සිංගප්පූරුව ඇතුළු මලයා අර්ධද්වීපය 19 වැනි සියවසේ අග භාගයේ දී බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වුණා. එම අර්ධද්වීපයේ ජීවත්වූ ප්‍රධාන ජනවර්ගය වූයේ මුස්ලිම් භක්තික මැලේ ජාතිකයන්. ඉන්පසු බ්‍රිතාන්‍යයන් විසින් රබර් හා ටින් කර්මාන්තයන් ආරම්භ කිරීම නිසා විශාල වශයෙන් චීනයෙන් සංක්‍රමණිකයන් බ්‍රිතාන්‍ය අනුග්‍රහය යටතේ මලයාවේ පදිංචි වූවා. 1940 පමණ වන විට ජනගහණයෙන් 38%ක් පමණ චීන ජාතිකයන් වූවා. 1941 දී මලයා අර්ධද්වීපයේ බ්‍රිතාන්‍ය පාලනය බිඳ වැටී ජපන් යටත් විජිතයක් බවට පත්වුණා. එම අවස්ථාවේ දී මැලේ ජාතිකයන්ගෙන් කොටසක් ජපන් පාලනයට සහයෝගය දැක්වූ අතර චීන ජාතිකයන් ඔවුන්ගේ තාඩන පීඩන වලට හසුවුණා. එබැවින් හිරිහැරවලින් මිදීමට මොවුන් විශාල පිරිසක් මලයාවේ වනාන්තර අසබඩ ප්‍රදේශයන් වලට පලාගොස් එම භූමිවල අනවසර පදිංචිකරුවන් ලෙස ජීවත්වුණා. මේ අතර මලයානු කොමියුනිස්ට් පක්ෂයේ ගරිල්ලා අංශය වන මලයානු මහජන ජපන් විරෝධී හමුදාව විසින් ජපන් හමුදාවන්ට මෙන්ම මැලේ ජාතිකයන්ට ද ප්‍රහාර එල්ල කරන්නට වුණා. මේ නිසාම ජනවර්ග අතර අවිශ්වාසය තවදුරටත් වර්ධනය වුණා.
ගරිල්ලා සටන ඇරඹෙයි.
1945 ජපන් පරාජයෙන් පසු මැලේ ජාතිකයන්ගේ බලකිරීම මත 1948 දී මලයානු ෆෙඩරේෂනය බිහි කරනු ලබන්නේ එරට චීන හා ඉන්දියානු ජනකොටස්වල විරෝධය මධ්‍යයේ. ඒ අනුව චීන ජාතිකයන්ගෙන් සැදුම්ලත් මලයානු කොමියුනිස්ට් පක්ෂය විසින් තම අරමුණු ඉටුකරගැනීමට ප්‍රධාන මාර්ගය ලෙස ගරිල්ලා යුද්ධෝපක්රම සහිත කැරැල්ලක් දියත් කිරීමට තීරණය කරන ලද්දේ 1948 වර්ෂයේ දී යි. කොමියුනිස්ට් කැරැල්ලේ නායකයා වූයේ චින් පෙන්.
ඒ සමගම බ්‍රිතාන්‍ය පාලනය විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කළා. කෙසේ වුවත් මුල් කාලීනව කැරැලි විරෝධි මෙහෙයුම් සාර්ථක වූයේ නැහැ. මැලේ ජාතිකයන්ගෙන් පමණක් සැදුම්ලත් පොලිසිය බොහෝ විට චීන සාමාන්‍ය වැසියන් හා ගරිල්ලා භටයන් අතර වෙනසක් හඳුනාගත්තේ නැහැ. එම නිසා ඔවුන් අතින් චීන වැසියන්ට හා ඔවුන්ගේ දේපළවලට හානි සිදුවීමෙන් වූයේ කැරලිකරුවන්ට සහාය නොදැක්වූ අය ද ඔවුන් වෙත තල්ලු වීම යි. දෙවැනි ලෝක යුද්ධ සමයේ ජපන් හමුදාවන්ගෙන් ගැලවීම සඳහා වනාන්තර බද ප්‍රදේශවල ගම්මාන තනාගත් අනවසර පදිංචිකරුවන්ගෙන් ගරිල්ලා භටයන්ට විශාල සහයෝගයක් ලැබුනා. ඔවුන්ට අවශ්‍ය ආහාර, බ්‍රිතාන්‍ය හමුදා හැසිරීම් ගැන තොරතුරු මෙන්ම අවශ්‍ය පිරිස් බලය ද ලැබුනේ මොවුන්ගෙන්.
