Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මරණය ගෙන ආ දෙව්දුව: ක්‍රිස්ටන් ගිල්බට්

අමෙරිකාවේ මැසචුසෙට්ස් හී ජීවත් වූ, ප්‍රියමනාප මෙන් ම බුද්ධිමත් බවෙන් යුක්ත ක්‍රිස්ටන් ගිල්බට්ට බැලූ බැල්මට පරිපූර්ණ ජීවිතයක් තිබුණා. ඇයට ආදරණීය සැමියකු හා දරුවන් සිටි අතර, ඉතා ගෞරවනීය වෘත්තියක් වන හෙද වෘත්තියේ ඇය නියැළුණා. ඇයගෙන් විද්‍යමාන වූයේ කාර්යශූර හා සහයෝගී සාමාන්‍ය අමෙරිකානු මවකගේ ගති ලක්ෂණ යි.

කෙසේ නමුත් මේ සියල්ල පිටුපස එක් අඳුරු රහසක් සැඟ වී තිබුණා. ඒ ඇය දාම ඝාතකයකු වීම යි. පසුකාලීන ව සොයාගත් පරිදි ඇය අව ම වශයෙන් මිනිස් ඝාතන හතරකට වගකිව යුතු වෙනවා. බොහෝ විට මේ ගණන මීට වඩා වැඩි විය හැකි බැව් බලධාරීන්ගේ මතය යි.

දාම ඝාතක කාන්තාවකගේ ආගමනය

ක්‍රිස්ටන් ගිල්බට් උපත ලැබුවේ 1967 වසරෙහි නොවැම්බර් මස 13 වැනිදා මැසචුසෙට්ස් හි ෆෝල් රිවර් ප්‍රදේශයේ දී යී. කිසිදු කරදරයක් නොමැති න්‍යෂ්ඨික පවුලක් ඇයට උරුම ව  තිබුණා. ඇය කුඩා කාලයේ පටන් බුද්ධිමත් දැරියක ලෙස කැපී පෙනුණා. කුඩා කල සිට ම ගණිත විෂයයන්ට දක්ෂ වූ ඇය පාසලේ ගණිත සමාජයේ සාමාජිකාවක ද වුණා. කෙසේ නමුත් මූලික  හා ද්විතියික අධ්‍යාපනයෙන් පසු ඇය තෝරා ගන්නේ හෙද වෘත්තිය යි. මේ සියල්ල මධ්‍යයේ ක්‍රිස්ටන්ගේ යම් අසාමාන්‍ය ගති ලක්ෂණත් තිබුණා. කෙතරම් ප්‍රසන්න ලෙස පෙනුණත් ඇය ළඟින් ආශ්‍රය කළ මිතුරන්, පෙම්වතුන් වැනි අයට පෙනී ගියේ ඇය වුවමනාවට වඩා ඔවුන් පාලනය කරන්නට උත්සාහ කරන බවයි. එමෙන් ම ඇය බොහෝ සෙයින් බොරු කියන බවත් ඔවුනට පෙනී ගියා.

 ක්‍රිස්ටන් ගිල්බට් – www.southcoasttoday.com

 

ඇය 1984 වසරේදී බ්‍රිජ්වෝටර් ප්‍රාන්ත විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේ දී ඇයට මනෝවිද්‍යාඥ සහාය පතන්නට සිදුවුණා, ඒ ඇය තමා ද ඇතුළු ව විවිධ පුද්ගලයන්ට අඩන්තේට්ටම් කිරීමට උත්සාහ කිරීමත් සමඟ යි. ඇය සිය පෙම්වතකුට තමන් සිය දිවි නසා ගන්නට උත්සාහ කළ බැව් ප්‍රකාශ කර තිබුණේ, වීදුරු කටු කිහිපයක් සපා කෑමෙන් අනතුරුව යි.

