යුක්රේනයේ කීව් අගනුවර සිසාරා ඉකුත් මාර්තු මාසයේ දී බෝම්බ හඬ ගිගුම් දෙද්දී ඇනා හොරොඩෙට්ස්කා මහල් නිවාස සංකීර්ණයේ වූ සිය නිවස අගුළු ලා ඉන්දියාවට පලා ගියා ය. ඒ ටී ෂර්ට් කිහිපයක් හා කෝපි පිළියෙළ කරන යන්ත්‍රයක් පමණක් අතැතිව ය. එය ඇගේ අත්තම්මාගෙන් ඇගේ විවාහය නිමිත්තෙන් ලැබුණු මංගල තිළිණයක් විය. තොරතුරු තාක්ෂණික සමාගමක සේවය කළ තිස් හැවිරිදි තරුණියක වූ ඇනා නවදිල්ලි ගුවන් තොටුපළට ළඟා වුණේ මාර්තු 17 වැනි දා ය. ඇය එහි ගොඩබසින විට ඇය කිසිදා අපේක්ෂා නොකළ ආකාරයේ පුදුමයක් ඇය වෙනුවෙන් ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිළියෙළ කොට තිබිණි.
එය සිදු කර තිබුණේ ඇගේ අත ගැනීමට සූදානමින් සිටි තිස්තුන් හැවිරිදි අනුභාව් බාසින් ය. අලංකාර ලෙස විසිතුරු බැලුම් බෝලවලින් සැරසූ වටාපිටාවක් මැදි කර ගනිමින් අනුභාව් සිය පෙම්වතියගේ පෙර මඟට ගියේ ඇයට විවාහ යෝජනා කිරීමට මංගල මුදුවක් ද අතැතිව ය. දසතින් නැඟෙන සම්ප්‍රදායික ඉන්දීය බෙර හඬ මධ්‍යයේ ගුවන් තොටුපළේ සිටි දෙනෝදාහක් වූ පිරිසක් ඉදිරියේ නීතීඥ පෙම්වතා, සිය පෙම්වතිය ඉදිරියේ දණ නමා, සම්ප්‍රදාය පරිදි ඇයට මංගල මුදුව පිරිනැමුවේ ය. වසරකටත් වැඩි කාලයක් පෙමින් වෙලී සිටි සිය ඉන්දීය ජාතික පෙම්වතාගේ විවාහ යෝජනාව පිළිගැනීමට ඔහුගේ යුක්රේන ජාතික පෙම්වතිය ඇනා දෙවරක් සිතුවේ නැත.
දේශ සීමා හා ගෝලීය කඩඉම් පරයමින් ඇදී ගිය පෙම්දම
ඊට පසු සතියේ එළැඹි ඉරිදාවක ඇනා හා අනුභාව් ඉන්දීය සම්ප්‍රදායට අනුව විවාහ වූයේ නවදිල්ලි නුවරදී ය. විවාහයේ නිත්‍යනුකූල වලංගුභාවය තහවුරු කිරිම සඳහා ඉන්දීය අධිකරණයේ එය ලියාපදිංචි කිරීමට ඔවුහු පසු ව බලාපොරොත්තු වූහ. ඉන්දියාවට යාම සඳහා ඇනා ලබා ගත් වීසා බලපත්‍රයේ ඇගේ විදෙස් සංචාරයට හේතුව ලෙස සඳහන් ව තිබුණේ ‘අනුභාව් බාසින් හා විවාහ වීම පිණිස‘ යනුවෙනි.
අනුභාව් හා ඇනාගේ මුල් ම දෛවෝපගත හමුවීම සිදුවන්නේ ඉන්දියාවට ඇය 2019 වසරේ දී සිදු කළ සංචාරයකදී ය. අවන්හලක අහඹු ලෙස සිදු වූ එම පළමු හමුවේ දී ම දෙදෙනා අතර හට ගත් මිත්‍රත්වය දුරකතන අංක හුවමාරු කර ගැනීමක් දක්වා දුරදිග ගොස් තිබිණි. මහද්වීප දෙකක දේශ සීමා හා ගෝලීය කඩඉම් පරයමින් ඇදී ගිය මිතුදම පසුව කොරෝනා වසංගත මර්දන නීති, නිරෝධායන හා ගුවන් ගමන් සීමා යනාදිය හමුවේ වුව ද අඛණ්ඩ ව ඉදිරියට ගලා ගියේ ය.
“ 2019 අග වෙනකොට අපි දෙන්නට දෙන්නා කතා නොකර ඉන්න බැරි වුණා. ඒ තරම් අපි සමීප වෙලයි හිටියේ.“ අනුභාව් කියයි.
