Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ ගොඩක්ම ප්‍රසිද්ධ නැති සුන්දර මුහුදු වෙරළ තීර කිහිපයක්

මිනිස්සු රට රටවල් අතර දේශාටනය පටන් ගත්තු කාලේ ඉඳලාම ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ වෙලා තිබුණේ සුන්දර වෙරළ තීරයන් වලින් පිරුණු දූපතක් විදිහටයි. අපේ රටේ නූතන ඉතිහාසයේ ආරම්භය කියලා වැඩි දෙනා පිළිගන්න විජය කුමාරයා ලංකාවට ගොඩ බැසීමේ ඉඳලාම මේ කාරණාව ඔප්පු කරන්න බොහෝ සාක්ෂි දැක ගන්න පුළුවන්. ඔවුන් ලංකා භූමියට ගොඩ බැස්ස දවසේ ඉඳලා මේ රට “තම්මැන්නාව” කියලා හඳුන්වන්න ගත්තේ වෙරළ තීරයේ තිබුණු තඹ පාට නිසා බව සඳහන් වෙනවා.

පොතුවිල් මුහුදු තීරය. රූපය : J. M. Hijas

පොතුවිල් මුහුදු තීරය. රූපය : J. M. Hijas

දූපතක් විදිහට ශ්‍රී ලංකාව වටා කිලෝමීටර් 1500කටත් වැඩි වෙරළ තීරයක් තිබුණත් වැඩි දෙනා නිවාඩුවක් ගත කරන්න යන්න බලන්නේ දකුණු පළාත තුළ තියෙන ප්‍රසිද්ධ වෙරළ තීරයන්ට විතරයි. වැඩි දෙනෙක්ට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් ප්‍රදේශ නිසාත්, ඇත්තටම ලස්සන වෙරළ තීරයන් බොහොමයක් දකින්න ලැබෙන නිසාත් දකුණු පළාත වෙරළ තීරයක නිවාඩුව ගත කරන්න පුළුවන් පැත්තක් විදිහට බොහොම ජනප්‍රියයි. නමුත් ගමන් පහසුව ගැන වැඩිපුර හිතන්නේ නැතිව, ටිකක් දීර්ඝ නිවාඩුවක් නිදහසේ ගත කරන්න කැමති නම් තවත් මුහුදු තීරයන් බොහොමයක් රට පුරාම පැතිරිලා තියෙනවා.

දකුණු පළාතට තියෙන විශාල ආකර්ෂණය නිසා මේ අනිකුත් මුහුදු ප්‍රදේශ වලට යන එන පිරිස ටිකක් අඩුයි. ඒත් ජනාකීර්ණ නැති තැනක නිවාඩුව ගත කරන එක ඇත්තටම අමුතුම අත්දැකීමක්. අපි මේ කියන්න යන මුහුදු තීරයන් තත්වයෙන් ගත්තාම දකුණු පළාතේ වෙරළ තීරයන්ට දෙවැනි වෙන්නේ නැහැ. නමුත් වැඩි දෙනා නොයන නිසාම මේ තැන් වල ස්වභාවික සුන්දරත්වය වඩාත් ආරක්ෂිතව තියෙනවා.

ඉතින් ළඟ එන නිවාඩු කාලේ මුහුදු වෙරළකට යන්න හිතාගෙන ඉන්නවා නම් අපි මේ කියන්න යන තැන් ගැනත් ටිකක් සලකලා බලන්න. මොකද මේ වගේ පැත්තක නිවාඩුවක් ගත කරන එක හැමදාම යන බෙන්තොට, හික්කඩුව, උණවටුනට වඩා මතක හිටින ගමනක් වෙන්න ඉඩ තියෙනවා.

නිලාවැලි සහ පරෙවි දූපත

පරෙවි දූපත ශ්‍රී ලංකාවේ තියෙන ජාතික සමුද්‍ර උද්‍යාන දෙකෙන් එකක්. අපේ රටේ විශාලතම සජීවී කොරල් පරය පිහිටලා තියෙන්නෙත් පරෙවි දූපතේ. රූපය : marvelloussrilankalk.blogspot.com

පරෙවි දූපත ශ්‍රී ලංකාවේ තියෙන ජාතික සමුද්‍ර උද්‍යාන දෙකෙන් එකක්. අපේ රටේ විශාලතම සජීවී කොරල් පරය පිහිටලා තියෙන්නෙත් පරෙවි දූපතේ. රූපය : marvelloussrilankalk.blogspot.com

