Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අටමස්ථානාධිපති හිමියන් පත්කරගන්නේ කොහොමද?

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් පසුගිය ඔක්තෝබර් 18 වැනි දා අපවත්වීමෙන් පසුව නව අටමස්ථානාධිපතිවරයකු පත් කර ගැනීමේ අවස්ථාවක් එළඹියා. ඒ වසර 22කට පසුව යි.

මේ අවස්ථාවේ අටමස්ථානාධිපති පදවියේ ඉතිහාසය කුමක් ද, නව අටමස්ථානාධිපතිවරයකු පත්කර ගන්නේ කෙසේ ද ආදී කරුණු දැන ගැනීමට කවුරුනුත් පෙලඹෙන බව පේනවා. ඒ ගැන කළ සොයාබැලීමක් තමයි මේ.

අටමස්ථානයේ පූජනීය ස්ථාන – Attractionsinsrilanka.com

අටමස්ථානය

අටමස්ථානය කියන්නේ අනුරාධපුර පෞරාණික නගරයේ පිහිටි පූජනීය ස්ථාන අටක්. ඒවායෙන් ප්‍රමුඛත්වය හිමිවන්නේ  ශ්‍රී මහා බෝධියට යි. බෞද්ධයන් එම බෝධිය බුදුන් පාරිභෝග කළ වස්තුවක් නිසා ඉතා ගෞරවයෙන් සලකනවා. අටමස්ථානාධිපති හිමියන් වාසය කරන්නේ ශ්‍රී මහා බෝධිය පිහිටි උඩමළුව විහාරයේ යි. ශ්‍රී මහා බෝධිය මෙරටට වැඩම කළ අනුරාධපුර මුල් යුගයේ පටන් එය අවසානය දක්වාත් උඩමළුව විහාරයේ අධිපති හෝ අටමස්ථානාධිපති හිමිවරුන් ගැන ඉතිහාසයේ සඳහන් වන්නේ නැහැ.

ඉංග්‍රීසි පාලන කාලයේ 1905 අංක 8 දරන පනත මඟින් අටමස්ථාන භාරකාරත්වය එවක ආණ්ඩුව අටමස්ථාන කමිටුවට බාර දුන්නා. මේ වනවිටත් අටමස්ථානයට අයත් පූජනීය ස්ථාන කුමක් ද කියා නිශ්චිත එකඟත්වයක් පැවතුණේ නැහැ. ඉන් පසු 1909 ජනවාරි 19 වැනි දා අනුරාධපුර කච්චේරියේ දී විශේෂ රැස්වීමක් පැවැත්වුණා. අටමස්ථාන කමිටුවේ සාමාජිකයන් සහ ආණ්ඩුකාර හෙන්රි මැකලම් අතර එම සාකච්ඡාව පැවැත්වුණේ විවිධ පාර්ශ්ව විවිධ ආකාරයෙන් හැඳින්වූ අටමස්ථානය පිළිබඳ නිත්‍යනුකූල එකඟත්වයක් ඇතිකර ගැනීමට යි. එදින සාකච්ඡාවේ දී ශ්‍රී මහා බෝධිය සමඟ රුවන්වැලි මහා සෑය, ථූපාරාමය, මිරිසවැටිය, අභයගිරිය, ජේතවනාරාමය, ලෝවාමහාපාය සහ ලංකාරාමය යන පූජනීය ස්ථාන අටමස්ථානයට අයත් ස්ථාන ලෙස තීරණය කෙරුණා.  එදින අනුමත වූ කරුණු අනුව අනුරාධපුරයේ ඉසුරුමුණිය අටමස්ථාන විහාරයක් වශයෙන් සැලකෙන්නේ නැහැ.

ශ්‍රී මහා බෝධි විහාරය- srimahabodhi.lk

අටමස්ථාන පාලනය

අටමස්ථානයට අයත් පූජනීය ස්ථානවල අධිපතිත්වය දරන්නේ අටමස්ථානාධිපති හිමියන්. එම විහාරවලට භාරකාර  හිමිවරුන් පත්කිරීමේ බලයත් අටමස්ථානාධිපති හිමියන් සතු යි. අටමස්ථාන පාලනය සඳහා භික්ෂුන් සහ ගිහි සාමාජිකයන්ගෙන් සහිත කමිටුවක් තිබෙනවා. වර්තමානයේ අටමස්ථාන කමිටුවේ ගිහි සාමාජිකත්වය හිමි ව ඇත්තේ බුලන්කුලම හෙවත් නුවරවැව පවුලේ ප්‍රධානියාට යි.

