Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පැසිෆික් සයුරේ සුන්දර දිවයින – ටහිටි

පැසිෆික් සාගරය ලොව විශාලතම සාගරය යි. එහි තැනින් තැන කුඩා දූපත් රාශියක් විසිරී තිබෙනවා. මෙයින් සමහරක් සොබා සෞන්දර්යයෙන් ඉතාම අණූන ඒවා. මේ නිසාම ඒවාට ඉතා ඉහළ සංචාරක ආකර්ෂණයක් තිබෙනවා. මේවා බහුතරය ඝර්ම කලාපික ලක්ෂණ පෙන්නුම් කරන නිසා දේශගුණය අතින් ශ්‍රී ලංකාවට බොහෝ සමාන වෙනවා.

ලෝක සිතියමේ ඉතා කුඩා තිතක් තරමට, පෙනෙන නොපෙනෙන තරමට කුඩා ටහිටි දූපතත් පැසිෆික් සයුරේ දූපත් සම්බන්ධව පෙර කී කරුණු සියල්ලෙන්ම පරිපූර්ණ එකක්. ඉතා කුඩා වපසරිය නිසා දුර කතර ගෙවාගෙන එහි යාම නිෂ්ඵල කාර්යයක් සේ කෙනෙකුට සිතුනත්, එහි ඇති මනරම් වෙරළ තීර දකින විට දී නම් නැවත එය හැර පියා ඒම දුෂ්කර කාර්යයක් සේ ඔබට හැඟෙනු නොඅනුමාන යි.

ටහිටි හි පිහිටීම හා මූලික තොරතුරු

ප්‍රංශයේ පාලනයට නතු ටහිටි ප්‍රංශ පොලිනීසියාවට අයත්ව පිහිටා තිබෙනවා. මෙය වින්ඩ්වර්ඩ් දූපත් සමූහයේ විශාලම දූපත වන අතර  සාගරයෙන් ඉහළට පැන නැඟුණු, එකට බද්ධව පිහිටි, වර්තමානය වන විට නිෂ්ක්‍රීය තත්ත්වයේ පවතින යමහල් ද්වාර දෙකක් අනුසාරයෙන් නිමැවී තිබෙනවා. මෙහි විශාල යමහල් ද්වාරය ආශ්‍රිත ප්‍රදේශය ටහිටි නුඉ ලෙස හඳුන්වන අතර, අර්ධද්වීපයක් සේ පිහිටා ඇති කුඩා යමහල ආශ්‍රිත ප්‍රදේශය ටහිටි ඉටි ලෙස හඳුන්වනු ලබනවා. මේ ද්විත්වය එකට යා කරන සේතුව ‘ටරාවෝ’ ලෙස හඳුන්වනවා.

ටහිටි ඇතුළු ප්‍රංශ පොලිනීසියාවේ දූපත් (farandawayadventures.com)

ටහිටි දූපතේ සම්පූර්ණ විශාලත්වය වර්ග සැතපුම් 403ක්, හෙවත් වර්ග කිලෝමීටර 1,043ක්. මෙයට ප්‍රංශ පොලිනීසියාවේ සම්පූර්ණ භූමි වපසරියෙන් තුනෙන් එකකටත් වඩා ඇතුලත් වෙනවා. මෙහි විශාලම නගරය හා අගනුවර වෙන්නේ වයඹදිග වෙරළබඩව පිහිටා ඇති පපීටේ යි.