ක්‍රිස්ටන් සිය හෙද උපාධිය ලබා ගත්තේ 1988 වසරේදී ග්‍රීන්ෆීල්ඩ් සමාජ විදුහලෙනු යි. ඒ තදාසන්නව ම ඇය ග්ලෙන් ගිල්බට් නමැති අයකු හා විවාහ වෙනවා. ඇය සේවයේ නිරත වෙන්නට පටන්ගත්තේ ‘නොදම්ටන් වෙටරන් අෆෙයා’ නම් වෛද්‍ය මධ්‍යස්ථානයකට අනුයුක්තව යි. එහි සේවය කිරීම ඇයට අභියෝගාත්මක වූ මුත්, එහි බලධාරීන්ගෙන් හා කාර්යමණ්ඩලයෙන් ඇයට හොඳ පිළිගැනීමක් ලැබුණා. මේ නිසා ඇය එහි දිගට ම  සේවය කළා. ඇය එහිදී ඉතා හොඳ සමාජ සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ ඇගේ ඇතුළාන්තය කිසිවකුට නොහැඟෙන පරිදි යි.

 ගිල්බට් යුවළ මාපියන් බවට ඉක්මනින් ම පත් වුණා. ඔවුනට දරුවන් දෙදෙනෙක් ලැබුණා. මේ අතර අසල්වාසීන් සමඟත් ඇය ඉතා හොඳින් කුලුපග වුණා. එන්න එන්න ම රැකියා ස්ථානයේ ඇයට වූ පිළිගැනීමත් වැඩි වුණා. බොහෝ අයට පෙනී ගියේ ඇය කාර්යශූර, සැමට හොඳින් සලකන මවක්, බිරියක් ලෙස යි. එනමුත් ඇය තුළ සැඟ ව සිටි භයානක චරිතය කිසි දිනෙක යටපත් වූයේ නැහැ.

ක්‍රිස්ටන් සිය මඟ වෙනස් කරයි

ක්‍රිස්ටන් සිය සේවා ස්ථානයේ රාත්‍රී වැඩමුරය සිදුකිරීම සඳහා කෙටි කලකට පසුව  අනුයුක්ත කෙරුණා. එහිදී ඇය එහි වූ ජේම්ස් ජී. පෙරෝල්ට් නම් රෝහල් ආරක්ෂක නිලධාරියා සමඟ අනියම් සම්බන්ධතාවක් ඇති කර ගත්තා. ඔහු හිටපු හමුදා නිලධරයෙක් වූ අතර, පර්සියානු ගල්ෆ් යුද්ධයෙදී දස්කම් පෙන්වූ අයෙක් ද වුණා. කෙමෙන් කෙමෙන් දෙදෙනා අතර සම්බන්ධය දළු ලා වැඩුණා. මේ අතර ඇයට එම රෝහලේ කාර්යමණ්ඩලය නමක් ද පටබැන්දා. ඒ ඇගේ රූමත් බව හා, මෙම අනියම් සම්බන්ධය කරණකොට ගෙන යි. ඊට අමතරව ‘අහඹු ලෙස’ ඇය බොහෝ මිය යන රෝගීන් වෙනුවෙන් සේවය කිරීමට වැටීමත් මීට හේතු වුණා. එම නාමය වන්නේ  ‘ ද ඒන්ජල් ඔෆ් ඩෙත් ‘ හෙවත් මරණයේ සුරදූතිකාව යන්න යි.

ක්‍රිස්ටන්ට පටබැඳුණු එම නාමය කල් යාමේ දී වඩාත් තහවුරු වූයේ ඉන් අනතුරු ව එළැඹි වසර කීපය තුළ ඇය සේවය කළ වාට්ටුවේ සිදු වූ මරණ 350න් අඩකටත් වඩා සිදු ව තිබුණේ ඇය එම පුද්ගලයන් අසල සේවයේ නියුතු ව සිටින විට වීම නිසා යි. මෙය සම්භාවිතාවක් ලෙස මිලියන සියයකට එකක් තරම් අඩු ඉඩකින් සිදු විය හැකි අහඹුවක් වුණා.

