ශ්‍රී ලංකාව වසර 2500ක පමණ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියනවා. වසර දහස් ගණනක ශ්‍රී විභූතිය පිළිබිඹු වන ස්ථාන ශ්‍රී ලංකාව පුරා විසිරී පවතිනවා. මාතලේ දිස්ත්‍රික්කය ඉන් කිහිපයකට උරුමකම් කියන ප්‍රදේශයක්.
මාතලේ දිස්ත්‍රික්කයේ උතුරු මායිමට වන්නට පිහිටි සීගිරිය ලොව පුරා ජනප්‍රිය සංචාරක සංධිස්ථානයක් වෙනවා. ‘ලොව අටවන පුදුමය’ ලෙස ද සමහරු හඳුන්වන මෙය ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් අති බහුතරය නොවැරදීම පැමිණෙන ස්ථානයක් වෙනවා.
අතීතයේ පටන් සීගිරිය සමග ගසට පොත්ත ලෙස බද්ධ වූ ස්ථානයක් ලෙස පිදුරංගල හැඳින්විය හැකියි. සීගිරියේ පවතින අතිශය වූ ජනප්‍රියතාවය නිසා සමහර අවස්ථාවල දී අවධානයෙන් වසන් වූව ද ඓතිහාසික වැදගත්කමින් නම් එය සීගිරියට කිසිසේත් ම දෙවැනි වන්නේ නැහැ.
පිදුරංගල යන මඟ
පිදුරංගල පිහිටා ඇත්තේ කොළඹ සිට කි. මී. 180ක් පමණ ඈතට වන්නට යි. ඉනාමළුව සීගිරිය මාර්ගයේ සීගිරි පර්වතය නැගීම සඳහා ඇතුළු වන ස්ථානය පසුකර තවත් සැතපුමක් පමණ ඉදිරියට ගිය විට පිදුරංගල හමුවෙනවා. මෙය ඉනාමළුව හංදියේ සිට දළ වශයෙන් කි. මී. 3ක පමණ දුරකින් පිහිටා තිබෙනවා. සීගිරිය මුහුදු මට්ටමේ සිට මීටර 349ක පමණ උසකින් පිහිටා ඇති අතර, පිදුරංගල ඊට වඩා මීටරයක් පමණ උසින් අඩු ලෙස සැලකෙනවා. පිදුරංගල මුදුනට නැගුණු විට හාත්පස සුන්දර දර්ශන නැරඹිය හැකි අතර සීගිරියේ මනස්කාන්ත දර්ශනයක් ද දැකගත හැකියි.
පිදුරංගල හා සබැඳි ඉතිහාසය
පිදුරංගලට වසර දහස් ගණනක් ඈතට විහිදුණු ඉතිහාසයක් තිබෙනවා. මෙහි ඉතිහාසය සීගිරියටත් වඩා අතීතයකට දිවයන අතර ක්‍රි. පූ. දෙවන හා පළමුවන සියවස කාලයේ පටන් පැරණි බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වී තිබෙනවා. ක්‍රි .ව. 477 – 495 අතර කාලයේ දී සීගිරිය සිය පාලන මධ්‍යස්ථානය කරගෙන රජකම් කළ කාශ්‍යප රජු මෙහි විශාල සංඝාවාසයක් හා බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ඉදිකර එය රහතන් වනහ්සේලාට පූජා කළ බැව පතපොතෙහි දැක්වෙනවා.
පිදුරංගල නැරඹීමට ඇති දේ
පිදුරංගල මුදුනෙහි ඇති මනස්කාන්ත දර්ශන නැරඹීමට අමතර ව එහි පාදමේ සිට ඓතිහාසික හා ආගමික වටිනාකමකින් යුතු ස්ථාන රාශියක් එහි සංචාරය කරන්නන්ට හමුවෙනවා. පිදුරංගල නැගීමේ ගමන ආරම්භ කරන ස්ථානය වම්පස කාශ්‍යප ස්ථූපය නම් ගරාවැටුණු චෛත්‍යයක නටඹුන් දැකගත හැකියි. මෙය කාශ්‍යප රජුගේ මරණයෙන් පසු ඔහුගේ ආදාහන පූජ්‍යෝත්සවය සිදුකළ ස්ථානය ලෙස සැලකෙනවා. වැඩි දුරක් යන්නට මත්තෙන් පිදුරංගල පර්වතය පාදමේ පිදුරංගල රජමහ විහාරය හමුවෙනවා. ලෙන් විහාරයක් වන මෙහි සීගිරියේ මෙන්ම පැරණි චිත්‍ර දැකගත හැකියි. මෙහි වර්තමාන විහාරස්ථානය මීට වසර සියයකට පමණ පෙර ඉදිකර ඇතිමුත් එය නිමවා ඇත්තේ ශත වර්ෂ ගණනාවක් ඉපැරණි විහාරයක ශේෂයන් මැදි කොට ගෙනයි.