ටජ්මහලට ගිය අමතක නොවන ගමනක්
සිය යෙහෙළියක සමඟ ඇනා 2020 මාර්තු මාසයේ දී ඉන්දියාව බලා යළිත් වරක් ගියා ය. එවර අනුභාව් ඔවුන් ආදරයේ සදාදරණීය සිහිවටනය ලෙස සැලකෙන ටජ්මහල හා රාජස්තාන් කාන්තාර ප්‍රාන්තය නැරඹීමට රැගෙන ගියේ ය. කොරෝනා වසංගතයේ ආගමනයත් සමඟ ඉන්දියාව අගුළු ලෑමට ඉන්දීය බලධාරින් පියවර ගන්නේ මේ කාලයේදී ය. එම කාලය නවදිල්ලි නුවර පිහිටි සිය පවුලේ නිවසේ ගත කිරීමට අනුභාව් සිය පෙම්වතියටත් ඇගේ මිතුරියටත් ඇරයුම් කළේ ය.
“ ඒ කාලයේදී තමයි අපි දෙන්නා හුඟක් ම සමීප වුණේ. අපි දෙන්නා එකිනෙකාට කැමතියි කියන කාරණය ඒ වෙනකොට අපි දෙන්නා ම අවබෝධ කරගෙනයි හිටියේ. ඒක නිකම්ම යාළුකමකට වඩා එහා ගිය දෙයක් කියලා අපිට තේරුණා. ඇනා ආපහු කීව් නුවරට ගියාට පස්සෙත් අපි හැමදා ම වගේ වීඩියෝ ඇමතුම්වලින් කතා කළා.“ යැයි කියන්නේ අනුභාව් ය.
ඉන්දීය පෙම්වතාගේ මව ගෙන් විවාහ යෝජනාවක්
ඊට පසු යළිත් 2021 පෙබරවාරියේදී ඩුබායි නුවර දී පෙම්වතුන් යුවළ එකිනෙකා මුණ ගැසුණෝ ය. අගෝස්තු මාසයේ දී සිය පෙම්වතිය බැලීමට අනුභාව් කීව් අගනුවරට යළිත් ගිය අතර, දෙසැම්බරයේ දී ඇනා ඉන්දියාවට යළිත් පැමිණියා ය. අනුබාව් හා ඇනා විවාහ විය යුතු බවට අනුභාව්ගේ මව යෝජනා කරන්නේ ඇනා අවසන් වරට නවදිල්ලිය බලා පැමිණි එම ගමනේ අවසන් දිනයේදී ය.
“අනුභාව්ගේ අම්මා කිව්වා අපි ලබන මාර්තුවලදී විවාහ වුණා නම් හොඳයි කියලා. ඒ වෙනකොට අපි විවාහය ගැන කතා කරලා තිබුණත්, ඒක මේ තරම් ඉක්මනින් වේවි කියලා හිතුවේ නැහැ. නමුත් එහෙම නොකර ඉන්න අපිට හේතුවක් තිබුණෙත් නැහැ.“ ඇනා පවසයි.
අනුභාව් හින්දු ජාතිකයෙක් වන අතර ඇනා ක්‍රිස්තියානි ආගමිකයකු වන නිසා දෙදෙනාගේ විවාහය අධිකරණයේ ලියාපදිංචි කළ යුතු වූයේ විශේෂ නීතියක් යටතේ ය. එම කටයුතු සඳහා මාසයක පමණ කාලයක් ගත වනු ඇති බවට ඔවුහු බලාපොරොත්තු වූහ. මාර්තු මාසයේ අවසානය වන විට ඇනා ඉන්දියාවට යළිත් පැමිණිය යුතු බවට තීරණය විය. යුක්රේන- රුසියානු යුද්ධය අනපේක්ෂිත අයුරින් ඇරඹෙන්නේ ඒ අතරවාරයේ ය.
ආදරය මැදට පැමිණි යුද්ධය
“අපි දැනගෙන හිටියා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කිසිම බලාපොරොත්තුවක් ඉතිරිවෙලා නැහැ කියලා. ඒත් අපි හිතුවෙ ම නැහැ රටවල් දෙක යුද්ධයකට යාවි කියලා. යුද්ධයක් ඇති වුණත් ඒක යුක්රේන-රුසියා දේශසීමාවට විතරක් සීමා වේවි කියලයි අපි හිතුවේ. කීව් අගනුවරට බලපෑමක් වෙන්නේ නැති වේවි කියලා අපි බලාපොරොත්තු වුණා. නමුත් පෙබරවාරි 24 වැනි දා මං අවදි වුණේ හතරවටින් ආපු බෝම්බ සද්දෙට. මං හිතුවේ මම හීනයක් දකිනවා කියලයි. නමුත් ඊට පස්සේ මං දැක්කා අනුභාව් වගේ ම මගේ අනෙක් යාළුවොත් එවලා තිබුණු ජංගම දුරකතන පණිවිඩ. යුද්ධයක් පටන් අරගෙන කියලා මං දැනගත්තේ එහෙමයි. “ ඇනා පවසයි.
