මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ පැවැත්වූ වෛද්‍ය ව්‍යාධිවේද සම්මේලනයකට, වෛද්‍ය වික්ටෝරියා ගිෆී පැනයක් ඉදිරිපත් කළා. ඇයට අනුව 1924 ජනවාරි මස 21 වන දින සවස 6.50 ට පමණ රුසියාවේ දී එක් මිනිසෙක් හදිසියේ ම මිය ගොස් තිබෙනවා. ඔහුගේ මරණයට හේතුව වශයෙන් අනාවරණය වී ඇත්තේ ඉතාමත් දරුණු ගණයේ ආඝාත තත්ත්වයක් හෙවත්, මොළයේ රුධිර නාලයක් පිපිරීම යි. මෙම පුද්ගලයාගේ මොළයේ වූ ධමනි පරීක්ෂා කිරීමේ දී, ඒවා ඉතාමත් ගණ ලෙස කැල්සිභවනය වී තිබුණා. ට්වීසරයක් ආධාරයෙන් ඒවා කඩා දමන විට දිස් වුණේ ගල් කැබලි ලෙස යි. මෙම මරණය එවකට රුසියාවේ ඉතාමත් මතබේදයට තුඩු දුන් එකක් වුණා.
ඇත්තෙන් ම මෙලෙස මිය ගොස් සිටියේ වෙනත් කිසිවෙක් නොව, රුසියානු විප්ලවයේ බල කණුවක් වන විලැඩිමීර් ලෙනින්. මොහු මිය යන විට සිය දිවියේ සය වන දශකය මධ්‍යයේ පසු වූ අතර, එවැනි වයසක අයකුගේ රුධිර නාලවල මේ තරම් දැඩි ලෙස කැල්සියම් බැඳීම ඇත්තෙන් ම අතිශය අසාමාන්‍ය තත්ත්වයක් වුණා. මේ හේතුව නිසාම, අද තරම තාක්ෂණය නොදියුණු ඒ සමයේ මෙම මරණය හුදු ස්වභාවික එකක් නොවන බවට මත පළ වූ අතර, වර්තමානය දක්වා ම එම සැක සංකා විකාශය වී තිබෙනවා. වෛද්‍ය ගිෆී ද මෙම ගැටලුව කරළියට ගෙන ආවේ ද එබැවිනු යි.
මේරිලන්ඩ් හි ව්‍යාධිවේද සමුළුව
මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ, ඓතිහාසික පුද්ගලයන් කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන, ව්‍යාධිවේද සමුළුව දශක දෙකකටත් අධික කාලයක් තිස්සේ පැවැත්වෙනවා. මෙහිදී ෆ්ලෝර්න්ස් නයිටිංගේල්, මහා ඇලෙක්සැන්ඩර්, මොසාර්ට්, බිතෝවන්, එඩ්ගා ඇලන් පෝ වැනි සුප්‍රසිද්ධ චරිතවල වෛද්‍ය වාර්තා සහ මරණ වාර්තා පිළිබඳ ව සාකච්ඡාවට ලක් කෙරෙනවා.
එඩ්ගා ඇලන් පෝ ඇත්තෙන් ම මිය ගොස් ඇත්තේ ජලභීතිකාවෙන් බැව් නිශ්චිත ව ම තහවුරු කෙරුණේත් මෙහිදී යි. එවකට වූ වෛද්‍ය වාර්තාවල එය එසේ නොදැක්වුණු අතර, ඉතිහාසය පුරාවට ම ඔහුගේ මරණය පිළිබඳ විවිධ කතිකාවත් ඇති වුණා. ලෙනින්ගේ මරණයත් ඒ ආකාරයට ම ඉතිහාසය පුරාවට විවාද නිර්මාණය් කෙරුණු එකක් නිසා, සංවිධායකයන් එයත් කරළියට ගෙන ඒමට කටයුතු කළා. ලෙනින්ගේ මරණය පිළිබඳ ව ගවේෂණය කිරීම භාර වූයේ ලොස් ඇන්ජලීස් හි, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ස්නායු ශල්‍ය අංශයේ වෛද්‍ය හැරී වින්ටර්ස් හා සෙන්ට් පීටර්ස්බර්ග් හි, ඉතිහාසඥයෙක් වන, රුසියානු ජාතික ලෙව් ලූරිට යි.
