දකුණු කොරියාවේ නව ජනපති යූන් සක්-යෝල්, මෑතක සිට එරට කාන්තාවන් අතර ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වී තිබෙනවා. ව්‍යුහගත වශයෙන් ස්ත්‍රී-පුරුෂ භාවය අනුව සිදුවන වෙනස්කොට සැලකීම් දැන් “අතීතයට අයත් දෙයක්” බව ඔහු ප්‍රකාශ කර තිබීම ඊට හේතුව යි.
බලයට පත් වූ පසු ජනාධිපති යූන් සක්-යෝල්, රජයේ ස්ත්‍රී-පුරුෂ කෝටාව ඉවත් කරමින් පුද්ගලයන් බඳවා ගන්නේ ලිංගිකත්වය මත නොව කුසලතා මත බව ප්‍රකාශ කළා. කුසලතා පවතින්නේ පුරුෂයන් අතර පමණක් ද යන ගැටලුව එහි දී පැන නඟිනවා. 19 දෙනකු ගෙන් යුත් ඔහුගේ කැබිනට් මණ්ඩලයේ කාන්තා නියෝජනය පවා තිදෙනකුට සීමා වී තිබීම ඊට හේතුව යි.
අරුම පුදුම තීරණයක්!
“ව්‍යුහගත ලිංගිකත්වවාදය” සඳහා පුළුල් අර්ථකතන තිබිය හැකි යි. සරලව ඉන් අදහස් වන්නේ දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ආයතනවල බලය සහ සම්පත් බෙදී යෑම ලිංග භේදය අනුව සිදුවීම යි. එය ක්ෂුද්‍ර මට්ට්මින් ගෘහයක් තුළ පවා පැවතිය හැකි යි.
යූන් සක්-යෝල්, සිය ප්‍රකාශය ක්‍රියාවට නංවමින් දකුණු කොරියාවේ “ස්ත්‍රී-පුරුෂ සමානතා” පිළිබඳ අමාත්‍යාංශය අහෝසි කිරීමටත් සැරසෙනවා. මෙම අමාත්‍යාංශය හරහා සේවා රාශියක් දකුණු කොරියානු සමාජය වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. ඒවා සාරාංශගතව මෙසේ දැක්විය හැකි යි.
- කාන්තා ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ සම්බන්ධීකරණය කිරීම.
- කාන්තා අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාම.
- තරුණ ක්‍රියාකාරකම් සහ සුභසාධනය සඳහා සහයෝගය, ආරක්ෂාව ලබා දීම.
- පවුල් සහ බහු සංස්කෘතික පවුල් සඳහා ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම, සම්බන්ධීකරණය කිරීම සහ සහාය දීම
- කාන්තාවන්ට, දරුවන්ට සහ තරුණයින්ට එරෙහි හිංසනය වැළැක්වීම සහ වින්දිතයන් ආරක්ෂා කිරීම.
සේවා රාශියක් බෙදා හරින රාජ්‍ය ආයතනයක් අහෝසි කිරීමට දකුණු කොරියානු ජනපති අදහස් කරන්නේ ඇයි?
ලිංගය මත සිදු කරන වෙනස්කොට සැලකීම් ශූන්‍යයක් වන තරමට ම දකුණු කොරියානු සමාජය සමානාත්මතාවේ “යුටෝපියාවක්” කරා ඇදී යනවා ද?
ඉහත ගැටලුවට පිළිතුරක් සෙවීමට මත්තෙන් අපි යූනා ගේ අත්දැකීම් මඳක් විමසා බලමු.
