Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුධ ටැංකියෙහි අනාගතය​ විසඳූ ඓතිහාසික සටන – කම්බ්‍රේ

යුධ ටැංකිය මුලින්ම සටන් බිමට හඳුන්වා දෙන ලද්දේ 1916 සැප්තැම්බර් 15 වන දා පළමු ලෝක යුද්ධයේ දී​, බටහිර පෙරමුණේ, සෝම් නදී සංග්‍රාමය අතරතුර යි. සෝම් නදී සංග්‍රාමයේ එක් ප්‍රහාරක මෙහෙයුමක් වූ ෆර්ස්-කෝර්සලේ සටන සඳහා යුධ ටැංකි මුලින්ම යොදා ගනු ලැබුණා. මින්පසු ව අරාස් සටන​, තුන්වන ඊප්‍ර සටන හෙවත් පැෂන්ඩේල් සටන යන බටහිර පෙරමුණේ සටන්වල දී වගේ ම දෙවන ගාසා සටනේ දී ද යුධ ටැංකි යොදා ගැනුණා. නමුත් මෙම සියලු අවස්ථාවන් හි දී ඒවා බලාපොරොත්තු වූ තරම් සාර්ථක වුණේ නැහැ.

ඕනෑම නව නිපැයුමක්, නව ආයුධයක් සටන් බිමට හඳුන්වා දෙද්දී සාම්ප්‍රදායික හමුදා නායකත්වය ඒ පිළිබඳ ඍණාත්මක අදහස් දැරීම ස්වභාවයක්. යුධ ටැංකියත් මේ ඉරණමට මුහුණ දුන්නා. නැවත යුධ ටැංකි සටනට යොදා ගනී ද නැද්ද යන සැකය පවා ඇති වී තිබුණා.

මේ අවස්ථාවේ උසස් නිලධාරීන් කිහිප දෙනකුගේ සහාය ඇති ව යුධ ටැංකිය තව එක් සටනක් සඳහා යොදා ගැනීමට තීරණය කෙරුණා. ඒ, කම්බ්‍රේ (Cambrai) සටන සඳහා යි.

යුධ ටැංකි ඉතිහාසයට 1917 නොවැම්බර් 20 වන දා ඓතිහාසික දිනයක්. එම ආයුධය යුධ හමුදාවන් හි අනිවාර්යය අවශ්‍යතාවයක් බවට ඔප්පු කරන ලද්දේ එදින යි. යම් හෙයකින් එදින සිද්ධීන් වෙනස් ලෙස සිදුවුණි නම්, යුධ ටැංකිය අමතක කරන ලද ආයුධයක් වීමට වුණත් ඉඩ නොතිබුණා නෙවෙයි.

ඩග්ලස් හේග්​

යුධ ටැංකිය දිගටම සටන් පෙරමුණෙහි යොදා ගැනීම පිළිබඳ ප්‍රථමයෙන් ම ගෞරවය ලැබිය යුත්තේ, බටහිර පෙරමුණේ බ්‍රිතාන්‍ය සේනාංකවල අණදෙන නිලධාරී සර් ඩග්ලස් හේග් වෙත යි. හේග්ගේ බරපතල වැරදි සහ අඩුපාඩු තිබුණා. නමුත් ඔහු යුධ ටැංකිය කෙරෙහි දැක්වූ විශ්වාසය සැලකිය යුතු එකක්. ෆර්ස්-කෝර්සලේ සටන සඳහා ඔහු විසින් යුධ ටැංකි යොදා ගත්තේ ඒවා විශාල ප්‍රමාණයක් තමන්ට ලැබෙන්නත් පළමුව යි. ඒ වගේ ම සටන් පෙරමුණක කලින් අත් හදා බලා නොතිබූ ඒවා භාවිතය බලාපොරොත්තු වූ ප්‍රතිඵල ගෙන ආවේ නැහැ. ජර්මානුන් මුලින්ම ඒවා නිසා පුදුමයට පත් වූ නමුත්, තම කාලතුවක්කු යොදාගෙන ඊට පහර දිය හැකියැ යි ඔවුන් අවබෝධ කරගත්තා. අනෙක් අතට බොහෝ යුධ ටැංකි යාන්ත්‍රික දෝෂ නිසා අකර්මණ්‍ය වුණා.

