Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මළවුන්ගෙන් නැඟිටින ලොවෙන් වඳ වූ “ඩෝඩෝ”

ඩෝඩෝ යනු (විද්‍යාත්මක නාමය: Raphus cucullatus) මැඩගස්කරයට ආසන්න කුඩා දූපත් රාජ්‍යයක් වන මුරුසියේ වාසය කළ පක්ෂියෙක්. පසු කලෙක ඔවුන් සහමුලින් ම මිහිමතින් සමු ගත්තා. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිහිමතින් වඳ වූ ජීවි විශේෂ අතරින් ප්‍රසිද්ධ ම උදාහරණයක් ලෙස ඩෝඩෝ හැඳින්විය හැකි යි. පරෙවියන්ට දුරස්ථ නෑකම් දක්වන මේ සත්ත්වයා ගේ ඉතිහාස කතාව එතරම් ම වේදනාබර යි.

කෙසේ නමුත්, ඩෝඩෝ පක්ෂියා යළි මිහිමතට කැඳවීමේ උත්සාහයක් කෙරෙහි දැන් අවධානය යොමු වී තිබෙනවා. ඔවුන් මුහුණ දුන් අවාසනාවන්ත ඉරණමට ගෙවන වන්දියක් ආකාරයෙන් ඒ උත්සාහය සමාන කළ හැකි වුවත්, 17 වැනි සියවස තරම් ඈත යුගයක වඳ වී ගිය සත්ත්වයෙක් නැවත මරණයෙන් නැඟිටුවීම යනු සැබෑ ජීව විද්‍යාත්මක අභියෝගයක්.

Colossal Biosciences”

ඩෝඩෝ පක්ෂීන් යළි මරණයෙන් නැඟිටුවීමේ අභියෝගය භාරගෙන තිබෙන්නේ “Colossal Biosciences” නමැති ආයතනය යි. “Colossal Biosciences” යනු ජාන විද්‍යාවේ ප්‍රගතිය සඳහා නව තාක්ෂණ ගොඩනඟන ජාන ඉංජිනේරු සමාගමක්. දැනටමත් වඳ වීමේ තර්ජනයට ලක් වූ ජීවි විශේෂවල සංරක්ෂණය සඳහා ජාන තාක්ෂණයෙන් සහාය ලබාදීම, ඔවුන් ගේ මූලික කාර්යභාර අතර තිබෙනවා.

මිහිමතින් සමුගත් ඩෝඩෝ පක්ෂියා ගේ හැඩරුව උපකල්පනය කර ඇති අයුරු – dinoanimals.com

ජීවි විශේෂ සංරක්ෂණයට පමණක් ඔවුන් සීමා වන්නේ නැහැ. පෘථිවියේ ජීවය අඛණ්ඩ ව පවත්වා ගැනීම සඳහා සහය වන තීරණාත්මක පරිසර පද්ධති නැවත ජනනය කිරීමේ හැකියාව ගැනත්, ඔවුන් පර්යේෂණ පවත්වනවා. මේ සියල්ල පරයමින් “Colossal Biosciences” ආයතනය ලෝකය පුරා ප්‍රසිද්ධ වීම ඇරඹුණේ වඳ වී ගිය ජීවින් නැවත ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කිරීමත් සමඟ යි.

වූලි මැමත් ගෙන් ඇ‍රඹුණු බලාපොරොත්තු

වසර දහස් ගණනකට පෙර මිහිමතින් වඳ වූ “වූලි මැමත්” සතුන් මිහිමතට නැවත ගෙන ඒමේ උත්සාහය ප්‍රසිද්ධ කිරීමත් සමඟ “Colossal Biosciences”, ලෝකය පුරා කතා බහට ලක් වුණා. ඉන්පසු ඕස්ට්‍රේලියාවට අයත් ටස්මේනියා දූපතේ වාසය කළ “ටස්මේනියන් වෘකයා” නමැති මාංශ භක්ෂක ක්ෂීරපායී සත්ත්වයා නැවත ප්‍රතිස්ථාපනය කිරීම ගැනත් ඔවුන් ගේ අවධානය යොමු වුණා.

වූලි මැමත් – www.mirror.co.uk

1936 තරම් මෑත කාලයේ දී අවසාන ටස්මේනියානු වෘකයා මිය ගිය බැවින්, ඔවුන් ගේ ජාන දැනුම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තිබුණේ නැහැ. “Colossal Biosciences” හි මැදිහත් වීමට පෙරාතුව සිට ටස්මේනියානු වෘකයා නැවත හඳුන්වා දීමේ උත්සාහයන් අසන්නට ලැබුණේ ඒ නිසා යි. ඒ ලැයිස්තුවට දැන් ඩෝඩෝ පක්ෂියාත් එක් වී අවසන්.

