශියක් පැතිර තිබෙනවා. මේ එම පූජනීය ස්ථාන කිහිපයක් සොයා ගිය චාරිකාවක්.
කතරගම දෙවිඳු හෙවත් ස්කන්ධ
මුරුගන්, කාර්තිකේය, සුබ්‍රමනියම්, ස්කන්ධ වැනි නම්වලින් දෙමළ බැතිමතුන් අදහන කතරගම දෙවියන් ලක්දිවට ගොඩ බැස්සේ වල්ලි දෙවඟන හා විවාහ වීමට බවයි, ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. කප්පකන්දර නදිය (මැණික් ගඟ) අසල දේව විමානය ඉදිකිරීම නිසා කතරගම දෙවියන් කඳ කුමරු අප ලෙස අප රටේ හඳුන්වනවා.
කතරගම යන අතරමග දැකිය හැකි දේ ගැන මේ ලිපිය කියවන්න.
කතරගම දෙවියන්ට අයත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඓතිහාසික පුදබිම වන්නේ කතරගම පුදබිමයි. ඉන්දියාවේ නම් දෙවිඳුන්ගේ මුහුණු සයට අයත් වන දේවාල හයක් තමිල්නාඩු ප්‍රාන්තයේ පැතිර පවතිනවා. මෙම සෑම දේවාලයක්ම මුල් කරගෙන කතරගම දෙවියන් හා බැඳුණු රසවත් ජනප්‍රවාදත් තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කතරගම දේවාල
ප්‍රධාන කතරගම දේවාලය ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්ට අයත් කතරගම පිහිටා තිබෙනවා. දුටුගැමුණු රජු අනුරාධපුරය අල්ලාගෙන පාලනය කළ ආක්‍රමණික එළාර රජු හා සටන් කිරීමට යාමට පෙර කතරගමට ගොස් කඳ කුමරු හමුවී බාරයක් වූ බවත්, ඒ යුද්ධයෙන් දිනූ පසු දේව මාලිගාවක් තනා දීමට පොරොන්දූ වූ බවත් දේව කතාවල සඳහන් වෙනවා. යුද්ධය දිනා අනුරාධපුරයේ රජවූ පසු දුටුගැමුණු රජු කතරගම දෙවියන් වැඩසිටි කන්දේ දී මුණ ගැසී දේව මාලිගාවක් තැනීමට සුදුසු ස්ථානයක් පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටියා.
එවිට කඳ කුමරුන් ඊතලයක් විද එම ඊතලය වැටුණු ස්ථානයේ දේවාලය සාදවන ලෙස රජුට පවසා තිබෙනවා. දුටුගැමුණු රජු දෙවොල තනා ඉන්දියාවෙන් මුනිවරයන් ගෙන්වා ගෙන දෙවියන්ට පුද පූජා පවත්වන ක්‍රම පුහුණු කර දේවාලයේ පැවැත්ම සඳහා රාජකාරිකරුවන් 552 දෙනකු පත්කළ බවත් පැවසෙනවා. ඊට අමතරව දෙවියන්ගේ පුද පූජා පැවැත්වීමට උසස් කුලවලට අයත් කපු පරපුරක් ද පත්කරනු ලැබු බවත් පුරාණොක්තිවල කියැවෙනවා.
දෙවියන්ට කැපවූ අපේ රටේ දේවාල ගැන පළ වූ මෙම ලිපියත් කියවන්න.
මෙම පිරිසට ජීවත් වීම සඳහාත් දේවාලයේ පැවැත්ම සඳහාත් ගොඩ මඩ ඉඩම් අක්කර 99000 ක් දේවාලයට පූජා කර ඉර හඳ පවතින තුරා දේවාලයේ පූජා සිදු කරන ලෙස රාජ අණක් ද නිකුත් කර තිබෙනවා. ඊට අමතරව බදුල්ල, බිබිල කොටබෝව, අලුත් නුවර, ඇම්බැක්ක, මහනුවර ආදී ස්ථාන රැසක ම අප රටේ කතරගම දේවාල පිහිටා තිබෙනවා.