ක්‍රිස්ටන් තුරුණු වියේ දී- medicalbag.com 

 

ක්‍රිස්ටන්ගේ හදවත කල් යාමේ දී තව තවත් ජේම්ස් වෙත බැඳුණා. ඇයට නිතර ම ඔහු හමුවේ කැපී පෙනෙන්නට වුවමනා වුණා. මේ නිසා ඇය විවිධාකාරයෙන් තමන්ගේ ‘වීරක්‍රියා’ ඔහුට පෙන්වන්නට යන්නට ඇති බැව් සමහරෙක් ප්‍රකාශ කරනවා. ඇය පිළිබඳ ව පසුකාලීන ව අධ්‍යයනය කළ වෛද්‍යවරුන් හා පොලිස් පරීක්ෂකයන්ගේ තවත් මතයක් වූයේ, ඇගේ මානසිකත්වය අනුව රෝගියකුගේ‍ තත්ත්වය අසාධ්‍ය කොට, ඇය හෝ ඔහු ජීවිතය සමඟ පොරබදනු දැකීමේ අසාමාන්‍ය ආසාවක් ක්‍රිස්ටන් සතු ව තිබෙන බව යි. අනතුරු ව ඇය ඔවුන් බේරා ගැනීමට ක්‍රියා කළාදැයි යන්න අපැහැදිලි කරුණක් වෙනවා. කෙසේ හෝ වේවා ඇය රෝගීන්ගේ රෝග තත්වයන් විවිධාකාරයෙන්  වැඩි කිරීමට සලස්වා, ඉන් සමහරකු මරණය කරා ගෙනගිය බැව් පසුකාලීන ව තහවුරු වුණා.

භයානක සම්බන්ධතාවක්

අනියම් සම්බන්ධය පටන්ගෙන ටික කාලයකින් ඇගේ විවාහය කඩා වැටුණා. මේ හා සමඟ ම ඇය සිය සැමියාගේ ආහාරවලට යම් ඖෂධයක් මිශ්‍ර කරන්නට පටන් ගත්තේ ඔහුට මුත්‍ර පිටවීම වැඩි කිරීම සඳහා යි. මේ නිසා ග්ලෙන් කෙමෙන් කෙමෙන් රෝගී වුණා. මේ නිසා ඔහුට රෝහල්ගත වන්නට වුණා. ඒ ක්‍රිස්ටන්ගේ විරෝධත්වය මධ්‍යයේ යි. රෝහලේ දී ඔහු තදබල ලෙස අසනීප වුණා. ඇය ඔහුට විස එන්නත් කිරීමට අදහස් කළ අතර, ඔහු නැවතී සිටින රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණේ ඇයට රුධිර පරීක්ෂාවක් සඳහා තමන්ගේ අතින් ම, තම සැමියාගේ රුධිර සාම්පලයක් ලබාගන්නට ඉඩදෙන ලෙස යි. ඒ වන විට ඇය හොඳ නමක් දිනා සිටි දක්ෂ හෙදියක වූ නිසා ඊට අවසර ලැබුණා.

‘සේලයින් ‘ යැයි ඇය පැවසූ යමක්, ක්‍රිස්ටන්, ග්ලෙන්ට එන්නත් කිරීමට උත්සාහ දැරූ අතර යම් කිසි අමුත්තක් දැනුණු ඔහු එය එන්නත් කරගැනීම ප්‍රතික්ෂේප කළා. මෙහිදී බලහත්කාරයෙන් ඇය ඔහුට එය එන්නත් කිරීමට උත්සාහ කළ අතර, එය හරියාකාර ව ශරීරගත කිරීමට පෙර ගලවා විසි කරන්නට ග්ලෙන් සමත් වුණා. 

