උතුරු යුරෝපයට අයත් වන අයිස්ලන්තය අධික ශීතල දේශගුණයකින් යුක්ත රටක්. ව. කි. මී. 103,000ක පමණ භූමි ප්‍රමාණයක් පුරා විසිරී පවතින මෙම රාජ්‍යයේ ජීවත්වන්නේ ආසන්න වශයෙන් 364,000ක් වැනි සුළු ජනගහනයක්. එම නිසා අයිස්ලන්තය ලෝකයේ ජන ඝනත්වය අඩුම රාජ්‍යයන් කිහිපය අතර රැඳී සිටිනවා. අයිස්ලන්තයේ ජනගහනය විශාල වශයෙන් අඩුවීමට හේතුවී තිබෙන්නේ එහි පවතින ස්වභාවික භූ ලක්ෂණ යි.
අයිස්ලන්තය ගිනිකඳු, වැලිකඳු, උණුදිය උල්පත්, ලාවා තැන්පත් වුණු ප්‍රදේශ, ග්ලැසියර ආදිය දක්නට ලැබෙන රටක්. අයිස්ලන්තයේ පිහිටා තිබෙන ප්‍රසිද්ධම ග්ලැසියර් වන්නේ වට්නයෝකුල්, මර්ඩල්ස්යෝකුල්, ලැන්යෝකුල්, ස්නෙෆෙල්ස්යෝකුල් යන ග්ලැසියර් හතර යි. වට්නයෝකුල් අයිස්ලන්තයේ පිහිටා තිබෙන විශාලතම ග්ලැසියරය ලෙසින් සැලකෙනවා.
වට්නයෝකුල් ග්ලැසියරය
වසර 2500ක් පමණ පැරණි වට්නයෝකුල් අයිස්ලන්තයේ පමණක් නොව යුරෝපයේ ද විශාලතම ග්ලැසියරය වශයෙන් සැලකෙනවා. ව. කි. මී. 8100ක භූමිභාගයක් පුරා පැතිර තිබෙන මෙම විශාල ග්ලැසියරය අයිස්ලන්තයේ මුළු භූමි ප්‍රමාණයෙන් 8%කට ආසන්න ප්‍රමාණයක් ආවරණය කරනවා. මෙම ග්ලැසියරයේ අයිස්වල සාමාන්‍ය ඝනකම මීටර් 400ක් පමණ වන අතර, එහි උපරිම ඝනකම මීටර් 1000ක් ලෙසින් සටහන් වනවා.
2008 වසරේ දී ස්කෆ්ටාෆෙල්, යෝකුල්සාර්ග්ල්ජුෆර් ඇතුළු තවත් ස්වභාවික රක්ෂිත කිහිපයක් වට්නයෝකුල් ජාතික උද්‍යානයට ඒකාබද්ධ කර විශාල ජාතික උද්‍යානයක් නිර්මාණය කෙරුණා. එම ජාතික උද්‍යානය එරට මුළු භූමි ප්‍රමාණයෙන් 13%ක් පමණ ආවරණය කරනවා. වට්නයෝකුල් ජාතික උද්‍යානයේ තිබෙන වැදගත්කම නිසා 2019 වසරේ දී යුනෙස්කෝ සංවිධානය විසින් එය ලෝක උරුමයක් ලෙසින් නම් කරනු ලැබුණා.
1934 වසරේ දී වට්නයෝකුල් ග්ලැසියරයේ විල් කලාපය පුපුරා ගියා. එම නිසා මෙම ග්ලැසියරය ආශ්‍රිතව පර්යේෂණ කටයුතු සිදුවුණා. 1996, 1998, 2004, සහ 2011 යන වසරවල දී විල් කලාපය ආශ්‍රිතව පිපිරීම් සිදුවුණා. 1950 වසරේ දී අයිස්ලන්ත ග්ලැසියර් විද්‍යා සංගමය ආරම්භවීමෙන් පසුව සෑම වසරකම මෙම ග්ලැසියරය ආශ්‍රිතව පර්යේෂණ කටයුතු සිදුකරනු ලැබුවා.
