Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චිලී රාජ්‍යයේ ප්‍රසිද්ධ සංචාරක ඉසව් පෙළක්

දකුණු අමෙරිකා මහද්වීපයේ සිතියම දෙස වඩාත් විමසිල්ලෙන් බලන විට පැසිෆික් සාගරයට මුහුණලා දිග තීරුවක් සේ පිහිටා තිබෙන රටක් දක්නට ලැබෙනවා. වර්ග කිලෝ මීටර් 756,096ක භූමි ප්‍රදේශයක් පුරා විසිරී පවතින එම රාජ්‍යය චිලී යන නමින් හඳුන්වනවා. ඇන්ටාටිකාවට වඩාත් ආසන්න ව පිහිටා ඇති රට ලෙසින් සැලකෙන චිලී රාජ්‍යයේ සුන්දර ස්ථාන රැසක් පිහිටා තිබෙනවා. එනිසා ලොව පුරා සිටින සංචාරකයන් සෑම වසරක ම චිලී රටට පැමිණෙන්නේ එහි තිබෙන සුන්දරත්වය දැක බලා ගැනීම සඳහා යි. ඒ අයුරින් එරටට පැමිණෙන විදෙස්  සංචාරකයන් වැඩි වශයෙන් නැරඹීමට කැමති ස්ථාන තිබෙනවා. මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ ඒ ස්ථානවලින් කිහිපයක් පිළිබඳව යි.

1) සැන් පෙද්‍රෝ ඩි අටකාමා සංචාරක පුරවරය  

චිලී රටේ අගනුවර වන සන්තියාගෝ නගරයට කි.මී 1630ක පමණ දුරකින් සැන් පෙද්‍රෝ ඩි අටකාමා නගරය පිහිටා තිබෙනවා. සුප්‍රසිද්ධ අටකාමා කාන්තාරයට පිවිසෙන දොරටුව ලෙසින් හැඳින්වෙන එම නගරය ආශ්‍රිත ව ආකර්ෂණීය ස්ථාන කිහිපයක් පිහිටා තිබෙනවා. එනිසා චිලී දේශයට පැමිණෙන සංචාරකයන් සැන් පෙඩ්‍රෝ ඩි අටකාමා සංචාරක පුරවරයට අනිවාර්යයෙන් ම පැමිණෙනවා. එම නගරය ආශ්‍රිත ව විවිධ පැලැන්තියේ හෝටල් සහ ලැගුම්හල් ඉදි ව තිබෙන නිසා සංචාරකයන්ට එහි ගොස් විවේක සුවයෙන් කාලය ගත කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අයුරින් සැන් පෙද්‍රෝ ඩි අටකාමා සංචාරක පුරවරයට යන උදවියට පහත දක්වා තිබෙන ස්ථාන නැරඹීමට අවස්ථාව ලැබෙනවා. 

සඳ නිම්නයේ අපූරු දසුනක් – pinterest

සඳ නිම්නය 

සැන් පෙද්‍රෝ ඩි අටකාමා නගරයේ සිට කිලෝ මීටර් 17ක පමණ දුරකින් සඳ නිම්නය පිහිටා තිබෙනවා. එයට සඳ නිම්නය යන නම පටබැඳී තිබෙන්නේ එහි ඇවිදින විට සඳ මත ගමන් කරනවා වැනි හැඟීමක් ඇති වන නිසා යි. ලුණු කඳුවලින් සමන්විත වුණු විශාල භූමි ප්‍රදේශයක් වන සඳ නිම්නයට ඇන්ඩීස් කඳු වැටිය හොඳින් ම දිස් වනවා. දැඩි වියළි දේශගුණයක් ඇති එම ප්‍රදේශයේ දහවල් කාලයේ සංචාරය කිරීම තරමක් අපහසු වුණත් සවස් වරුවේ දී එහි සංචාරය කිරීම ඉතාමත් සුන්දර අත්දැකීමක්. ඒ හිරු බැස යනවාත් සමඟ ම චන්ද්‍රයා ඉහළට නැගෙන චමත්කාරජනක දර්ශනය දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙන නිසා යි. සඳ නිම්නයේ රාත්‍රීය ගත කරන සංචාරකයකුට පැහැදිලිව ම රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබෙනවා. එපමණක් නොව උදෑසන හිරු පායන දර්ශනය ද නැරඹීමේ අවස්ථාව හිමි වනවා.  ඒ නිසා ම සැන් පෙද්‍රෝ ඩි අටකාමා සංචාරක පුරවරයට පැමිණෙන උදවිය සඳ නිම්නයේ රැයක් ගත කිරීමට අමතක කරන්නේ නැහැ. 