තිරුත්තනි සුබ්‍රමනියා ස්වාමි කෝවිල
ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුවල්ලුවර් දිස්ත්‍රික්කයේ තිරුත්තනි කඳු මත පිහිටි අලංකාර කෝවිලක්. චෙන්නායි සිට මේ වෙත දුර කිලෝමීටර් 87ක්. කඳ කුමරුන් වල්ලි දෙවඟන ලක්බිමෙන් භාරත දේශයට රැගෙන ගොස් කඳ කුමරුන්ගේ ඥාතීන්ට අලුත් ලාංකීය බිරිඳ පෙන්වූ තැන ලෙස මෙම ස්ථානය සැලෙකනවා. මෙම මෙම කෝවිලේ දිනපතා පූජා 3ක් පැවැත්වෙනවා. හින්දු බැතිමතුන් විශාල වශයෙන් මුරුගන් දෙවිඳුගේ පිහිට පතා තිරුත්තනි කෝවිලට පැමිණෙනවා. මෙහි ආරම්භය ගැන නිශ්චිතව සඳහන් නොවුණත් සංගම් යුගයේ කෘතිවල මේ දේවාලය ගැන විස්තර වෙනවා. උස ගෝපුරම් කුලුණු පහකින් දේවාලය සමන්විතයි. දේවාලය පිහිටි කඳුගැටයට නැගීමට පියගැට 365ක් ඉදිකර තිබෙන්නේ අවුරුද්දේ දින 365 සිහිපත්වීමට බව පැවසෙනවා.
තිරිචන්දූර් සුබ්‍රමනියා ස්වාමි කෝවිල
මෙම කෝවිල ඉන්දියාවේ තූත්තුකුඩි දිස්ත්‍රික්කයේ තිරුත්චන්දූර් නගරයේ සමුදුරට නුදුරින් පිහිටි කතරගම දෙවියන්ට කැප කළ පුරාණ කෝවිලක්. තූත්තුකුඩි නරගයේ සිට මේ වෙත දුර කිලෝමීටර් 40ක්. හින්දුන්ගේ ඇදහිලි අනුව කඳ කුමරුන්ගේ ඉන්දීය බිරිඳ තේවානි අම්මා විවාහ කරගත් ස්ථානය තමයි, තිරුචන්දුර්. එය තමිල්නාඩුවේ කගරගම දෙවියන්ට කැපවූ දේවාල හය අතරින් ප්‍රධානත්වය ගන්නවා. අතීතයේ මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ ජයන්තිපුරම් කියායි. කඳ කුමරුන් පිළිබඳ ලියැවුණු ප්‍රශස්ති ගායනා මෙහිදී ඇසීමට ලැබෙනවා. මෙහි ගෝපුරයේ උස අඩි 137ක්.
වර්ෂ 1646 සිට ලන්දේසීන් මෙහි නවාතැන් ගෙන පෘතුගීසින් සමඟ යුද්ධ කළ බව සඳහන් වෙනවා. නමුත් ඔවුන්ට යුද්ධය දිනා ගැනීමට ලැබී නැහැ.
ස්වාමිමලේ කෝවිල
යන්ත්‍ර මන්ත්‍ර හා දේව ස්තෝත්‍රවලදී මුලින් භාවිත කරන ලබන ඕම් පූජා මන්ත්‍රය සම්බන්ධව මුල් කාලයේ කිසිවෙකු දැන සිටියේ නැහැ. මේ සම්බන්ධව ඇති රහස දැන සිටියේ කුඩා ස්කන්ධ කුමරු පමණයි. ශිව දෙවියන් තම පුත්‍රයා වූ කඳ කුමරුගෙන් ඕං කාරයේ සත්‍ය ගැන අසා තිබෙනවා. මෙම රහස කිසිවකුට නොකිව්වත් තම පියාට මෙම රහස පැවසීමට හැකි බව පවසා කඳ කුමරු ශිව දෙවියන්ගේ කනට මුමුණා ‘ඕං කාරයේ’ රහස පවසන්නට වුණා. මෙම ඕං කාරය ආරම්භ වූ ස්ථානය ලෙස ස්වාමිමලේ කෝවිල සැලකෙනවා.
මෙය පිහිටා ඇත්තේ කුම්බකෝනම් සිට කිලෝමීටර් 5ක් දුරින් කාවේරි නදියේ ඉවුරේ ස්වාමිමලේ නගරයේ යි. චෙන්නායි සිට ඒ වෙත දුර කි. මී. 250ක් වෙනවා. කඳුගැටයක් මත ස්කන්ධ දේවාලය පිහිටි අතර පාර්වතී සහ ඇගේ පියා වූ ශිව වෙනුවෙන් කැපවූ තවත් දේවාල කඳු පාමුල පිහිටා තිබෙනවා. මෙම ස්කන්ධ දේවාලයේ පිහිටි ගෝපුරම් සංඛ්‍යාව තුනක්. වාර්ෂිකව මෙහි පැවැත්වෙන වයිකාසි විසාකම් උත්සවයට ලක්ෂ ගණනින් බැතිමතුන් ඇදී එනවා. දේවාලය මුලින්ම ඉදිකර තිබෙන්නේ ක්‍රි. පූ. 2 සියවසේ සංගම් කාලයේ දී බව ජන විශ්වාසයයි. 1740 ප්‍රංශ – බ්‍රිතාන්‍ය යුද්ධයේ දි මෙයට විශාල හානි පැමිණ තිබෙනවා.
