කල්පිටිය කියන්නේ පසුගිය කාලේ ශීඝ්‍රයෙන් දියුණුවට පත්වූ සංචාරක පුරවරයක්. කල්පිටියට බොහෝ සංචාරකයන් පැමිණෙන්නේ ඩොල්ෆින් නැරඹීම, දූපත් සංචාර සහ සරුංගල් සර්ෆින් ක්‍රීඩාවෙහි යෙදීම වැනි විනෝදාත්මක කරුණු කාරණා පදනම් කරගනිමින්.
පුරාණයේ පටන්ම පුත්තලමට උතුරින් පිහිටි කල්පිටිය අර්ධද්වීපය හමුදාමය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් වුණා. මේ නිසා පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසින් මෙන් ම උඩරට රජවරුන් ද කල්පිටිය බළකොටුව ගැන අවධානය යොමු කර තිබෙනවා. මුහුද අද්දර පිහිටි මේ බළකොටුව පසුගිය සිවිල් යුද සමයේ නාවික හමුදා කඳවුරක් බවට පත් වුණා. අද විජය නාවුක හමුදා මූලස්ථානය පිහිටුවා ඇත්තේ ද මේ බිමෙ යි. නාවික හමුදා අවසරය මත සංචාරකයන්ට මෙම බළකොටුව නැරඹීමට පුළුවන්.
කල්පිටිය
මුලින් ම කල්පිටිය යටත්විජිත පාලනයට නතු වුණේ පෘතුගීසි කාලයේදි යි. එකල ඔවුන් මෙහි කුඩා ජෙසුටිට් දේවස්ථානයක් සහ ජනාවාසයක් පිහිටුවා තිබුණා. පෘතුගීසින් වැඩි උනන්දුවක් දැක්වූයේ අගාම ප්‍රචාරය කිරීමට යි. වර්ෂ 1658 දී ලන්දේසි, පෘතුගීසින් මෙරටින් එළවා දමා මුහුදුබඩ පළාත් සියල්ල තම අණසකට ගත්තා.
ඉන් අනතුරුව වැදගත් වෙළෙඳ නගරයක් වු කල්පිටියේ ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව බළකොටුවක් ඉදිකිරීම ආරම්භ කළා. කොටුවට යාබද ව දේවස්ථානයක් ද ඔවුන් ඉදි කළා. බළකොටුව ඉදි කරන්නට අවුරුදු 10 ක් ගත වී තිබෙනවා. 1667 වනවිට කල්පිටිය බළකොටුව ඉදිකර අවසන් වූ බවයි පේන්නේ. ඉන් පසු එය හමුදා බැරැක්කයක් සේ භාවිත කළ අතර පුත්තලම අවට වෙළෙඳාම පාලනයට ලන්දේසි බළකොටුව ප්‍රයෝජනයට ගත්තා.
ඔවුන් අවට වෙළෙඳ ද්‍රව්‍ය ගබඩාකර තබා කොළඹට ප්‍රවාහනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසත් බළකොටුව භාවිත කළා.
ව්‍යාජ පල්ලියක් වූ කොටුව
ලන්දේසීන්ට බළකොටුව ඉදිකර ගැනීමට මහනුවර දෙවන රාජසිංහ රජු අවසර ලබා දුන් බව පැවසෙනවා. රජු ලන්දේසි ජාතිකයන්ට අවසර දීලා තියෙන්නේ බළකොටුවක් හදන්නට නොව පල්ලියක් ඉදිකර ගැනීම සඳහා බවයි පැවසෙන්නේ.
කිසිවකුට සැක නොසිතෙන පරිදි ලන්දේසීන් මෙහි ආරක්ෂක බළකොටුවක් තැනූ බවයි කියවෙන්නේ. පිටතට බළකොටුව පල්ලියක් ලෙස පෙනෙන පරිදි ලන්දේසී පල්ලිවල දකින්නට ලැබෙන කුරුස සහ කුලුනු සලකුණු ප්‍රාකාරයේ මතු කර තියෙනවා.
කුලී හේවායන් වූ ලස්කිරිඤ්ඤා හේවායින් පමණක් යොදවා බළකොටුව රහසේ ඉදිකිරීමට වග බලා ගත් ලන්දේසීන් සිංහල කිසිවකු එම ඉදිකිරීම සඳහා ගෙන්වා නොගත් බවයි ජනප්‍රවාදවල තිබෙන්නේ. කොටු පවුරේ බිත්ති හිරිගල්, හුණුගල් සහ කොරල්වලින් තමයි තනා තිබෙන්නේ. මේ නිසා ඒවා පළුදු වුණු විට ඛාදනයට ලක් ව බිත්ති ඉක්මනින් ගරා වැටීමට බලපානවා. එසේ ගරා වැටුණු බිත්ති අදත් දැකගත හැකි යි.
