දැන් පූජා ගෞද්ගේ වයස අවුරුදු දහසයකි. කල්පයක් පමණ කියා හැඟුණු නව වසරකට පසු ඇයට දැන් සැනසුම් සුවයෙන් සිය මවගේ ඇකයේ හිස හොවා නිදාගැනීමට හැකියාව ලැබී ඇත. පූජාගේ මව වන පූනම්ට ද දැනෙන්නේ ඒ හා සමාන වූ සැනසුමක් මෙන්ම වචනයෙන් කියා ගත නොහැකි තරම් වූ ප්‍රීතියකි. ඒ මීට නව වසරකට එපිටදී සිය එක ම දියණිය නොසිතූ මොහොතක අතුරුදහන් වූ විට යළි කිසියම් හෝ දිනෙක ඇය හමුවනු ඇති බවට වූ බලාපොරොත්තු සියල්ල බිඳ වැටී තිබුණු නිසා ය.
නොසිතූ මොහොතක අතුරුදහන් වූ දියණිය නොසිතූ මොහොතක යළි හමුවීම ඇයට තවමත් අදහා ගැනීමට බැරි තරම් ය. ඒ වෙනුවෙන් ඇය ස්තූතිවන්ත වන්නේ තමන් අදහන දෙවියන්ට ය. සැබවින් ම එය දෛවයේ හාස්කමක් වැනි ය. සෑම මිනිත්තු අටකට වරක් දරුවෙක් අතුරුදහන් වන බව කියැවෙන ඉන්දියාවෙන් ඇසෙන පූජාගේ කතාව ඇය වැනි වූ දහස් සංඛ්‍යාත දරුවන්ගේ කඳුළු කතා අතර එකක් පමණි. එලෙස අතුරුදහන් වන දරුවන් බහුතරයක් පූජා තරම් වාසනාවන්ත වන්නේ නැත. ජාත්‍යන්තර මාධ්‍ය පූජාගේ හමුවීම ‘අහඹු ලෙස සිදුවූ ප්‍රාතිහාර්යාත්මක සිදුවීමක්‘ ලෙස එය හඳුන්වන්නේ එනිසා ය.
අයිස් පලමක් දී රවටා ගත් පූජා
වයස අවුරුදු හතක් වූ පූජා 2013 ජනවාරි 22 වැනි දා පැහැර ගැනීමට ලක් වන්නේ මහාරාෂ්ඨ්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර පිහිටි සිය පාසලට නුදුරේදී ය. ඇයව පැහැර ගත් හැරී ඩී සූසා හා සෝනි ඩී සූසා නැමැති යුවළ එලෙස පාසැල් යමින් සිටි කුඩා පූජාව පැහැර ගෙන ගොස් තිබෙන්නේ ඇයට අයිස් පලමක් මිලදී ගෙන දෙන බවට පොරොන්දු වී රවටාගැනීමෙනි. පොලිස් අත්අඩංගුවට පත්වූ ඩී සුසා යුවළ පවසා ඇත්තේ තමන්ට දරුවන් නොසිටි බැවින් පූජාව ඔවුන් එලෙස පැහැර ගත් බවයි. පැහැර ගැනීමට ලක්වීමට ප්‍රථම පූජා සිය දෙමව්පියන් හා වැඩිමහලු සොහොයුරන් දෙදෙනා සමඟ ජීවත් වූයේ මුම්බායි නගරාසන්නයේ වූ මුඩුක්කු ජනපදයක පිහිටි කුඩා නිවසකය. අතුරුදන්වූ දින ඇය සුපුරුදු පරිදි සිය සොහොයුරෙකු සමඟ උදෑසන පාසැල වෙත පිටත්ව ගියද අතරමඟදි දෙදෙනා අතර හටගත් ගැටුමක් නිසා සොහොයුරා කුඩා පූජාව මහ මඟ තනි කොට පාසැල වෙත ගොස් තිබේ. ඒ, ඒ වන විටත් පාසැල පටන් ගන්නා වේලාව පසුවී තිබුණු නිසාය. පූජා දැරිවිය නාඳුනන යුවළගේ ග්‍රහණයට නතු වන්නේ එලෙස මහ මඟ තනිවූ අවස්තාවේදීය.