ලෙනින්ගේ රෝග ඉතිහාසය
වෛද්‍ය වින්ටර්ස් මුලින් ම ලෙනින්ගේ රෝග ඉතිහාසය හා පවුල් පසුබිම පිළිබඳ ව සභාවට හඳුන්වා දුන්නා. කුඩා කාලයේ දී ලෙනින්ට අසාමාන්‍ය ලෙස විශාල හිසක් තිබුණු අතර, නිතර ම එහි බර දරා ගත නොහැකි ව ඔහු ඇද වැටී තිබෙනවා. සිය මව බිය වද්දනු වස්, ඔහු නිතර ම සිය හිස නිවසේ බිම හිස ගසා ගෙන තිබෙනවා.
වැඩිහිටියෙක් බවට පත් වූ පසු ලෙනින්, එකල සමාන්‍ය රුසියානුවකුට වැලඳිය හැකි රෝගාබාධවලට ලක් වී තිබෙනවා. උණසන්නිපාතය, දත් කැක්කුම්, සෙම්ප්‍රතිශ්‍යාව සහ වේදනාකාරී සමේ ආසාදනයකටත් ඔහු ලක් වී තිබෙනවා. මීට අමතර ව ඔහු ඉතා දැඩි ආතතිමය තත්ත්වයන්වලට මුහුණ පා ඇති අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉරුවාරදය, නින්ද නොයාම සහ උදරාබාධවලට ද ලක් වී තිබෙනවා.
48 වන වියේ සිටියදී ඔහු ඝාතන තැතකට බඳුන් වූ අතර, එහිදී ඔහුගේ ශරීරයට ඇතුළු වූ වුණු උණ්ඩ දෙක අතුරින් එක් උණ්ඩයක් පෙනහැල්ලක් පසාරු කරමින් ඇදී ගොස් තිබූ අතර, අනෙක අකු ඇටයේ තැන්පත් ව තිබෙනවා. මේ උණ්ඩ දෙක ම ඉතිරි ජීවිත කලාය පුරාවට ම ඔහුගේ ශරීරයේ තැන්පත් ව තිබුණා.
ලෙනින්ගේ පියා ද වැඩි වයසක් ජීවත් වී නැහැ. ඔහු ද ලෙනින් මෙන් ම 54 වැනි වියේ දී මිය ගොස් තිබෙනවා. ඔහුගේ ද මරණයට හේතුව ලෙස සටහන් ව ඇත්තේ ආඝාත තත්ත්වයකින් ඇති වුණු අභ්‍යන්තර රුධිර ගැල්මක්. කෙසේ නමුත් ඔහුගේ මරණය සිදුවන විට ඔහු උණසන්නිපාත තත්ත්වයකට ද මුහුණදෙමින් සිට තිබෙනවා.
සොයුරු සොයුරියන්ගෙන් බහුතරයක් තරුණ කාලයේ දී මිය ගියා
ලෙනින්ට සොයුරු සොයුරියන් සත් දෙනෙක් සිටියා. ඔවුන්ගෙන් ද බහුතරයක් තරුණ කාලයේ දී ම මිය ගොස් තිබුණා. එක් සොයුරෙක් තෙවන ඇලෙක්සැන්ඩර් රජු ඝාතනය කිරීමට කුමන්ත්‍රණයය කිරීමේ චෝදනා මත වයස අවුරුදු 21 දී මරණ දඬුවමට ලක් කොට තිබුණා. තවත් සොහොයුරෙක් උණසන්නිපාතය හේතුවෙන් 19 වැනි වියේ දී මිය ගියා. යොවුන් විය ඉක්මවා ජීවත් වූ සොයුරු සොහොයුරියන් තිදෙනාගෙන් වැඩි ම කලක් ජීවත් වූ සොයුරිය 71 වන වියේදී මියගියේ ආඝාත තත්ත්වයක් හේතුවෙනු යි. අනෙක් සොයුරිය හෘදයාබාධයක් හේතුවෙන් 59 වන වියේ දී මිය ගිය අතර, සොයුරා 69 වන වියේ දී මිය ගොස් තිබුණේ ‘ස්‍රෙනෝකාඩියා’ නම් රෝගී තත්ත්වයක් හේතුවෙනු යි.