දකුණු පළාතෙන් පිටත වෙරළ තීරයන් වලින් වඩාත්ම ප්‍රසිද්ධ තැනක් තමයි නිලාවැලි ප්‍රදේශය. රටේ තිබුණ යුද්ධය සහ 2004 අවුරුද්දේ ඇති වුණු සුනාමි ව්‍යසනය නිසා මේ සුන්දර වෙරළ ප්‍රදේශයේ ජනප්‍රියත්වය සෑහෙන දුරට අඩු වෙලා තිබුණත් ඒ තත්වය ඉක්මණින්ම පහ වෙලා ගියා. මේ නිසා නිලාවැලි ප්‍රදේශය දැන් ආයෙමත් බොහෝ දෙනා ආසම කරන තැනක් බවට පත් වෙලා තියෙනවා. ත්‍රිකුණාමලය නගරයට කිලෝමීටර් 16ක් විතර උතුරු පැත්තට වෙන්න පිහිටලා තියෙන නිලාවැලි වෙරළ තීරය අදත් එදා තරමටම සුන්දරයි.

නිලාවැලිය මේ තරම් ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව සුන්දරත්වය වගේම පහසුකම් අතිනුත් ඉහළ තැනක තියෙන එක. බොහෝ ජනප්‍රිය වෙරළ තීර මිනිස්සුන්ගෙන් පිරිලා යන නිසා මේ දවස් වල ඇත්තටම සුන්දරත්වයක් අත්දකින්න අපහසුයි. අනිත් අතට ඒ තරම් ප්‍රසිද්ධියක් නැති වෙරළ ප්‍රදේශ වල නවාතැන් පහසුකම් සොයා ගන්න ලේසි නැහැ. නිලාවැලිය මේ ප්‍රශ්න දෙකටම හොඳ පිළිතුරක් දෙන තැනක්. තවමත් වැඩි දෙනා එන්නේ නැති නිසා බොහොම නිස්කලංකව තිබුණත් නිලාවැලි ප්‍රදේශයේ සුවපහසු හෝටල් සහ ආපනශාලා වලින් කිසිම අඩුවක් නැහැ.

අනිත් වැදගත්ම දේ තමයි නිලාවැලි වෙරළට කිලෝමීටරයක් විතර ඈතින් තියෙන පරෙවි දූපත. ශ්‍රී ලංකාවේ තියෙන සමුද්‍ර උද්‍යාන දෙකෙන් එකක් වන පරෙවි දූපත අවට අපේ රටේ දැකගන්න පුළුවන් විශාලතම සජීවී කොරල් පරයත් පිහිටලා තියෙනවා. මේ නිසා කිමිදීලා බලන්න වගේම ස්නෝක්ලින් වලටත් පරෙවි දූපත කියාපු තැනක්.

කල්පිටිය

කල්පිටියේ ප්‍රධානතම සංචාරක ආකර්ෂණය ඩොල්ෆින්ලා නරඹන එක. රූපය : srilankainstyle

කල්පිටියේ ප්‍රධානතම සංචාරක ආකර්ෂණය ඩොල්ෆින්ලා නරඹන එක. රූපය : srilankainstyle

ඔබත් මුහුදු ජීවීන් දකින්න ආස කරන කෙනෙක් නම් ශ්‍රී ලංකාවේ ඔබට යන්න තියෙන හොඳම තැනක් තමයි කල්පිටිය. අර්ධද්වීපයක් වන කල්පිටිය ප්‍රදේශය කාලයක් පුරාවට කාගේවත් අවධානයට ලක් නොවුණු පිටිසර ප්‍රදේශයක් වුණත් යුද්ධය අවසන් වුණාට පස්සේ සංචාරක ප්‍රදේශයක් විදිහට ලොකු දියුණුවක් ලබලා තියෙනවා.

මුහුදු ජීවීන් නරඹන්න වගේම සර්ෆින් ඇතුළු ජල ක්‍රීඩා වලටත් කල්පිටිය ප්‍රදේශය කියාපු තැනක්. මේ ප්‍රදේශයේ තියෙන සුළං අධික කාලගුණය නිසා විශේෂයෙන්ම කයිට් සර්ෆින් වලට මෑත කාලයේ ලොකු ආකර්ෂණයක් ඇති වෙලා තියෙනවා. (කයිට් සර්ෆින් කියන්නේ විශාල සරුංගලයක් අල්ලාගෙන ඒ ආධාරයෙන් මුහුදේ සර්ෆ් කරන එකයි. බෝට් සර්ෆින් වගේම වුණත් මේකෙන් ඊටත් වඩා විනෝදයක් ලබන්න පුළුවන්.)

