සාමාන්‍ය ප්‍රසූතියක් සඳහා රෝහලකට ඇතුලත් කිරීමෙන් පසු සිදුවන මූලික ක්‍රියාවලීන් පිළිබඳව අප පෙර ලිපියෙන් සඳහන් කළා. එහිම දිගුවක් වන මේ ලිපියෙන්, ගර්භනී කාන්තාවක් ප්‍රසූතිකාගාරයට ඇතුල් කිරීමෙන් පසු ප්‍රසූතිය සිදුකෙරෙන ආකාරය විස්තර කෙරෙනවා.
ප්‍රසූතිකාගාරයට ඇතුල් කිරීමෙන් පසු
ප්‍රසූතියේ පළමු අදියරේ පසුවන කාන්තාවක් ප්‍රසූතිකාගාරයට ඇතුල් කිරීමෙන් පසුවත් පෙර පරිදිම පැය 4කට වරක්වත් ගැබ්ගෙල පරීක්ෂාව, දරුවාගේ හෘද ස්පන්දනය, දරුවා කොපමණ පහතට පැමිණ ඇත් ද යන්න, මෙන්ම ගර්භාෂ සංකෝචන ආදිය පරීක්ෂා කිරීම සිදුවෙනවා. මෙය සිදුකරන්නේ ප්‍රසූතිය ක්‍රමානුකූලව සිදුවෙනවාද යන්න නිරීක්ෂණයටයි. මෙහිදී මෙම අගයන් හෙදියන් හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (මිඩ්වයිෆ්) විසින් ප්‍රස්තාරයක සඳහන් කරගත යුතුයි.
ගැබ්ගෙල සෙ.මී. 4ක් විවෘත වුණු මොහොතේ පටන් පැය 4කට සෙ.මී. 2ක් පමණ වේගයකින්වත් විවෘත විය යුතුයි. මෙසේ විවෘත නොවෙන අවස්ථාවන් තිබෙන නිසා ඒ ගැන සොයා බැලෙනවා. බොහෝවිට ප්‍රමාණවත් තරමින් ගර්භාෂය සංකෝචනය නොවන විට දී යි මෙය සිදුවන්නේ. එවැනි අවස්ථාවන් වලදී ගර්භාෂය සංකෝචනය වීමට අවශ්‍ය ඔක්සිටෝසින් (Oxytocin) නම් හෝමෝනය ගර්භනී කාන්තාවට ලබාදෙනවා. මව්වරුන් අතර “සින්ටෝ” යන නමින් ප්‍රසිද්ධ වී තිබෙන්නේ මෙලෙස Syntocinon යන නාමයෙන් කෘතිමව නිශ්පාදනය කෙරෙන ඔක්සිටෝසින් හෝමෝනයයි.
සාමාන්‍යයෙන් ගැබ්ගෙල එය විවර විය යුතු ආකාරයෙන් විවර නොවෙනවා නම් සින්ටො ලබාදීම සිදුවෙනවා. ඉන්පසු තවත් පැය 4ක් ගැබිනි මව නිරීක්ෂණය කර, සිදුවිය යුතු පරිදි ගැබ්ගෙල සෙ. මී. 2කින්වත් විවර නොවෙනවා නම් විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් පරිදි සිසේර්යන් සැත්කමකින් දරුවා බිහිකිරීම සිදුකෙරෙනවා.
- එනිසා, ප්‍රසූතිකාගාරයට ගෙන පැය 8ක් 10ක් ගතවීම රෝහල විසින් සිදුකරන වැරැද්දක් හෝ නොසැලකිලිමත්වීමක් නොවෙයි. ඒ සියල්ල තීරණය වන්නේ ප්‍රසූතියේ දී ගැබ්ගෙල සකස් වන ආකාරය හා දරුවා පහතට එන ආකාරය අනුවයි.
- ප්‍රසූතිකාගාරයෙදි “අනේ මට සින්ටො දුන්නෙ නෑ නේද” කියලා වද වෙන්න එපා. ගර්භාෂය නිවැරදිව සංකෝචනය වීම හා ගැබ්ගෙල නිසි ලෙස විවෘත වීම සිදුවෙනවා නම් සින්ටෝ ලබාදීම අවශ්‍ය වන්නේ නැහැ.
ප්‍රසූතියේ දෙවන අදියරේ දි මොකද වෙන්නෙ?