ලන්දේසීන්ට හොරෙන් උඩරට වෙළෙඳාම
කන්දඋඩරට රජුට අයත් වරායක් පුත්තලමේ පිහිටා තිබූ අතර කල්පිටියේ සිට බළකොටුව හරහා ලන්දේසින් මුහුදුබඩ වෙළෙඳාම මෙහෙයවන්නට පටන් ගත් නිසා රජු සහ ලන්දේසීන් අතර හටගත්තේ නෝක්කඩුවක්. මේ නිසා 1667 සිට අවුරුදු සියයක් ගතවන තෙක් මේ අවට විවිධ ගැටුම් ඇතිවුණු බව ඉතිහාසයේ සඳහන්. පුත්තලම වරායේ සිංහලයන්ගේ වෙළෙඳාමට ලන්දේසීන් බාධා පමුණුවා තිබෙනවා.
මේ නිසා උඩරට වෙළෙඳාම ලන්දේසීන්ට හොරෙන් සිදුකිරීමට සිංහලයන් කටයුතු කළ බව ලංකාවේ ලන්දේසි බළකොටු කෘතියේ ඩබ්ලිව්. ඒ. නෙල්සන් සඳහන් කරනවා.
මේ වෙළෙඳාම ආරංචි වූ ලන්දේසි පාලකයන් කල්පිටිය බළකොටුව අවට ඔවුන්ට හොරෙන් කරන උඩරට මුහුදු ගනුදෙනු වැලැක්වීමට 1712 වන විට පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම මඟින් මුහුදු සීමා මුර කිරීමේ නාවික යාත්‍රා යෙදවූ බව සඳහන් වෙනවා. ලන්දේසීන් පෙරදිග ඕලන්ද සමාගමට අයත් යාත්‍රාවලට හැර වෙනත් යාත්‍රාවලට වරායවලට පැමිණිමත් තහනම් කර තිබෙනවා.
කල්පිටිය බළකොටුව ඉංග්‍රීසින්ට
ක්‍රමයෙන් 1700 සියවස අග වනවිට ලන්දේසි බලය ඉන්දියන් සාගරයෙන් ගිලිහී යමින් පැවතුණා. වර්ෂ 1795 දී නාගපට්ටම් සිට පැමිණි ඉංග්‍රීසි හමුදා කල්පිටිය වෙරළ ආසන්නයේ රැකවල් ලා සිටියා. එයින් අනතුරු ව ලන්දේසි ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි සටනකින් තොර ව ම මෙම බලකොටුව ඉංග්‍රීසි හමුදා වෙත භාරදීම සිදු වුණා.
කල්පිටිය ඉංග්‍රීසින් අතට පත්වූවේ 1795 දී යි. කොරමැන්ඩල් වෙරළේ සිට ඉංග්‍රීසි යාත්‍රා පැමිණ කල්පිටිය පහසුවෙන් යටත් කර ගත් බවයි සඳහන් වන්නේ. ඒ වනවිට එහි ලන්දේසි බළ ඇණි කොළඹට ගොස් සිට තිබෙනවා. ඉන් වසරකට පසුව ලංකාවේ මුහුදුබඩ පළාත් සියල්ල ඉංග්‍රීසින් යටතට පත්වෙනවා.
1803 දී සහ 1815 දී ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණය කරන්නේත් පුත්තලමේ වෙළෙන්දන්ට උඩරට දී කළ අඩන්තේට්ටම් නිස යි. ලංකාවට යටත් කර ගත් පසුවත් ඉංග්‍රිසින් බළකොටුව අලුත්වැඩියා කරමින් තම හමුදා බැරැක්ක රැඳවීමට යොදා ගත්තා.
