Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආබාධිත අයට දැන් හිතේ තියෙන ගීතය ලොවට වැයිය හැකියි

ස්නායු පද්ධතිය සම්බන්ධ රෝගයකට ලක් වෙලා කය තුළ සිරවුණු ජවසම්පන්න සිතකට සිදුවිය හැකි දේ මහත් සෝචනීය කතාවක්. සිතට එන අලුත් අදහස්, අනිත් අය එක්ක ඒ දේවල් බෙදාහදා ගන්නට ඇති අපහසුතාව, අත දිගහැරලා පෑනක් අරගෙන ලියන්න, කකුල් දෙකෙන් ඍජුව හිටගෙන ඇවිදලා ගිහින් ලෝකය වටේ සවාරි යන්න වගේ හැම දෙයකින්ම සීමා වෙලා, එකම තැනකට වෙලා අතපය වාරු නැතිව ඉන්නට වෙනවා කියන එක තරම් දුක්බර දෙයක් තවත් නැති තරම්. මෙයට හැම කෙනෙක්ම දන්නා කියන උදාහරණය වන ස්ටීවන් හෝකිං දක්වන්න පුළුවන්. ඔහුට හරිහැටි හැසිරවිය හැක්කේ ඔහුගේ කම්මුලක් පමණයි. එනමුත් ඔහුගේ සිතේ ඇතිවූ නොයෙකුත් නවමු අදහස් විද්‍යාව හා තාක්ෂණයේ මහත් පෙරැළියක් ඇති කරන්නට සමත් වුණා. තාක්ෂණයේ දියුණුවට පින් සිද්ධ වන්නට ඔහුගේ කම්මුල චලනය කරමින් අකුරු අමුණා වාක්‍ය සාදා එය පරිගණකයක් ලවා හඬනගන්නට හැකියාවක් නොතිබුණා නම් ඔහුගේ සිත තුළ ගොඩනැගුණු ඒ ලෝකය පිළිබඳව වූ අපූර්ව තර්කනයන් අදටත් ඔහුගේ සිත තුළම රැඳී තිබෙන්නට ඉඩ තිබුණා.

කය නිහඬ නමුත් මොළය අවධියෙන්

vimeocdn.com

කොඳු නාරටියට සිදුවන හානිවීම් නිසා බොහෝ දෙනෙක්ට සුෂුම්නාව බිඳී යාමෙන් මොළයෙන් යැවෙන පණිවිඩ ශරීරයේ අදාල ප්‍රදේශවලට සන්නිවේදනය කරලන්නට නොහැකි වුවත්, හිසේ පණ තිබෙන නිසාම පමණක් හුදෙක් ජීවිතය ගෙවන්නට සිදුවී තිබෙනවා. මෙනිසා කිසිදු කර්තව්‍යයක් කරගැනීමට නොහැකි නමුත් සාමාන්‍ය ක්‍රියාකාරී පුද්ගලයෙකුට වඩා මොවුන්ට සුවිසල් කාල ප්‍රමාණයක් සිතීම සඳහා ලැබෙනවා. අඩු තරමේ තමන්ගේ ගෙල හරවා අවට ඇති ලස්සන දර්ශනයක්වත් බලන්නට හැකියාවක් නැති නිසා ඒ ගැන දුක හිතනවා වෙනුවට ලෝකය ගැන නවමු මානයකින් බලමින් වෙනස් යමක් කරන්නට සිත් පහළ වුවහොත් ඉන් ලෝකය වෙනස් කරන්නට අසීමිත හැකියාවක් ලැබෙනවා.

මෙතෙක් ආ ගමන

alsadotorg.wordpress.com

පර්යේෂකයන් විසින් දශක ගණනාවක් තිස්සේ මොළය සහ පරිගණකයක් අතර ඍජු සම්බන්ධතාවයක් ඇති කළ හැකි ආකාරයන් ගැන පර්යේෂණ පවත්වනු ලබනවා. මෙම තාක්ෂණය BCI හෙවත් Brain-Computer Interfaces ලෙස හඳුන්වන අතර ඒ හරහා සිරුරේ පාලනය ගිලිහී ගිය අය වෙනුවෙන් තමන්ගේ මොළය පමණක් භාවිතා කරමින් අන් අය සමඟ සබඳතා පැවැත්වීමට උපකාර කිරීම සඳහා උපකරණ සැකසීම සිදු වෙනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විටත් තමා සිටින රෝද පුටුව පාලනය කිරීමට, පණිවිඩ ලිවීමට, ඊමේල් යැවීමට, අන්තර්ජාලයේ සැරිසැරීමට, නිවසේ විදුලි පහන් හෝ ඉලෙක්ට්‍රොනිකව සකසන ලද දොර, ජනෙල් ආදිය වුව පාලනය කිරීමට ද හැකිවන ආකාරයේ නිපැයුම් ලොවට බිහිවූවා.