ලෙනින් මිය යාමට වසර දෙකක පටන් ගත වූ කාලය තුළ තෙවරක් ආඝාත තත්ත්වවලට ලක් ව තිබෙනවා. මීට ප්‍රතිකාර කිරීමට එවකට යුරෝපයේ හොඳ ම වෛද්‍යවරුන් වෙත ඔහු ගෙන ගොස් තිබෙනවා. දැඩි විඩාව නිසා ස්නායු පද්ධතිය දුර්වල වීම, දීර්ඝකාලීනව ඊයම් ආඝ්‍රාණය වීම, උණ්ඩ දෙකක් ශරීරයේ තැන්පත් වීම, හිසට රුධිර සපයන ධමනිවල මේදය තැන්පත් වීම වැනි හේතු ගණනාවක් නිසා මෙම රෝගී තත්ත්වය ඇති වූ බවට හඳුනා ගෙන තිබෙනවා.
මොළයේ රුධිර නාල ඉදිමීම
මීට අමතර ව ඔහු එන්ඩර්ටෙරිටිස් ලූටික නම් රෝගී තත්ත්වයකින් පෙළී තිබෙනවා. වෛද්‍ය වින්ටර්ස්ට අනුව මෙම රෝගී තත්ත්වයේ දී, උපදංශය නිසා මොළයේ රුධිර නාල ඉදිමීම සිදු වෙනවා, මේ නිසා ඒවායේ ඇතුළත බිත්ති ඝණ වෙනවා. කෙසේ නමුත්, එවැන්නක් පිළිබඳ ව සඳහනක් නොමැති අතර, ඔහුට සිදු කළ උපදංශ පරීක්ෂණයෙන් ද ඔහුට එවැන්නක් තිබූ බවට සඳහනක් නැහැ. කෙසේ නමුත්, මරණයට පෙර, උපදංශය වැලක්වීම සඳහා ඔහුට ආසනික් මිශ්‍රිත එන්නතක් ලබා දී තිබෙනවා. එය එවකට ප්‍රචලිත ව තිබූ ප්‍රතිකාර ක්‍රමයක්.
ලෙනින් ගේ ජීවිතයේ අවසාන පැය කිහිපය තුළ ඔහුට ඉතා දැඩි වලිප්පු තත්ත්වයක් ඇති වී තිබෙනවා. මරණ පරීක්ෂණයෙන් තහවුරු වූයේ, මොළයට රුධිරය සපයන නාල සියල්ල ම සම්පූර්ණයෙන් පාහේ අවහිර ව තිබුණු බව යි. කෙසේ නමුත් ලෙනින් සතු ව සාමාන්‍යයෙන් ආඝාත තත්වයක් සඳහා වූ අවදානම් සාධක පිටතට පෙන්නුම් කොට තිබී නැහැ.
ලෙනින්ගේ මරණයට හේතු
සිය ජීවිත කාලය තුළ කිසි ම දිනෙක අධි රුධිර පීඩනයට ලෙනින් ප්‍රතිකාර ගෙන නැහැ. ඔහුගේ ආඝාත තත්ත්වයට හේතුව එය නම්, ඔහුගේ හෘදයේ වම් පැත්ත විශාල වී තිබිය යුතු යි. එය එසේ සිදු වී තිබී නැහැ. සිය ජීවිතයේ කිසිම දිනෙක ඔහු දුම් පානය කොට නැහැ. දුම් පානය කරන ස්ථානවල හිඳීම ද ඔහු ප්‍රතික්ෂේප කොට තිබෙනවා. ඔහු මත්පැන් ගෙන තිබුණේ කලාතුරකින් වූ අතර, නිතර ම පාහේ ව්‍යායාම කළා. ඔහු මොළයේ ආසානදනයක් පිළිබඳ රෝග ලක්ෂණත් පිටතට පෙන්වා නැහැ. මොළයේ ගෙඩියක් ද තිබී නැහැ. එසේ නම් මේ තරම් දරුණු ලෙස රුධිර නාල අවහිර වන්නට හා ආඝාතයක් ඇතිවන්නට හේතු වී ඇති සාධක මොනවාද?
