Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දරුවන්ට දුරකථනය දෙන්නට පෙර කළ යුතු සැකසුම්

ගෙදර කුඩා දරුවන් ඉන්නවා නම් ෆෝන් එක හෝ ටැබ් එක ඉල්ලාගන්න මව්පියන් ගෙදර එනකම් තමයි ඔවුන් බලාගෙන ඉන්නේ. ඥාති දරුවන් සිටින ගෙදරකට ගියත් “මේකේ ගේම් නැද්ද?”යි අසා හෝ ඔබේ අවධානය නිවැසියන් හා සාකච්ඡාවේ තිබිය දී දුරකථනය උස්සාගෙන දුවන්නටයි දරුවන් පෙළඹෙන්නේ. මෑතක් වනතුරුත් දුරකථනය යනු වැඩිහිටියන්ගේ උපකරණයක්ව තිබුණ ද මේ වන විට එය ස්මාර්ට් වී, දරුවන් සිටිනා ස්ථානය සොයා ගැනීමේ හැකියාව, අධ්‍යාපනික පහසුකම්, ක්‍රීඩා ආදිය ඊට ඇතුලත් වීමෙන් එය දරුවන්ට ද නැතිවම බැරි දෙයක් බවට පත්ව තිබෙනවා. මෙවන් තත්ත්ව යටතේ දරුවකුට දුරකථනයක් දෙන්නට ප්‍රථමයෙන් ඔවුන්ව නිසි මඟ රඳවාගැනීමේ මූලික පරමාර්ථයෙන් දුරකථනය ඔවුන්ට ගැලපෙන පරිදි සැකසිය යුතු වෙනවා.

Play Store සැකසුම්

Thambaru/Roar

දරුවන් බොහොම ප්‍රිය කරන දෙයක් තමයි ප්ලේ ස්ටෝර් එක. මෙහි පිරී තිබෙන ගේම් හැම එකක්ම ඔවුන් ට්‍රයි කරන අතරතුරේ හිටිහැටියේ අනවශ්‍ය ආකාරයේ ඇප්ස් පවා ඔවුන්ට යෝජනා වශයෙන් ඉදිරිපත් වෙන්නට පුළුවන්‍‍. මෙයට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන් එවන් දේ සෙවීමම නොව ඔබේ ගිණුමෙන් පිවිසී ඇති නිසා වයස සලකමින් වාරණයක් Play Store හරහා නොයෙදීමයි. මේ නිසා ඔබේ දුරකථනයෙන් දරුවන් ඒ වෙත නිතර පිවිසෙනවා නම් වයස් මට්ටම අනුව පාලනය කරන ලද ඇප්ස් පමණක් ඔවුන්ට පෙනෙන සේ සැකසිය හැකියි.

Play Store විවෘත කර එහි වම්පස මෙනුවෙන් Settings → Parental Controls වෙත පිවිසීමෙන් ඔබට එය සක්‍රීය කළ හැකියි. එය සක්‍රීය කරන සෑම අවස්ථාවකදීම නව PIN අංකයක් විමසන අතර දරුවන්ට එය අක්‍රීය කරලීමට ඇති හැකියාව ඉන් වැළකෙනවා. සක්‍රීය කිරිමෙන් අනතුරුව Apps & Games යන්න තේරූ විට අවුරුදු 3, 7, 12, 16 සහ 18න් ඉහළ වශයෙන් වයස් කාණ්ඩය තෝරා දිය හැකියි. මෙහිදී ඔබ ඉහළ වයස් කාණ්ඩයක් තේරූ විට එය ඉන් පහළ ඒවා සඳහා ද ස්වයංක්‍රීයවම සක්‍රීය වෙනවා. උදාහරණයක් වශයෙන් 12 තේරුවොත් 3 සහ 7 වයස් කාණ්ඩයන්ට අයත් ඇප්ස් ද පෙනෙන්නට පටන් ගන්නවා.

මෙමගින් සිදුවන්නේ අලුතින් ස්ථාපනය කරනු ලබන ඇප්ස් සඟවාලීම පමණක් වන අතර ඔබේ දුරකථනයේ දැනටමත් ස්ථාපිත ඇප්ස්වලට පිවිසීමේ අවස්ථාව තවදුරටත් දරුවන්ට තිබෙනවා.

වෙබ් සෙවුම් පාලනය කරන්න

Thambaru/Roar

දරුවන්ට උපරිම නිදහස ලැබෙන තවත් ඇප් එකක් තමයි වෙබ් බ්‍රවුසරය කියන්නේ. මෙය නිසි පරිදි පාලනය නොකිරීමෙන් ඔවුන් ක්‍රීඩා සහ ඉගෙනීමට අවශ්‍ය දේවල් වලින් ඇරඹී ඒ ඔස්සේ ගොස් නවතින්නේ අන්තර්ජාලයේ අඳුරු පැතිකඩකින් වන්නට පුළුවන්. ගූග්ල් සෙවුම හරහා සෙවුම් ප්‍රතිඵල පෙන්වීම සඳහාද භාවිත කරන්නේ ඔබ දැනට පිවිසී සිටින ගූග්ල් ගිණුමේ වයසම වන නිසා එහි ඉහළ වයසක් තිබෙන බැවින් දරුවන් භාවිත කරද්දීද කිසිදු වාරණයකින් තොරවයි ඔවුන් ප්‍රතිඵල ගෙන එන්නේ.

