Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

i.Con – ලොව පළමු ස්මාර්ට් කොන්ඩමය

ලිංගික ක්‍රියාවලියේදී ඔබ කොපමණ කැලරි ප්‍රමාණයක් දහනය කරනවාද පිළිබඳව අදහසක් ඔබට තියෙනවද, ලිංගික හැසිරීමකදී ඔබ කොපමණ තරම් ක්‍රියාශීලීදැයි අදහසක් ඔබට තියෙනවද, කොපමණ ඉරියව් ප්‍රමාණයකින් ඔබ ලිංගික ක්‍රියාවලියේ යෙදෙනවද? ඔබ ලිංගිකව කොපමණ ශක්තිමත්ද? ඔව්, සමහරවිට මේ ප්‍රශ්න මීට පෙර ඔබ කල්පනා කරලා ඇති. එහෙම නැතිනම් ඔබ ඊළඟ වාරයේ ලිංගිකව එක්වන අවස්ථාවකදී අනිවාර්යෙන්ම මේ ප්‍රශ්න කීපය ඔබගේ මනසට ඒවි. නමුත්, ඔබ දන්නවාද මේ හැම ගැටළුවකටම පිළිතුරු ඔබේ අතැඟිලිවලටම පැමිණ තිබෙන බව?

මොකක්ද මේ i.Con

සාමාන්‍ය කොන්ඩම් සමඟ SMART පළඳනාවක් – thehookmag.com

බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛතම කාමෝද්දීපන උපකරණ සහ කොන්ඩම් නිපදවන සමාගමක් වන British Condoms ආයතනය, වසර 3කට ආසන්න කාලයක් විශේෂඥ ඉංජිනේරුවන් 40කට අධික සංඛ්‍යාවක් සමඟින් සිදු කරන ලද පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් විදියට විප්ලවීය නිෂ්පාදනයක් එළිදක්වනවා. ඒ තමයි i.Con එහෙමත් නැතිනම් ලොව පළමු SMART කොන්ඩමය.

මොකක්ද ඕකෙන් වෙන්නේ?

පළවෙනිම දේ තමයි, i.Con කොන්ඩමයෙන් සාමාන්‍යයෙන් අපි දන්න කොන්ඩම් එකකින් ලබාදෙන සේවාව සිදුවෙන්නේ නැහැ. ඔව්, i.Con ඔබව අනවශ්‍ය ගැබ්ගැනීම්වලින් ආරක්ෂා කරන්නේ නැහැ. ඒ වගේම ලිංගාශ්‍රිතව බෝවන රෝගවලින් ඔබව ආරක්ෂා කරන්නේත් නැහැ (කොන්ඩම් භාවිතා කිරීමේ වැදගත්කම ගැන ලියවුන ඉතා වැදගත් ලිපියක් මෙතනින් කියවන්න පුළුවනි). එහෙනම් මොකක්ද ඕකෙන් වෙන්නේ? ඔබ අපෙන් එහෙම අහන බව ස්ථීරයි.

කොන්ඩම් එකක් ලෙස අර්ථදැක්වූවාට i.Con කියන්නේ පුරුෂයින් සඳහාම නිශ්පාදනය කරපු ලිංගික පළඳනාවක්. i.Con ගේ ක්‍රියාකාරීත්වය ගැන සලකා බලා කොන්ඩමයක් කියනවට වඩා ලිංගික පළඳනාවක් විදියට i.Con හැඳින්වීම සුදුසුයි. පුරුෂ ලිංගයේ පහළ කෙළවරේ පැළඳිය හැකි විදියටයි i.Con නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම i.Con යළි යළිත් භාවිතා කළ හැකි උපකරණයක්. එය ඉතාම බරෙන් අඩු වීම නිසා ඔබ එය පැළඳ සිටිනවාද කියාවත් නොදැනෙන බවයි එහි නිර්මාපකයන් සඳහන් කරන්නේ. ඒ වගේම ඔබට සාමාන්‍ය කොන්ඩමයක් පැළඳ ඊට උඩින් i.Con පැළඳ ලිංගික ක්‍රියාවලියේ යෙදෙන්නට පුළුවනි. i.Con ජල ප්‍රතිරෝධී නිසා ඔබට ලිංගික එක්වීමෙන් පසුව එය සෝදා පිරිසිදු කිරීමටත් හැකියාව තිබෙනවා.

