Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලේ වැකුණු ඉතිහාසයක් ඇති සාදික්කා

අද සුඛෝපභෝගී කුළුබඩුවක් වන සාදික්කාවල නිජබිම ලෙස සැලකෙන්නේ දූපත් දහස් ගණනකින් සැදුම්ලත් ඉන්දුනීසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ “මාලුකු”, නැතිනම් “කුළුබඩු දූපත්වල”, කොටසක් වන බණ්ඩා දූපත් ය. Myristica frangans යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම ශාකයෙන් සාදික්කා හා වසාවාසි යන කුළුබඩු යුගලය ලබා දේ. ශාකයේ ඵලයේ බීජය සාදික්කා ලෙසත්, ඵලයේ මාංසල කොටසත් බීජයත් අතර පිහිටි රතු පැහැති දැලක් වැනි බීජාවරණය වසාවාසි ලෙසත් හඳුන්වයි. කුළුබඩුවක් වශයෙන් මෙන්ම වටිනා ඖෂධීය ගුණයකින් හෙබි සාදික්කා දහනව වන සියවසේ මුල් භාගයේ දී ලංකාවට හඳුන්වා දී ඇති බවට වාර්තා වේ. විශේෂ උත්සව ආහාරවේල රස නහර පිනා යන පරිදි සකස් කිරීමට උපකාරී වන්නා වූ, එදිනෙදා වැළඳෙන සාමාන්‍ය ලෙඩ රෝගවලින් ඔබ ආරක්ෂා කරන බවට සලකන්නා වූ සාදික්කා, අද දිනයේ ඔබගේ දෑතට පත්වීමට පෙර ලේ හැලීම්, සමූලඝාතනයන් ගණනාවක් මතින් පියමං කර ඇති බව ඔබ දන්නවා ද?

සාදික්කා හා වසාවාසි
සාදික්කා හා වසාවාසි / devitrading.com

අරාබි වෙළඳුන් ඉන්දියානු සාගරයේ රටවල නිපදවෙන භාණ්ඩ යුරෝපාකරය තුළ වෙළඳාම් කිරීමේ පුරෝගාමීන් වූ අතර ආසියාකරයේ කුළුබඩු, ඇත්දළ, ස්වර්ණාභරණ, මැණික්, මුතු, සේද රෙදි, මැටි භාණ්ඩවලට යුරෝපය තුළ ලැබුන වටිනාකම දිනෙන් දින ඉහළ ගියේ ය. ඒ අතරින් සාදික්කාවලට සුවිශේෂී ස්ථානයක් හිමිවිය. යුරෝපයට ගෙන ගිය බරින් වැඩි වෙළඳ භාණ්ඩ සමග සසඳන විට සාදික්කා වැනි කුළුබඩු සැහැල්ලු බරකින් යුක්ත වූ අතර ලාභය ද ඉහළ විය. එබැවින් වෙළඳ නැව් සහ ඔටුවන් තවලම්වලට සාදික්කාවල වාසනාව පහසුවෙන් යුරෝපය වෙත ගෙන යා හැකි විය. මෙලෙස, සාදික්කා ගස් වැඩුණු බණ්ඩා දූපත්වල වැසියන්ට ඉන්දියන් සාගරයේ පැවති වෙළඳ මාර්ග ස්ථාවර ව්‍යාපාර බවට පත්කර ගෙන, තමන්ට සුවපහසු ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදාකරගත හැකිව තිබූ නමුදු එය එසේ නොවීය. ඉන්දියානු සාගරයේ මායිම වටා කුළුබඩු විකිණීමෙන් ඉතා ධනවත් වූයේ අරාබි සහ ඉන්දියානු වෙළඳුන් ය.

යුරෝපයේ මධ්‍යතන යුගයේ සාදික්කා

මධ්‍යකාලීන යුගයේ දී යුරෝපය අරාබි වෙළඳුන් හරහා සාදික්කා ගැන දැන සිටි අතර, එහි ඖෂධීය ගුණාංග කෙරෙහි උනන්දුවක් දැක්වූහ. එවකට යුරෝපීය වෛද්‍යවරුන්ට මඟ පෙන්වූ හිපොක්‍රටිස්ගේ පුරාණ ග්‍රීක වෛද්‍ය විද්‍යාවට අනුව සාදික්කා “උණුසුම් ආහාරයක්” ලෙස සලකනු ලැබූ අතර, එයට මාළු සහ එළවළු වැනි සිසිල් ආහාරවල බලපෑම සමතුලිත කළ හැකිය යන්න පිළිගැනීම විය. සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වළක්වා ගැනීමට සාදික්කාවලට බලය ඇති බව යුරෝපීයයන් විශ්වාස කළ අතර, 14 වන සියවස තුළ පැතිරීම ඇරඹි ඉතිහාසයේ සඳහන් දරුණු වසංගතයක් වන, “කළු මරණය” ලෙසින් හැඳින්වූ බියුබොනික් වසංගතය වැලැක්වීමේ බලය ඇති බවට ද විශ්වාස කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස කුළුබඩුවලට රත්‍රන්වලට වඩා වටිනාකමක් ඇතිවිය. 