පූජා පවසන ආකාරයට ඩී සූසා යුවළ ඇය මුලින්ම ගෝව ප්‍රාන්තයටත්, ඉන් පසු ව කර්නාටක ප්‍රාන්තය වෙතත් ගෙන ගොස් තිබේ. ඒ යම් හෙයකින් හඬා වැලපී අවට සිටින්නවුන්ගේ අවධානය දිනා ගැනීමට උත්සාහ ගතහොත් ඇයට හිංසා කරන බවට ද තර්ජනය කරමිනි. පැහැර ගැනීමට ලක්වූ මුල් කාලයේ දී ඇයට පාසල් යාමට අවස්ථාව ලැබුණ ද, එය කෙටි කලකට පමණක් සීමා විය. එතෙක් කල් දරුවන් නොසිටි යුවළට කුළුදුලේ ම දරුවකු ලැබීමෙන් පසු පූජාගේ පාසල් ගමන ඇනහිටියා සේ ම ඇයට සිදුවන අතවර හා කෙනෙහිළිකම්ද දිනෙන් දින ම වැඩි විය. ඒ අතර මුළු පවුල ම මුම්බායි නුවර පදිංචියට පැමිණෙන්නේ ද අලුත උපන් දරුවා ද සමඟිනි.
කෙළවරක් නොමැති තාඩන, පීඩන, හිංසා
“ එයාලා මට නිතර ම වගේ පහර දුන්නා. බෙල්ට්වලින් වගේ ම කකුලෙන් ගහපු අවස්ථාත් තිබුණා. එක පාරක් පිටි රෝල් කරන රෝලකින් මට කොච්චර තදින් ගැහුවාද කියනවා නම් මගේ කොන්දෙන් ලේත් ආවා. හුඟක් වෙලාවට පැය විසිහතර ම වගේ ගෙදර දොරේ වැඩපළ වගේ ගෙදරින් පිට වැඩත් මට කරන්න සිද්ධ වුණා“ පූජා කියන්නී ය.
පුජා ම පවසන ආකාරයට ඇය පැහැර ගත් යුවළ මුම්බායේ ජීවත් වූ නිවස ඇගේ මව්පියන්ගේ නිවසට ආසන්න ව පිහිටිය ද වීදීවල පිහිටීම ඇය හරිහැටි නොදත් නිසා නිවසින් පලා යාමේ හැකියාවක් ඇයට තිබුණේ නැත. එසේ ම ඩී සූසා යුවළ ඇය ගැන නිතර ම අවධානයෙන් සිටීමත්, ජංගම දුරකතනයක් හෝ මුදල් නොමැතිවීමත් නිසා එවැන්නක් කිරීමට තරම් ධෛර්යයක් ඇය සතු ව නොතිබිණි.
දිනක් නොසිතූ ලෙස අහම්බයකින් ඇයට ඩී සූසා යුවළගේ ජංගම දුරකතනය අතපත ගෑමට ලැබී තිබෙන්නේ ඔවුන් නින්දට ගිය විටෙක දී ය. වහා යූ ටියුබ් වෙබ් අඩවිය වෙත ගොස් එහි සිය නම සඳහන් කළ පූජාට දැක ගැනීමට ලැබී ඇත්තේ තම අතුරුදහන්වීම ගැන පළ වූ විස්තර, වීඩියෝපට හා පෝස්ටර රාශියක් ම එහි ඇති බව ය. උදව් ඉල්ලා ඇමතිය හැකි දුරකතන අංක ද එහි සඳහන් ව තිබීම ඇගේ මහත් වාසනාවට හේතු විය. කෙසේ හෝ කාගේ හෝ උදව් ලබා ගෙන මෙම නරකාදියෙන් පලා යා යුතු බව පූජා තීරණය කළේ එදා ය. නමුත් ඒ නිවසින් පලා යාම සඳහා ඇයට තවත් මාස හතක් පමණ ගත ව තිබිණි.