වඳ වී ගිය සත්ත්වයෙක් නැවත ජීවමාන කිරීමේ උත්සාහය පිටුපස ඇති විද්‍යාත්මක පදනම කුමක් ද?

මේ ගැටලුවට පිළිතුරක් සෙවීමට මත්තෙන් අප ගේ කතා නායකයා වන ඩෝඩෝ පක්ෂියා ගේ වේදනාබර ඉතිහාස කතාව මඳක් විමසා බලමු.

වූලි මැමත් ප්‍රතිස්ථාපනය කිරීමේ විද්‍යාත්මක ක්‍රියාවලිය – www.mirror.co.uk

හුදෙකලා වූ නවාතැන

ඩෝඩෝ යනු කුඩා හෝ කෙටි පියාපත් සහ ශක්තිමත් පාද සහිත සත්ත්වයෙක්. තරමක් විශාල හොටයකුත් ඔවුන්ට තිබුණා. ඩෝඩෝ පක්ෂියෙක් සාමාන්‍යයෙන් අඟල් 27 ක් දක්වා උසකට වර්ධනය වන බව අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා. ඔවුන් ගේ ශරීර බර කිලෝග්‍රෑම් 13 සිට 20 දක්වා පරාසයකට පැතිරෙන අතර, ගැහැනු සතුන්ට වඩා පිරිමි සතුන් සාපේක්ෂ ව විශාල බවත් පැවසෙනවා.

පියෑඹීමේ හැකියාවක් නොමැති වීම සහ තරබාරු ශරීරය, ඩෝඩෝ ගේ ජීවන රටාවට බාධාවක් වුණේ නැහැ. අතීත මුරුසිය මිනිස් ක්‍රියාකාරකම් සහ වෙනත් ස්වභාවික උපද්‍රවවලින් බොහෝ දුරට වියුක්ත වී තිබූ හුදෙකලා ස්ථානයක් වීම ඊට හේතුව යි. වසර මිලියන ගණනක පටන් මුරුසි දූපත් සමූහය බාහිර ලෝකයෙන් හුදෙකලා ව පැවතුණු නිසා එහි පරිසර පද්ධතියට ම අනුගත වූ සුවිශේෂී ජීවි ප්‍රජාවක් පරිණාමය වූ අතර, බාහිරින් පැමිණෙන කිසිදු වෙනස්කමකට මුහුණ දීමේ හැකියාවක් ඔවුන්ට තිබුණේ නැහැ.

මුරුසි දූපත් රාජ්‍යයේ පිහිටීම – www.bbc.com

මේ දිවයිනේ විශාල භෞමික විලෝපිකයන් නොසිටි බැවින්, ඩෝඩෝ ඇතුළු බොහෝ සතුන්ට අනතුරකින් බේරීමේ අවබෝධය හෝ ආරක්ෂක උපක්‍රම නොතිබුණ තරම්. මෙවැනි කරුණු නිසා ඩෝඩෝට වේගයෙන් පරිණාමය වීමේ අවස්ථාවක් නොලැබුණු අතර, ඔවුන් ගේ බෝවීමේ වේගයත් මන්දගාමී මට්ටමෙන් පැවතුණා.

මිනිසුන් ගේ පහසු ගොදුර

1600 ගණන්වල ලන්දේසී නැගෙනහිර ඉන්දියා සමාගම පැමිණි පසු මුරුසිය නම් “ආරක්ෂිත ස්වර්ගයේ” අලුත් පරිච්ඡේදයක් ආරම්භ වුණා. ඒ වනවිට පෘතුගීසින් ගේ පහස මුරුසිය ලබා තිබුණත්, විශාල බලපෑමක් එල්ල වී තිබුණේ නැහැ. කෙසේ නමුත්, විලෝපිකයන් ඇතුළු යම් යම් උපද්‍රව දූපතට ඇතුළු වී තිබූ නිසා ඩෝඩෝ පක්ෂීන් ගේ සංචරණ පරාසය සීමා වී තිබුණා.

මිනිසුන් දූපතට ගොඩ බසින විට ඩෝඩෝ පක්ෂීන් බිය නොවූ බව පැවසෙනවා. අනතුරු පිළිබඳ ඔවුන් ට ඇති අනවබෝධය මින් විදහා දැක්වෙන අතර, ඩෝඩෝ පක්ෂීන්, කුසගින්නෙන් පෙළෙන ලන්දේසි නාවිකයන් ගේ පහසු ගොදුරක් බවට පත් වීමට වැඩි කලක් ගත වුණේ නැහැ.