කෙසේ වෙතත්, තමන්ට නිධානයක් ලෙස සැලකූ සාදික්කා පැමිණියේ කොහෙන් ද යන්න පිළිබඳ පැහැදිලි අදහසක් යුරෝපීයයන් සතුව නොතිබුණි. ඒවා යුරෝපයට ඇතුළු වූයේ වැනීසියේ වරාය හරහා වන අතර, අරාබි වෙළඳුන් විසින් එය ඉන්දියානු සාගරයේ සිට අරාබි අර්ධද්වීපය හරහා සහ මධ්‍යධරණි ලෝකයට ගෙන යන ලදී. එනිසා සාදික්කා ඇතුළු කුළුබඩුවල ප්‍රභවය යුරෝපීයයන්ට අභිරහසක්ව පැවතුනි. යුරෝපීයයන් කුළුබඩු සොයා ආසියාකරයට පැමිණීම ආරම්භ විය.

ඉන්දුනීසියාවෙ බණ්ඩා දූපත් හෙවත් කුළුබඩු දූපත්
ඉන්දුනීසියාවෙ බණ්ඩා දූපත් හෙවත් කුළුබඩු දූපත් /wsj.com

පෘතුගාලය කුළුබඩු දූපත් අල්ලා ගනී

1511 දී අෆොන්සෝ ඩි ඇල්බකර්කි යටතේ පෘතුගීසි හමුදාවක් මාලුකු දූපත් ආක්‍රමණය කර අල්ලාගත් අතර, සාදික්කා සහ වසාවාසි ඇත්තේ බණ්ඩා දූපත්වල වග ප්‍රදේශවාසීන්ගෙන් දැනගෙන මෙම අභිරහස් කුළුබඩු දූපත් සොයා ගියහ. පෘතුගීසීන්ට බණ්ඩා දූපත් භෞතිකව පාලනය කිරීමට මිනිස් බලය නොතිබුණ ද, කුළුබඩු වෙළඳාමේ අරාබි ඒකාධිකාරය බිඳ දැමීමට ඔවුන්ට හැකි විය. පෘතුගීසි නැව් සාදික්කා, වසාවාසි, සහ කරාබුනැටිවලින් තම තොග පුරවාගත් අතර, ඒවා සියල්ලම දේශීය වගාකරුවන්ගෙන් සාධාරණ මිලකට මිල දී ගන්නා ලද බව කියැවෙයි. ඊළඟ ශතවර්ෂය තුළ පෘතුගාලය මෙහි ප්‍රධාන බන්දනෙයිරා දූපතේ බලකොටුවක් තැනීමට උත්සාහ කළ නමුත් එය තැනීමට පැමිණි පිරිස් බණ්ඩා වැසියන් විසින් පලවා හරින ලදී. අවසානයේ දී පෘතුගීසීන් ඔවුන්ගේ කුළුබඩු මලක්කාවේ අතරමැදියන්ගෙන් මිල දී ගත්හ.

සාදික්කා වෙළඳාම පිළිබඳ ලන්දේසි පාලනය

ලන්දේසීන් ද ඉන්දුනීසියාවට ගිය නමුත් කුළුබඩු නැව්කරුවන්ගේ පෝලිමට එක්වීමට ඔවුන් අකමැති විය. නිවර්තන දේශගුණයට සම්පූර්ණයෙන්ම නුසුදුසු ඝන ලොම් ඇඳුම් සහ දමස්ක රෙදි වැනි නිෂ්ඵල හා අනවශ්‍ය භාණ්ඩවලට හුවමාරු ලෙස කුළුබඩු ඉල්ලමින් ලන්දේසි වෙළෙන්දෝ බණ්ඩා වැසියන් සමග ආරවුල් ඇතිකර ගත්හ. සාම්ප්‍රදායිකව අරාබි, ඉන්දියානු, සහ පෘතුගීසි වෙළෙන්දන් රිදී, ඖෂධ, චීන පෝසිලේන්, තඹ, සහ වානේ වැනි බොහෝ ප්‍රායෝගික භාණ්ඩ කුළුබඩුවල හිලව්වට හුවමාරුව සඳහා ඉදිරිපත් කළ නිසා ලන්දේසීන් සහ බණ්ඩා වැසියන් අතර සබඳතා පිරිහී ගියේ ය.කෙසේ නමුත් 1600 මුල් භාගයේ දී සැලකිය යුතු යුධ බලයක් හිමිව තිබූ ලන්දේසින්ගේ නැගෙනහිර ඉන්දියානු වෙළඳ සමාගමට ඉංග්‍රීසීන් සතුව තුබූ රූන් දූපත හැර අනෙකුත් සියලුම බණ්ඩා දූපත්වල පාලනය නතුව පැවතුනි.