සේජාර් කලපුව (turismokaulles.com)

සේජාර් කළපුව 

සැන් පෙද්‍රෝ ඩි අටකාමා නගරයේ සිට කිලෝ මීටර් 20ක පමණ දුරකින් පිහිටා තිබෙන මෙම කළපුව කාන්තාර ගිලා බැසීමක් හේතුවෙන් නිර්මාණය වී තිබෙනවා. කළපුවේ අන්තර්ගත ජලයේ ලුණු සාන්ද්‍රණය 30%කට වඩා වැඩිවීම හේතුවෙන් පාවෙමින් එහි ස්නානය කරන්නට පුළුවන්. එනිසා එහි පැමිණෙන සංචාරකයන් මළ මුහුද සහ සේජාර් කළපුව සංසන්දනය කරමින් එය ‘පාවෙන විල’ යන නමින් හඳුන්වනවා. පෙද්‍රෝ ඩි අටකාමා සංචාරක පුරවරයට පැමිණෙන සංචාරකයන් අනිවාර්යෙන් ම නරඹන ස්ථාන අතරට එකතුව තිබෙන සේජාර් කළපුවේ ස්නානය කරන අතරතුර ඒ අවට සුන්දර වටපිටාව ද නරඹන්නට පුළුවන්. එය අමුතු ම ආකාරයේ අත්දැකීමක් බව බොහෝ දෙනකු පවසනවා. 

එල් ටැටියෝ උණුදිය උල්පත් – gettyimages

එල් ටැටියෝ උණුදිය උල්පත් 

සැන් පෙද්‍රෝ ඩි අටකාමා නගරයේ සිට කිලෝ මීටර් 89ක් පමණ දුරකින් පිහිටා ඇති එල් ටැටියෝ උණුදිය උල්පත් චිලී රටට පැමිණෙන උදවිය නැරඹීමට කැමති තවත් එක් අපූරු ස්ථානයක්.  සුප්‍රකට ඇන්ඩීස් කඳු වැටියෙහි මීටර් 4200ක් තරම්  උසකින්  එල් ටැටියෝ උණු දිය උල්පත් භූමිය පිහිටා තිබෙනවා. මෙහි පවතින අමුතු ම ආකාරයේ දේශගුණික තත්ත්වයන් හේතුවෙන් මෙය පෘථිවියෙහි පිහිටා ඇති අතිශය ආන්තික පාරිසරික කලාපයක් ලෙසින් හඳුනා ගෙන තිබෙනවා.

උණු දිය උල්පත් 80 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වන එල් ටැටියෝ උණුදිය උල්පත් සංකීර්ණය  දකුණු අර්ධ ගෝලයෙහි විශාලත ම උණු දිය උල්පත් සහිත භූමි ප්‍රදේශය බවට පත් ව තිබෙනවා. ලොව තෙවනි විශාලත ම උණුදිය උල්පත් සංකීර්ණය ලෙසින් ද එය සැලකෙනවා. අධික උණුසුමකින් යුක්ත වන  මෙම අපූරු  උණුදිය උල්පත්වලින් මීටර් 7-8ක් ඉහළට ජලය විදින ආකාරය දැකගන්නට පුළුවන්. එල් ටැටියෝ උණුදිය උල්පත් අවට ස්නානය කළ හැකි තාප තටාක ඉදිකර තිබෙන නිසා ඇන්ඩීස් හි අධික ශීත දේශගුණය පිළිබඳ ව නොතකා බොහෝ සංචාරකයන් මෙහි පැමිණෙනවා. 