ඇනා හඳුනන බොහෝ අය ඒ වන විටත් නිවෙස් හැර දා යාමට සූදානම් ව සිටි අතර, ඇයට ද එසේ කරන ලෙසට උපදෙස් ලැබිණි. බෝම්බ හෙළීම් දරුණු තත්වයට පත් වෙද්දී ඇනා සිය මවත්, සුරතල් සුනඛයාත් රැගෙන බංකරයකට ගියා ය.
“බංකරය මිනිසුන්ගෙන් පිරිලා තිබුණේ. ඇඳිරි නීතියත් දාලා තිබුණා. බංකරෙන් එළියට යන්න අපිට අවසර තිබුණේ නැහැ. නමුත් මගේ බල්ලා වගේම මාත් හිටියේ ඒක ඇතුළෙ හුස්ම ගන්න බැරුව යි. ඒ නිසා අපි ටිකකට එළියට ආවා. මට මතකයි මුළු අහස ම රතු පාට වෙලා හැම තැන ම දුමාරයෙන් වැහිලා තිබුණු හැටි……..“ ඇනා මතකය අවදි කරයි.
නවදිල්ලිය බලා දුර ගමනක්
රුසියාව යුක්රේනයට බෝම්බ හෙළීමට ටික දිනකට පෙර සිට ම රටින් පිටවන ලෙසට අනුභාව් ඇනාට නොයෙක් වර ඇවටිලි කොට තිබිණි. ඒ යුද්ධයක් අත ළඟ ම පැමිණෙන බැව් ඔහුට ඉවෙන් මෙන් වැටහුණු නිසා ය. නමුත් ඇනා එම ඉල්ලීම ගැන සිටියේ තෝන්තුවාවෙනි. ඒ සිය සුරතල් සුනඛයා අත්හැර දමා ඒමට හැකියාවක් ඇයට නොතිබුණු නිසා ය. පසුගිය පෙබරවාරි 26 වැනි දා උදෑසන ඇය රටින් පිටවීමට උත්සාහ කළ විට අනුභාව් ඇය වැලැක්වී ය.
“මොකද කියනවා නම් ඒ වෙනකොට තත්වය හොඳට ම නරක අතට හැරිලයි තිබුණේ හැම තැන ම බෝම්බ පිපිරෙනවා. දුම්රිය නැවතුම්පොළ තිබුණෙත් ඇනා හිටපු බංකරේ ඉඳලා හුඟක් දුරින්. කුලී රථ තිබුණෙත් නැහැ. ඉතිං මට එයාගේ ආරක්ෂාව ගැන බය හිතුණා. බංකරේ ම ඉන්න එක වඩාත් ආරක්ෂිතයි කියලයි මට හිතුණෙ“ යැයි කියන්නේ අනුභාව් ය.
පසුදා උදෑසන කෙසේ හෝ ලිවීව් අගනුවර බලා යන දුම්රියකට ගොඩ වීමට ඇනා සමත් වූවා ය. ඒ සිය මව හා සුරතලා වෙනත් දුම්රියකින් සිය අත්තම්මා වෙසෙන ගමට පිටත් කර හැරීමෙන් පසු ය. ස්ලොවේකියාවටත්, එතැනින් පෝලන්තය බලාත් ගිය ඇනා එහි දෙසතියක කාලයක් රැඳී සිටියේ අනුභාව් ඇගේ වීසා බලපත්‍රය සූදානම් කර ගන්නා තුරු ය. ඉන්පසු ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර බලා ගිය ඇය එහි සිට නවදිල්ලි කරා යන ගුවන් යානයකට ගොඩ වූවා ය.
“ගුවන් ගමන පුරාම මට නිදහසේ ඇහැක් පියා ගන්න බැරි වුණා. අපි ගමන් කරමින් හිටියේ යුද ගැටුම් කලාපය හරහා නොවුණත් මට හරි බයක් තිබුණේ කොහේ හරි ඉඳලා එන මිසයිලයක් ගුවන් යානයට වදීවී කියලා……“ ඇනා කියයි.
