Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Voice assistantවලට අපි කියනා දේ තේරුම් ගත හැකි ද?

Voice assistantවලට ඔබ හඬින් කියන දේවල් හඳුනාගන්නට නොහැකි යි. ඔව්, සැබැවින්ම ඔබ කියන්නේ කුමක්දැ යි ඒවාට කිසිම තේරුමක් නැහැ. Google Home හෝ Cortana වැනි සේවාවකට කතා කළ විට එය අප කියන ලද වාක්‍යය අකුරු බවට හරවා, ඊට කවන ලද දත්තයන් සතුව ඇති විධානයන් සමග එය සංසන්දනය කර බලනවා. වාක්‍යයට සමාන එකක් හමු වුණොත් ඊට අදාළ විධාන පෙළ එය ක්‍රියාත්මක කරනවා. එසේ නැතහොත්, ඊට වඩාත් ආසන්නතම එකක් වෙත යොමු වෙනවා. නොගැලපී ගියහොත් ඒ බව නොදන්නවායැ යි කියා වගකීමෙන් නිදහස් වෙනවා.

නොතේරෙන්න හේතුව

දෙන්නාට දෙන්නාව තේරුම් ගන්න නම් අදහස් ගැලපෙන්න ඕනෑ (wired.com)

දෙන ලද පාඨයක සන්දර්භය (context) තේරුම් ගනිමින් ඊට වඩාත් සමාන මාතෘකාවක් හඳුනාගෙන, ඊට අනුව ක්‍රියා කරන්නට මේවාට ඇති හැකියාව ඉතාම අවම යි. මේ නිසාම අපි කියන බොහෝ දේවල් වැරදියට තේරුම් ගන්නා අවස්ථා සහ කිසිවක් කළ නොහැකිව අසමර්ථ වන අවස්ථා ඔබ දැක ඇති. ඉතාම සරල උදාහරණයක් ලෙස “Are you Skynet?” ලෙස ඇසූ විට, එය එසේ නොවන බවට පණ්ඩිත වාක්‍ය කියනවා. “Aren’t you Skynet?” කියා ඇසූ විට (මෙම ලිපිය ලියන අවස්ථාව වන විට) Google සෙවුමක් කරමින් පිළිතුරු නොදී සිටිනවා.

අර්ථයන් අවබෝධ කරගත හැකි මනුෂ්‍යයන්ට මෙවැනි ගැටළු ඇතිවන්නේ නැහැ. ඔබ කෙනෙක්ගෙන් ඇහු‍වොත්, “දවල් අහසේ තියෙන අර කහ පාටට දිලිසෙන, බලන්න අමාරු දේ කොයියානුව නේද?” කියා, ‘කොයියානුව’ කියන්නේ කටට ආපු බොරු වචනයක් වුණත් ඔබ අදහස් කළේ සූර්යයා ගැන බව ඔවුන් වටහා ගන්නවා. ඒ, සන්දර්භය හඳුනාගැනීමට අපට ඇති හැකියාව යි. ඉතින් මනුෂ්‍යයෙක්ගෙන් ඔබ Skynet එකට (Terminator චිත්‍රපටයේ තිබූ භයානක AI පද්ධතියට) වැඩ කරනවාදැ යි ඇහුවොත්, Skynet කියන වචනය නොදන්නා කෙනෙක් පවා “මොකක්? නැහැ” කියා කියාවි. ඇත්තටම වැඩ කරන කෙනෙක්යැ යි උපකල්පනය කළහොත්, ඔවුන් නැති බවට බොරුවක් කියාවි. හැබැයි, Google Assistant කරන්නාක් මෙන් Google සෙවුමක් කර ප්‍රතිඵල මුහුණට දමා ගැසීමක් මිනිසකු කරන්නේ නැහැ.

Voice assistantවලට ක්‍රමලේඛයෙන් ඔබ්බට යා නොහැකියි

Assistant සේවාවන් හරහා නිවසේ උපකරණ පාලනය කළ හැකියි (geomarketing.com)

කටහඬ සහායකයන් ඔවුන්ට ලබාදෙන ලද විධානවලටම පමණක් සීමා වෙමින් එහි ක්‍රමලේඛයේ ඇති දේවලටම අදාලව කටයුතු කරනවා. එය වඩාත් හොඳින් පැහැදිලි වන්නේ තෙවන පාර්ශවීය උපාංගයක් එය සමග කටයුතු කරන්නට මැදිහත් වන අවස්ථාවන්හි දී යි. සාමාන්‍යයෙන් smart උපාංග සමග පාවිච්චි කළ හැකි උපාංග වලට විධාන ලබා දීමේ දී “Tell <උපාගයේ නිෂ්පාදක නම> <විධානය>” යන ආකෘතිය අනුගමනය කළ යුතු වෙනවා.

GE නමැති ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදන ආයතනය විසින් ඔවුන්ගේ උපාංග Alexa සමග පාවිච්චි කරන්නට ඉඩ සලසනවා. ඔවුන්ගේ නම GE නිසා ඉහත විධාන ආකෘතියේ නිෂ්පාදක නමට එය කීවාම හරි බව ඔබට සිතෙන්නට ඇති. නමුත් එය ක්‍රමලේඛණය කර ඇත්තේ “Geneva”යැ යි කියා විධාන කිරීමට යි. ඔබ GE ලෙස කීවාට, ඒ කියන්නේ Geneva ‍යන්නට අදාල විධානයක් කියා හෝ GE නිෂ්පාදන සමාගම පිළිබඳව යැයි තේරුම් ගන්නට තරම් පුළුල් ඥානයක් Alexa වැනි Voice assistant එකකට නැහැ.