අහම්බෙන් හමු වූ වාසනාව
තමා පත් ව සිටින දුක්ඛිත තත්වය ගැන පිටස්තරයකු ගැන විශ්වාසය තබා පූජා මුලින් ම විස්තර හෙළි කළේ ළදරුවකු බලාගැනීමේ රැකියාවක නිරත වූ නිවසේ ගෘහ සේවිකාවකට ය. තිස් පස් හැවිරිදි ප්‍රමිලා දේවේන්ද්‍ර, පූජාගේ කතාව ඇසූ සැණින් ඇයට උදව් කිරීමට ඉදිරිපත් වූයේ තමා ද දරුවන් සිටින මවක ලෙස දරු දුක හඳුනන්නියක වූ නිසා ය. ප්‍රමිලාගේ ද සහාය ඇති ව යු ටියුබ් වෙබ් අඩවියේ සඳහන් වූ දුරකතන අංකයකට අමතා සිය මව හා සම්බන්ධ වීමට පූජාට අවස්තාව සැලසෙන්නේ ඒ අනුව ය. වීඩියෝ දුරකතන ඇමතුමකින් අනතුරුව පුරා නව වසරක් එකිනෙකාගෙන් ඈත්වූ මවත්, දියණියත් අතර හමුවක් සූදානම් කෙරුණු අතර එහිදී පූජා තමාගේ ම දියණිය ලෙස හඳුනා ගැනීමට පූනම් සමත් වූවා ය. ඒ සිය දියණියගේ සිරුරේ වූ තමා පමණක් දැන සිටි උපන් ලපයක් ආධාරයෙනි.
“ උපන් ලපය දැක්ක හැටියේ මට තිබුණු හැම සැකයක් ම නැති වෙලා ගියා. මේ ඉන්නේ මීට අවුරුදු නවයකට කලින් මගෙන් පැහැර ගත්තු දරුවා ම තමයි කියලා මට සීයේට සීයක් ම තහවුරු වුණා“
පූනම් කියන්නේ සතුටු කඳුළු අතරිනි. මවගේත් දියණියගේත් මෙම ප්‍රීතිජනක හමුව යථාර්තයක් කරවීමට අවංකවම වෙහෙසුණු ප්‍රමිලාගේ සතුට ද ඊට දෙවැනි නැත.
“ හැම අම්මා කෙනෙක් ම උදව් ඉල්ලගෙන තමා ගාවට එන කාගේ වුණත් දරුවෙකුට පිහිට වෙන්න ඕනේ. අපි එයාලගේ ජීව විද්‍යාත්මක අම්මා නොවෙන්න පුළුවන්. නමුත් අපි හැමෝ ම කාගේ හරි දරුවෙකුගේ අම්මා කෙනෙක්.“ ප්‍රමිලා කියන්නේ තමා පූජාට සරණ වුණේ එම හැඟීමෙන් බව ය.
සිය මව සමඟ පැවති හමුවෙන් පසු පූජා ඇගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනකු හා ප්‍රමිලා ද සමඟ පොලිසීය වෙත ගොස් තමා පැහැර ගත් ඩී සූසා යුවළට එරෙහි ව පැමිණිල්ලක් ගොනු කළා ය. එසේම ඔවුන්ගේ පදිංචිය ඇතුළු සියලු විස්තර පොලිසීයට ලබාදීමට පූජා පැකිළුණේ නැත. ඩී සූසා යුවළ අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහි ව නඩු පැවරීමට මුල් වූයේ පූජාගේ එම පැමිණිල්ල ය. මුම්බායි නුවර ඩි.එන්. නගාර් පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක මිලින්ද් කුර්දේ පවසන්නේ ඩී සූසා යුවළට එරෙහි ව පැහැර ගැනීම, කායික අඩත්තේට්ටම් සිදුකිරීම, තර්ජනය කිරීම හා ළමා ශ්‍රමය අපයෝජනය කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ලව ඇති බව ය.