දරුවන් දෙදෙනා අතැර පෙරෝල්ට් වෙත

ග්ලෙන් සුව වී නැවත නිවසට පැමිණි විට ම වාගේ ක්‍රිස්ටන් ඔහු හා දරුවන් දෙදෙනා අතැර පෙරෝල්ට් වෙත නික්ම ගියා. ඉන් අනතුරුවත් ඇය පෙර සේ ම සේවයේ නියුතු වූ අතර, පෙර පරිදි ම ඇය සාත්තු කළ රෝගීන් වැඩි වශයෙන් මිය ගියා. 1995 වසරේ ජූලි මස 66 හැවිරිදි ස්ටැන්ලි ජේ. ස්ටැන්ලි ජගොඩොව්ස්කි ඇය සේවය කළ වාට්ටුවට ඇතුළත් කෙරුණේ, සැත්කමකින් පසු බඩවැල්වල ඇති වූ සංකූලතාවක් හේතුවෙනු යි. ඔහුගේ තත්ත්වය එතරම් බරපතල නොවූ අතර, මුඛයෙන් ලබා දෙන ඖෂධ පමණක් ඔහුට නිර්දේශ කර තිබුණා. කෙසේ නමුත් ක්‍රිස්ටන් සිරින්ජරයක් අතැති ව ඔහු සිටි කාමරයට ගිය බැව් තවත් හෙදියක දැක් තිබූ අතර, කෙටි වේලාවකින් ඔහු වේදනාවෙන් කෑගසනු ඇසුණා. ඒත් සමඟ ම ක්‍රිස්ටන් එම කාමරයෙන් පිටතට විත් තිබූ අතර, එදින රාත්‍රියේ ඔහු මිය ගියේ හෘදයාබාධයක් වැලඳීම නිසා යි.

ක්‍රිස්ටන් ගිල්බට් ගේ බුද්ධිමත් හා රූමත් ස්වරූපය නිසා ඇය මනුෂ්‍ය ඝාතන කරන්නේ යැයි කිසිවෙක් සැක කළේ නැහැ. කෙසේ නමුත් සමහරක් රෝගීන් ඇයගෙන් ප්‍රතිකාර ගැනීමට බිය වූයේ, ඇගෙන් ප්‍රතිකාර ගත් බොහෝ දෙනා මිය යන බැව් කටකතාවක් සේ පැතිරී ගොස් තිබූ නිසා යි. එක් රෝගියෙක් ඇගෙන් ප්‍රතිකාර ගැනීම තරයේ ප්‍රතික්ෂේප කළේ ඇය ශාපලත් යැයි පවසමිනු යි. මෙය රෝහල් කාර්යමණ්ඩලයේ සිනහවට බඳුන් වූ කරුණක් වුවත්, ඇත්තෙන් ම ඉන් දින කීපයකට පසුව ක්‍රිස්ටන් අතින් ඔහු ඝාතනය වෙනවා.

මරණයේ දෙව්දුව හසුවෙයි

1996 වසර වනවිට ක්‍රිස්ටන් ගිල්බට්ගේ ක්‍රියාකාරම් පිළිබඳ ව සිවිල් ජනයා හා රෝහල් කාර්යමණ්ඩලය අතරත් කසුකුසු ඇති වී තිබුණා. මේ අතර ඇය නිවෙස් ප්‍රතිකාර කිරීමට සිය ස්ථානයක රෝගියකුට අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධියක් දුරදිග ගියා. ඇය සිය සහායිකාවන්ට හා සම සේවකයන්ට අඩන්තේට්ටම් කිරීම, බිය වැද්දීම, තර්ජනය කිරීම වැනි සිද්ධි කීපයක් හේතුවෙන්, ඇය සේවය කළ රෝහලේ කාර්යමණ්ඩලය ඇයට එරෙහි ව නිල පර්යේෂණයක් කරන ලෙස රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. මේ අනුව 1996 වසරේ පෙබරවාරි මස ඇයට එරෙහි ව පර්යේෂණයක් ආරම්භ කෙරුණේ, ඇය සේවය කරන විට මියගිය රෝගීන් දෙදෙනෙකුගේ මරණ සැකසහිත බවට පවසමින්.