මෙය වළකන්නට “Google” නමින් ඇති ඇප් එක විවෘත කරන්න. එහි වම්පස මෙනුවේ ඇති Settings → Accounts & Privacy හි ඇති SafeSearch filter එක සක්‍රීය කරන්න. එවිට ඔවුන් ගූග්ල් හෝ ක්‍රෝම් වෙබ් බ්‍රවුසරයෙන් කරන සෙවුම් සඳහා අසභ්‍ය සහ හිංසනකාරී දේවල් ඇතුලත් සෙවුම් ප්‍රතිඵල (වෙබ් අඩවි, ඡායාරූප හා වීඩියෝ) ඉවත් කෙරෙනවා.

YouTube වෙනුවට YouTube Kids යොදන්න

tubefilter.com

කුඩා දරුවා නිතර යූටියුබ් වීඩියෝ බලන්නට කැමැත්තක් දක්වනවා නම් ඔවුන් වෙනුවෙන්ම සකසන ලද විශේෂ YouTube යෙදුමක් YouTube Kids නමින් තිබෙනවා. පවුලේ හැම කෙනෙක්ටම නැරඹිය හැකි ආකාරයේ වීඩියෝ ස්මාර්ට් දුරකතන ඇප් එකක් ලෙස ඉදිරිපත් කෙරෙන මෙම සේවාව ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් යන ප්‍රධාන ස්මාර්ට් දුරකතන මෙහෙයුම් පද්ධති දෙක සඳහාම ලබා දී තිබෙනවා. දෙමාපියන්ගේ අනුදැනුම යටතේ ඉතා කුඩා දරුවන්ට පවා නැරඹිය හැකි ආකාරයේ වීඩියෝ පෙරහන් යටතේ ලැයිස්තුගත කිරීම මෙම යෙදුම හරහා සිදුවෙනවා. මෙම සේවාව සඳහාම විශේෂිත වූ channel සහ වැඩසටහන් ද අන්තර්ගත කර තිබෙන අතර දර්ශනය කෙරෙන වෙළඳ දැන්වීම් පවා දරුවන්ට උචිත ආකාරයේ ඒවාම තෝරා ගන්නට ගූග්ල් සමාගම කටයුතු කරනු ලබනවා. මෙය පිළිබඳව පූර්ණ විස්තරයක් අප පෙර ගෙන ආ ලිපියෙන් ඔබට කියවන්නට පුළුවන්.

ඇප්ස්වලට අගුළු දාන්න

Google Play Store

ඉහත මූලික දේවල් වලට අමතර දරුවන් පිවිසීමෙන් වැළකී සිටිය යුතු ඇප්ස් ඔබේ දුරකථනයේ තිබෙන්නට පුළුවන්. ෆේස්බුක්, කාර්යාල කටයුතු වලට සම්බන්ධ Drive, Gmail වැනි ඇප්ස් ආදී දේවල් වලට දරුවන් පිවිසී සමාජයෙන් ඔබව අපහසුතාවයට ලක්වන ආකාරයේ ක්‍රියාවන් නවතාලීම ද වැදගත් වෙනවා. එය සිදු කිරීමට ඇප් එකක් විවෘත කිරීමේදී මුරපදයක් විමසන ආකාරයේ තෙවන පාර්ශවීය යෙදුමක් භාවිත කරන්නට පුළුවන්. ඇතැම් දුරකථන නිෂ්පාදකයන් මෙවන් පහසුකම් මෙහෙයුම් පද්ධතිය හරහාම ලබා දෙන අතර එවැන්නක් නොමැති නම් ඔබට AppLock වැනි ඇප් එකක සහාය ලබාගත හැකියි.

අපට තවමත් නැති Family Link

Google Play Store

මේවාට අමතරව Family Link නමින් සේවාවකට ද ගූග්ල් සමාගම අතපොවා තිබෙනවා. බොරු වයසක් දමා දරුවන්ට ගූග්ල් ගිණුමක් සකසා දෙනවා වෙනුවට ඔබේ ගිණුම යටතේම දරුවන්ට ඔවුන්ගේම දුරකථනයක් භාවිත කළ හැකි ආකාරයට පහසුකම් ලබා දෙන එම ඇප් එක දරුවා දුරකථනය භාවිත කළ යුත්තේ දවසේ කුමන කාලයක් තුළ ද ඔවුන් කෙතරම් කාලයක් දුරකථනය භාවිත කළා ද ආදී විස්තර රැසක් ඔබට බලාගන්නට අවස්ථාව සලසනවා. මෙම ලිපිය ලියන අවස්ථාව වන විටත් ලොව ඉතා සුළු රටවල් කිහිපයකට පමණක් අත්හදා බැලීම වෙනුවෙන් ඔවුන් සක්‍රීය කර ඇති අතර නුදුරු අනාගතයේම මෙය ද අපේ දුරකථනවල ස්ථාපනය කර ගැනීමට අවස්ථාව සැලසීමෙන් දරුවන්ගේ තාක්ෂණ භාවිතය පිළිබඳ පහසුවෙන්ම වගකීම කරට නොව ඇප් එකකට ගන්නට අපිට හැකියාව ලැබේවි.

කවරයේ ඡායාරූපය:dallaslibrary2.org

Related Articles