එය වැඳ පුදාගැනීමෙන් අනතුරුව පර්වතය නැගීම ආරම්භ කළ හැකියි. මෙම නැග්ම සීගිරියට වඩා මඳක් අපහසු යි. සාමාන්‍යයෙන් මෙය නැගීමට පැයක පමණ කාලයක් ගත වන අතර දැඩි හිරු රශ්මියක් සහිත මධ්‍යාහ්න වේලාව මඟහැර ගමන සැලසුම් කිරීම සුදුසු යි. ගමනෙහි පළමු කොටසෙහි ගල් පඩි හා අත්වැට ඉදිකර තිබෙන අතර එහි අවසාන කොටස මඳක් අපහසු නැගීමක් ඇති තරමක් තීව්‍ර එකක්. ඓතිහාසික වටිනාකමකින් යුතු තවත් ඉපැරණි ලෙන් විහාරයක් ගමනේ අතරමඟ දී හමුවන අතර, වර්තමානය වන විට මෙහි ඉතිරිව ඇත්තේ නටඹුන් කිහිපයක් පමණයි. මෙහි මීටර 12.5ක දිගකින් යුතු සෙල්මුවා සැතපෙන බුදු පිළිම වහන්සේ නමක් ඇති අතර එහි ගරා වැටුණු සමහර තැන් මෑත යුගයේ නැවත පිළිසකර කර තිබෙනවා. මෙහි හිස සහිත කොටස මීට වසර 50කට පමණ පෙර නිදන් සොරුන් විසින් විනාශ කර ඇති අතර, මෑතක දී ප්‍රතිසංස්කරණය කර ඇති දේවලට එයත් අයත් වෙනවා. මෙම ඓතිහාසික ලෙන් විහාරයේ සිට එහි මුදුනට ඇත්තේ මිනිත්තු 5-10ක පමණ ගමනක්.
පර්වතය මුදුනට ළඟා වූ පසු හාත්පස මනස්කාන්ත දර්ශනයක් පෙනීමට පටන්ගන්නවා. විශේෂයෙන් ම මෙහි සිට සීගිරිය ඉතා අලංකාර ලෙස දිස්වෙනවා. මෙහි උස ම ස්ථානයේ ඉපැරණි චෛත්‍යයක නටඹුන් හමුවෙනවා. පිදුරංගල මුදුනතට සීගිරිය පෙනෙන්නේ යම් සේ ද, සීගිරිය මුදුනටත් පිදුරංගල එලෙස ම පෙනෙන අතර කාශ්‍යප රජ සමයේ දී කාශ්‍යප රජු මාළිගයේ සිට ම පිදුරංගල වැඳ පුදාගැනීම සිදුකළ බැව් කියැවෙනවා. සීගිරි චිත්‍රවල ඇති ළඳුන් මල් රැගෙන පිදුරංගල වැඳීම සඳහා යන ලෙස දක්වා ඇති බැව් සැලකෙනවා.
පිදුරංගල මතට සීගිරිය මෙන්ම රිටිගල ද හොඳින් දර්ශනය වෙනවා. උදය කාලයේ හෝ සවසක මෙහි ළඟා වුවහොත් හිරු නැගීම හා බැසීම මනස්කාන්ත ලෙස දර්ශනය කරගත හැකියි.
ඉහත සඳහන් කළ ස්ථානවලට අමතර ව පිදුරංගල පර්වතයේත් ඒ තදාසන්න භූමියේත් තවත් ඓතිහාසික නටඹුන් හමු වී තිබෙනවා. මේ අතර පැරණි දාගැබ්, බෝධිඝරයක්, සංඝාවාසවල නටඹුන්, හා ඉපැරණි පවුරක නටඹුන් වැනි දේ වෙනවා.
පිදුරංගල මුදුනත ස්වභාවය
සීගිරිය මෙන්ම පිදුරංගල ද මුදුනත පැතලි ස්වභාවයක් ගන්නා අතර අක්කර කිහිපයක ඉඩක් ද තිබෙනවා. කෙසේ නමුත් මෙය යම් ආනතයකින් යුතු ව පිහිටා තිබීම නිසා පරෙස්සමකින් යුතු ව ඔබමොබ ඇවිදීම සිදුකළ යුතු වෙනවා.
පිදුරංගල තරණයට යාමේ දී සැලකිලිමත් විය යුතු කරුණු
පිදුරංගල මෑතක් වෙන තුරු ම සංචාරකයින් අතර එතරම් ජනප්‍රිය ස්ථානයක් නොවුණු මුත් සමාජ මාධ්‍යය ඔස්සේ හදිසියේ එයට ලැබුණු ප්‍රසිද්ධිය නිසා මෑතක සිට වැඩි වශයෙන් සංචාරකයින් එහි ඇදෙනවා. කෙසේ නමුත් පිදුරංගල ගමනේ දී සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා.
පිදුරංගල පාමුල හා එහි මධ්‍යයේ සිද්ධස්ථාන දෙකක් ඇති බැවින් එහි ආරක්ෂකයින් සංචාරකයින්ගේ ඇඳුම පිළිබඳ ව සැලකිලිමත් වෙනවා. දණහිසට වඩා දිගු ඇඳුම් ආයිත්තම්වලින් සැරසී එහි පියනැගීම සුදුසු යි. මීට අමතර ව දාහය නිවාගැනීම සඳහා ජල බෝතලයක් ද හිරු නැගීම හෝ බැසීම නැරඹීමට යනවා නම් විදුලි පන්දමක් ද රැගෙන යායුතු වෙනවා. එමෙන්ම එහි පරිසරයට හා ඓතිහාසික වටිනාකමක් ඇති දේට හානියක් නොකිරීම ද සංචාරකයින් ගේ යුතුකමක්.
කවරයේ පින්තූරය: videoblocks.com
මූලාශ්‍රයයන්: