Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Apps නැතුව ස්මාර්ට්ෆෝන් කැමරාවෙන් දාන්න පුළුවන් වැඩ 7ක්

ෆොටෝ එකක් ගනිද්දි ඒකට හොඳම පෙනුමක් ලැබෙන්නේ ගන්න කැමරාවේ හොඳකම නිසා කියලා හිතන එක සම්පූර්ණයෙන් ම මිථ්‍යාවක්. හරි විදියට වර්ණ ගැලපීම්, ආලෝකය පාලනය එක්ක frame එකට අවශ්‍ය දේ හරියට ම ස්ථානගත කරන්න පුළුවන් නම් මෙගාපික්සල් දෙක-තුනක පරණ ෆෝන් එකක් තිබුණත් ඇති. ඒකට ම පොඩි tricks ටිකකුත් එකතු කළා ම ෆොටෝ එඩිට් කරන්න වෙන ම ඇප්ස් ඕනත් නැහැ. අන්න ඒවගේ කිසිම වියදමක් නැතුව ඔබට ම කරගන්න පුළුවන් tricks ටිකක් මේ ලිපියෙන් අපි ගෙන එනවා.

ආලෝකය වැඩි තැන්වල දී Sunglass දාන්න

සජීවීව ම vintage effect එකක් (mshcdn.com)

ගේ ඇතුළේ ඉඳිද්දි සඟ දාන්නේ විලාසිතාවට වුණාට, අව්වේ ඇවිදින කොට Sunglass දාන්නේ ඇස්වලට අමාරු නිසා යි. ෆෝන් එකේ ඇසටත් වැඩි ආලෝකය බොහොම අමාරු යි. කැමරාවට වැඩි ආලෝකයක් ඇතුළු වීම පාලනය කළ හැක්කේ සීමිත වශයෙන් නිසා බොහෝ විට අපි ගන්නා ඡායාරූප over expose වෙනවා. ඒ කියන්නේ, සුදු පැහැයක් ගන්නවා. මෙය වළක්වාගන්න පහසු ම ක්‍රමය තමයි ෆොටෝ එක ගනිද්දී ෆෝන් එකේ කැමරාවේ ලෙන්ස් එක ඉස්සරහින් Sunglass එක තියන එක. එතකොට වැඩිපුර එන ආලෝකය පාලනය කරලා අඳුරු effect එකක් ෆොටෝ එක ගනිද්දී ම එකතු කරන්නට පුළුවන්.

කළු හැර Tint කරපු වෙනත් වර්ණවල කණ්ණාඩියක් තියෙනවා නම් Vintage පෙනුමක් එකතු කරන්නටත් හැකියි. ඇස් කණ්ණාඩියක් වෙනුවට, කැමරාව ඉස්සරහින් සෙලෝටේප් එකක් අලවලා, පාට පෑනකින් වර්ණ ගන්වන්නත් පුළුවන්.

කණ්ණාඩියට වතුර ටිකක් ඉහින්න

වතුර ඉස, මැද පිහදැමීමෙන් තවත් effect එකක් ගත හැකියි (scoopwhoop.com)

වතුර බින්දුවල තිබෙන පරාවර්තන හැකියාවන් පාවිච්චි කරමින් ඡායාරූපවලට නව අරුතක් ගෙන එන්නට පුළුවන්. Spray එකකින් වතුර බිඳිති එක් කරගත්තු ඇස් කණ්ණාඩිය කැමරා කාචය ඉස්සරහින් තියලා ඡායාරූප ගත්තා ම වැස්ස අවස්ථාවක්, වැඩි ආලෝකය තිබෙන අවස්ථාවක දිලිසීම්, කාචය ඉදිරිපස කොටස පමණක් පිහදැමීමෙන් වටේ වතුර බිඳිතිවලින් radial effect එකක් වගේ දේවල් බොහොමයක් කරන්න පුළුවන්. අතින් වතුර ඉහිනවාට වඩා Spary එකක් පාවිච්චි කළා ම කුඩා බිඳිති හදාගන්න පහසු යි. ඒ වගේ ම ෆෝන් එකට වතුර යන එක නවත්වන්න, කැමරාව ඉදිරියෙන් තියන්න කලින් spray කරන්නත් අමතක කරන්න එපා.

ෆ්ලෑෂරයේ සෙවනැල්ල ප්‍රයෝජනයට ගන්නා හැටි

සෙවනැල්ල යොදා ගත් ඡායාරූපයක් (YT/Filmora MVP)

මඳ අඳුර තිබෙන වෙලාවක දී ෆ්ලෑෂර් එක පාවිච්චි කරමින් විවිධ සෙවනැලි මතුකරන්න අවස්ථාව තිබෙනවා. සෙවනැල්ලක් ඇති කරන්න හැකි තරම් දෙයක් අඩු අලෝකය සහිත වස්තුව සහ කැමරාව අතර තැබීමෙනුයි මෙය කරන්නේ. එහි දී කැමරාවේ දර්ශන පරාසයට වඩා වැඩි හිඩැසක් තිබෙන දේවල් යොදාගැනීම කළ යුතු වෙනවා.

ඡායාරූපය ගන්නා ලද ආකාරය (YT/Filmora MVP)

ඉහත ඡායාරූපයේ ආකාරයට පඩිපෙළෙහි අත්වැල වැනි දෙයක් යොදාගෙන, ඒ මත ෆ්ලෑෂරයෙන් ඇති කරන සෙවනැල්ල මඟින් පසුබිමට ප්‍රයෝග යොදන්නට පුළුවන් වෙනවා.

එකම දේ විවිධ විදියට තබා Panorama එකක් ගන්න

Pose කිහිපයක් එක ම ඡායාරූපයක (diyphotography.net)

පැනොරාමා ඡායාරූප කලාව තිබෙන්නේ විශාල ප්‍රදේශයක් තනි ඡායාරූපයක් බවට පත්කරන්නට යි. හැබැයි නිර්මාණශීලී ව යොදාගත්තොත් ඒකෙන් ඊට වඩා යමක් කරන්න පුළුවන්. පැනොරාමා ඡායාරූපවල සිදුවන්නේ අපි ෆෝන් එක ගෙන යද්දී එකිනෙක සම්බන්ධවන ස්ථාන කිහිපයක දී ගන්නා ඡායාරූප කිහිපයක් මෘදුකාංගය මඟින් එකක් බවට පත් කිරීම යි. ඉතින්, පැනොරාමා එක පටන් ගන්න තැන ෆොටෝ එකට එක විධියකට ඉන්න, ආයෙ ඊළඟ කොටස ගනිද්දි එතනට ගිහින් තවත් විදියකට pose කරන්න. මෙහෙම අවසානය වන තෙක් ම විවිධ ආකාරයට ඉන්න ගමන් තනි ෆොටෝ එකක් හදාගන්න පුළුවන්. ඒ වගේ ම චිත්‍ර කතාවක් වගේ, frame එකෙන් frame එකට කතාවක් හදන්න.

පුංචි ලෝක නගර ගෝලයක් හදන්න

TinyPlanet ඡායාරූපයක් (tactus.com)

මේ trick එකත් Panorama ඡායාරූපවලින් කළ හැකි උපක්‍රමයක්. සාමාන්‍ය ක්‍රමයේ දී, මෙම tinyplant ආකාරයේ ෆොටෝ එකක් හදද්දී පැනොරාමා එකක් අරගෙන ඒක Photoshop වලින් edit කරන එක යි කරන්නේ. නමුත් එයට ටිකක් කාලය ගත වෙනවා. ෆෝන් එකෙන් විතරක් ම ලෝක ගෝලයක් බවට ඡායාරූපය පත් කිරීම වඩාත් පහසු යි. ඒකට අපිට ඇප් එකක් පාවිච්චි කරන්න සිදුවෙනවා. Apple ෆෝන් තියෙන අයට Tiny Planet Photos and Video ඇප් එකත්, ඇන්ඩ්‍රොයිඩ් අයට Tiny Planet ඇප් එකත් දාගත්තා ම බොහොම පහසුවෙන් මේ විධියේ නිර්මාණයක් කරන්නට පුළුවන්.

කාඩ්බෝඩ් සිදුරක්

Vignette effect එක වඩාත් සත්‍ය ආකාරයට (diyphotography.net)

කාඩ්බෝඩ් එකක විදගත් සිදුරකට කැමරා කාචය තැබීමෙන් Instagramවල Vignette සැකැස්මට වඩා සත්‍යරූපී විදියට effect එකක් ඡායාරූපයට එකතු කරන්න පුළුවන්. මෙය වඩාත් පහසු යි, ෆෝන් එකේ කැමරාව වැහෙන්න කාඩ්බෝඩ් එකක් සෙලෝටේප්වලින් අලවලා, ලෙන්ස් එකේ වදින්නේ නැතිවෙන්න කටුවකින් විදින එක. ආලෝකය සහ පෙනෙන ප්‍රදේශය මදි නම් කටුව වටේට තද කරලා රවුමට කරකවමින් සිදුරේ ප්‍රමාණය වැඩි කරන්න. මේකත් හරියට වෙනස් කරන්න පුළුවන් Aperture එකක් වගෙ යි.

ස්වර්ණමය පැයේ දී ෆොටෝ ගන්න

මෙම කාලය තුළ විශේෂිත වර්ණ ඡායාරූපයකට එක් වෙනවා (squarespace.com)

වෘත්තීමය ඡායාරූප ශිල්පීන් අතර තිබෙන රහසක් තමයි ‘ස්වර්ණමය පැය’ (Golden hour හෝ magic hour) කියන්නේ. මෙයින් අදහස් වෙන්නේ හිරු උදාව සිදුවෙද්දී ම පැයක් සහ දවස අවසන් වෙන්නට ආසන්න වෙමින් හිරු බැස යන්නට පෙර පැයකුයි. මේ අවස්ථාවන් දෙක තුළ ගන්නා ඡායාරූපවලට අමුතු ම ආලෝකයක් ලැබෙන නිසා ඒ කාලයන්හි දී ගන්නා ඡායාරූපවලට ස්වාභාවික effect එකක් එක් වෙනවා. අපි පෙර ලිපි දෙකකින් Aperture සහ ISO ගැන කියාදුන් දැනුම පාවිච්චි කළොත් බොහොම පහසුවෙන් ඔබට තවත් එහි ලස්සන වැඩි කරගෙන නවමු නිර්මාණයක් කරන්නට හැකියාව ලැබෙනවා.

මේවා හැර ඔබ පාවිච්චි කරපු වෙනත් ක්‍රම තිබෙනවා ද? ඒ අපූරු ඡායාරූපත් Commentවලින් එකතු කරන්න.

 

කවරය: androidcentral.com

Related Articles