වට්නයෝකුල් ග්ලැසියරයට යටින් ක්‍රියාකාරී මට්ටමේ ගිනිකඳු හතක් පිහිටා තිබෙනවා. ඒ අතුරින් ග්‍රම්ස්වොට්න්, බාර්ඩාර්බුන්ගා, ක්වර්ක්ෆ්ජෝල් යන ගිනිකඳු ප්‍රධාන තැනක් ගන්නවා. මෙම ගිනිකඳු වරින් වර පුපුරා යාම හේතුවෙන් ග්ලැසියර දියවී ගංවතුර තත්ත්වයන් ඇතිවනවා. 1362 වසරේ දී වට්නයෝකුල් ග්ලැසියරය ආශ්‍රිතව සිදුවුණු එවැනි පුපුරායාමක් නිසා විශාල ගංවතුරක් නිර්මාණය වුණා. එසේම 1727 වසරේ දීත් එවැනි විශාල ගංවතුර තත්ත්වයක් නිර්මාණය වුණා. එම අවස්ථාවන් 2දීම විශාල දේපල හානියක් සිදුවුණා.
වට්නයෝකුල් ග්ලැසියරය තුළ තවත් කුඩා ග්ලැසියර් 30ක් පමණ දක්නට ලැබෙනවා. ඉන් විශාලම ග්ලැසියරය වන්නේ බ්‍රීඩමර්කුර්ජොකුල් නම් ග්ලැසියරය යි. අයිස්ලන්තයේ උසම කඳු මුදුන ලෙස සැලකෙන හවානාඩල්ෂ්නකූර් ද පිහිටා තිබෙන්නේ වට්නයෝකුල් ග්ලැසියරය තුළ යි. ඊට අමතරව වට්නයෝකුල් ග්ලැසියරය තුළ පිහිටා තිබෙන සුන්දර ස්ථාන අතරට යෝකුල්සර්ලන් නම් කලපුව ද අයත්.
යෝකුල්සර්ලන් කලපුව
වට්නයෝකුල් තුළ පිහිටා තිබෙන විශාලතම ග්ලැසියරය වන බ්‍රිඩමර්කුර්ජොකුල් මඟින් යෝකුල්සර්ලන් ග්ලැසියර් කලපුව පෝෂණය වනවා. මීටර් 284ක ගැඹුරකින් යුත් මෙම ග්ලැසියර් කලපුව අයිස්ලන්තයේ ගැඹුරුම ජලාශය යි. සුන්දරත්වයෙන් අනූන ග්ලැසියර් කලපුවක් වන යෝකුල්සර්ලන්හි ජලය අනිකුත් කලපුවලට වඩා දීප්තිමත් නිල් පැහැයක් ගනු ලබනවා. මෙම කලපුව ආශ්‍රිතව දක්නට ලැබෙන සුන්දරත්වය නිසාම මෙහි චිත්‍රපට 4ක රූපගතකිරීම් සිදුවුණා. ඒ, A View to a Kill, Die Another Day, Lara Croft : Tomb Raider, Batman Begins යන හොලිවුඩ් චිත්‍රපට හතර යි. එසේම Amazing Race නම් රූපවාහිනි කතා මාලාවේ රූපගතකිරීම් ද මෙහි දී සිදුවුණා.
1991 වසරේ දී නිකුත් කරන ලද මුද්දරයක මුහුණටතත් ජකුස්සර්ලන් කලපුව ඇතුළත් කර තිබුණා. මෙම ග්ලැසියර් කලපුවෙහි තිබෙන සුන්දරත්වය නිසාම සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙහි පැමිණෙනවා. කලපුවට පැමිණෙන සංචාරකයන්ට මෙහි දී හොඳින් විනෝද වන්නටත් පුළුවන්.
දියමන්ති වෙරළ නිර්මාණය වී තිබෙන ආකාරය
අයිස්ලන්තයේ ගිණිකොණ දිග මුහුදු තීරයේ පිහිටා තිබෙන හොෆ් සහ හොෆ්න් නම් ප්‍රදේශ අතර බ්‍රීඩමර්කුර්සන්දූර් නම් වෙරළ පිහිටා තිබෙනවා. ගිනිකඳු පිපිරීම්වල ප්‍රතිඵලයක් වශයෙන් එම වෙරළ තීරයේ වැලිවලට කළු පැහැයක් ලැබී තිබෙනවා. බ්‍රීඩමර්කුර්සන්දූර් වෙරළ තීරය ආසන්නයේ යෝකුල්සර්ලන් ග්ලැසියර් කලපුව පිහිටා තිබෙනවා. එම කලපුවට පෝෂණ ලබාදෙන බ්‍රීඩමර්කුර්ජොකුල් ග්ලැසියරයෙන් කැඩීයන ප්‍රමාණයෙන් විශාල අයිස් කැබලි බ්‍රීඩමර්කුර්සන්දූර් වෙරළට ගසාගෙන එනවා.