එදිනෙදා කටයුතු වලට සහාය වීමෙන් ඔබ්බට යමින් 2010 වර්ෂයේදී ජර්මානු පර්යේෂක කණ්ඩායමකට ලොව ප්‍රථම ‘මස්තිෂ්ක පින්තාරුව’ එහෙමත් නැත්නම්, සිතන දේට අදාලව චිත්‍ර නිර්මාණය සිදුවන ආකාරයේ ක්‍රමවේදයක් හඳුන්වාදීම හරහා අත්පා කොර වූ චිත්‍ර ශිල්පීන්ගේ චින්තනය නිදහස් කරලන්නට හැකියාව ලැබුණා.

සංගීත ශිල්පය තෙක් පුළුල් වෙයි

internapcdn.net

දැන් ඔස්ට්‍රියානු නියුරෝන ඉංජිනේරුවන් පිරිසක් විසින් ආබාධිත සංගීතඥයන්ගේ හැකියාවන් යළි පුබුදුවාලිය හැකි ආකාරයේ BCI නිපැයුමක් හඳුන්වා දී තිබෙනවා. මේ නිර්මාණය කිරීම සඳහා ද ඔවුන්ට උද්‍යෝගය ලැබී තිබෙන්නේ ඉතා සාර්ථක අන්දමින් චිත්‍ර කිරීමේ හැකියාවන් ගෙන ආ මස්තිෂ්ක පින්තාරු ක්‍රමවේදයෙහි ප්‍රතිඵල දැකීමෙන් අනතුරුවයි. එය හරහා සිදුකරන ලද නිර්මාණ වෙළඳපොළෙහි ඉතා හොඳ මිලකට අලෙවි වූ අතර එම චිත්‍ර ශිල්පීන් තමන්ගේ ම චිත්‍ර ප්‍රදර්ශනයක් දක්වා ද එය අති සාර්ථකව භාවිතා කර තිබුණා. ඒ අනුව මෙම නිෂ්පාදක පිරිස කල්පනා කර ඇත්තේ කෙනෙක්ට චිත්‍ර ඇඳිය හැකි නම්, සංගීතමය හැකියාවන් ඇති අයටත් ඔවුන්ගේ හැකියාවන්හි ප්‍රයෝජනයක් ලබා ගන්නට හැකි ආකාරයේ නිෂ්පාදනයක් කළ යුතු බවයි. මෙය ප්‍රථමයෙන් නිරෝගී පුද්ගලයන් හරහා අත්හදා බලා ඇති අතර ඔවුන් මෙම උපකරණය සමඟ සංගීත ඛණ්ඩ ප්‍රතිනිර්මාණය කිරීමේදී ඉතා හොඳ, සාර්ථක මට්ටමකට ළඟා වී තිබෙනවා.

චිත්‍ර ඇඳීමේ කලාවේදී භාවිත කර තිබුණේ සිත්තරුවා විසින් සිතනු ලබන වචන වලට හෙවත් මස්තිෂ්ක සංඥා වලට අදාලව පින්සල් වර්ගයන් සහ ඒවායේ ප්‍රමාණයන් තීරණය කර ප්‍රතිදානයක් ලබා ගැනීමයි. ඒ අනුව මෙහිදී ද සිදුවන්නේ අපගේ සිත තුළ ගොඩනැඟෙන සංගීතමය නාද රටා එහෙමත් නැත්නම් ‘අනාහත නාද’ පිටතට ගැනීමක් නොව, හුදෙක් ස්වර පිළිබඳව ලබාදෙන විධානයන් සංගීත ඛණ්ඩ බවට පත් කිරීමයි. මේ සඳහා අවුරුදු 20ක පමණ තරම් දිගු කාලයක් පෝෂණය වූ BCI තාක්ෂණය මහත් පිටිවහලක් වුණා.

නාද රටා මැවීමට යන්ත්‍රයට පෙරහුරුවක්

seeker.com

හදවතේ ස්පන්දන මට්ටම් අනුව රේඛා ගොඩනගන ECG තාක්ෂණය කියන්නේ බොහෝ දෙනෙක් දන්නා දෙයක්. මේ ආකාරයෙන්ම මොළයෙන් පිටවන තරංග හඳුනා ගැනීම සඳහා හිස වටා සම්බන්ධ කරන ලද ඉලෙක්ට්‍රෝඩ භාවිතා කරමින් එම තරංග ප්‍රස්ථාර ගත කිරීමේ ක්‍රමවේදය වන EEG මේ සඳහා භාවිතයට ගැනෙනවා. රෝහල්වලදී මෙය භාවිතා කිරීමේ දී හිස වටා ඉලෙක්ට්‍රෝඩ සම්බන්ධ කෙරුණත්, ඒ වෙනුවට භාවිතයේ පහසුව පිණිස මෙම උපකරණය සැකසීමේදී පිහිනීම සඳහා යොදාගන්නා තොප්පියක ආකාරයේ හිස් වැසුමකට එම ඉලෙක්ට්‍රෝඩ සබඳා පහසුවෙන් පැළඳීමට සහ ඉවත් කිරීමට හැකිවන ආකාරයෙන් සකසා තිබෙනවා.