කොහොම වුණත් වැඩිපුරම ජනප්‍රිය වැඩේ තමයි බෝට්ටුවක නැගලා කල්පිටිය මුහුදේ සවාරියක් යන එක. මේ බෝට්ටු සවාරි වලදී මුහුදු රැළි අතරේ සෙල්ලම් කරන ඩොල්ෆින් රංචු ඕන තරම් දැක ගන්න පුළුවන්. වාසනාව තියෙනවා නම් ඉඳලා හිටලා තල්මසුන් දැක ගන්නත් ඔබට පුළුවන් වේවි.

අනිත් ප්‍රධානම සංචාරක ආකර්ෂණය තමයි ඒ ප්‍රදේශයේ තියෙන අපේ රටේ විශාලතම කොරල් පරය. “බා රීෆ්” (Bar Reef) කියලා හඳුන්වන මේ කොරල් පරය වර්ග කිලෝමීටර් 307ක් පුරාවට පැතිරිලා තියෙනවා. ඉන්දියාව අවට මුළු සාගර කලාපයේම තියෙන ජෛව විවිධත්වය අතින් ඉහළම කොරල් පරය විදිහටත් බා රීෆ් එක ප්‍රසිද්ධයි. මේ නිසා මේ ප්‍රදේශයේ කිමිදෙන්න හරි ස්නෝක්ලින් කරන්න හරි ගියොත් සාගර ජීවීන් ඕන තරම් දැක ගන්න පුළුවන්. උෂ්ණ කලාපයට අයත් මාළු වර්ග, මඩුවන්, කොරල් පර ආශ්‍රිත මෝර විශේෂ වගේම කැස්බෑවන් දැක ගන්නත් අවස්ථාව තියෙනවා.

කල්කුඩා සහ පාසිකුඩා

තරමක් ජනාකීර්ණ පාසිකුඩා වෙරළත් එක්ක බැලුවාම කල්කුඩා ප්‍රදේශය හරිම වෙනස්. රූපය : Thiva Arunagirinathan

තරමක් ජනාකීර්ණ පාසිකුඩා වෙරළත් එක්ක බැලුවාම කල්කුඩා ප්‍රදේශය හරිම වෙනස්. රූපය : Thiva Arunagirinathan

කල්කුඩා සහ පාසිකුඩා වෙරළ තීරයන් දෙක පිහිටලා තියෙන්නේ මඩකලපුවේ ඉඳලා කිලෝමීටර් 34ක් විතර උතුරු පැත්තට වෙන්නයි. එක ළඟම තියෙන වෙරළ තීරයන් දෙකක් වුණත් මේ දෙක පෙනුමෙන් නම් හරිම වෙනස්.

පාසිකුඩා වෙරළ තීරය ගැන දැනටමත් වැඩි දෙනෙක් දන්නවානේ. මෑත කාලයේ ඉදි වුණ සුඛෝපභෝගී හෝටල් ගණනාවක් තියෙන නිසා මේ ප්‍රදේශය රටේ උතුරු පැත්තේ යන්න තියෙන හොඳම වෙරළ තීරයක් විදිහට ප්‍රසිද්ධියක් ලබා ගෙන තියෙනවා. දෑකැත්තක් වගේ වක් වුණු වෙරළ තීරය වගේම ගොඩක් දුරට යනකල් නොගැඹුරු මුහුදත් නිසා පාසිකුඩා මුහුදු වෙරළේ එයටම ආවේණික සුන්දරත්වයක් දැක ගන්න පුළුවන්. මේ ප්‍රදේශය සතු වටිනාකම නිසාම සමුද්‍ර ආරක්ෂිත කලාපයක් විදිහට නම් කරන්න කියලත් යෝජනා වෙලා තියෙනවා.

කල්කුඩා ප්‍රදේශය නම් ඊට තරමක් වෙනස්. වැඩි දෙනාගේ අවධානයට ලක් නොවුණු, හුදෙකලා පෙනුමක් තමයි දැක ගන්න ලැබෙන්නේ. කාලයක් පුරාවට ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණයක් වුණත් සුනාමි ව්‍යසනයත් එක්ක මේ ප්‍රදේශයේ තිබුණු හෝටල් ඇතුළු නිවාඩු නිකේතන සේරම වගේ විනාශ වෙලා ගියා. අදටත් මේ ප්‍රදේශයෙන් මුහුදු යන ධීවර බෝට්ටු ඕන තරම් දැක ගන්න පුළුවන්. කල්කුඩා ප්‍රදේශය මේ පැත්තේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතය ගෙවෙන හැටි අධ්‍යයනය කරන්න නම් කියාපු තැනක්.