උපද්‍රවවලින් බේරී සිටීමේ දැනුම ඩෝඩෝ පක්ෂියාට නොතිබුණු බව පැවසෙනවා – thruss09.medium.com

ඩෝඩෝ පක්ෂීන් ගොදුරු වූයේ මිනිසුන්ට පමණක් නොවෙ යි. යටත් විජිතකරණයත් සමඟ දූපත ට පැමිණි මීයන්, ඌරන්, වඳුරන්, ඩෝඩෝ පක්ෂීන් ගේ බිත්තර ආහාරයට ගත් බව සඳහන්. 2016 දී සිදු කළ අධ්‍යනයකට අනුව එලෙස ගොදුරු වූ බිත්තර සඳහා ප්‍රතිපූර්ණයක් වශයෙන් නැවත වතාවක් ප්‍රජනනය කිරීමේ අවස්ථා ඩෝඩෝ ගැහැනු සතුන්ට හිමි වුණේ නැහැ. අනාගත පරම්පරාව විනාශ වන වේගයෙන් ම පවතින ඩෝඩෝ පරම්පරාවත් දඩයම හේතුවෙන් පරිහානියට ලක් වුණා.

අවසානය නොවෙ යි!

ඩෝඩෝ පක්ෂීන් මිහිමතින් සම්පූර්ණයෙන් ම අතුගෑවී ගිය දිනය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් නැහැ. ඩෝඩෝ ගහනය මානව නිරීක්ෂණයෙන් බොහෝ දුරස්ථ වීම ඊට හේතුව යි. දල වශයෙන් ඔවුන් ගේ සමුගැන්ම ක්‍රිස්තු වර්ෂ 1662 දී පමණ සිදු වූ බව විශ්වාස කෙරෙනවා. එහෙත්, ඇතැම් අධ්‍යයනවලට අනුව ඔවුන් ගේ සමුගැනීම 1680 ගණන්වල අගභාගයේ සිට 1690 අතර කාල පරාසයේ සිදු වූ බවත් සඳහන් වෙනවා.

වර්තමානය වනවිට IUCN (International Union for Conservation of Nature) සංවිධානය, ඩෝඩෝ පක්ෂියා වඳ වී ගොස් ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. එහෙත්, ඩෝඩෝ ගේ දෛවය එතැනින් නතර කිරීමට විද්‍යාව සූදානම් නැහැ!

අවිශ්වාස මැද සැලැස්මක්..

ලෝකයෙන් වඳ වී ගිය සත්ත්වයෙක් නැවත ස්වභාවික පරිසර පද්ධතියේ ප්‍රතිස්ථාපනය කිරීම සැබැවින් ම අභියෝගයක්. දශක කිහිපයකට පෙර වඳ වී ගිය ටස්මේනියානු වෘකයා පවා නැවත ගෙන ඒම පහසු කාර්යයක් නොවෙ යි. එසේ නම්, සියවස් කිහිපයකට පෙර මිහිමතින් සමුගත් සත්ත්වයකුට ජීවය ලබා දීම තවමත් විද්‍යාවට ෆැන්ටසියක් බඳු යි.

ටස්මේනියානු වෘකයා – www.bbc.com

අභියෝගය භාර ගත් “Colossal Biosciences” ආයතනය තවමත් ඩෝඩෝ, වූලි මැමත් සහ ටස්මේනියානු වෘකයා ගේ ප්‍රවේණික ක්‍රියාවලීන් වර්ධනය කරමින් තම යි සිටින්නේ. වෙනත් පර්යේෂකයන් ආයතනයේ උත්සාහය සම්බන්ධයෙන් එතරම් විශ්වාසයක් පළ කරන්නේත් නැහැ.

නමුත්, “Colossal Biosciences” ආයතනයට සැලැස්මක් තිබෙනවා.

සමීපත ම ඥාතියා ගෙන් උපකාරයක්

ඩෝඩෝ ගේ සමහර අනුවාද ප්‍රතිනිර්මාණය කිරීම සඳහා විද්‍යාඥයන් ඩෝඩෝ ගේ සමීපත ම ඥාතියා වන නිකෝබාර් පරෙවියා ගේ ජාන සංස්කරණය කිරීමට සැලසුම් කරන අතර, ඔවුන් දැනටමත් පැරණි DNAවලින් වඳ වී ගිය ඩෝඩෝ ගේ ප්‍රවේණි ද්‍රව්‍ය අනුපිළිවෙළ හඳුනාගනිමින් සිටින බව සඳහන්. ඉන්පසු, ඔවුන් නිකෝබාර් පරෙවි බිත්තරයක ජන්මාණු සෛල ඉවත් කිරීමට ක්‍රියා කරනු ඇති. ඩෝඩෝට සමාන වන අන්දමින් ජාන සංස්කරණය කර ජන්මාණු සෛල නැවත බිත්තරයට බද්ධ කිරීම එහි අරමුණ යි.