Google සහ Amazon ආදී සමාගම් මෙවන් ගැටලු නිරාකරණය කරගන්නට උත්සුක වෙමින් සිටින අතර, දොරගුළු දැමීම සඳහා lock the front door වැනි විධානයක් කිරීමෙන් පමණක්ම සිදුකරගැනීමට දැන් අවස්ථාව තිබෙනවා. නමුත් තවමත් එයට හදාගන්නට වැරදි ගොඩක් තිබෙනවා. එතෙක්, ඉහත සඳහන් කළ ආකාරයට ආකෘතියකට අනුව නිවැරදිව වචන හසුරුවන්නට අපට සිදු වෙනවා.

හරියට Command Line වගේ

CMD සතු විධාන ලැයිස්තුවෙන් බිඳක් (lifewire.com)

පරිගණකයේ Command Prompt එක හෝ Terminal එකෙන් විධාන ක්‍රියා කරවද්දී ‍නිවැරදි syntax එක අනුව commands ලබා දුන්නාම අවශ්‍ය දේ කරගන්නට පුළුවන්. උදාහරණයක් ලෙස dir යන්නෙන් ප්‍රධාන මෙහෙයුම් පද්ධති තුනෙහිම ෆෝල්ඩර් ලැයිස්තු ලබා ගන්නට පුළුවන්. නමුත් මෙය dyr ලෙස වැරදියට ලිව්වොත්, අප අදහස් කළේ dir බවට තේරුම් ගන්නට Cmd එකට හැකියාවක් නැහැ. මෙය විසඳීමට Alias සැකසිය හැකියි. එවිට dyr යන්නට ද dir යන්නම ක්‍රියා කරවන්නැ යි පරිගණකයට උගන්වන්නට පුළුවන්.

ඉතින් පරිගණකයේ Command Line පාවිච්චි කිරීමට මෙය නොදෙව‍ෙනි නැහැ. දෙයක් කරවා ගන්නට නම් එය ඇසිය යුත්තේ කො‍හොමදැ යි හරියටම දැනගෙන ඉන්නට සිදු වෙනවා. විවිධ අය විවිධ ආකාරයෙන් විධාන ලබාදෙන නිසා Alias සකසා සමාන වාක්‍යවලින් එකම විධානය ක්‍රියා කරවන්නට පුළුවන්. එවිට, “What time is it?” කීවත් “Time now?” කියා කීවත් වේලාව දර්ශනය කරන්නට Voice assistant වෙත හැකියාව ලැබෙනවා.

Cmd එක පාවිච්චි කරන්නට විශේෂ වචන උගනින්නට සිදු වෙනවා වගේ, Voice assistant පාවිච්චි කරන්නට කතා කිරීමේ පොදු ක්‍රමයක් සොයාගන්නට සිදු වෙනවා. ඔබට පහසු ආකාරයට කථා කළාටම එය ක්‍රියාත්මක වන්න‍ේ නැහැ. දිනෙක මේවා සිංහල බසින් ආවාම “වෙලාව කීයෙයි?” කියා මගේ මාතර බසින් කීවොත් එය අන්දුන් කුන්දුන් වේවි.

තව යන්න දුර තිබෙනවා

දිනෙක ඒවා භෞතික උදව් පවා කරාවි (medium.com)

මෙම Voice Assistant සේවාවන් බිහිවී වැඩි කාලයක් නැහැ. තවමත් කුඩා දෝෂ තිබුණත් දිනෙන් දින ඒවායේ හැකියාවන් වැඩි වෙමින් යනවා. ස්මාර්ට් නිවාස උපාංගවල බහුලත්වයත් සමග මේවාට වැඩි වටිනාකමක් ලැබෙන අතර, ඇප් එකක් පාවිච්චි කරනවාට වඩා කටහඬින් මුළු නිවසම පාලනය කරන්නට අවස්ථාව ලැබීම මහත් පහසුවක් බවට පත් වෙනවා. නොතේරෙන හැමදේටම අන්තර්ජාල සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවක් ඉදිරිපත් කරනු වෙනුවට වඩාත් හොඳ පිළිතුරක් එයට ‍සොයාගෙන ඉදිරිපත් කළ හැකි නම්, එය මහත් පහසුවක් වනු ඇති.

තවමත් මේවාට AI වල උපරිම සහයෝගයක් නොලැබී ඇති බව තමයි syntax විධාන අනුව ක්‍රියාත්මක වීමෙන් දකින්නට තිබෙන්නේ. පරිගණකයකට මිනිසෙක් මෙන් කටයුතු කරන්නට නම් භාවිතා කරන්නා පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතු යි. එය කරන්නට නම් යාන්ත්‍රික ඉගෙනුම (machine learning) සහිත AI වල හැකියාව මේවාට අනිවාර්යයයෙන්ම අවශ්‍ය වෙනවා. Google Assistantට දුරකතන ඇමතුම් ස්වයංක්‍රීයව ලබා ගනිමින් හා වෙළඳසල්වලට කථා කරමින් අපට අවශ්‍ය දේ කරදෙන ආකාරය 2018 Google I/Oහි දී පෙන්වා දුන්නා. මේ වසරේ තවත් අපූර්ව දේවල් එය අපට දායාද කරනු ඇති.

කවරය: spectrumhealthcare.com

Related Articles