නුවරවැව පවුල

මහනුවර යුගයේ නුවර වැව, කලා වැව සහ පදවිය වැව යන වැව් තුනෙන් සීමා වූ බිම් ප්‍රදේශ වන  නුවර කලාවිය පාලනය කළේ නුවරවැව මහවන්නියා යි. දෙවන පෑතිස් රජ සමයේ ශ්‍රී මහා බෝධිය මෙරටට වැඩ ම කරවන අවස්ථාවේ මෙරටට පැමිණ බෝධි භාරකාරත්වය ඉසිලු බෝධිගුප්ත පරම්පරාවෙන් නුවරවැව මහවන්නියා පැවත එන බව ජන විශ්වාසය යි. ඒ අනුව රජ කලේ පටන්  ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ගිහි භාරකාර ධුරය ද දැරුවේ නුවරවැව පවුලේ ප්‍රධානියා යි. එය ඉංග්‍රීසි පාලන කාලෙත් ක්‍රියාත්මක වුණා.  

 බුලංකුලම- නුවරවැව පෙළපතට අයත් නුවරවැව වලව්ව – www.srilankatravelguide.com 

නුවරවැව මහවන්නියාගේ නිර්දේශය අනුව නුවර කලාවියේ පත්තු 16 භාර ව සිටි වන්නි ජනප්‍රධානීන්ගේ එකඟත්වය ලබා අතීතයේ දී අටමස්ථානාධිපති හිමිනමක පත් කරන ලදැයි විශ්වාස කෙරෙනවා. මේ සම්බන්ධ ලිඛිත වාර්තා නැතිවීම නම් අඩුවක්.  මෙලෙස තෝරා පත් කළ අටමස්ථානාධිපති හිමියන් වෙත ඉංග්‍රීසි ආණ්ඩුවෙන් අක්තපත්‍ර පිරිනමා පදවිය ස්ථිර කොට තිබෙනවා.

වර්ෂ 1863 වන විට නුවරවැව පවුලේ ප්‍රධානියා වූ නුවරවැව බණ්ඩා දරුවන් නොමැතිව මිය ගොස් තිබෙනවා. ඔහුගේ බිරිය වූ ඕවිල්ලේ කුමාරිහාමි, මව සහ නුවරවැව ගල්ගොඩ බණ්ඩා යන තිදෙනා නුවරවැව පවුලේ නායකත්වය වෙනුවෙන් ඉදිරිපත් වුණා. එය හිමි වූයේ ඕවිල්ලේ කුමාරිහාමිට යි. ඕවිල්ලේ කුමාරිහාමිගෙන් හිමිකම් ලැබූ පරපුර බුලන්කුලම නමින් හැඳින්වෙනවා. අද වනවිට අටමස්ථාන කමිටුවේ සභාපති පදවිය සහ අටමස්ථානයේ ගිහි භාරකාරත්වය හොබවන්නේ බුලන්කුලම පරපුර යි.

අපවත් වූ හිටපු අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමි- adaderana.lk

අටමස්ථානාධිපති

අටමස්ථානාධිපති හිමියන් තෝරා පත් කර ගැනීම සිදුවන්නේ අටමස්ථාන කමිටුව මඟින්. අටමස්ථානාධිපති හිමියන් පත්කර ගැනීමේ දී බොහෝවිට සිදුවන්නේ බුලන්කුලම පවුලේ ප්‍රධානියා යෝජනා කරන නම කමිටුවේ අනෙක් සාමාජිකයන් ස්ථිර කිරීම බව පසුගිය ඉතිහාසය දෙස බැලීමේ දී පෙනෙනවා. සියම් නිකායේ මල්වතු පාර්ශ්වයට අයත් වන මේ පදවිය ලබන ස්වාමින් වහන්සේ එම නිකායේ අනුනායක පදවියක මට්ටමේ ගෞරවයට පාත්‍ර වෙනවා.  දළදා වහන්සේගේ භාරකාරත්වය සියම් නිකායේ මහා නායක  හිමිවරුන් දරන බැවින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ භාරකාරත්වය හොබවන නාහිමිපාණන් වහන්සේ අටමස්ථානයේ අනුනායක හිමියන් ලෙස සැලකුණු බවට ද මතයක් තිබෙනවා.