ටහිටි හි භූ විෂමතාවය හා දේශගුණය

ටහිටි තැනී ඇත්තේ භූගත යමහල් පද්ධතියක සමුද්‍රයෙන් ඉහළට නෙරා ඇති ද්වාර දෙකක් මඟින් නිසා, කුඩා වපසරියක් ඇති දූපතක් වුව ද එහි එහි ඇත්තේ කඳු සහිත භූ විෂමතාවයක්. මෙහි ටහිටි නුයි කොටසේ උසම ස්ථානය මීටර 2,237 ක් උස ඔරොහෙනා කඳු මුදුන වන අතර, ටහිටි ඉටි හි උස්ම ස්ථානය මීටර 1,323ක උසින් යුතු රොඉනු කන්ද වෙනවා. මේවායින් පැන නැඟෙන කුඩා දිය දහරා රාශියකින් ටහිටි පොහොසත් අතර ඉන් විශාලතම දිය දහර උතුරු දිශාවට ගලා බසින ‘පපෙනූ’ වෙනවා.

ටහිටි මනරම් භූ විෂමතාවයකට උරුමකම් කියනවා (Jansen Fenstermacher)

ටහිටි සමස්ථයක් වශයෙන් හොඳින් වර්ෂාව ලැබෙන දිවයිනක්. එය වර්ෂාව සලකා ප්‍රධාන කලාප දෙකකට බෙදන්නටත් පුළුවන්. ඒ තෙත් දකුණු කොටස හා සාපේක්ෂව වියළි උතුරු කොටස වශයෙනුයි. මෙහි දකුණුදිගට වාර්ෂිකව මිලිමීටර 2500 ඉක්මවූ වර්ෂාවක් ලැබෙන අතර උතුරු කොටසට ලැබෙන වර්ෂාව වාර්ෂිකව මිලිමීටර 1800ක් පමණ වෙනවා. වර්ෂා සමය ලෙස සැලකෙන්නේ දෙසැම්බර් මස සිට මාර්තු අතර කාලය යි. මෙහි වෙරළබඩ පෙදෙස් වල සාමාන්‍ය දෛනික උෂ්ණත්වය ජුනි මාසයේ සෙල්සියස් අංශක 24ක් පමණ ද ජනවාරි මස සෙල්සියස් අංශක 29ක් පමණ ද වෙනවා.

ටහිටි දිවයින අවට දැකිය හැකි කොරල්පර (tahiti.com)

ටහිටි හි දේශගුණය පොල් වගාවට මෙන්ම උක් හා කෝපි වගා වලටත් කදිමට ගැලපෙනවා. මෙහි වෙරළතීර කලපු වලින් ගහන අතර, ඒවායේ කොරල් පර දැකගන්නව පිළිවන්. මීට අමතර වෙරළබඩට වන්නට පොල් ගස් ද තවත් ඝර්මකලාපීය පලතුරු ගස් ද දැකගන්නට පුළුවන්.

ටහිටි හි ඉතිහාසය

ඉතා ඈත අතීතයක සිට ටහිටි හි පොලිනීසියානු ජාතිකයින් ජීවත් වී තිබෙනවා. ක්‍රි.ව 18 වන සියවසේ දී මෙයට යුරෝපීය නාවුකයින්ගේ ආගමනය සිදු වී ඇති අතර ඉංග්‍රීසි ජාතික ජේම්ස් කුක් ඉන් ප්‍රධාන තැනක් ගන්නවා.

කපිතාන් ජේම්ස් කුක් (rmg.co.uk)

කෙසේ නමුත් පසුකාලීනව මෙහි අයිතිය තහවුරු කරගත්තේ ප්‍රංශය යි. ක්‍රි.ව 1797 දී මෙහි පළමු යුරෝපීය ජනාවාසය ඇති වී තිබෙන අතර ස්වදේශික ජනයා සමඟ යම් යම් දේශපාලනික මතබේධයන් ද ඇති වී තිබෙනවා. ටහිටි 1880 වසරේ දී නිල වශයෙන් ප්‍රංශයේ යටත් විජිතයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

සංචාරක ස්ථාන

ප්‍රමාණයෙන් ඉතා කුඩා වුවත් ටහිටි හා තදාසන්න දූපත් වල සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන නම් බොහොමයක්ම තිබෙනවා.

රංගිරොආ කොරල් දූපත් සමූහය ලොව විශාලතම කොරල් දූපත් සමූහයක් ලෙස සැලකෙන අතර කිමිදුම් හා බෝට්ටු පැදීම සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා.