තුවා සේදූ ලිපිකාරිණිය
දකුණු කොරියාවේ ප්‍රධාන පෙළේ බැංකුවක ලිපිකාරිණියක ලෙස සේවයට ගිය යූනා, පළමු දිනයේදී ම අමිහිරි අත්දැකීමකට මුහුණ දුන්නා. ඇයට පැවරුණු රාජකාරි අතර අපේක්ෂා නොකළ රාජකාරි කිහිපයක් තිබීම ඊට හේතුව යි. ඉන් පළමුවැන්න ලෙස සිය කණ්ඩායමට දිවා ආහාරය පිළියෙළ කිරීමට ඇයට සිදු වුණා. පසුව පිරිමි වැසිකිළියේ ඇති කුඩා අත් තුවා රැගෙන ගොස් පිරිසුදු කරන ලෙසත් ඇයට නියෝග ලැබුණා!
තවදුරටත් පැවරුණු අසාමාන්‍ය රාජකාරි සඳහා එකඟ වීමේ හැකියාවක් යූනාට තිබුණේ නැහැ. අත් තුවා සේදීමේ ක්‍රියාව කාරුණික ව ප්‍රතික්ෂේප කරමින් ඇය ආයතන ප්‍රධානියා වෙත පැමිණියා. යූනා ගේ පැමිණිලි කිරීම හමුවේ අනපේක්ෂිත ලෙස ආයතනික ප්‍රධානියා කෝප වූ අතර, දිගින් දිගට ම තම ස්ථාවරය මත සිටියහොත්, තත්ත්වය නරක අතට හැරෙන බව යූනා තේරුම් ගත්තා.
“ඉතින් මං තුවා සේදීමට පටන් ගත්තා.”
මාධ්‍ය වෙත අදහස් දක්වමින් යූනා පවසා සිටියා.
නොබෝ දිනකින් ඇය මේ සියල්ල රූගත කොට විමර්ශන සඳහා රජයට වාර්තා කළා. ක්රමානුකූල ව නරක අතට හැරුණු අපයෝජනයට අමතර ව ඇයගේ වයසට ආසන්න අනෙකුත් තරුණියන් ගෙන් නිසි සහයෝගය නොලැබීමත් ගැටලුව තවත් උල්ර කරන්නට මඟ පෑදුවා.
“හැමතැන ම මෙහෙමයි. කලබල කරන්න එපා!”
සම වයසේ කාර්යාල සගයන් ගෙන් ඇයට ලැබුණේ එවැනි පිළිතුරක්.
මඟ හැරුණු එක දෙයක්!
ගෝලීය ප්‍රජාව සැලකීමේ දී දකුණු කොරියානු සමාජයට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. මුළු ලොව ම අවධානය යොමු කරන අන්දමේ අනන්‍යතා රැසක් එම සමාජය සතු යි. දකුණු කොරියානු පොප් සංගීතය සහ සිනමා කර්මාන්තය ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකි යි. තාක්ෂණය සහ මානව සංවර්ධනය සමඟ ප්රගතිශීලි වෙමින් සිටින සමාජයකින් යූනා විඳි අන්දමේ අත්දැකීම් ගැන ඇසීමත් විමතියට කාරණයක්. දකුණු කොරියාව බොහෝ අංශ ඔස්සේ වේගවත් ගමනක යෙදුණත්, ඔවුන්ට එක් දෙයක් මඟ හැරී තිබෙනවා. ඒ තමයි කාන්තාවන්.
පුරුෂයන්ට සාපේක්ෂ ව දකුණු කොරියානු ස්ත්‍රීයට තවමත් ලැබෙන්නේ තුනෙන් එකක වැටුපක් බව සඳහන්. එය ධනවත් රටවල් අතර ලිංග භේදය මත පදනම් ව දක්නට ලැබෙන විශාලත ම වැටුප් විෂමතාවක් ද වෙනවා. දකුණු කොරියානු දේශපාලනයේ සැලකිය යුතු පුරුෂාධිපත්‍යයක් දක්නට ලැබෙන අතර, සමාගම්වල විධායක තනතුරු පවා ස්ත්රීන්ට ලැබෙන්නේ අවම වශයෙන්. එය ප්‍රතිශතයක් ලෙස 5.8% ක් ලෙස දැක්වෙනවා. අසමානතාව එතැනින් නතර වන්නේ නැහැ. තාක්ෂණය අධි වේගයෙන් දියුණු වන තරමට ම ඩිජිටල් ලිංගික අපරාධවල වැඩි වීමක් දකුණු කොරියාවේ දක්නට ලැබෙනවා. ඒවායේ සුලබ වින්දිතයන් වන්නේ කාන්තාවන්.