මල්වතු විහාරයේ මහා නායක හිමියන්ගේ නිර්දේශය  මත රජු අටමස්ථානය සඳහා නායක හිමිනමක පත් කළ බව මල්වතු පාර්ශ්වයේ මහානායක ධුරය හෙබවූ මැදගම දේවමිත්ත මහානායක හිමියන් උතුරු මැද පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයා වෙත 1800 ගණන්වල දන්වා සිටි අවස්ථාවේ ඒජන්තවරයාගේ පිළිතුර වී ඇත්තේ එම තනතුර පත් කිරීමේ බලය ඇත්තේ නුවරවැව පවුලට සහ පළාතේ මුලාදෑනීන්ට බව යි.

ශ්‍රී මහා බෝධියේ පැරණි සේයාරුවක්- amazinglanka.com/from The ruined cities of Ceylon by Henry W. Cave

අද ක්‍රියාත්මක අටමස්ථානාධිපති පදවිය මහනුවර යුගයේ ආරම්භ වූ බවයි පෙනෙන්නේ. එවකට වනගත ව පැවති අනුරාධපුරයේ ක්‍රියාත්මක  වූ එකම පන්සල පිහිටියේ ද ශ්‍රී මහා බෝධියේ පමණ යි. අටමස්ථාන සංකල්පය ඇතිවීමෙන් අනතුරුව ශ්‍රී මහා බෝධියේ නායක හිමියන් ම අටමස්ථානාධිපති තනතුරට පත්වූ බවට සාධක තිබෙනවා. අදත් ක්‍රියාත්මක වන්නේ එම සංකල්පය යි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ අටමස්ථානාධිපති සහ අනුනායක හිමියන් වශයෙන් මුලින් ම පත්කර ඇත්තේ උළුක්කුලමේ හාමුදුරුවන් වන අතර ඉන් පසුව ඇලගමුවේ හිමියන් ද අනතුරුව පාළුවැවේ හිමි ද එම පදවිය දරා තිබෙනවා.  

පල්ලේගම හේමරතන හිමියන් සහ සිරිනිවාස නාහිමිවරු 1968 මහණ පින්කම දා – silumina.lk

නායක හිමියන් පත්කිරීම

අටමස්ථාන භාරකාර කමිටුව පත් කරන අටමස්ථානාධිපති හිමියන් ගැන මුලින් ම  මල්වතු පාර්ශ්වයේ සංඝ සභාවට දැන්විය යුතු යි.  ඉන්පසු මල්වතු මහා නායක හිමියන් ද එම පත්වීම අනුමත කොට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත දන්වනවා. ඉන් පසු ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අත්සන් කළ සන්නස් පත්‍රයක් පිරිනමා පදවිය රාජ්‍ය මට්ටමින් පිළිගත් බව තහවුරු කෙරෙනවා.

 එදා මෙදාතුර අටමස්ථානාධිපති හිමිවරු

1816 ඉපලෝගම ශ්‍රී සුමන බුද්ධරක්ඛිත

1843 පයිලිගම රේවත

1863 කළුඑබේ ශ්‍රී සුමන ධම්මරක්ඛීත

1872 උඳුරව හල්මිල්ලෑවේ ශ්‍රී සුමන රතනපාල

1885 පහළ තලාවේ ශ්‍රී සුමන මේධංකර

1908 පල්ලේගම ශ්‍රී සුමන රේවත

1944 උඳුරව හල්මිල්ලෑවේ ශ්‍රී සුමන රේවත

1977 පල්ලේගම ශ්‍රී සුමන ඥානරතන

1997 පල්ලේගම ශ්‍රී සුමන සිරිනිවාස

2022 නොවැම්බර් 11 සිට පල්ලේගම හේමරතන

ශ්‍රී මහා බෝධි විහාරයේ දසුනක්-  weepingredorgerwordpress.com

 අභිනව අටමස්ථානාධිපති හිමි

පල්ලේගම සිරිවාස නා හිමියන්ගේ අපවත්විමෙන් පුරප්පාඩු වු අටමස්ථානාධිපති තනතුරට හිටපු ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ පත්කිරීමට අටමස්ථාන කාරක සභාව ඒකමතික ව තීරණය කර තිබෙනවා. අභිනව අටමස්ථානාධිපතින් වහන්සේගේ සම්පූර්ණ නම පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන යි.