මරණයේ නිම්නය – deathless-view-on-death-valley-on-atacama

මරණයේ නිම්නය 

මීට වසර මිලියන ගණනකට පෙර නිර්මාණය වුණු ලුණු කඳු පෙද්‍රෝ ඩි අටකාමා නගරය ආසන්නයේ පිහිටා තිබෙනවා. ඒ ලුණු කඳු අතරේ පිහිටා තිබෙන එක්තරා ප්‍රදේශයක් මරණයේ නිම්නය හෙවත් අඟහරු නිම්නය ලෙසින් හඳුන්වනවා. එම ප්‍රදේශයට එවැනි නමක් පටබැඳී ඇත්තේ එහි කිසිදු ශාක විශේෂයකට හෝ සත්ත්ව විශේෂයකට එහි ජීවත්වීමට නොහැකි නිසා යි. විවිධ පාෂාණ වර්ග සහ ලවණ මිශ්‍ර කඳුවලින් සමන්විත වන එම ප්‍රදේශයේ සංචාරය කරද්දී තමන් වෙනත් ග්‍රහ ලෝකයක සිටිනවා වැනි හැඟීමක් ඇති වන බව ඇතැම් සංචාරකයන් පවසනවා. එනිසා එයට අඟහරු නිම්නය යන නම ද පටබැඳී තිබෙනවා. 

 

2) පාස්කු දූපතේ මෝයි පිළිම 

වර්ග සැතපුම් 64ක භූමි ප්‍රමාණයකට හිමිකම් කියන පාස්කු දිවයින, චිලී දේශයේ බටහිර වෙරළේ සිට සැතපුම් 2300ක් පමණ බටහිරට සහ ටහිටියට සැතපුම් 2500ක් පමණ නැගෙනහිරට වන්නට ස්ථානගත වී තිබෙනවා. කිලෝමීටර් 22.5ක දිගකින් හා 11ක පළලකින් යුතු ත්‍රිකෝණාකාර දූපතක් වන මෙය ඈත අතීතයේ සිදුවුණු භූගත යමහල් විදාරණ රාශියක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වුණු බවට භූ විද්‍යාඥයන් අනාවැකි පළ කරනවා. කඳු සහිත භූ විෂමතාවකට හිමිකම් කියන මෙම දූපතේ ඉහළ ම ස්ථානය වන්නේ රානො කාඋ නම් යමහල යි. දැනට අක්‍රීය තත්ත්වයේ පවතින යමහලක් වන එය අඩි 1969ක පමණ උසකින් යුක්ත යි. 

පාස්කු දූපත – andbeyond

 

1722 වසරේ පාස්කු ඉරිදා දිනයේ දී ලන්දේසි දේශ ගවේශක යාකොබ් රොගෙවීන් අහම්බයකින් මෙම දූපතට ගොඩබැස්සා. එදා රොගෙවීන් ඇතුළු පිරිස දූපතේ නැවතී මඳක් විවේක ගෙන පැය කිහිපයකින් පසුව දූපතේ ඇවිදින්නට ගියා. මෙසේ ගිය සංචාරක පිරිස පුදුමයට පත්කරවන දෙයක් ඔවුන්ට එකවර ම දකින්නට ලැබුණා. ඒ, ගලින් නෙළූ අපූරු පිළිම විශාල ප්‍රමාණයක්. එම ගවේශක පිරිස මීට පෙර දූපත් සහ රටවල් ගණනාවකට ගොස් තිබුණත් එවැනි පිළිම ඊට පෙර දැක තිබුණේ නැහැ. එදා පාස්කු දූපත සොයාගැනීමෙන් පසුව රොගෙවීන් ලියා තිබුණු වාර්තාවක පහත දැක්වෙන කරුණු ලියා තිබුණා.

“ඒ යෝධ ගල් පිළිම දැකීමෙන් අප පුදුමයෙන් පුදුමයට පත් වුණා. එම දූපතේ ජීවත් වුණු ජනයා විශේෂ තාක්ෂණික ක්‍රමයක් අනුගමනය නොකරමින් අඩි 30 ක් තරම් උසට විහිදුණු  අධික බරකින් යුත් මෙම යෝධ පිළිම කෙළින් කළේ කෙසේදැ යි යන ගැටලුව අදටත් මගේ සිතේ පවතිනවා.”