වරින් වර සැඟවී පහර දී පලා යාම මලයානු කොමියුනිස්ට් ගරිල්ලන්ගේ උපක්‍රමය වුණා. මේ නිසා කැරලි මැඩපැවැත්වීම බෙහෙවින් අපහසු කාර්යයක් වුණා. මේ අනුව සිවිල් සේවය, පොලීසිය, හා හමුදාව යන අංශයන් 3ම සම්බන්ධීකරණය කිරීමට නිලධාරියෙකු පත් කරන්නැයි කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ලන්ඩනයෙන් එවනු ලබන්නේ විශ්‍රාමලත් ලුතිනන් ජෙනරල් ශ්‍රීමත් හැරල්ඩ් බ්‍රිග්ස්. බ්‍රිග්ස් ලෝක යුද්ධ දෙකේම මෙහෙයුම්වල නිරත වූ, බුරුමය වැනි වනාන්තර ප්‍රදේශවල සටන් මෙහෙයවා පළපුරුදු ඇති නිලධාරියෙක්.
කැරලි මර්ධන සඳහා බ්‍රිග්ස් සැලැස්ම
බ්‍රිග්ස් මලයාවේ තත්ත්වය මනාව අධ්‍යයනය කරනවා. ගරිල්ලා භටයන්ගේ සාර්ථකත්වයට මූලිකම හේතුව ඔවුන් හට සාමාන්‍ය චීන වැසියන්ගේ උදව් ලැබීම බව ඔහු නිරීක්ෂණය කරනවා. එම නිසා සාමාන්‍ය වැසියන් ගේ සහායය ගරිල්ලා හමුදාවන්ගෙන් ඉවත්කර ගැනීමට ඔහු සූක්ෂම වැඩපිළිවලක් ආරම්භ කරනවා.
මුලින්ම ඔහු නිර්දේශ කරන්නේ සාමාන්‍ය වැසියන් හට කරුණාවෙන් සැලකිය යුතු බව යි. එමෙන්ම සාම්ප්‍රදායික භාවිතයෙන් වෙනස්ව, බ්‍රිතාන්‍ය හමුදාවන් කුඩා කණ්ඩායම් ලෙස මෙහෙයුම් වල යෙදිය යුතු බවටත් ඔහු නිර්දේශ කරනවා. එවිට ගරිල්ලා ප්‍රහාරවල ඵලදායි බව අඩුවනවා මෙන්ම, ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ද, විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කිරීමේ හැකියාව ද ලැබෙනවා. එමෙන්ම ඔහු ඉතාම වැදගත් වෙනසක් නිර්දේශ කරනවා.
එනම් වනාන්තරබද ගම්මානවල වෙසෙන අනවසර පදිංචිකරුවන් ඉන් ඉවත් කොට හමුදා අධීක්ෂණය යටතේ වඩාත් විවෘත ප්‍රදේශවල පිහිටා ඇති උපායමාර්ගික ගම්මානවල පදිංචි කරවීම යි. මෙම ගම්මානවල පදිංචියට එන වැසියන්ට ජීවනෝපාය සඳහා ආධාර සැපයූ අතර, සවස 6 සිට උදේ 6 දක්වා ඇඳිරි නීතිය පනවනු ලැබුවා. ඒ කැරලිකරුවන් හා සම්බන්ධවීමට අවස්ථාව ඇහිරීමට යි. මෙම ගම්මාන කටුකම්බිවලින් වටකොට තිබුණු අතර නිරන්තර හමුදා සුපරීක්ෂාවට ලක්වුණා. 1951 පමණ වන විට මෙවැනි කඳවුරු 480ක අනවසර පදිංචිකරුවන් 385,000ක් පමණ නැවත පදිංචි කොට තිබුනා. බ්‍රිග්ස්ගේ මෙම සැලැස්ම නිසා කොමියුනිස්ට් ගරිල්ලන් හට ආහාර, සැපයුම්, හා තොරතුරු ලබාගැනීමේ ප්‍රධානම මාර්ගය ඇහිරී ගියා. කොමියුනිස්ට් කුඩා කණ්ඩායම්වල (Cells) ක්‍රියාකාරිත්වය ද බොහෝ දුරට වළක්වනු ලැබුවා. මේ හැරුණු විට බ්‍රිග්ස් විසින් විශේෂ කාර්යාංශයක් (Special Branch) ආරම්භ කරන ලද්දේ රහස් තොරතුරු එක්රැස් කිරීමේ කාර්යය මධ්‍යගත කිරීමේ අරමුණින්. මෙමඟින් කොමියුනිස්ට් පක්ෂයේ සියලුම වැදගත් නායකයන්ගේ තොරතුරු සහ ඡායාරූප ලබාගැනීමට බ්‍රිග්ස් සමත්වුණා.
