Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විඩා නිවන සොඳුරු වෙරළ : පාසිකුඩා – ආරුගම් බොක්ක

ඒකාකාරී ජිවන රටාවෙන් මිදිලා සැනසුමක්, විවේකයක් ලබා ගන්න අපි කවුරුත් කැමතියි. මේ සඳහා බොහෝ දෙනා නොයෙක් කාර්යයන් වල නියැලෙනවා. විනෝද ක්‍රීඩා වල නිරතවීම, සංචාරයේ යෙදීම, සුන්දර පරිසරයක විවේකීව ගත කිරීම වැනි දේවල් මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා. ඉතින් ඔබේ විවේකය, විනෝදය, මානසික සුවය ලබා ගැනීම සඳහා සංචාරයේ යෙදෙන්න අදහස් කරනවා නම්, ඒකට ප්‍රයෝජනවත් අත්වැලක් සපයන්නයි අද අපේ මේ උත්සාහය.

සංචාරය සඳහාත්, විවේකය සඳහාත් සුදුසු තැන් බොහොමයක් ලංකාව පුරා තියෙනවා. ඒ ස්ථාන අතරින් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ඉතා ජනප්‍රියත්වයට පත් වෙරළ තීරයන් රැසක් දිවයින වටාම දකින්න පුළුවන්. මේ  මුහුදු වෙරළ අතරින් පාසිකුඩා සහ ආරුගම් බොක්ක (එහෙමත් නැත්නම් ආරුගම් බේ) වෙරළ තීරයන්ට හිමිවන්නේ ඉහළම ස්ථානයක්.  එයට හේතුව පාසිකුඩා සහ ආරුගම් බොක්ක, ස්වභාව ධර්මයේ විශ්මිත නිර්මාණයන් ලෙස දෙස් විදෙස් කීර්තියට පත්ව ඇති නිසයි. ලෝකයේ වෙනත් කිසිම රටක මෙතරම් සොඳුරු, චමත්කාරජනක මුහුදු වෙරළක් දක්නට නොලැබෙන බවයි ඇතැම් සංචාරකයින්ගේ අදහස.

පාසිකුඩා – ආරුගම් බොක්ක වෙරළට යන්නේ කොහොමද?

පාසිකුඩා.

පාසිකුඩා.

කොළඹ සිට පාසිකුඩා වෙත යාමට අදහස් කරනවා නම්,  පොළොන්නරුව ගොස්‌ එතැනින් මනම්පිටිය පාලම පැන වැලිකන්ද හරහා මඩකලපුව පාරේ වාලච්චේනට යා යුතුයි.  වාලච්චේන පොලිසිය ළඟින් වමට හැරී වඩුක්‌කොඩෙයි පසුකර,  පාසිකුඩා මුහුදු තීරය වෙත ළඟා විය හැකියි. එසේත් නැත්නම්, නුවර – මඩකලපුව හරහා ගොස් පාසිකුඩා වෙත ළඟාවෙන්න පුළුවන්. කොහොම වුණත්  මේ ගමන් මාර්ග දෙකේම දුර ප්‍රමාණයන් කි.මි. 300 ඉක්මවනවා.

ආරුගම් බොක්ක පිහිටා තියෙන්නේ, පාසිකුඩා සිට කි.මි. 147 පමණ දකුණට වන්නටයි. ඒ නිසා බොහෝ විට සංචාරකයින් තෝරා ගන්නා ගමන් මාර්ගය වෙලා තියෙන්නේ, නුවර හරහා මඩකලපුවට පැමිණ එතනින් පාසිකුඩා හා අරුගම්බේ වෙත යෑමයි. මොකද මේ සුන්දර වෙරළ තිරයට පැමිණිලා තමන්ගේ විඩාව නිවාගන්න කවුරුවත් කැමති නිසා.