ඔබ ලිංගික ක්‍රියාවලියේ යෙදෙද්දී කොපමණ කැලරි ප්‍රමාණයක් දහනය කරනවද, ලිංගික එක්වීමකදී ඔබයේ සහයිකාව/සහායකයා තුළට කොයිතරම් වාර ගණනක් පුරුෂ ලිංගය ඇතුළුකිරීම (thrust) සිදුකරනවද, ඒ ඇතුළුකිරීමක සාමාන්‍ය වේගය කොපමණද, සමස්ථ ලිංගික එක්වීමේ වේගයේ සාමාන්‍යය අගය කොපමණද, ලිංගික ක්‍රියාවලියේ යෙදෙන විට ශරීරයේ උෂ්ණත්වය කොපමණද, ලිංගික එක්වීම් අතර කාල ප්‍රාන්තරය කොපමණද, ලිංගික එක්වීම සඳහා කුමන ආකාරයේ ඉරියව් භාවිතා කළාද, ලිංගික ක්‍රියාවලියේ යෙදෙද්දී පුරුෂ ලිංගයේ වටප්‍රමාණය කොපමණද වගේ ලිංගික ජීවිතය සම්බන්ධ තොරතුරු විශාල ප්‍රමාණයක් ඔබට ලබාදීමට i.Con ට හැකියාව තිබෙනවා.

ඒ වගේම ලිංගාශ්‍රිත රෝග පිළිබඳව අනතුරු ඇඟවීමක් සිදුකරන්නත් i.Con ට හැකියාව තිබෙන බවයි එහි නිර්මාපකයන් සඳහන් කරන්නේ. i.Con පරිශීලකයෙක් ලිංගාශ්‍රිත රෝග ඇති කෙනෙක් සමඟ ලිංගික එක්වීමකට සැරසෙන අවස්ථාවකදී ඒ පිළිබඳව ක්ෂණික දැනුවත් කිරීමක් i.Con පරිශීලකයාගේ Smart Phone එකට යැවීමේ පහසුකමක් i.Con තුළ ඇති කර තිබෙනවා. විශේෂයෙන්ම ක්ලැයමිඩා (Chlamydia) සහ සිෆිලිස් (Syphilis) වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයන් හඳුනා ගැනීමේ හැකියාව i.Con සතුයි. මේ පහසුකම තවමත් පර්යේෂණ අවස්ථාවේ පවතින බව සඳහන් වුවත්, ඉතා ඉක්මණින්ම එය වෙළඳපොළට නිකුත් කරන බවටත් i.Con නිර්මාපකයින් සඳහන් කරනවා.

ඕක වැඩකරන්නේ කොහොමද?

විස්තරේ තියෙන්නේ App එකේ – answersafrica.com

බොහොම ශක්තිමත් සින්තටික් රබර් සහ කාබන් ෆයිබර් මිශ්‍රණයක් උපයෝගී කරගෙනයි i.Con නිශ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම දත්ත එකතුකරගැනීම සඳහා ඒ තුළ nano chip සහ sensors කීපයක් අන්තර්ගත කරලා තියෙනවා. i.Con විසින් Sensors හරහා එය පැළඳ සිටින්නාගේ ලිංගික හැසිරීමේ දත්ත ලබගන්නවා. ඒ ලබාගත් දත්ත Bluetooth තාක්ෂණය හරහා i.Con App එකට ලබාදීම ඉන්පසුව සිදුකරනවා. එසේ තමන්ට ලැබුන දත්ත විශේෂ සැකසීම් වලින් අනතුරුව, තොරතුරු බවට පරිවර්ථනය කර i.Con App එක හරහා පරිශීලකයාට ලබාදීම සිදුකරනවා. ඒ ආකාරයට එක් ලිංගික එක්වීමක දත්ත i.Con App එකට ලබාදීමෙන් අනතුරුව i.Con ස්වයංක්‍රීයවම තමන්ගේ මතකය ශුන්‍ය කරගැනීම සිදුකරනවා. එසේ කරන්නේ ඊළඟ ලිංගික එක්වීමේ දත්ත තමන්ගේ මතකය තුළ තැන්පත් කරගැනීමට ඉඩ ලබාගැනීම සඳහායි. මේ නිසා i.Con භාවිතා කිරීම ඉතාම පහසු බව එහි නිර්මාපකයන් සඳහන් කරනවා. සරලව කියනවානම් ඔබගේ ලිංගික ක්‍රියාව අවසන් වූ පසුව ඒ මොහොතේදීම ඔබට පුළුවනි ඒ ලිංගික එක්වීමේ තොරතුරු i.Con App එක හරහා දැකබලාගන්නට. ඒ වගේම ඔබගේ ඊළඟ ලිංගික එක්වීමේ දත්ත එකතු කරගැනීමටත් i.Con සූදානමිනුයි සිටින්නේ.