එලෙස අහම්බයකින් ගොඩබැස්ස දූපත පැරණි ශිෂ්ටාචාරයක් තිබුණු ස්ථානයක් බව රොගෙවීන් ඇතුළු පිරිස තේරුම් ගත්තා. පාස්කු ඉරිදාවක දූපතට ගොඩබට නිසා ඔවුන් එයට “පාස්කු දූපත” යන නම තැබුවා.

රොගෙවින් ඇතුළු පිරිස දැක්වෙන සිතුවමක් – getty images

 

 

වර්තමානය වන විට පාස්කු දූපතේ මෝයි පිළිම 600ක් පමණ ඉතිරි ව තිබෙනවා. එහි ඇති කුඩාම පිළිමයේ උස අඩි 3ක් පමණ වන විට විශාල ම පිළිමයේ උස අඩි 66ක් පමණ වනවා. විශාලත්වයෙන් වැඩිම පිළිමය ටොන් 80ක පමණ බර යි. මෙයින් සමහර පිළිමවල හිසේ රතු ගල් තොප්පියක් දක්නට ලැබීම සුවිශේෂී ලක්ෂණයක්.

පාස්කු දූපතේ පිළිම ගැන පුරාවිද්‍යාඥයන් පරීක්ෂා කළත් එම පිළිම නෙළූ තාක්ෂණය ගැන ඔවුන්ට වටහා ගන්නට හැකිවුණේ නැහැ. සමහර මෝයි පිළිමවල පමණක් දක්නට ලැබෙන රතු ගල් තොප්පි ඒවාට පැළඳුවේ කෙසේ ද යන්න අදටත් නොවිසඳුණු අභිරහසක්. 

රතු ගල් තොප්පි සහිත මෝයි පිළිම – getty images

 

පාස්කු දූපතේ මෝයි පිළිම කෙළින් සිට වූ ආකාරය ගැන පුරාවිද්‍යාඥයන් මතයක් පළ කරනවා. ඔවුන් පවසා සිටින්නේ ඈත අතීතයේ මෙම දූපත තුළ තල් ගස් විශාල ප්‍රමාණයක් වැවී තිබුණු බවට සාධක ඇති බව යි. සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු තල් ගසක උස අඩි 60ක් පමණ ද, වට ප්‍රමාණය අඩි 7ක් පමණ ද වනවා. එවැනි තල් ගස්වල කඳන් සහ තල් කෙඳිවලින් අඹරාගන්නා ලද ලණුවලින් මෙම පිළිම කෙළින් කරන්නට ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ අනුමානය යි. අද වන විට පාස්කු දූපතේ තල් ගස් සම්පූර්ණයෙන් ම වඳ වී ගොස් තිබෙන්නේ මෝයි පිළිම මෙතරම් ප්‍රමාණයක් නෙළීමෙන් බව පුරාවිද්‍යාඥයන් වැඩිදුරටත් පවසා සිටිනවා. 

මේ ප්‍රතිමාවල දක්නට ලැබෙන අනිකුත් විශේෂත්වය වන්නේ මේ පිළිම සියල්ල ම ප්‍රමාණයෙන් විශාල හිස් සහිත ව නිර්මාණය කර තිබීම යි. එසේම එවා සියල්ල ම පාහේ සාගරයට පිටුපාමින් ගොඩබිම දෙස බලා සිටින අයුරින් නිර්මාණය කර තිබීම ද සුවිශේෂී කරුණක් ලෙසින් දක්වන්නට පුළුවන්. 

මෝයි පිළිම (gettyimages)

ඊට අමතර ව පාස්කු දූපතෙන් පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ලෙන් ද හමුවුණා. එම ලෙන්වලින් හමුවුණු කෞතුක භාණ්ඩ අතුරින් රොන්ගෝ රොන්ගෝ නමින් හැඳින්වූ චිත්‍රාක්ෂර සහිත ලී පුවරු කාගේත් වැඩි අවධානයට යොමුවුණා. එම අක්ෂර පැරණි මිසර සහ ඉන්දියානු අක්ෂරවලට සමානකම් දක්වන බව පුරාවිද්‍යාඥයන්ගේ මතය යි.

නමුත් ඒවායෙන් කියවෙන දේ පිළිබඳ ව සොයා ගැනීමට අදටත් හැකියාව ලැබී නැහැ. එනිසා මෝයි පිළිමවලින් කියවෙන දේ  මෙන් ම රොන්ගෝ රොන්ගෝ නමින් හැඳින්වෙන පුවරුවල සඳහන් දේත් අදටත් නොවිසඳුණු අභිරහසක්.