ලෙනින් ගේ මරණයට හේතු සම්බන්ධයෙන් ප්‍රබල සාධක ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ රෝග ඉතිහාසයන් තුළ සැඟ ව තිබෙනවා. විසි විය ඉක්මවා ජීවත් වූ ඔහුගේ සොයුරු සොයුරියන් සියලු දෙනාගේ රෝග ඉතිහාසය පිරික්සීමේ දී හෘද රෝග සම්බන්ධයෙන් සාධක හමුවෙනවා. ලෙනින්ගේ පියා මිය ගොස් ඇත්තේ ද, ලෙනින්ට සමාන වයසක දී, ඒ ආකාරයෙන් ම යි. වෛද්‍ය වින්ටර්ස් පවසන පරිදි, ප්‍රවේණිමය වශයෙන් ලෙනින්ට, ඉතා දරුණු ලෙස අධික රුධිර කොලෙස්ටරෝල් ඇති වීමේ අවදානමක් තිබී ඇති අතර, මේ නිසා ඇති වූ රුධිර නාලවල අවහිර වීමෙන් ඔහු ආඝාතනයට මුහුණපා තිබෙනවා.
ජීවිතයේ මුහුණ දුන් ආතතිමය වාතාවරණය
ලෙනින් සිය ජීවිතයේ මුහුණ දුන් ආතතිමය වාතාවරණය නිසා, මේ ආකාරයෙන් රුධිර නාල අවහිර වී ඇති අයකුට, ඉතා පහසුවෙන් ආඝාත තත්ත්ව ඇති විය හැකි යි.
මරණයට පැය කිහිපයකට පෙර සිට ලෙනින් මුහුණ දුන් තදබල වලිප්පු තත්ත්ව වෛද්‍යවරුන්ට ප්‍රහේලිකාවක් වී තිබුණා. මෙවැනි තදබල වලිප්පු තත්ත්වයන් ආඝාත රෝගියකුට වැලඳීම අසාමාන්‍ය බව වෛද්‍ය වින්ටර්ස් ගේ මතය යි. කෙසේ නමුත් ඕනෑම විසක් නිසා වලිප්පු තත්ත්වයන් ඇතිවිය හැකි බැව් ඔහුගේ මතය යි.
ඉතිහාසඥ ලූරිට අනුව, අසනීප ව සිටි ලෙනින් ගේ මරණය ඉක්මන් කිරීමට විෂ ශරීරගත වීමක් සිදු ව තිබීමට වැඩි ඉඩක් පවතිනවා. විශේෂයෙන් ලෙනින්ට පසුව සිටි ස්ටාලින්ට, සෝවියට් රුසියාවේ බලය ගැනීමට සිටි ප්‍රබලත ම බාධකය වූයේ ලෙනින් වන අතර, මැක්සිම් ගෝර්කි ඇතුළු තවත් කිහිපදෙනකුගේ මරණ අරබයා ස්ටාලින්ගේ නම ඈඳී තිබීමත් හේතුවෙන්, ස්ටාලින් ලෙනින් හර විස පෙවීමට කටයුතු කළා ය යන මතයත් බැහැර කළ නොහැකි බැවට ලූරි කරුණු දක්වා තිබෙනවා. ඔහුට අනුව 1920 දශකයේදී රුසියාවේ කොමියුනිස්ට්වාදය මාෆියාවක ගති ලක්ෂණ පෙන්වා තිබෙනවා.
ලෙනින්ට වස දුන්නා ද?
1921 වසරේ ආරම්භයේ සිට ලෙනින් තමන් බරපතල ලෙස අසනීප වී ඇති බැව් පවසන්නට වුණා. එතැන් පටන් 1924 වසරේ ඔහුගේ මරණය සිදුවන තුරු ම එම තත්ත්වය දිනෙන් දින නරක අතට හැරුණා. ඔහු නිතර ම තමන්ට නින්ද නොයන බව සහ, දරුණු හිසරද වැලඳෙන බවට පවසන්නට වුණා. මේ නිසා තමන්ට ලිවීම සහ එදිනෙදා වැඩකටයුතු කිරීම සිදු කළ නොහැකි බැව් ඔහු සමකාලීනයකු වන මැක්සිම් ගෝර්කි වෙත ලියා යවා තිබුණා. “මට ඉතාමත් මහන්සියි. කිසිවක් කරන්නට මට හිත දෙන්නේ නැහැ” ඔහු ගෝර්කි වෙත ලියා යවා තිබුණා.