එම සිද්ධීන් පෙළගැසෙද්දී සිය රැකියාවෙන් ඉල්ලා අස් වූ ක්‍රිස්ටන් සිය දිවි නසාග්න්නට පවා උත්සාහ කළා. ඇය පෙරෝල්ට්ට දුරකථන ඇමතුමක් දී තමන් එන්නත් කර රෝගීන් මැරූ බැව් පැවසුවා. මේ පිළිබඳ ව පෙරෝල්ට් රෝහල් බලධාරීන් දැනුම්වත් කළ අතර ඇය ඔහුට ද ඒ සම්බන්ධ ව මරණ තර්ජන එල්ල කර තිබුණා.

ස්වාධීන ව සිදුකළ පොලිස් පර්යේෂණ මඟින් ක්‍රිස්ටන් රෝගීන් සිවු දෙනකු ඝාතනය කළ බවට සැකයකින් තොරව ම ඔප්පු වුණා. මේ සිවු දෙනා හිටපු සොල්දාදුවන් වූ හෙන්රි හ්‍යුඩන්, කෙනත් කටින්ග්, එඩ්වඩ් ස්ක්විරා හා ස්ටැන්ලි ජගොඩොව්ස්කි යන අය වුණා. කෙසේ නමුත් ඇය ඝාතනය කළ මිනිසුන් ගණන මීට වඩා බොහෝ සෙයින් වැඩි විය යුතු බවත් ප්‍රකාශ කෙරුණා.

 ක්‍රිස්ටන් ඝාතනය කළ හෙන්රි හ්‍යුඩන් ගේ බිරිඳ සහ පුතු – John Blanding – gettyImages.com 

 

ක්‍රිස්ටන් ඔවුන්ගේ සිරුරුවලට වුවමනා ප්‍රමාණවලට වඩා ඇඩ්‍රිනලින් එන්නත් කර තිබුණේ හෘද ස්පන්දන වේගය පාලනය කරගත නොහැකි තරමට වැඩි කිරීම සඳහා යි. මේ ලෙස ම ඇය තවත් තිදෙනකු ඝාතනය කරන්නට උත්සාහ ගෙන තිබූ අතර, ඔවුන්ගේ වාසනාවට ඔවුන් මිය ගොස් තිබුණේ නැහැ.

ක්‍රිස්ටන් ඉක්මනින් ම පොලිස් භාරයට ගැනුණු අතර ඇය එම ක්‍රියාකාරකම් කළ බැව් පිළි ගත්තා. ඇයට අනුව ඇය මේ සියල්ල සිදුකර තිබුණේ පෙරෝල්ට් තමන් අසලට ගෙන්වා ගැනීමට යි. ඇය සේවය කළ රෝහලේ රෝගියකු සම්බන්ධ හදිසි අවස්ථාවක් ඇති වූ විට සාමාන්‍යයෙන් පෙරෝල්ට් එතැනට කැඳවන අතර, ක්‍රිස්ටන්ට එහිදී ඔහු හා සමීප ව හිඳීමට හා, ස්පර්ෂ කොට ආස්වාදයක් ලබා ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.

ක්‍රිස්ටන් ගිල්බට්ට එරෙහි නඩු විභාගය වැඩි කල් නොගොස් ඇරඹුණු අතර,  2001 වසරේ මාර්තු මස 14 වන දින ඇය මනුෂ්‍ය ඝාතන 3 කට වැරදිකරු කෙරුණා. තවත් මරණයකට ඇය සාවද්‍ය ලෙසින් වගකිව යුතු බවට තීරණය කෙරුණා. ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැනවුණු අතර, විස එන්නත් කිරීමෙන් මරණ දඬුවම ලබා දීමට තීරණය කිරීමෙන් ගැලවුණේ අනූ නවයෙනු යි. ඇය ටෙක්සාස් හි සිර මැදිරියක අද වන විටත්  කාලය ගත කරනවා.

කවරයේ ඡායාරූපය - ක්‍රිස්ටන් ගිල්බට් - medicalbag.com

මූලාශ්‍ර:

Allthatsinteresting.com

Murderpedia.org

Grunge.com

Related Articles