මැලේසියාවේ ‘බතු කේව්’ දේවාලය
ඉන්දියාවෙන් පිටත පිහිටි වඩාත් ප්‍රකට ස්කන්ධ දේවාලය මෙයයි. මැලේසියාවේ ක්වාලාලම්පුර් අගනගරයට ආසන්නව පිහිටි අලංකාර හුණුගල් ගුහා සංකීර්ණයක තමයි මෙම දේවාලය ඉදිකර තිබෙන්නේ. එය තනා නිමකර තිබෙන්නේ 1891 දීයි. ගෝම්බක් නගරය ආසන්නයේ ඇති සෙලන්ගෝර් ප්‍රදේශයේ මෙය පිහිටා තිබෙනවා. ‘බතු කේව්’ නමින් හඳුන්වන මෙම අපූරු දේවාලය වෙත දිනපතාම හින්දු ජනයා මෙන්ම විවිධ රටවලින් මැලේසියාවට එන සංචාරකයින් ද දහස් ගණනින් පැමිණෙනවා. මැලේසියා ද්‍රවිඩ ජාතිකයන් පවත්වන තායිපූසම් උත්සවයේ කේන්ද්‍රස්ථානය වන්නේ බතු දේවාලයයි. මෙහි පිහිටි මුරුගන් ප්‍රතිමාව 2006 දී තනා නිම කළ අතර එහි අස අඩි140ක්. ස්වාමි කන්දසාමිගේ ජයග්‍රහණය සිහිපක් කරවන එය රන් පැහැයෙන් ආලේප කර තිබෙනවා. එය ලොව උසම මුරුගන් දේව ප්‍රතිමාවයි.
මෙම දේවාලය පොළොව මට්ටමෙන් මීටර 100ක් උසින් පිහිටා ඇති අතර විශාල ගල් ලෙනක් තුළ අක්කර භාගයක තැනිතලා බිමක දේවාලය ඉදිකර තිබෙනවා. එයට පිවිසීමට පියගැට පෙළක් ද නිර්මාණය කර තිබෙනවා.
කතරගම දෙවියන් ප්‍රධාන තවත් දෙවිවරුන් රැසකගේ කෝවිල් කීපයක් මෙම ස්ථානයේ දැකගත හැකියි. කඳු පහළින් තිරුපති කෝවිලේ අනුරුවක් ද හනුමා දෙවියන් වෙනුවෙන් ඉදි කළ දේවාලයක් ද තිබෙනවා.
මුරුසියේ සිව සුබ්‍රමනියා තිරුක්කොවිල් කෝවිල
මුරුසියේ ජිවත්වන දෙමළ ජාතිකයන්ගේ වැදගත්ම පුදබිම ලෙස සැලකෙන්නේ පලනි හි පිහිටි මෙම කෝවිලයි. එරට දිවිගෙවන හින්දු බැතිමතුන් පලනිවලට වන්දනා ගමනක් යාම ජීවිතයේ අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකනවා. කෝවිල පහිටා ඇත්තේ පලනී වීඩු ප්‍රදේශයේ කඳු බෑවුමකයි. එය පිහිටුවා ඇත්තේ 1897 දී වේලමුරුගන් නම් ඉන්දීය දැහැමි සංක්‍රමණියකු විසින් බව සඳහන් වෙනවා. ඔහු මුරුසියට ගොඩබැස ඇත්තේ 1884 දියි. ඔහු මුරුගන් දෙවියන්ගේ සැබෑම බැතිමතකු ලෙස සාධාරණ ධාර්මික ජීවිතයක් ගත කළ කෙනෙක්. ඔහු තමා ඉපයූ සියලුම මුදල් යොදා කඳු බෑවුමේ පිහිටි මෙම ඉඩම මිලදී ගෙන දේවාලයක් තනා තිබෙනවා. අද මෙය මුරුසියේ සියලුම ආගම්වල අය ආකර්ශනය කරනා පූජනීය ස්ථානයක් බවට පත්වෙලා.
ඉන්දුනීසියාවේ රාජ රාජේෂ්වරී කෝවිල
මෙම කෝවිල කැපකර තිබෙන්නේ රාජරාජේෂ්වරී අම්මාන් දෙවිඳුන්ට වුවත් එහි ප්‍රධන වශයෙන් අදහන්නේ මුරුගන් දෙවිඳුයි. මුරුගන් දෙවිඳුන් ගේ මීටර් 16ක් උස ප්‍රතිමාවක් ද මැතක දී මෙහි ඉදිකර තිබෙනවා. එය ලොව දෙවන විශාලත ම මුරුගන් ප්‍රතිමාවයි. වාර්ෂිකව පැවැත්වෙන තායිපාසම් මංගල්ලය මෙහි ප්‍රධාන උත්සවයයි. එය කාවඩි නැටුම්, පෙරහර ආදියෙන් යුත් අලංකාර උත්සවයක්.