සර් ඩග්ලස් හේග් (Imperial War Museum)

මේ සියල්ල තිබිය දී හේග් යුධ ටැංකිය පිළිබඳ පැහැදුණා. 1917 දී තමන්ට යුධ ටැංකි 1000ක් අවශ්‍ය බව ඔහු දන්වා සිටියා.

අරාස් සටනේ දී යුධ ටැංකි යොදාගත් නමුත්, නැවත වතාවක් ඒවා යොදා ගත්තේ එකිනෙකින් ඈත් ව යි. ඒ අනුව ඒවා පහසු ඉලක්ක බවට පත් වුණා. පැෂන්ඩේල් සටනේ දී යුධ ටැංකි මඩේ එරුණා.

බටහිර පෙරමුණේ යුධ බිම සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ වූයේ නැහැ. එහි යුධ අගල්, කාලතුවක්කු උණ්ඩ පිපිරීමෙන් සෑදුණු වළවල් ආදිය වුණා. එමෙන්ම ඇතැම් ප්‍රදේශවල දී පෙරමුණ මඩ ගොහොරුවක් බවට පත් වුණා. මෙකල යුධ ටැංකිවල වේගය වූයේ පැයට කි. මී. 6ක පමණ ප්‍රමාණයක්. අයහපත් භූමියෙහි මෙම යුධ ටැංකි එතරම් සාර්ථක වූයේ නැහැ.

එක් බ්‍රිතාන්‍ය හමුදා අණදෙන නිලධාරියෙකු මේ පිළිබඳ සරල තර්කයක් ප්‍රකාශ කළා. “අයහපත් භූමියකට යුධ ටැංකි නුසුදුසු යි. යුධ පෙරමුණේ භූමිය අයහපත්. එහෙයින් යුධ බිමට යුධ ටැංකිය නුසුදුසු යි.”

කම්බ්‍රේ සැලැස්ම​

1917 ජූලි 31 වන දා ඇරඹුණ පැෂන්ඩේල් සංග්‍රාමය නිමා වුණේ නොවැම්බර් මුල දී යි. එය බලාපොරොත්තු වූ තරම් සාර්ථක නොවූ හෙයින් සීත කාලය එළඹීමට පෙර බටහිර පෙරමුණේ අලුත් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම ගැන හේග් අවධානය යොමු කළා.

මේ අවස්ථාවේ බ්‍රිතාන්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුගේ අදහස යුධ ටැංකි වෙත යොමු වුණා. ඔවුන් තර්ක කළේ යුධ ටැංකි මෙතෙක් අසාර්ථක වූයේ ඒවා නිවැරදි ව භාවිතා නොකිරීම හේතුවෙන් බව යි. ඔවුන් නව මෙහෙයුමක් සඳහා සැලැස්මක් සකස් කළා.

හියු එලිස් (වමේ) 1918 අගෝස්තු 10 වන දා පස්වන ජෝර්ජ් රජු සමග (Imperial War Museum)

කම්බ්‍රේ සැලැස්ම සැකසීමේ දී වැදගත් ම කාර්යභාරයක් කළ තිදෙනා වූයේ යුධ ටැංකි බලකායේ පළමු අණදෙන නිලධාරියා වූ බ්‍රිගේඩියර් ජෙනරාල් (පසු ව ලුතිනන් ජෙනරාල්) හියු එලිස්, ඔහුගේ මාණ්ඩලික ප්‍රධානියා වූ කර්නල් (පසු ව මේජර් ජෙනරාල්) ජේ.එෆ්.සී. ෆුලර් සහ 9 වන (ස්කොට්ලන්ත​) ඩිවිෂනයේ කාලතුවක්කු ඒකක ප්‍රධානියා වූ හෙන්රි හියු ටියුඩර් යන තිදෙනා යි. යුධ ටැංකි විශාල ප්‍රමාණයක් යොදාගෙන යහපත් භූමියක ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳ අදහස ෆුලර් විසින් ජූනි මාසයේ දී ඉදිරිපත් කර තිබුණා. මෙම නිලධාරීන් තිදෙනා එම අදහස වැඩිදියුණු කළා.

කම්බ්‍රේ ප්‍රදේශය මේ සඳහා යොදාගන්නට තීරණය කළේ එහි භූමිය වියළි තත්ත්වයෙන් තිබීමත්, එම ප්‍රදේශය සාපේක්ෂ ව සටන් සිදුනොවූ ප්‍රදේශයක් වීමත් නිසයි. මෙහි දී ඔවුන් මුහුණ දුන් අභියෝගය වූයේ එම ප්‍රදේශයේ ජර්මන් ආරක්ෂක වළල්ල ඉතා ශක්තිමත් වීම යි. කම්බ්‍රේ නගරය වැදගත් ගමනාගමන මූලස්ථානයක් වූ අතර, ජර්මන් ආරක්ෂක වළල්ලට සැපයුම් ලබා දීමේ කේන්ද්‍රයක් වුණා. ජර්මනිය විසින් ඉදිකළ ප්‍රකට සිග්ෆ්‍රීඩ් ආරක්ෂක වළල්ල හෙවත් හින්ඩන්බර්ග් ආරක්ෂක වළල්ල විසින් ආරක්ෂා කළ ප්‍රදේශයන් අතුරින් මෙය ද එකක් වුණා. මෙහි අගල් තුනක් වූ අතර, ඒවා ඉදිරියෙන් මීටර පනහකට ආසන්න දුරක් විහිදුණ කටු කම්බි වැටවල් ඉදිකර තිබුණා. එම යුධ අගල් යුධ ටැංකිවලට තරණය කළ නොහැකි තරම් පළල් වුණා. මේ සියල්ල පිළිබඳ කරුණු සැලකිල්ලට ගෙන මෙම සැලසුම නිර්මාණය කෙරුණා.

කම්බ්‍රේ ප්‍රදේශය මුහුණ ලා සිටියේ බ්‍රිතාන්‍ය තුන්වන හමුදාව යි. එහි අණදෙන නිලධාරියා වූයේ ජෙනරාල් ජුලියන් බිංග්. ඔහු 1917 අප්‍රේල් මාසයේ විමි රිජ් (විමි උස්බිම​) සටනේ සාර්ථකත්වය පිළිබඳ කීර්තියක් දිනාගත් අයෙකු වූ අතර, ජූනි මාසයේ දී තුන්වන හමුදාවේ අණදෙන නිලධාරී ලෙස පත් කරනු ලැබුණා. යුධ ටැංකි බලකායේ කම්බ්‍රේ සැලසුමට බිංග් කැමැත්ත පළ කළා. ඔහු එය හේග් වෙත යොමු කළ අතර, 1917 ඔක්තෝබර් 13 වන දා හේග් ඊට අනුමැතිය දුන්නා.

ජුලියන් බිංග් (Public Domain)

කම්බ්‍රේ සටන සඳහා මාර්ක් IV වර්ගයේ යුධ ටැංකි 476ක් යොදාගනු ලැබුණා. මෙයින් 378ක් සටන් යුධ ටැංකි වූ අතර ඉතිරි ඒවා සැපයුම් කටයුතු, කටු කම්බි ඉවත් කිරීමේ කටයුතු ආදිය සඳහා යොදා ගැනුණා.

මාර්ක් යුධ ටැංකියේ රොම්බසාකාර ට්‍රැක් එකට කටු කම්බි තලාගෙන ඉදිරියට යා හැකි වුණා. යුධ ටැංකි 32ක් එම කටු කම්බි ඉවත් කිරීම සඳහා සකසනු ලැබුණා. ඒවායේ පිටිපස ඇවුළුම් කොකු රඳවනු ලැබුණ අතර, ඒවා විසින් කටු කම්බි ඇද ඉවත් කළා. එම ප්‍රදේශ ඔස්සේ සෙබළුන්ට සහ අශ්වයින්ට කඩා වැදිය හැකි වුණා.