මන්නාරම

මන්නාරම මුහුදු තීරය ප්‍රමාණයෙන් කුඩා වුණත් හරිම දැකුම්කළුයි. රූපය : Thiva Arunagirinathan

මන්නාරම මුහුදු තීරය ප්‍රමාණයෙන් කුඩා වුණත් හරිම දැකුම්කළුයි. රූපය : Thiva Arunagirinathan

හුදෙකලා වෙලා පරිසරයේ සුන්දරත්වය අත්දකින්න කැමති කෙනෙක් නම් මන්නාරම් මුහුදු තීරය ඔබටම ගැළපෙන තැනක් කියලා හිතෙනවාට කිසිම සැකයක් නැහැ.

මන්නාරම් මුහුදු තීරය කියන්නේ බොහෝ දුරට හුදෙකලා වුණු වෙරළ ප්‍රදේශයක්. මේ පැත්තේ නිතරම දැක ගන්න ලැබෙන බූරු රංචුවක් ඇරෙන්න වෙන කිසිම දෙයක් මන්නාරම වෙරළේ දැක ගන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. ශ්‍රී ලංකාවේ වයඹ පැත්තට වෙන්න පිහිටලා තියෙන මන්නාරම වෙරළ තීරය සංචාරක ආකර්ෂණයක් විදිහට දියුණුවක් ලබලාම නැහැ. සමහර විට ඒකට හේතුව මේ වෙරළේ ප්‍රමාණය වෙන්න ඇති.

එක අතකින් මන්නාරම් වෙරළ තීරය මේ ලිපියේ අපි කියන තැන් වලින් නිස්කලංකම තැන කියලා කියන්න පුළුවන්. නමුත් මෙතනට විනෝද ගමනක් එනවා නම් ඔබ මතක තියා ගන්න ඕනේ කරුණක් තියෙනවා. ධීවර ගෙවල් කිහිපයක් ඇරෙන්න මේ පැත්තේ වෙනත් කිසිම ආපනශාලාවක්වත් නිවාඩු නිකේතනයක්වත් දකින්න නැහැ. ඒ නිසාම ළඟ පාතක කන්න බොන්න තැනක්වත් හොයා ගන්න අමාරු වෙන්න පුළුවන්. සුවපහසුවෙන් නිවාඩුවක් ගත කරන්න සුදුසු හෝටල් නම් ඇත්තෙම නැහැ.

ඒත් ඒ දේවල් ගැන හිතන්නේ නැතිව මුහුදු වෙරළේ තියෙන මනස්කාන්ත සුන්දරත්වය විතරක් හොයන කෙනෙක් නම් ඔබටත් මන්නාරම වෙරළට ඇවිත් ඒ අත්දැකීම ලබා ගන්න පුළුවන් වේවි.

පොතුවිල්

පොතුවිල් කියන්නේ හිතාගන්න බැරි තරම් සුන්දර වෙරළ ප්‍රදේශයක්. රූපය : J. M. Hijas

පොතුවිල් කියන්නේ හිතාගන්න බැරි තරම් සුන්දර වෙරළ ප්‍රදේශයක්. රූපය : J. M. Hijas

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නැගෙනහිර වෙරළ තීරය මොකක්ද කියලා ඇහුවොත් දෙන්න තියෙන සරලම පිළිතුර තමයි අරුගම් බේ එක. නමුත් ජනප්‍රියත්වය නිසාම අරුගම් බේ එකේ තියෙන කලබලකාරිත්වයට නම් නිවාඩුවක් ගත කරන්න එන වැඩි දෙනෙක් කැමති නැහැ. නමුත් කණගාටු වෙන්න එපා, අරුගම් බේ එකට බොහොම ලඟින් (කිලෝමීටර් 6ක් විතර ඈතින්) පිහිටලා තියෙන පොතුවිල් ධීවර ගම්මානය ඔබ ගිහිල්ලම බලන්න වටින තැනක්.

තැනින් තැන පිහිටලා තියෙන ගල් කුළු වලින් වට වෙලා තියෙන නිසා පොතුවිල් වෙරළ තීරයේ මුහුදු රැළි පද්ධතිය රටේ අනිත් හැම ප්‍රදේශයකටම වඩා වෙනස් ස්වභාවයක් ගන්නවා. මේ නිසා පොතුවිල් මුහුදේ සර්ෆ් කරන කෙනෙක්ට තරමක් වෙනස් අත්දැකීමක් ගන්න පුළුවන්. ඇත්තටම අරුගම් බේ ඉඳලා පොතුවිල් වලට එන වැඩිමනත් සංචාරකයන්ගේ බලාපොරොත්තුව මේ අමුතුම සර්ෆින් අත්දැකීම ලබා ගන්න එකයි.