ජයඝෝෂා බෙර හඬ මැද මංගල මුදුවක්
නවදිල්ලි අගනුවරට මාර්තු 17 වැනි දා බලාපොරොත්තු සහගත ව සැපත් වන කල ඇනාගේ ජංගම දුරකතනයට අනුභාව් කෙටි පණිවිඩයක් එවා තිබිණි. ඉන් කියැවුණේ ඇය පිළිගැනීමට ගුවන්තොටුපළට ඒමට ඔහු මඳක් ප්‍රමාද වන බව යි.
“ මට හොඳටම කේන්ති ගියා. මොකද ඒ වෙනකොට රටින් රටට මාරු වෙලා මං හොඳට ම තෙහෙට්ටුවට පත්වෙලයි හිටියේ. මට ඕනෑ කළේ පුළුවන් ඉක්මනින් ගෙදර ගිහින් ඇඳට වැටෙන්න. නමුත් පුදුමෙකට වගේ මං එළියට එද්දී එතැන අනුභාව් හිටියා මාව පිළිගන්න ලොකු පුදුමයකුත් ලෑස්ති කරගෙන. මට ඇත්තට ම ඒක අදහාගන්න බැරි වුණා. මොකද අනුභාව් කියන්නේ හරිම ප්‍රායෝගික කෙනෙක්. නිසැකව ම මට ඒක හරිම ප්‍රීතිමත් අත්දැකීමක් වුණා.“ ඇනා කියන්නේ උතුරා යන සතුටිනි.
සම්ප්‍රදායික ඉන්දීය බෙර හඬ මැද අනුභාව්ගේ මිතුරු පිරිස ජයඝෝෂා නගද්දී අනුභාව් ඇනා ඉදිරියේ දණ හොවා ඇයට මංගල මුදුවක් තිළිණ කළේ ගුවන් තොටුපළේ සිටි මහා ජනකායක් ඉදිරිපිට ය. ඒ බොහෝ දෙනෙක් අත්පොළසන් නඟමින් මෙම ආශ්චර්යවත් මොහොතට එක්වූයේ එය සැබවින් ම හොලිවුඩ් චිත්‍රපටයක දර්ශනයක් බඳු වූ අවස්ථාවක් වූ බැවිනි. කෙසේවුව ද ඇනා මෙන් අනුභාව් ද එකසේ එකඟ වන එක් පොදු කාරණයක් තිබේ. ඒ මෙම අපූරු ආදර කතාවේ සැබෑ වීරයා වන්නේ ඇනා සිය අනාගත සැමියා වෙනුවෙන් ම මිලදී ගෙන, මහද්වීප ගණනාවක් පසුකොට ඉන්දියාවට රැගෙන ආ කෝපි පිළියෙළ කරන යන්ත්‍රය බව යි.
ආදර කතාවේ සැබෑ වීරයා
“මං විවාහ වෙන්න යනවා කියලා කිව්ව ම මගේ අත්තම්මා මට සල්ලි දුන්නා මංගල තෑග්ගක් ගන්න කියලා. ඉතිං මට මතක් වුණේ අනුබාව් එස්පෙස්‍රෝ බොන්න කොච්චර කැමතිද කියලා. ඒ නිසයි මං කෝපි හදන යන්ත්‍රයක් ගත්තේ. මං යුක්රේනය දාලා එද්දී ඒක දාලා එන්න කොහෙත් ම මගේ හිත ඉඩ දුන්නේ නැහැ. අනුභාව් නම් කිව්වා ඔය වගේ දේවල් උස්සගෙන එන්න කරදර වෙන්න එපා, අපිට ඉන්දියාවෙන් ලේසියෙන් ම කෝපි යන්ත්‍රයක් ගන්න පුළුවන් කියලා. මට එහෙම කරන්න බැරි වුණා.“ යැයි ඇනා පවසයි.
ඇනාගේ මෙම පරිත්‍යාගශීලීත්වය අගය කිරීමට අනුභාව් ද පැකිලෙන්නේ නැත.
“ඇනා කියන්නේ පුහුණුව ලත් රූපලාවන්‍ය ශිල්පිණියක්. නමුත් එයා එයාගේ මිල අධික රූපලාවන්‍ය නිෂ්පාදන ඔක්කොම ගෙදර දාලා මේ කෝපි යන්ත්‍රය විතරක් අරගෙන ආවා. ඒ නිසා මට හිතෙන්නේ අපේ මේ ආදර කතාවේ හැබෑ වීරයා වෙන්නේ මේ කෝපි පිළියෙළ කරන යන්ත්‍රය කියලයි.“ අනුභාව් කියන්නේ ඇනා සමඟ කෝපි කෝප්පයක රස විඳින අතරවාරයේ ය.