විවිධ අයගේ මොළයේ සංඥා විවිධාකාර වන නිසා ඒවා හඳුනා ගැනීමට ප්‍රථමයෙන් මෙම යන්ත්‍රය සහ මොළය අතර අනුගත කිරීමේ ක්‍රියාවලියක් (calibrating) සිදු කරනු ලබනවා. එහිදී භාවිතා කරන්නාට පළමු වාරයේ දී පේලි හයකින් සහ තීරු හයකින් යුත් අකුරු සහිත කොටු ටිකක් පෙන්වනු ලබනවා. ඉන්පසු එය බලා සිටින අතරතුරදී අහඹු වශයෙන් එම අකුරු දීප්තිමත්ව දැල්වීම හරහා එම දැල්වෙන අවස්ථාවන්හිදී  මොළයෙන් පිටවන තරංග හඳුනා ගෙන ඊට අනුකූලව යන්ත්‍රය ද ස්වයංක්‍රීයව සැකසෙනවා. මෙම සෑම අකුරක දීම මොළය විසින් නිකුත් කරනු ලබන්නේ එකිනෙකට වෙනස් තරංගයි.

අනුගත කිරීමෙන් අනතුරුව එය නාද රටා මැවීමට සූදානම්. දැන් කළ යුත්තේ අකුරු දැලෙහි තමාට වැයීමට අවශ්‍ය කොටුව/ස්වරය දෙස බලාගෙන මත සිත පිහිටුවා, සිත එකඟ කරගැනීමට සිතින් ගණන් කිරීමයි. එවිට එය හඳුනාගත් බව දන්වමින් පෙර පරිදිම එම කොටුව දීප්තිමත්ව දැල්වෙනවා.

සාර්ථක බව

තනි අක්ෂරයක් තෝරා ගැනීම සඳහා මනස යොදා ගැනීම බොහොම කාලය ගතවෙන වැඩක් වුවත් එය ඕනෑම වයසක කෙනෙකුට ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමේ  සහ භාවිත කිරීමේ හැකියාවෙන් යුතු වෙනවා. මෙය ප්‍රථම වරට භාවිතා කළ අයටද 88% ක සාර්ථක මට්ටමකින් යුතුව සංගීත ඛණ්ඩ ප්‍රතිනිර්මාණයට හැකියාව ලැබී තිබෙනවා. ස්වර 25ක් සඳහා එහිදී විනාඩි 21ක් ගතවී තිබුණා. ඉන්පසු ප්‍රවීණ සංගීතඥයෙක් යොදාගෙන ඇලුවෙට්ට (Alouette, gentille alouette) ගීතය මෙම තාක්ෂණය භාවිතයෙන් ප්‍රතිනිර්මාණය කළ අතර 93.6ක සාර්ථකත්ව ප්‍රතිශතයකින් එය නිමා කිරීමට ගතවී තිබුණේ විනාඩි 20ක් පමණයි. දිගින් දිගටම මෙය භාවිත කරද්දී නිදහස් (නව) සංගීත ඛණ්ඩයන් තැනීමේදී ඔහු ස්වර 26ක් විනාඩි 14කින් වයන්නට සමර්ථ වුණා. එය ආධුනික සංගීතඥයෙක් භාවිත කරනවාට වඩා දෙගුණයක වේගයක් ලෙසින් සනිටුහන් වූයේ ආධුනිකයකු විසින් ස්වර 18ක් වැයීමට විනාඩි 30ක් ගත තර තිබීමෙනුයි.

මේ ආකාරයේ නිපැයුම් හරහා ලෝක ජනතාවට තමන්ගේ හැකියාවන් ඉදිරියට ගෙන යෑම සඳහාත් උපතින්ම ආබාධ නමුත් හැකියාවන්ගෙන් පිරිපුන් හදවතක් තිබෙනවා නම් ඒ හැකියාවන් ලොවට දායාද කරන්නටත් මේ තාක්ෂණයන් හරහා ලැබෙන දායකත්වය මාහැඟියි.

මූලාශ්‍ර: LiveScience, Seeker

කවරයේ ඡායාරූපය: bbci.co.uk

Related Articles