බළකොටුවේ සැලැස්ම
ගලින් නිමවා ඇති මෙම බළකොටුවේ ඉදිරිපස දොරටුව ආරුක්කු හැඩයෙන් යුක්ත යි. එම උළුවස්සට යොදා ගෙන ඇත්තේ ඕලන්දයෙන් ගෙන්වන ලද ඇලන් නම් ගඩොල් බවයි සඳහන් වන්නේ. ඇතුළුවීමේ දොරටුවට ඉහළින් පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමෙහි වීඕසී වෙළෙඳ ලාංඡනය සවි කර තිබෙනවා. එම දොරටුවෙන් ඇතුළු වූ විට මැද මිදුලකට පිවිසෙනවා. එහි එක් පසක ඉදි කර තිබෙන්නේ සේවා නිවාස පෙළක්.
‘‘ පැති සතරකින් ද සතර කොන් ප්‍රහාරක මුරපොළවල් සතරකින් ද යුක්ත බළකොටු සම්ප්‍රදායයන්ට අනුව ඉදි කළ විශාල කල්පිටිය බළකොටුව කළපුවට මුහුණ ලා ඉදි කර තිබේ. සිත්ගන්නා අයුරින් නිමවා ඇති නැඟෙනහිර දොරටුව නිසා අනෙක් බළකොටු අතරින් කැපී පෙනෙයි. දොරටුව පිහිටුවා ඇති කොටු පවුරෙහි දෙකෙළවර සාමාන්‍ය ප්‍රමාණයේ විශාල ප්‍රහාරක මුරපොළවල් දෙකක් වෙනුවට කුඩා මුරපොළවල් දෙකක් කොටු පවුරෙහි මායිමෙන් පිටතට නෙරා සිටින සේ ඉදිකර තිබේ. ආරක්ෂක අගල අද දක්නට නැත. 1837 බ්‍රිතාන්‍ය යුද වාර්තාවලට අනුව ඒ වනවිටත් ආරක්ෂක අගල එහි නොවී ය.( ඩබ්ලිව්. ඒ. නෙල්සන්, ශ්‍රී ලංකාවේ ලන්දේසි බළකොටු, පරි. නිස්සංක පෙරේරා, 90 පිට)
බළකොටුවේ සාමාන්‍ය දිග එක් පැත්තක් අඩි 350ක් වෙනවා. පිටත ප්‍රාකාර උසින් අඩි 20ක්. මෙහි කාලතුවක්කු කපොලු 30ක් පිහිටි අතර ඉන් 22ක් ම ඇත්තේ ගොඩබිම දෙසට යි.
ලන්දේසින් ගොඩබිමින් එන ප්‍රහාර ගැන වැඩි අවධානයක් යොමු කළ බව පේනවා. බළකොටුවට පිටතින් එයට යාබද ව ඕලන්ද දේවස්ථානයක් ද දැක ගත හැකි යි. දේවස්ථානය අසල සොහොන් පිටියෙහි සොහොන් කොත් කිහිපයක් සහ ආරුක්කුවක් මත සවි කළ කුඩා සීනුවක් ද තිබෙනවා.
බළකොටුව විනාශයේ
බළකොටුවේ සමහර ගොඩනැඟිලිවල අද දක්නට ඇත්තේ බිත්ති පමණ යි. පියස්ස බොහෝ කලකට පෙර විනාශ වි ගිහින්. ඉපැරැණි හුණුගල් බිත්ති අද ක්‍රමයෙන් බිමට සමතලා වෙමින් පවතිනවා. සමහර බිත්ති සංරක්ෂණය කිරීමක් කර නැති නිසා මුහුදු සුළඟට ක්‍රමයෙන් දිය වෙමින් පවතිනවා. ගල් බැමි මත තැන තැන ගැසූ ඇණ මලකා එම ගල් බිත්ති විනාශයට පත්වීම ඉක්මන් වී තිබෙනවා. තැන තැන ගල් බැමි මත වැවුණු කුඩා පැළැටිවල මුල්වලින් බිත්තිවල සවිමත්භාවයට හානි පැමිණ බිත්ති දුර්වල කරනවා.
කොටුව නැරඹීමට පැමිණෙන සමහර සංචාරකයන් නොදැනුම්වත්කම නිසා පැරණි ප්‍රාකාර මත ඇවිදින අතර එය මේ ස්මාරකයට ඉතා හානිකර යි. ලන්දේසි කොටුව පිටත ඒ අසලට තනා තිබෙන නූතන ගොඩනැඟිලි හේතුවෙන් මෙම පෞරාණික භුමි දර්ශනයට සිදු ව ඇත්තේ විශාල හානියක්. මෙම බළකොටුව මෙන් ම අසල ඇති ඕලන්ද පල්ලිය ද පුරාවිද්‍යා ස්මාරක ලෙස නම් කර තිබෙනවා.