පාසිකුඩා වෙරළේ විශේෂ ලක්ෂණ

පාසිකුඩා වෙරළ තිරය

පාසිකුඩා වෙරළ තිරය

පාසිකුඩා සහ ආරුගම් බොක්ක වෙරළ තීරයන් වල විශේෂ ලක්ෂණ රැසක්ම දක්නට ලැබෙනවා. මහ මුහුදේ සිට කිලෝමීටරයක් පමණ දුරක් දක්වා විහිදියන ස්වාභාවික දිය තටාකයක් පාසිකුඩා වෙරළේ දක්නට ලැබෙනවා.  එය සොබාදහමේ අපූරු තිළිණයක් විදිහටයි සංචාරකයින් දකින්නේ. පාසිකුඩා  වෙරළ ලොව පුරා ප්‍රසිද්ධ වන්නට ප්‍රධාන හේතුවක් වී තියෙන්නෙත් මේ ස්වභාවික මුහුදු තටාකයයි. මුහුදු රළ සෞම්‍යය ආකාරයට පැවතීම මෙහි දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් ලෙස දක්වන්නට පුළුවන්. මේ නිසා සංචාරකයන්ට රිසි සේ මුහුදේ බැස විනෝද වන්නට හැකියාව ලැබී තිබෙනවා.

පාසිකුඩා වෙරළ තිරයේ අලංකාර කොරල් වැටියක් ද දක්නට ලැබෙනවා. මේ කොරල් පරය වෙරළ තිරයට අලංකාරයක් මෙන්ම ආරක්ෂාවක්ද ගෙන දෙනවා. මේ ශක්තිමත් කොරල් වැටියත් පිහිට තියෙන්නේ පාසිකුඩා මුහුදු වෙරළේ සිට බලන විට පෙනෙන නොපෙනෙන දුරින්.  පාසිකුඩා වෙරළේ සෞම්‍ය රළ සහිත තටාකයක් නිර්මාණය වී තිබෙන්නේත් මෙම කොරල් වැටිය මගින් මුහුදු රළ බිඳින නිසායි.

ආරුගම් බොක්කේ  සුවිශේෂිතා

Pic - 3 -Arugambey -www.batticaloahotels.com

සුන්දර ආරුගම් බොක්ක පාලම හරහා මේ පෙදෙසට ඇතුළුවන සංචාරකයින්ට විවිධ වූ අත්දැකීම් සම්භාරයක් එකවර විඳගැනීමට ඉඩහසර සැලසෙනවා.  රළ මත ලිස්සා යෑමේ ලොව ප්‍රචලිත ජනප්‍රිය ජල ක්‍රීඩාවට ආරුගම් බොක්ක වෙරළ තීරය ඉතා කදිම  තෝතැන්නක්. ඒ නිසයි බොහෝ විදෙස් තරඟ කරුවන් Surfing නමින් හඳුන්වන මෙම ක්‍රීඩාව පුහුණුවීමට ආරුගම් බොක්ක වෙරළ තීරය තෝරාගන්නේ.  මුහුදු රළ මත ලිස්සා යෑමේ ජල ක්‍රීඩාවේ ජාත්‍යන්තර තරඟ පැවැත්වීමට පවා ආරුගම් බොක්ක වෙරළ තීරය තෝරා ගැනීමෙන්ම එහි ඇති වැදගත්කම මනාව තහවුරු වෙනවා.

ආරුගම් බොක්ක වෙරළ තීරයේ ජල ක්‍රීඩා සඳහා ඇති යෝග්‍යතාවයත්, වෙරළ තීරයේ දක්නට ලැබෙන සුන්දර බවත් මෙහි ඇති විශේෂ ලක්ෂණ ලෙස දක්වන්නට පුළුවන්. තවද, ආරුගම් බොක්ක වෙරළ තීරයට මදක් උතුරින් පිහිටි පොතුවිල් කලපුවේ අති සුන්දර වෙරළ තීරයද කෙනෙකු වශීකෘත කරවන මෝහනීය ස්ථානයක්. මේ ආශ්‍රිතව දක්නට ලැබෙන ස්වාභාවික වැලි කඳු, සොබාදහමේ විශ්මය දනවන නිර්මාණයක්.

ආරුගම්බේ Surfing

ආරුගම්බේ Surfing

පාසිකුඩා සහ ආරුගම් බොක්ක අපේ රටට ස්වභාව ධර්මයාගෙන් ලැබුණු, අපට ආඩම්බර විය හැකි මහඟු දායාදයන්. ඉතින් මේ විස්මිත ස්වභාවික සම්පත් අපේ  අනාගත පරපුරට පමණක් නොව සමස්ථ ලෝකවාසීන්ටම හෙට දවසේත් මේ අන්දමින්ම දැක බලා ගැනීමට ඉඩ හසර සැළසීම අද අපගේ යුතුකම විය යුතුයි නේද?

ඡායාරූප : www.allceylon.lk, magazine.lankahelp.com, www.batticaloahotels.com, www.awakenholidays.com, flylankatravels.com

 

Related Articles