කැරැල්ල පරාජය කිරීම
ක්‍රමයෙන් බ්‍රිග්ස්ගේ සැලසුම් සාර්ථක වෙමින් කොමියුනිස්ට් ගරිල්ලා භටයන් හට සැපයුම් ආඩාල වෙද්දී, කුසගින්නට මුහුණ දුන් ඔවුන් ආහාර සපයා ගැනීම සඳහා චීන ජාතිකයන්ටම පහරදීමට පටන් ගත්තා. මේ නිසා කෙමෙන් ඔවුනට තිබූ සහයෝගය ජනතාව අතරින් ඉවත් කිරීමට හැකියාව ලැබුනා. මේ අතර 1950 කොරියානු යුද්ධය ආරම්භ වීම නිසා මැලේසියානු රබර් හා ටින් සඳහා ඉල්ලුම අධික වීමෙන් එම කර්මාන්තවල සේවය කළ චීන ජාතිකයන්ගේ ආර්ථිකය යහපත් වන්නට වුණා. එය ද චීන ජාතිකයන් කොමියුනිස්ට් ග්රහණයෙන් මිදීමට හේතුවක් වුණා. කෙසේ වුවත් කැරැල්ල නැවතුනේ නැහැ. 1951 ගරිල්ලා ප්‍රහාරයකින් මලයාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හෙන්රි ගර්නි ජීවිතක්ෂයට පත්වුණා. එම නිසා බ්‍රිග්ස් හට අවශ්‍ය වූයේ මෙහෙයුම් අධ්යක්ෂ ලෙස විධායක බලතල දරන මහකොමසාරිස් වරයෙකු බ්‍රිතාන්‍ය රජය මඟින් පත්කරවීම යි.
මේ වනවිට අග්‍රාමාත්‍ය වූයේ ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්. චර්චිල් පුද්ගලිකවම මලයාවේ මහකොමසාරිස් තනතුර සඳහා තෝරාගත්තේ අති දක්ෂ හමුදා නායකයෙක් ලෙස නම් දැරූ ශ්‍රීමත් ජෙරල්ඩ් ටෙම්ප්ලර්. 1952 දී මලයාවට පැමිණි ටෙම්ප්ලර් බ්‍රිග්ස් විසින් ආරම්භ කරන ලද ප්‍රතිපත්ති වඩාත් ක්‍රියාශීලි ලෙස ඉදිරියට ගෙන ගියා. එම නිසා අවසානයේ දී කොමියුනිස්ට් ගරිල්ලා භටයන් මලයාවේ දේශසීමා දක්වා පසුබැස්වීමට ඔහු සමත් වුණා. මෙම කැරැල්ලේ නිමාවත් සමඟ මලයාව නිදහස් රාජ්‍යයක් බවට ද පත්වුණා.
ශ්‍රීමත් හැරල්ඩ් බ්‍රිග්ස් විසින් මලයාවේ කොමියුනිස්ට් කැරැල්ල මර්ධනය කිරීමට භාවිතා කළ උපායමාර්ගික ගම්මාන ඇතිකරලීම, සාමාන්‍ය වැසියන් සමඟ මනා සබඳතාවක් ගොඩනඟා ගැනීම, කුඩා කණ්ඩායම් කැරලි මර්ධන මෙහෙයුම් වලට යොදා ගැනීම ආදිය පසුකාලීනව ද ලෝකයේ විවිධ ප්‍රදේශවල කැරලි මර්ධන මෙහෙයුම්වලට භාවිතා වුණා.
මූලාශ්‍රය: warfarehistorynetwork.com
කවරයේ ඡායාරූපය: 17thdivision.tripod.com