යුධ අගල්වලින් එතෙර වීම සඳහා වෙනත් ක්‍රමයක් බ්‍රිතාන්‍යයන් සොයා ගත්තා. යුධ ටැංකිවල ඉහළ විශාල, ශක්තිමත් දැව කෝටුවලින් සැකසුණ සිලින්ඩරාකාර මිටියක් රඳවනු ලැබුණා. මෙම කෝටු මිටිය දම්වැල්වලින් එකට බැඳ තිබුණ අතර, එම එක කෝටු මිටියක බර ටොන් 1.75ක් වුණා. යුධ අගලක් අසලට පැමිණි විට එම මිටිය එය තුළට අතැර​, ඒ උඩින් යුධ ටැංකිය එතෙර විය යුතු වුණා.

ප්‍රහාරය සාර්ථක වේ

කම්බ්‍රේ ප්‍රහාරය එල්ල වුණේ සාන්ත ක්වෙන්ටින් ඇළ සහ කැනාල් ඩු නෝර්ඩ් (උතුරු ඇළ​) යන ඇළ මාර්ග දෙක අතර වූ කි. මී. 10ක පමණ පෙරමුණකට යි. කැනාල් ඩු නෝර්ඩ් ඒ වෙද්දී වැඩ අවසන් නොකළ ඇළක් වූ අතර, එහි ජලය තිබුණේ නැහැ.

නොවැම්බර් 19 වන දා වන විට යුධ ටැංකි හමුදාව සහ ඊට ආධාරක පාබල සේනා සූදානම් කෙරුණා. ඒ පිටිපසින් අශ්වාරෝහක සේනාංක ද සූදානම් කෙරුණා. යුධ ටැංකි බලකායේ අණදෙන නිලධාරී එලිස් සිය හමුදාවට දන්වා සිටියේ තමන් පුද්ගලිකව ම මෙම ප්‍රහාරය මෙහෙයවන බව යි.

කම්බ්‍රේ හි යුධ ටැංකියක් (Imperial War Museum)

ඊළඟ දිනයේ හරියට ම උදෑසන 6.20ට කම්බ්‍රේ පෙරමුණෙහි බ්‍රිතාන්‍ය කාලතුවක්කු ක්‍රියාත්මක වුණා. නමුත්, මෙම ප්‍රහාරය වැඩි වෙලාවක් පැවතුණේ නැහැ. එය හඳුනාගත් ඉලක්ක කරා එල්ල කළ කෙටි සහ ප්‍රබල ප්‍රහාරයක් වුණා.

ඒ සමග ම යුධ ටැංකි ජර්මන් අගල් දෙසට ගමන් ගත්තා. උදෑසන මීදුම සහ කාලතුවක්කු ප්‍රහාරයේ හඬ නිසා තම අගල් ආසන්නයට එනතෙක් ම ජර්මානුන්ට යුධ ටැංකි පිළිබඳ අනතුරු ඇඟවීමක් ලැබුණේ නැහැ. එම අවස්ථාවේ ඔවුන් මවිතයට පත් වූ අතර, ඔවුනගේ චිත්ත ධෛර්යයට ද ඉන් බරපතල පහරක් වැදුණා. මධ්‍යහ්නය වෙද්දී ජර්මන් අගල් තුන ම තරණය කරන්නට යුධ ටැංකි හමුදාව සමත් වුණා.

පසුබැසීම

නමුත් මෙහි දී කාරණා කිහිපයක් බ්‍රිතාන්‍යයට අවාසියක් ලෙස සිදුවුණා. එකක් නම්, ෆ්ලෙස්කුයෙර් ගම්මානය සහ උස්බිම අල්ලාගැනීම ප්‍රමාද වීම යි. ඒ හේතුවෙන් බූලෝං නම් උස්බිම සහ එහි වූ ළඳු කැළෑ ප්‍රදේශය අල්ලා ගැනීම ප්‍රමාද වුණා. මේ අතර සෙන්ට් ක්වෙන්ටින් ඇළ හරහා වූ පාලම් අල්ලා ගන්නත් ඔවුන් අසමත් වුණා.