2021 වසරේ ඩිජිටල් ලිංගික අපරාධ 11,568 ක් දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති අතර, එය පෙර වර්ෂවලට වඩා 82% ක වැඩි වීමක් ලෙස දැක්වෙනවා. බොහෝ විට මෙවැනි අපරාධ සිදුවන්නේ සඟවා තැබූ කැමරා හරහා යි. කාන්තාවන් රහසිගත ලෙස කැමරාවට හසු කරගනිමින් ඔවුන්ට තර්ජනය කිරීම එමඟින් සිදු වෙනවා.
පාක් ගේ අත්දැකීම
පාක් ජි-හ්යුන් යනු කාන්තා අයිතිවාසිකම් ප්‍රචාරකයෙක් ලෙස ක්‍රියා කරන 28 හැවිරිදි තැනැත්තියක්. ඇයට ක්‍රියාකාරී දේශපාලනය සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් නොතිබුණත්, එක්තරා දේශපාලන පක්ෂයක් වෙතින් පැමිණි ආරාධනයක් පිළි ගැනීමට පාක් තීරණය කළා. අදාළ පක්ෂයේ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු සඳහා කාන්තා නියෝජනය අවශ්‍ය බැවින්, ඔවුන් පාක් ගේ උපකාරය බලාපොරොත්තු වුණා. නමුත්, මාස හයකට පමණ පසු ඇය එම දේශපාලන පක්ෂයෙන් ඉවත් වී තිබුණා. දකුණු කොරියානු දේශපාලනයේ පැතිරී ඇති ලිංගිකත්වවාදය සහ කාන්තාවන් නොරිස්සීම සියැසින් ම අත්දුටු ඇය, හැකි ඉක්මනින් එම දේශපාලන පක්ෂය අත හැරීමට ක්‍රියා කළා.
“ඔවුන් මා නොසලකා හැරියා. ඒක හරියට නිකම් හිස් අවකාශයකට කෑ ගසනවා වගේ හැඟීමක්. මට ආර්ථිකය හෝ පරිසරය ගැන සාකච්ඡා කිරීමට අවශ්‍ය වූ විට තමා දන්නා දේවල් වලට පමණක් අවධානය යොමු කරන ලෙස ඔවුන් පැවසුවා.”
පක්ෂයට අවශ්‍ය වුණේ ඇය කාන්තා ප්‍රශ්න සහ ලිංගික අපරාධ සම්බන්ධයෙන් සිය හඬ අවදි කරනවා දැකීමට යි. ඒ හරහා කාන්තාවන් ගේ ඡන්ද තම පක්ෂය වෙත ආකර්ෂණය කර ගැනීමේ උපක්‍රමයක් ලෙස පාක් භාවිත වුණා. සමාජ ක්‍රියාකාරිණියක් ලෙස ඇයට විශාල විභවයක් තිබුණත්, අදාළ දේශපාලන පක්ෂය ඇයට සැලකුවේ විශාල අවතක්සේරුවකින්.
යූනා හරහා දකුණු කොරියාවේ සාමාන්‍ය ආයතනික පරිසරය තුළත්, පාක් හරහා එරට දේශපාලනය තුළත්, පැහැදිලි ලිංග භේදයක් හෝ අසමාන සැලකීමක් තිබෙන බව මින් පෙනී යනවා. මේ සියල්ල හුදෙකලා සිදුවීම් වුවත්, ඉන් මතු වන පසුබිම් ගැටලුවල පරාසය විශාල යි.