රංගිරොආ කොරල් දූපත් (Tahiti tourisme/Philippe Bacchet)

ගිණිකඳු විදාරණයක් හේතුවෙන් මීට වසර මිලියන 12කට පමණ පෙර සෑදී ඇති රුටුරු දූපත ටහිටිහි තවත් විශේෂිත භූ විෂමතා ලක්ෂණ ප්‍රකට කරන තැනක්. පසු කාලීනව මෙහි පාංශු ඛාදනය සිදු වීම නිසා ගුහා වැනි ව්‍යුහ සෑදී තිබෙනවා. මෙහි දී තල්මසුන් නැරඹීම ද සංචාරකයින්ට කරන්නට පුළුවන්

හුඅහිනේ දූපත ටහිටි දූපතේ සිට විනාඩි 40ක පමණ ගුවන් ගමණකින් පසුව හමුවන අතර සම්පූර්ණයෙන්ම පාහේ වන වැස්මකින් ආවරණය වී තිබෙනවා. මෙහි පොල්, කෙසෙල්, වැනිලා වැනි ශාක දැකගන්නට පුළුවන්.

හුඅහිනේ දූපත (welcome-tahiti.com)

ඔටෙමනු කන්ද ටහිටි දූපතට අයත් කුඩා දූපතක් වන බෝරා බෝරාහි පිහිටා ඇති අතර එය විශේෂ හැඩයකින් යුක්ත වෙනවා. නිෂ්ක්‍රීය යමහල් ද්වාරයක් ඇති මෙය තරණය කරන්නට යාම වැන වික්‍රමාන්විත ක්‍රියා ද  මෙහි දී සංචාරකයින්ට සිදු කළ හැකියි.

ඔපුනොහු බොක්ක ප්‍රංශ පොලිනීසියාවට අයත්ව පිහිටා ඇති මූරිආ දූපතේ පිහිටා ඇති අතර එහි වෙරළ තීරය කිලෝමීර්ටර 3ක් දිගු වෙනවා. මෙහි මුහුද සාමාන්‍යයෙන් එතරම් ප්‍රචණ්ඩ නොවන අතර ඩොල්ෆින් මසුන් නැරඹීම ද එහිදී කළ හැකියි.

ඔපුනොහු බොක්ක (Dom Leoture)

තවත් කුඩා දූපත් සමූහයක් මාකේසස් දූපත් ස්වභාවික පුදුමයන්ගෙන් ගහන පාරාදීසයක් බඳු යි. කඳු හෙල් පමණක් නොව දියඇළි පවා ඇති තැනක් මේ. එම දූපතේ පිහිටා ඇති වඉපෝ නම් දියඇල්ල මීටර 350ක් තරම් උස් වන අතර එය ලොව තෙවනුවට උසින් වැඩිම දිය ඇල්ල ලෙස සලකනවා.

වඉපෝ දියඇල්ල (tea2taxiservices.blogspot.com)

ටහිටියට ආසන්නයෙන් පිහිටා තිබෙන මූරිආ දූපතහි උසම කඳු මුදුන මීටර 1207 තරම් උසකින් යුක්ත ටොහිවිආ වන අතර එය වටා යාමේ පා ගමන් ද සංවිධානය කරගත හැකියි. ප්‍රංශ පොලිනීසියාවේ අනෙකුත් දූපත් මෙන්ම භූගත යමහලක් හේතුවෙන් මේ දූපත ද තැනී ඇති අතර කඳු හා හෙල් රාශියකින් සමන්විත භූ විෂමතාවයකින් යුක්තව තැනී ඇති නිසා සංචාරකයින්ගේ නෙත් පැහැරගැනීමට සමත් වෙනවා.

ඉතින්, දවසක ටහිටි ගිහින් බලමු.

කවරයේ පින්තූරය (charterworld.com)

Related Articles