එලෙස ගසාගෙන එන විශාල අයිස් කැබලි සුන්දර බ්‍රීඩමර්කුර්සන්දූර් වෙරළේ කළු වැල්ල මත එකතු වනවා. සාමාන්‍යයෙන් අයිස්ලන්තය තුළ ශීත දේශගුණයක් පවතින නිසා අයිස් කැබලි ලෙහෙසියෙන් දියවන්නේ නැහැ. එම නිසා බ්‍රීඩමර්කුර්සන්දූර් වෙරළට එකතු වුණු අයිස් කැබලි එලෙසම පවතිනවා. කළු පැහැති වැලි වෙරළට එකතු වී තිබෙන අයිස් කැට දියමන්ති මෙන් දිස්වන නිසා මෙම වෙරළ “දියමන්ති වෙරළ” ලෙසින් හඳුන්වනු ලබනවා.
දියමන්ති වෙරළ නැරඹීමට සුදුසුම කාලය
රෙයික්ජාවික් අගනුවර සිට දියමන්ති වෙරළ කි. මී. 378ක පමණ දුර ප්‍රමාණයකින් පිහිටා තිබෙනවා. පුද්ගලික වාහනයකින් පැය 4 යි මිනිත්තු 30ක පමණ කාලයකින් එම දුර ප්‍රමාණය ගෙවා දැමිය හැකියි. නමුත් දුම්රියෙන් එම ගමන සඳහා පැය 6 යි විනාඩි 30ක පමණ කාලයක් වැයවනවා. දියමන්ති වෙරළේ තිබෙන සුන්දරත්වය නිසාම දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් එහි ගොස් විනෝද වනවා.
දියමන්ති වෙරළ වසරේ ඕනෑම ඍතුවක දී නරඹන්නට පුළුවන්. නමුත් අයිස්ලන්තයට ශීත ඍතුව උදාවුණු විට දිවා කාලයේ දී ලැබෙන ආලෝකය අඩු යි. එසේම පරිසරය දැඩි ශීතල ගතියකින් යුක්ත යි. එම නිසා ශීත ඍතුවේ දී දියමන්ති වෙරළ නැරඹීමට යන සංචාරකයන්ට අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණදීමට සිදුවනවා. අයිස්ලන්තයට ගිම්හාන ඍතුව එළඹුණු විට දීර්ඝ දිවා කාලයක් පවතිනවා. එවිට පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් 8-14 අතර අගයක් ගන්නවා. එම නිසා ගිම්හානයේ දී මෙහි පැමිණෙන සංචාරකයන්ට වෙරළ ආශ්‍රිතව විවිධ ක්‍රියාකාරකම්වල නිරතවෙමින් ප්‍රීතියෙන් දවස ගතකරන්නට පුළුවන්. එසේම දියමන්ති වෙරළට උදෑසන සහ සවස් යාමයේ පැමිණෙන සංචාරකයන්ට හිරු පායන සහ බසින අවස්ථාවන් නරඹන්නට පුළුවන්. එය ඉතාමත් සුන්දර දර්ශනයක් නිසා සංචාරකයන් උදෑසන සහ සවස් යාමයේ දී දියමන්ති වෙරළට එකතු වී සිටින ආකාරය සුලබ දසුනක්.
දියමන්ති වෙරළට තිබෙන්නේ එයටම අනන්‍ය වුණු සුන්දරත්වයක්. දියමන්ති වෙරළ ලොව පුරා සිටින සංචාරකයන් අතර ජනප්‍රිය වී තිබෙන්නේත් එම අපූර්වත්වය නිසායි. වර්තමානය වන විට මෙම වෙරළ තීරය ලෝකයේ තිබෙන චමත්කාරජනක සංචාරක ඉසව් අතරට එකතු වී හමාර යි.