‘‘ඉතිහාසය විසින් මට මේ තනතුර ලබාදී තිබෙනවා. විහාර දේවාලගම් පනත අනුව අටමස්ථානාධිපති හිමියන්ට තමයි මහා බෝධියේ ආරක්ෂාව බාර වන්නේ. මං ඒ නිසා රුවන්වැලි සෑයෙන් උඩමළුවට එනවා. ශ්‍රී මහා බෝධියේ මුරකරු ලෙස මං කටයුතු කරනවා‘‘ යි අභිනව අටමස්ථානාධිපති හිමියන් ලියුම්කරු සමඟ පවසා සිටියා.

පල්ලේගම හේමරතන නායක හිමි- dinamina.lk

පල්ලේගම හේමරතන නාහිමියන් උපන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ වගපනාපල්ලේසිය පත්තුව දඹුල්ල පල්ලේගම ග්‍රාමයේ දී 1954 ජුනි 15 වැනි දා යි. ගිහි නම නන්දසේන වුණා. ඔහු  කුඩා කල ඉගෙන ගත්තේ බුලාගල ප්‍රාථමික විදුහල, පැල්වෙහෙර වැලිහේන විදුහල හා කණ්ඩලම පල්ලේගම ශ්‍රී සිද්ධාර්ථ මහ විදුහල යන පාසල්වලින්. 1968 මැයි 9 වැනි දා නන්දසේන දරුවා ශ්‍රී මහා බෝධි උඩමළුව විහාරයේ දි පැවිදි බවට පත්වුණා.  ඉන් පසුව 1968 වසරේ ම රුවන්වැලි සෑය මහා විහාරයට පැමිණෙන විට හේමරතන හිමියන්ගේ වයස අවුරුදු 14 යි.

හේමරතන පොඩිහාමුදුරුවෝ

හේමරතන පොඩිහාමුදුරුවන් මූලික පිරිවෙන් අධ්‍යාපනයට ගියේ අනුරාධපුර මහාවිහාර පිරිවෙනට යි.  පසුව 1971 දී මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ප්‍රාචීන අංශයේ සහ 1975 දී සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනට ඇතුළත් වී උසස් අධ්‍යාපනය ලැබුවා. 1975  ජුනි 5 වැනි දා  මහනුවර මල්වතු උපෝෂඨාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටැවූවා.උසස් පෙළ හොඳින් සමත්වූ හේමරතන නාහිමියන්  කැලණිය සරසවියට ඇතුළත් වුණේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යි. පුරාවිද්‍යාව ගැන වැඩි කැමැත්තක් දැක්වූ උන්වහන්සේ පුරාවිද්‍යා විශේෂවේදී ශාස්ත්‍රවේදී උපාධියක් ලබා 1978 දී සරසවි අධ්‍යාපනය නිම කළා. කලාවට කැමැත්තක් දැක්වූ හිමියන්  ඒ අතරම ගීත රචනා කිරීමද සිදු කළා. උන්වහන්සේ රට ම හඳුනන්නේ, ප්‍රවීණ ගීත රචකයෙක් විදිහට යි. පල්ලේගම හේමරතන නා හිමියන් ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ, රජරට නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක තනතුරු ද දරනවා.

කවරයේ ඡායාරූපය- අටමස්ථානාධිපති හිමියන්ගේ ආරක්ෂාව යටතේ පවතින ශ්‍රී මහා බෝධිය - gettyimages.com
මූලාශ්‍ර:
අනුරාධපුර අටමස්ථානය - උක්කු බණ්ඩා කරුණානන්ද
පුජනීය අටමස්ථානය - කුසුම්සිරි විජයවර්ධන
Budusarana.lk
Divaina.lk

Related Articles