නිකෝබාර් පරෙවියා – www.boredpanda.com

මෙම තාක්ෂණය කුකුළන් බෝ කිරීම සඳහා සාර්ථක වී ඇති බව පැවසෙනවා. නමුත්, ඩෝඩෝ යනු එම තාක්ෂණයේ අලුත් ම පැතිකඩක් බව අමතක නොකළ යුතු යි. මෙය එක්තරා අන්දමක වචනාර්ථයෙන් එක් කුරුළු විශේෂයක සිට තවත් කුරුළු විශේෂයක් බවට පරිවර්තනය වීම සඳහා සිදු කරන පැන්නුමක් බඳු යි.

සෘණාත්මක කාරණා

මේ ක්‍රියාවලිය සාර්ථක වූවායැ යි උපකල්පනය කරමු. එහෙත්, නැවත ඉපදුණු ඩෝඩෝ, සියවස් කිහිපයකට පෙර මුරුසියේ සැරිසැරූ තම මුතුන් මිත්තන් මෙන් හැසිරේවියැ යි කිව නොහැකි යි. තම විශේෂයේ අනෙකුත් සාමාජිකයන් නොමැති ව තම අනන්‍යතාව සොයා ගැනීමේ දුෂ්කරතා මතු වීම ඊට හේතුව යි.

ඩෝඩෝ පක්ෂියා ගේ ඉතිරි වී ඇති ශරීර කොටස් – oumnh.ox.ac.uk

සරලව ම අලුත් ඩෝඩෝට ඩෝඩෝ කෙනෙක් වන්නේ කෙසේ ද කියා ඉගැන්වීමට කිසිවෙක් නැහැ!

එවිට අලුත ඉපදුණු ඩෝඩෝ, නව විශේෂයක් වීමේ ඉඩකඩක් තිබෙනවා. “Colossal Biosciences” හි උත්සාහය සම්බන්ධයෙන් පවතින සෘණාත්මක කාරණා තමයි මේ. එසේ නම්, ධනාත්මක කාරණා මොනවා ද?

ධනාත්මක කාරණා

නිකෝබාර් පරෙවි බිත්තරයෙන් ඉපදුණු ඩෝඩෝට පවා ස්වභාවික පරිසර පද්ධතියක් අවශ්‍ය යි. නැවතත් මුරුසි දිවයින ම ඩෝඩෝ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා තෝරා ගන්නේ නම්, දැනට මුරුසිය පුරා පැතිරී සිටින ආක්‍රමණශීලි විශේෂ ඉවත් කිරීමට සිදු වෙනවා. එය එක්තරා අන්දමක මුරුසියේ සැබෑ පරිසර පද්ධතිය නැවත පණ නැංවීමේ ක්‍රියාවලියකට සමාන වනු ඇති.

මීට අමතර ව, ව්‍යාපෘතිය හරහා ජාන තාක්ෂණය නව මානයකින් වර්ධනය වන අතර, ඒ වර්ධනය සෞඛ්‍ය ආරක්ෂණය සහ ආහාර සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලි සඳහා දායක කර ගැනීමේ අවස්ථාව උදා වෙනවා.

මුරුසිය යනු සංවේදී පරිසර පද්ධතියක් සහිත රාජ්‍යයක් – zannaevents.co.uk

“Colossal Biosciences” ආයතනය මේ දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 200කට වඩා වැඩි මුදලක් මෙම ව්‍යාපෘති සඳහා එක්රැස් කර තිබෙනවා. සමහර විද්‍යාඥයන් තර්ක කරන අන්දමට වඳ වී ගිය ජීවින් නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අරමුදල් සැපයීමෙන් සංරක්ෂණයට සහායක් ලැබෙන්නේ නැහැ. කෙසේ නමුත්, වාද විවාද මැද ක්‍රියාදාමය දිගට ම සිදුවනු ඇති.

කවරයේ ඡායාරූපය: ඩෝඩෝ පක්ෂියා නැවත පෘථිවියට හඳුන්වා දීමේ "Colossal Biosciences" ප්‍රයත්නය පිටුපස සිටින පුරෝගාමීන් දෙපළක් වන ආචාර්ය Beth Shapiro සහ Ben Lamm
https://www.businesswire.com/news/home/20230131005411/en/Colossal-Biosciences-Secures-150M-Series-B-and-Announces-Plan-to-De-Extinct-the-Iconic-Dodo

මූලාශ්‍ර:
https://www.livescience.com/facts-about-the-dodo
https://www.smithsonianmag.com/smart-news/this-company-wants-to-bring-the-dodo-back-from-extinction-180981562/
https://www.sciencealert.com/a-billion-dollar-biotech-company-plans-to-bring-the-dodo-back-to-life?fbclid=IwAR3vceRWiH3k2j7TaSRdlUL5zJcNNgqdHXNP7i-Eq0mhM-nYNj2OL86Tkp4
https://colossal.com/
https://techcrunch.com/2023/04/04/woolly-mammoth-de-extinction-is-definitely-not-about-making-real-life-pokemon/

Related Articles