දරු පෙම සියල්ල පරයයි
අතුරුදහන් ව නව වසරකට පසු නිවසට පැමිණීමට පූජාට යළි ඉඩ ලැබීම ගැන පූජාගේ පවුලේ උදවිය සේ ම ඇගේ අසල්වැසියන් ද සිටින්නේ අසීමිත ප්‍රීතියෙනි. නිවසට පැමිණි දින සිට ඇයගේ සුව දුක් බැලීමට පැමිණෙන නෑදෑ හිතවතුන්ගේ තවමත් අඩුවක් සිදු ව නැත්තේ ඒ නිසා ය. පූජාගේ මව වන පූනම්ගේ සතුට ඒ හැමෝට ම වඩා ඉහළ ය. නව වසරක් තමාගෙන් ඈත් ව සිටි දියණිය සමඟ හැකිතාක් කාලය ගත කිරීමට ඇය උත්සාහ දරන්නේ ඇය ප්‍රිය කරන කෑම වර්ග පිළියෙළ කරදීමට වෙහෙසෙමිනි.
සතුට මැදින් වුව ද මේ ගතවෙමින් තිබෙන්නේ ගවුද් පවුලට ම දුෂ්කර වූ කාල පරිච්ඡේදයකි. ඒ පුජාගේ පියාගේ හදිසි අභාවය නිසා පවුලේ සියලු බර ඇගේ මවගේ හිස මත පැටවී තිබෙන බැවිනි. පවුලේ එක ම ආදායම්ලාභියා වූ පූජාගේ පියා ඇය හමුවීමට මාස කිහිපයකට පෙර මිය ගොස් තිබෙන්නේ පිළිකාවකට ගොදුරු වීමෙනි. එතැන් පටන්කෙටි ආහාර වර්ග රේල්ලුවේ අලෙවි කරමින් පවුල නඩත්තු කිරීමේ බර පැටවුණේ පූනම්ට ය. ඇය පවසන්නේ දිනක් හෝ සේවයට යා ගත නොහැකි වුවහොත් ඊට පසු දිනයේ සිය පවුලට ආහාර සපයා ගැනීම සිහිනයක් බව යි. දැන් ඇයට අමතර වියදමක් ලෙස නඩු හබ සඳහා ද වියදම් කිරීමට සිදුවීම පූනම්ට දරා ගැනීමට නොහැකි තරම් ය.
ලොකු ම තෑග්ග පූජා හමුවීම යි
“ වැඩ කරන එක අමාරුයි තමයි. දවසක් හරි වැඩට නොගිහින් ඉන්නවා කියන්නේ ඊළග දවසේ අපි හතරදෙනාට කන්න නැති වෙනවා කියන එකයි. දැන් මට පූජාගේ නඩුව වෙනුවෙනුත් මුදල් වැය කරන්න වෙලා තියෙනවා. නමුත් ඒ හැමදේට ම වඩා මට මගේ දුව වටිනවා. එයා දකින වාරයක් පාසා මගේ හිත සතුටින් පිරෙනවා වගේම කොහේදෝ නැති අමුතු හයියකුත් හිතට එනවා. එයා නැවත හමුවීම තමයි මට ලැබුණු ලොකුම තෑග්ග.“ පූනම් කියන්නේ අසීමිත වූ දරු ස්නේහයෙනි.
පවුලේ බර කරටගෙන සිය මවට සහාය වීමට පූජාට ඇවැසි වුව ද තවමත් ඒ සඳහා ඇයට සුදුසු වාතාවරණයක් නිර්මාණය වී නොමැත. ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති බිය නිසාඇය නිවසින් තවමත් තනිව පිටතට යන්නේ නැත. නව වසරක් පවුලෙන් ඈත් ව රුදුරු වටපිටාවක ජීවත් වීමෙන් ලත් වේදනාකාරී අත්දැකීම්වලින් ඇය තවමත් මුළුමනින් ම මිදී නැත. තම පියා නැවත කිසිදිනෙක තමාට දකින්නට නොලැබෙන්නේ ය යන සිතුවිල්ලඇගේ හද නිතර පාරවයි.
“ මටත් ඕනේ මගේ අම්මට සල්ලි හොයාගන්න උදව් වෙන්න. නමුත් තාමත් මට ඒකට අවසරයක් ලැබිලා නැහැ. ඒ වගේම ඉගෙන ගන්නත් මං ආසයි.“ එය පූජාගේ අහිංසක ආසාව යි.