පොතුවිල් ප්‍රදේශය ජෛව විවධත්වය අතිනුත් ඉහළයි. වෙරළ තීරයට ආසන්නයෙන් වැවෙන ගස්වැල් වර්ග බොහොමයක් වගේම ඒ ආශ්‍රිතව ජීවත් වෙන සත්ව විශේෂත් ගණනාවක්ම මේ ප්‍රදේශයේ දැක ගන්න ලැබෙනවා. ප්‍රදේශයේ තියෙන තරමක් ඝන කැලෑ ආශ්‍රිතව වල් අලින් පවා ජීවත් වෙනවා.

කැසියුරීනා වෙරළ

පොල් ගස්, තල් ගස් වෙනුවට කැසියුරීනා ගස් වලින් පිරුණු මේ වෙරළ තීරයේ තියෙන්නේ අමුතුම පෙනුමක්. රූපය : yarltribune

පොල් ගස්, තල් ගස් වෙනුවට කැසියුරීනා ගස් වලින් පිරුණු මේ වෙරළ තීරයේ තියෙන්නේ අමුතුම පෙනුමක්. රූපය : yarltribune

යාපනය අර්ධද්වීපයට ආසන්නව තියෙන කරයිතිවු දූපතේ තියෙන කැසියුරීනා වෙරළ තීරය ශ්‍රී ලංකාවේ තියෙන අනිත් හැම වෙරළකටම වඩා ගොඩක් වෙනස් පෙනුමකින් යුක්තයි. රට පුරාම වෙරළ තීරයන් වල තියෙන පොල් ගස් හරි, යාපනය ප්‍රදේශයේ වැඩිපුර තියෙන තල් ගස් හරි වෙනුවට මේ වෙරළ තීරය පුරාම දකින්න ලැබෙන්නේ කැසියුරීනා නැතිනම් “ගැහැණු ඕක්” ගස්. (Casuarina) මේ නිසා සාමාන්‍යයෙන් යාපනය පැත්තේ තල් ගස් නිසා ඇති වෙන වෙනස් පෙනුමටත් එහා ගිය අමුතුම පෙනුමක් මේ වෙරළ තීරයේදී අත්විඳින්න පුළුවන්.

යාපනය නගරයේ ඉඳලා කිලෝමීටර් 27ක් ඈතින් පිහිටලා තියෙන කැසියුරීනා වෙරළ තීරය බොහොම හුදෙකලා ප්‍රදේශයක්. මේ නිසා ජනප්‍රිය වෙරළ තීරයන් වල වගේ විනෝද වෙන්න පහසුකම් ගොඩක් නම් නැහැ. නමුත් ඒ නිසාම කඳවුරු බඳින්න හරි, රෑ අහස නරඹන්න හරි වගේ වෙනස් අත්දැකීමක් ගන්න කැසියුරීනා වෙරළ කියාපු තැනක්. මේ නිසා හැකියාවක් තියෙනවා නම් කැසියුරීනා වෙරළට ඒ වගේ නිස්කලංක චාරිකාවක් සංවිධානය කර ගන්න ඔබටත් පුළුවන්.

සුඛෝපභෝගී නවාතැන්, දිව පිනවන ආහාර ලබා ගන්න වගේම මුහුදු ජීවීන් දැකගන්නත්, ජල ක්‍රීඩා වල යෙදෙන්නත් ශ්‍රී ලංකාව පුරාම වෙරළ තීරයන් වල පහසුකම් බොහොමයක් තියෙනවා. දකුණු පළාතේ තියෙන බොහොමයක් මුහුදු ප්‍රදේශ වල මේ දේවල් පහසුවෙන් ඉටු කර ගන්න පුළුවන්. නිවාඩු කාලය ගත කරන්න එන කාගේත් සිහින පාරාදීසයක් බවට දකුණු පළාත පත් වෙලා තියෙන්නේ මේ නිසාමයි. කොහොම වුණත් අපේ රට පුරාම තවත් සුන්දර මුහුදු ප්‍රදේශ ඕන තරම් තියෙනවා.

ඒ නිසා හැමදාම දකුණු පළාතේ මුහුදු වෙරළවල් වල ගිහින් එකම අත්දැකීම ගන්නවා වෙනුවට රට පුරාම තියෙන අනිත් තැන් වලටත් ගිහින් බලන්න හිතට ගන්න. ඒක ඔබ හිතනවාට වඩා බොහොම සුන්දර අත්දැකීමක් වන බවට අපි සහතික වෙනවා.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ

Related Articles