ගල් පුවරු මත ඉදිකර තිබෙන මෝයි පිළිම – gettyimages

ඈත අතීතයේ මෙම දූපත තුළ ජීවත් ව සිටි ජනයා සිය මිය ගිය මුතුන් මිත්තන් සිහිකිරීම සඳහා පිළිම ඉදි කළ බවට මතයක් පවතිනවා. දූපතේ සිටි වැදගත් පුද්ගලයන්ගේ ස්මාරක වැඩි උසකින් සාදන්නට ඇති බව අනුමාන කරනවා. එසේ ම එහි ප්‍රභූවරුන් පිරිසකගේ ස්මාරකවලට රතු තොප්පි පළඳවන්නට ඇති බවට ද මතයක් පවතිනවා. පාස්කු දූපතේ ඇති මෝයි පිළිම අතරින් පිළිම 15ක් පමණ අහු නම් විශේෂ ශෛලමය පලක උඩ තැන්පත් කර තිබෙනවා. ඒවා රපා නූයි ගෝත්‍රයේ නායකයන්  සිහිවීමට සාදන ලද බවට අනුමාන කරනවා.

ටොරස් ඩෙල් පේන් ගල් කුළු – Hurtigruten

3) ටොරස් ඩෙල් පේන් ජාතික වනෝද්‍යානය

චිලී රටේ පැටගෝනියා කලාපයේ දක්නට ලැබෙන අලංකාර  ගල් කුළු සමුහයක් ටොරස් ඩෙල් පේන් යන නමින් හඳුන්වනවා. සුප්‍රකට ඇන්ඩීස් කඳු පන්තියේ දකුණු කොටස අයත් වන්නේ ද පැටගෝනියා කලාපයට යි. සෙරෝ පේන් ග්‍රෑන්ඩ් ටොරස් ඩෙල් පේන් ගල් කුළු සමුහයේ උස ම ගල් කුළ යි. එහි උස මීටර 2,884ක් ලෙසින් සටහන් වනවා. එහි පිහිටා තිබෙන අනිකුත් ගල් කුළු මීටර් 2650, මීටර් 2500, මීටර් 2460, මීටර් 2,100 වැනි උසවල්වලින් යුක්ත යි. ඒ අයුරින් නිර්මාණය වුණු ගල් කුළු සහිත ප්‍රදේශය සුන්දරත්වයෙන් අනූන නිසා 1959 වසරේ දී පමණ එහි ජාතික වනෝද්‍යානයක් නිර්මාණය වුණා.

ග්‍රේ විල (gettyimages)

 

මෙම ජාතික වනෝද්‍යානය තුළ අපූරු ස්ථාන කිහිපයක් පිහිටා තිබෙනවා. ඒ අතරට අයත් වන කටුක කළපුවට එම නම ලැබී ඇත්තේ එහි ජලයේ  PH අගය ඉහළ අගයක් ගන්නා නිසා යි. වනෝද්‍යානයට පැමිණෙන උදවිය නැරඹීමට කැමති තවත් ස්ථානයක් වන්නේ ග්‍රේ නම් ග්ලැසියර් විල යි. ග්ලැසියරයකින් සෑදී ඇති එම විල අසලට ගිය විට ඈතින් පිහිටා තිබෙන සුන්දර කඳු මුදුන් දැකගන්නට පුළුවන්. ඊට අමතරව ග්‍රේ විල අසල පිහිටා තිබෙන අළු ග්ලැසියරය පමණක් නොව සර්මියන්ටෝ විල, මිඩෝගන් ගුහාව සහ සැල්ටෝ ග්‍රෑන්ඩ් දිය ඇල්ල යන ස්ථාන ද සංචාරක ආකර්ෂණයට ලක් ව තිබෙනවා. 

කවරයේ ඡායාරූපය- ටොරස් ඩෙල් පේන් ජාතික වනෝද්‍යානයේ සුන්දරත්වය - getty images

මූලාශ්‍ර-

actualidadviajes.com

Easter Island Travel

travelandkeepfit.com

traveltriangle.com

Related Articles