කම්බ්‍රේ හි බ්‍රිතාන්‍ය පාබල සේනා (Imperial War Museum)

මේ අතර අශ්වාරෝහක හමුදාව නියම වෙලාවේ සටන් පෙරමුණට ළඟා වූයේ නැහැ. ඔවුන් සිටියේ පෙරමුණෙන් කි. මී. 8ක් පිටුපස යි. පැය කිහිපයක දී යුධ ටැංකි විසින් සතුරු පෙරමුණ කඩා බිඳ දමනු ඇතැ යි ඔවුන් විශ්වාස කර තිබුණේ නැහැ. මේ නිසා ඔවුනගේ පැමිණීම ප්‍රමාද වූ අතර, එයින් බ්‍රිතාන්‍යයන්ට ලබා ගන්නට තිබූ වාසිය මඟ හැරුණා. පළමු දිනය අවසන් වෙද්දී ජර්මන් අතිරේක සේනා ප්‍රදේශයට ළඟා වුණා.

බ්‍රිතාන්‍යයට සටන දිගටම ගෙන යන්නට ප්‍රමාණවත් අතිරේක සේනා සිටියේ නැහැ. ඔක්තෝබරයේ දී ඉතාලි හමුදා ලද අන්ත පරාජයෙන් පසු එම පෙරමුණ ආරක්ෂා කිරීමට බ්‍රිතාන්‍ය අතිරේක සේනා යවන්නට සිදු වී තිබීම ඊට හේතුව යි.

කම්බ්‍රේ සටන​. තද රතු රේඛාව 1917 නොවැ. 19 වන දා බ්‍රිතාන්‍ය පෙරමුණ පෙන්වයි. රතු කඩ ඉර විසින් බ්‍රිතාන්‍ය සේනාව ගමන් කළ උපරිම දුර යි. නිල් පැහැ කඩ ඉර මඟින් ජර්මන් සේනා ප්‍රතිප්‍රහාරයෙහි උපරිම දුර යි. තද නිල් පැහැයෙන් ඇළ මාර්ග දෙක පෙනුම් කරයි. (Wikimedia Commons)

මේ අනුව බ්‍රිතාන්‍යය ප්‍රහාරය කම්බ්‍රේ නගරය වෙත ළඟා වීමට පෙර නැවතුණා. ඔවුන් උපක්‍රමික පසුබැසීමක් ඇරඹූ නමුත් නොවැම්බර් 30 වන දා ජර්මානුන් එල්ල කළ ප්‍රතිප්‍රහාරයක් සමග ඔවුන් වේගයෙන් පසුපසට තල්ලු කරනු ලැබුණා. දෙසැම්බර් 7 වන දා ශීත කුණාටුවක් සමග ජර්මන් ප්‍රහාරය ඇනහිටින විට බ්‍රිතාන්‍යයන් අල්ලාගත් ප්‍රදේශ සියල්ලකින් ම පාහේ ඔවුන් පසුබස්වා තිබුණා.

මෙසේ දෙපාර්ශවයට ම ජයග්‍රහණයක් නොමැති ව කම්බ්‍රේ සටන අවසන් වූ අතර, මෙම සටනේ එක ම ජයග්‍රාහකයා වූයේ යුද්ධ ටැංකිය යි. හේග් ප්‍රකාශ කළ පරිදි ප්‍රහාරක අවියක් ලෙස එහි වැදගත්කම මෙම සටන විසින් නිසැකව ම තහවුරු කෙරුණා.

කවරය: කම්බ්‍රේ පෙරමුණ කරා යුධ ටැංකි රැගෙන එයි (Imperial War Museum)

මූලාශ්‍රයයන්:

  • The Mammoth Book of Modern Battles (Edited by Jon E. Lewis)
  • The First World War by Martin Gilbert
  • History of the First World War by B. H. Liddell Hart
  • Cambrai: The Tank Corps Story (The Tank Museum)

Related Articles