කොච්චර වෙලාවක් i.Con වැඩ කරනවද?

i.Con ක්‍රියාත්මක වෙන්නේ බැටරි බලයෙන්. එක්වරක් එහි බැටරිය ආරෝපණය කරගැනීමෙන් පැය 6-8ක් දක්වා කාලයක් ක්‍රියාකරන්න i.Con ට හැකියාව තිබෙනවා. මතක තබාගන්න, i.Con ක්‍රියාත්මක වෙන්නේ ඔබ එය පැළඳගෙන ලිංගික ක්‍රියාවලියේ යෙදෙන අවස්ථාවේදී පමණයි. ඒ වගේම i.Con එකේ ඇති Micro USB port එක හරහා ඒක පරිගණකයකට හෝ වෙනත් විදුලිබල සැපයුමකට සම්බන්ධ කර බැටරිය ආරෝපණය කරගන්න හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් බැටරිය මුළුමුනින්ම ආරෝපණය වෙන්න පැයක පමණ කාලයක් ගතවෙන බව i.Con හි නිශ්පාදකයින් පවසනවා.

i.Con ලබා දෙන තොරතුරු වෙන අය අතට යයිද?

තමන්ගේ ලිංගික ජීවිතය ගැන පාරම්බාන්න සමහර පුද්ගලයින් කැමති උනාට තවත් සමහර පුද්ගලයින් ඒ ගැන ලෝකෙට කියවන්න ඒ හැටි කැමැත්තක් දක්වන්නේ නැහැ. i.Con නිර්මාපකයන් මේ දෙගොල්ල ගැනම කල්පනා කරලා තියෙනවා. i.Con App එක මඟින් ඔබට ලබා දෙන සියළු තොරතුරු සහ i.Con මඟින් ලබාගන්න දත්ත සියල්ලමත් ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂාවෙන ආකාරයට ලබාදීමට ඔවුන් කටයුතු කරලා තියෙනවා. නමුත් කවුරුන් හෝ කෙනෙක් කැමතිනම් ඒ තොරතුරු බෙදාගන්න, ඔහුට ඒ සඳහාත් අවශ්‍ය පහසුකම් ලබා දීලයි තියෙන්නේ. ඔහුට i.Con App එක හරහාම අවස්ථාව ලබා දීලා තිබෙනවා i.Con භාවිතා කරනා ප්‍රජාව අතර පමණක් හෝ ඉන් එහාට ගිහින් ඕනෑම කෙනෙක් සමඟ වුවත් තමන්ගේ ලිංගික ජීවිතයේ තොරතුරු බෙදාගන්නට.

i.Con මිලදී ගන්නේ කොහොමද?

ඊයෙට වඩා අද හොඳයි වගේ… – insidehook.com

British Condoms ආයතනය i.Con ගැන සඳහන් කරපු සැනින්ම වාගේ 90,000කට අධික පිරිසක් ඒක මිලදී ගැනීමට කැමැත්ත සඳහන් කරලා තියෙනවා. ඔවුන් තමන්ගේ මේ නිශ්පාදනයේ මිළ සඳහන් කරලා තියෙන්නේ ස්ටැලින් පවුම් 59.99කට. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 11,500/-ක් පමණ වෙනවා. දැනට British Condoms ආයතනයේ වෙබ් අඩවිය හරහා පමණයි ඔබට එය මිලදී ගැනීමේ හැකියාව තියෙන්නේ. නමුත් වැඩිවන ඉල්ලුමට සාපේක්ෂව ලොව පුරා මධ්‍යස්ථානවලදී එය අලෙවි කිරීමට තමන් කටයුතු යොදන බවට ඔවුන් ප්‍රකාශ කරනවා.

තමන්ගේ ලිංගික හැකියාව පිළිබඳව අවධානයෙන් ඉන්න කැමති පුද්ගලයන්ට සහ තමන්ගේ සහකරුගේ ලිංගික හැකියාව පිළිබඳව අවධානයෙන් ඉන්න කැමති අයට තමන්ගේ ඒ කැමැත්ත සන්තර්පනය කරගන්න පුළුවන් හොඳම උපකරණය විදියට අපිට i.Con ගෙන හැර දක්වන්න පුළුවනි. ඒ වගේම නවීන ඉලෙක්ට්‍රොනික උපාංග පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයින්ටත් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න i.Con බොහොම හොඳ අවස්ථාවක් ලබාදේවි කියන එකයි අපේ අදහස. පුද්ගලයෙකුගේ ලිංගික ජීවිතයේ නිම් වළලු පුළුල් කරන i.Con ආකාරයේ ලිංගික පළඳනාවන් සමඟ අනාගත පුද්ගල ජීවිත කොයි ආකාරයට වෙනස් වේවිද? ඒ ගැන ඔබේ අදහස අපත් සමඟ බෙදාගන්න.

මූලාශ්‍ර‍ය: British Condoms නිල වෙබ් අඩවිය (britishcondoms.uk)

කවරයේ ඡායාරූපය: businessinsider.com

Related Articles