තත්ත්වය එසේ නම්, “ව්‍යුහගත ලිංගිකත්වවාදය” අතීතයට අයත් දෙයක්යැ යි දකුණු කොරියානු ජනපතිවරයා පවසන්නේ කෙසේ ද?
පුරුෂයන් අතර මිශ්‍ර අදහස්
ජනපතිවරයාගේ ක්‍රියාකලාපය හමුවේ දකුණු කොරියානු කාන්තාවන් දැන් ප්‍රතික්‍රියා දක්වමින් සිටිනවා. සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටින අමාත්‍යාංශය වසා දැමීමේ යෝජනාවට එරෙහි ව විරෝධය දක්වමින් සංවිධාන 800 ක් දැනටමත් පෙරට පැමිණ තිබෙන්නේ එහි ප්‍රතිපලයක් වශයෙන්.
විරෝධතා සඳහා පුරුෂ පාර්ශවයත් සහාය දක්වන පසුබිමක් නිර්මාණය වෙමින් තිබුණ ද අමාත්‍යාංශය අහෝසි කිරීම සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර පුරුෂයන් අතර පවතිනවා. උදාහරණයක් ලෙස අතීතයට සාපේක්ෂ ව විශාල පරාසයක අයිතීන් වර්තමාන කාන්තාව භුක්ති විඳින බව ඇතැම් දකුණු කොරියානු පුරුෂයන් විශ්වාස කරන අතර, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව නව අදියරකට පැමිණිය යුතු බවත් ඔවුන් යෝජනා කරනවා. ස්ත්‍රීවාදයෙන් ඔබ්බට ගොස් සුළු ජාතීන් ගේ අයිතිවාසිකම් පවා රැකෙන පරිදි සියලු ප්‍රජාවන් ආවරණය වන නව ක්රමයක අවශ්‍යතාවක් ඔවුන් ඉස්මතු කර තිබුණා.
ගැටලුවට විසඳුමක් නැති ලකුණු
රජයේ අයවැයෙන් සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටින අමාත්‍යාංශය සඳහා වෙන් වන්නේ 0.2% ක මූල්‍ය ශක්තියක් පමණ යි. කාන්තාවන් පවසන පරිදි අමාත්‍යාංශය හේතුවෙන් ඔවුන් ගේ ජීවිතය පැහැදිලි වෙනසකට බඳුන් වී තිබෙනවා. අසාධාරණයට ලක් වූ කාන්තාවන් හමුවේ අමාත්‍යාංශය විශාල පිටුවහලක් වී තිබීම ඊට හේතුව යි.
රජය පවසන අන්දමට අමාත්‍යාංශයේ වත්මන් සේවාවන් අඛණ්ඩ ව පවත්වා ගෙන යන නමුත්, එම සේවා අනෙකුත් දෙපාර්තමේන්තු යටතේ ක්‍රියාත්මක වනු ඇති. එම වෙනස කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවලට ගැටලුවක් වී තිබෙනවා.
තනි අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වූ සේවා රැසක් පරිබාහිර දෙපාර්තමේන්තු කිහිපයකට බෙදී ගිය විට සේවා ප්‍රමුඛතාවට සිදු වන්නේ කුමක්ද?
ඊට පැහැදිලි පිළිතුරක් තවම ලැබී නැහැ.
ලිංගික අපයෝජන, වාචික හිංසන, රැකියා වෙළෙඳපොළේ ස්ත්‍රී-පුරුෂ වැටුප් විෂමතාව, දරුවන් ලැබීමෙන් පසු අතිශය තරගකාරී ශ්‍රම බළකායට ඇතුළු වීමේ දුෂ්කරතා, වැනි ගැටලු බොහෝමයකට දකුණු කොරියානු කාන්තාවන් තවමත් මුහුණ දෙනවා. තත්ත්වය එසේ නම්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය ආයතනයක වැදගත්කම හීන වී යන්නේ කෙසේ ද?