ලෝකයේ වඩාත් ධනවත්ම සමාගමක් වූ පෙරදිග ඉන්දීය වෙලඳ සමාගම
ලෝකයේ වඩාත් ධනවත්ම සමාගමක් වූ පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම /thegeniusworks.com

යුරෝපීයයන් පැමිණෙන විට බණ්ඩා දූපත්වල ස්වදේශික වැසියන් 15,000ක් පමණ වාසය කළේ ය. 1609 දී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම විසින් මෙම වැසියන්ට සාදික්කා සම්බන්ධයෙන් සදාකාලික ගිවිසුමක් අත්සන් තැබීමට බල කෙරුනි. එමඟින් සමාගමට සාදික්කා ඒකාධිකාරය ලබා ගැනීමට හැකිවිය. මෙම ගිවිසුමේ කොන්දේසි කටුක වූ අතර සමාගමේ ඒකාධිකාරයට පිටුපා වැඩ කරන බවට සැක කරන ඕනෑම කෙනෙකුට මරණීය දණ්ඩනය නියම විය. සමහර බණ්ඩා වැසියන් මෙම නීතියට පිටින් යමින්, ආසියාවේ කුළුබඩු සොයා පැමිණි තවත් යුරෝපීය බලවතෙකු වූ ඉංග්‍රීසීන්ට සාදික්කා විකුනණු ලැබීය. 

බණ්ඩා වැසියන් සිය නීතියට පිටින් යාම පෙරදිග ඉන්දීය කොදෙව්හි ප්‍රධානී ජෑන් පීටර්සූන් කෝන් කෝපයට පත් කළ අතර, ජපන් කුලී හේවායන්ගේ සහාය ඇතිව කෝන් 1621 දී බණ්ඩා වැසියන්ට ප්‍රහාරයක් එල්ල කළේ ය. ඔහු ප්‍රාදේශීය නායකයින් 40 දෙනෙකුගේ හිස ගසා දැමූ අතර සාදික්කා කොන්ත්‍රාත්තුව බලාත්මක කරමින් කළ ලේ වැගිරීමේ ආරම්භය ඔස්සේ වයස අවුරුදු 15ට වැඩි සියලුම පිරිමින් ක්‍රමානුකූලව සමූහ ඝාතනය කළේ ය. දිවි ගලවාගත් අයට සාදික්කා වතුවල වහලුන් ලෙස වැඩ කිරීමට සිදුවිය. ලන්දේසි වතු හිමියන් කුළුබඩු වතු පාලනය කළ අතර නිෂ්පාදන පිරිවැයට වඩා වැඩි ගුණයකින් යුරෝපයේ සිය නිෂ්පාදන විකිණීම ඔස්සේ ධනවත් විය. වැඩි ශ්‍රමයක් අවශ්‍ය වූ විට ලන්දේසීන් ජාවා සහ වෙනත් ඉන්දුනීසියානු දූපත්වලින් වහලුන් ගෙන ආ අතර, කොටසක් දූපත්වලින් ගෙන ගොස් වෙනත් තැනක වහල්භාවයට විකුණනු ලැබීය. 

1667 දී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම ඔවුන්ට අයත් මැන්හැටන් දූපත ඉංග්‍රීසීන් සතු බණ්ඩා දූපත්වල රූන් දිවයින සඳහා නිල වශයෙන් හුවමාරු කරගනිමින් සාදික්කා සහ වසාවාසි වෙළඳාම සම්බන්ධ තමන්ගේ ඒකාධිකාරය වඩාත් ශක්තිමත් කර ගත්තේ ය.

පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ සාදික්කා ඒකාධිකාරය බිඳවැටීම

ලන්දේසීන් සිය සාදික්කා ඒකාධිකාරය භුක්ති විඳීමින් සියවස් එකහමාරක් පමණ ගතකළ අතර, බ්‍රිතාන්‍යයන් වරින් වර වෑයම් කළ ද එය මුළුමනින්ම බිඳහෙලීමට අපොහොසත් විය. 1770 දී ප්‍රංශ කුළුබඩු වෙළෙන්දෝ ලන්දේසි සාදික්කා ඒකාධිකාරයේ බිඳවැටීම අභිප්‍රාය කරගනිමින් මුරුසි දූපත්වලට සාදික්කා හඳුන්වා දෙන ලදී. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූවේ වෙනත් ප්‍රංශ යටත් විජිතවලට කුළුබඩු පැල රාශියක් හඳුන්වා දුන් ප්‍රසිද්ධ ප්‍රංශ උද්භිද විද්‍යාඟයෙකු වන පියරේ පොයිවර් (පීටර් පෙපර් ලෙස ඉංග්‍රීසි) ය.මේ අතර බ්‍රිතාන්‍යයන් ද බණ්ඩා දූපත්වලින් සාදික්කා බීජ ලබාගෙන බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ වෙනත් නිවර්තන කලාපවල රෝපණය කිරීමට උත්සුක විය.

ප්‍රංශ ජාතික උද්භිත විද්‍යාඥ පියරේ පොයිවර් (1719-1789)
ප්‍රංශ ජාතික උද්භිත විද්‍යාඥ පියරේ පොයිවර් (1719-1789)/ peoplepill.com

1843 ඉංග්‍රීසි වෙළෙන්දන් විසින් සාදික්කා ග්‍රෙනාඩා වෙත හඳුන්වා දෙන ලද අතර අවසානයේ දී බටහිර ඉන්දීය කොදෙව්හි සාදික්කා සහ වසාවාසි නිපදවන වඩාත් සාර්ථක නිෂ්පාදකයා බවට පත්විය. මේ වන විට ඉන්දුනීසියාවෙන් පසු ලොව දෙවන විශාලතම සාදික්කා නිෂ්පාදකයා වන්නේ ග්‍රෙනාඩාව ය. ග්‍රෙනාඩා ධජය සාදික්කා ගෙඩියක් පවා නිරූපණය කරයි. තවදුරටත් බ්‍රිතාන්‍යන් තමන්ගේ යටත් විජිතයන් වූ ඉන්දියාව, ශ්‍රී ලංකාව, සැන්සිබාරය, නැගෙනහිර අප්‍රිකාව වැනි රටවල මෙම ශාකය ව්‍යාප්ත කළේ ය.

සාදික්කා ඒකාධිකාරය බිඳී යාමත් සමග, වරක් මිළ ඉතා ඉහළ වූ මෙම භාණ්ඩයේ වටිනාකම පහත වැටීමට පටන් ගත්තේ ය. වැඩිකල් යන්නට මත්තෙන් මධ්‍යම පන්තික ආසියානුවන්ට හා යුරෝපීයයන්ට ලාභදායී ලෙස බොහෝ කුළුබඩු ලබාගැනීමට හැකි විය. කුළුබඩු යුද්ධයේ ලේ වැකි යුගය නිමා වූ අතර, සාදික්කා සාමාන්‍ය නිවෙස්වල කුළුබඩු රාක්කයේ සාමාන්‍ය පදිංචිකරුවෙකු ලෙස ස්ථානයක් අත්පත් කරගත්තේ ය. නමුත් ඉතිහාසය පුරාවට සාදික්කා පැමිණ ඇත්තේ ලේ වැකි ගමන් මාර්ගයක බව අප අමතක නොකළ යුතු ය.

සාදික්කා ගෙඩියක් නිරූපිත ග්‍රෙනඩාවේ ජාතික ධජය
සාදික්කා ගෙඩියක් නිරූපිත ග්‍රෙනඩාවේ ජාතික ධජය/freepik.com

Cover image: Things Guyana

References:

Baker, K., 2000. Nathaniel's Nutmeg: Or, The Ture and Incredible Adventures of the Spice Trader Who Changed the Course of History. Biography.

Kalachanis, K. and Michailidis, I.E., 2015. The Hippocratic view on humors and human temperament. European Journal of Social Behaviour.

Van Gils, C. and Cox, P.A., 1994. Ethnobotany of nutmeg in the Spice Islands. Journal of ethnopharmacology.

Weil, A.T., 1965. Nutmeg as a narcotic. Economic Botany, 19(3), pp.194-217.

Related Articles