කෙසේ නමුත්, ආචාර්ය ලූරිට අනුව, මේ සියල්ල මැද ලෙනින්, ස්ටාලින්ට එරෙහි ව දේශපාලනික ප්‍රහාරයක් දියත් කරන්නට සැලසුම් කරමින් සිටියා. ස්ටාලින් ද මේ පිළිබඳ ව දැන සිටියා. ස්ටාලින් ඊට එරෙහි ව ක්‍රියා කිරීම අරඹා තිබුණා. 1923 වසරේදී ස්ටාලින් පොලිට්බියුරෝවට යැවූ රහසිගත ලේඛනයක ‘ලෙනින් විසින් තමන් කරදරයේ දමා ගන්නේ තමන් විසින් ම’ බැව් දක්වා තිබුණා.
“මාර්තු මස 17 වනදා, කොමදෝරු කෘප්ස්කායා, ලෙනින්, ජෝසප් ස්ටාලින් වන මාගෙන් ඉල්ලීමක් කළ බැව් දැන්වූවා. ඔහුට අනුව, ලෙනින්, තමන්ට පොටෑසියම් සයනයිඩ් ලබා දී, තමන්ගේ දිවි තොර කරන ලෙස ඉල්ලා තිබෙනවා. මට ඔහුගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි මුත්, දැනට ඔහුගේ ආරක්ෂාව සහතික කරන මෙන් මා ඉල්ලා සිටිනවා. එමෙන්ම යම් දිනයක එම අවශ්‍යතාව ඉටු කිරීමට සුදුසු තත්වයක් ඇති වූ විට මා එය නොපැකිලව සිදු කරන්නට සූදානම් ” ස්ටාලින් ලියා තිබුණා.
ස්ටාලින්, ලෙනින්ට වස දෙන්නට වැඩි ඉඩකඩක්
“මට එය සිදුකරන්නට ශක්තියක නැහැ. ඒ නිසා මේ මොහොතේ මා එය ප්‍රතික්ෂේප කළා. කෙසේ නමුත් මානුෂික හේතූන් මත එය සිදු කර දීම කළ යුතු ව ඇති. කෙසේ හෝ වේවා මමා මේ පිළිබඳ ව පොලිට්බියුරෝව දැනුවත් කරන්නට සිතුවා.”
කෙසේ නමුත් ආචාර්ය ලූරිට අනුව, ඉක්මනින් ම ස්ටාලින්, ලෙනින්ට වස දෙන්නට වැඩි ඉඩකඩක් තිබී තිබෙනවා.
ආචාර්‍ය ලූරි මෙලෙස පවසද්දී, වෛද්‍ය වින්ටර්ස් පවසන්නේ කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා ඇති වූ ආඝාත තත්ත්වය ම ලෙනින්ගේ මරණයට හේතු වූ බව යි. ලෙනින්ගේ මරණය සිදුවන සමයේ, විස හේතුවෙන් යම් මරණයක් සිදුවූවා ද යන්න පිළිබඳ ව පරීක්ෂා කිරීමට පහසුකම් එකල රුසියාව සතු වුව ද, ඒ සමයේ සිදුවූ සමහර ප්‍රසිද්ධ පුද්ගලයන් අරබයා විෂ ශරීරගත වීම සම්බන්ධ පරීක්ෂණ සිදු කර තිබුණ ද, ලෙනින් සම්බන්ධයෙන් එවැන්නක් සිදු කර නොතිබීම ගැටලුසහගත වන බැව් විද්වතුන් දෙදෙනා ම පවසනවා. මේ නිසා ලෙනින්ගේ මරණය සම්බන්ධ සැක සංකා මේ වන තුරුත් සම්පූර්ණ වශයෙන් පහ ව ගොස් නැහැ.
පසුවදන
මේ සියලු නොපැහැදිලි තැන් මැද වෛද්‍ය වින්ටර්ස්, එක් කාරණාවක් සහතිකව ම පවසනවා. ඒ ලෙනින් මිය ගියේ කොලෙස්ටරෝල් තැන්පතු නිසා ම යැයි සැලකුවහොත්, වර්තමානයේ ලෝකයා සතු ව ඇති කොලෙස්ටරෝල් අවම කරන ඖෂධ හා ප්‍රතිකාර ලෙනින්ට ලැබිණි නම්, ඔහු හට තවත් වසර 20 ක් හෝ 25 ක් නිරුපද්‍රිතව ජීවත් වන්නට තිබුණු බව යි.
එය එසේ සිදුවූවා නම්, රුසියාවේ ඉතිහාසය කෙතරම් වෙනස් වනු ඇති ද?