ප්‍රසූතියක දෙවන අදියර කියන්නේ ගැබ්ගෙල සම්පූර්ණයෙන්ම විවර වූ අවස්ථාවෙ පටන් දරුවා සම්පූර්ණයෙන්ම පිටතට පැමිණීමට ගතවෙන කාලයයි. මෙහිදී දරුවා පිටතට පැමිණෙන බව මවට දැනෙන්නේ නම් පමණක් තටමන ලෙස (push කරන ලෙස) මවට උපදෙස් ලැබෙනවා. මෙම සංකෝචනයන් ස්වභාවිකව දැනෙන්නට ප්‍රථමව තැටමීම ආරම්භ කළහොත් ඉක්මනින් වෙහෙසට පත්වන මවට අවශ්‍ය අවස්ථාවේ දී තැටමීම සඳහා ශක්තිය නැතිව යන්නට පුළුවන්. ස්වභාවිකව සිදුවන ගර්භාෂ සංකෝචනත් සමඟ තැටමීම සිදුකළොත් දරුවා ඉක්මනින් පිටතට පැමිණීමේ ඉඩකඩ වැඩියි.
සංකෝචන දැනීමෙන් පැයත් පැය දෙකකුත් අතර කාලයක් තුළ සාමාන්‍යයෙන් දරුවා බිහිවන බවට බලාපොරොත්තු වන්නට හැකියි. මිඩ්වයිෆ් සහ හෙදියන් මව අසලම හිඳ ඇයට උදව් කරමින් තැටමීම සඳහා ධෛර්යමත් කරන්නේ මෙම කාලය තුල යි.
- එනිසා, ප්‍රසූතිකාගාරයේ දී වෛද්‍යවරුන් සහ හෙදියන් තමා ළඟ නොසිට, අවධානය නොදී සිටින බවක් සිතන්නට එපා. මුළු වේලාවම හෙදියන් සහ වෛද්‍යවරුන් ගැබිනි කාන්තාව ළඟ සිටිය යුතු නැහැ. ඔවුන් ලේබර් රූම් එක පෙනෙන දුරකින් සිට, විනාඩි 15කට වරක් පමණ ළඟට විත් පරීක්ෂා කිරීම හොඳටම සෑහෙනවා. වෛද්‍යවරයෙකු පැය 4කට වරක් පැමිණීම ප්‍රමාණවත්.
වැදෑමහ පිටතට පැමිණීම
මේ ප්‍රසූතියේ තෙවන අදියරයි. එහිදී වැදෑමහත්, ඉතිරි පටල කොටසුත් ඉවතට පැමිණෙනවා. පෙකණිවැල ගැටගසා කපා දැමීම සිදුකෙරෙන්නේත් මෙහිදී යි. දරුවා බිහිවී මිනිත්තු 30ක් තුළ වැදෑමහ සාමාන්‍ය ලෙස පිටතට පැමිණීම සිදුවනවා.
ප්‍රසූතියෙන් පසු
දරු ප්‍රසූතියකදි ඕනෑම කාන්තාවකට සුළු රුධිර වහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් ප්‍රසූතියෙන් පසු අධික රුධිර වහනය ඉතාමත් බැරෑරුම්. එනිසා ප්‍රසූතියෙන් පසු නොකඩවා රුධිර වහනය, ක්ලාන්තය, අධික පිපාසය හෝ අධික දහඩිය දැමීමක් ඇතිවුවහොත් වහාම අනිවාර්යයෙන්ම දැනුම් දිය යුතුයි.
ඇතැම් අවස්ථාවන් වලදී දරුවා පිටතට පැමිණීම පහසු වීමට යෝනි විවරය අසල සමේ කුඩා කැපුමක් සිදුකෙරෙනවා. අදාල පෙදෙස නිර්වින්දනය කිරීමෙන් අනතුරුව සිදුකෙරෙන මෙම කැපුම Episiotomy යනුවෙනුයි හඳුන්වන්නේ. දරුවා බිහිවීමෙන් පසු දියවන මැහුම් භාවිතා කර මෙම කැපුම මසා දැමෙනවා.
දරුවා බිහිවීමෙන් පසු නිවසට ගියත්, මෙම එපිස් මැහුම ගැන අවධානයෙන් පසුවිය යුතුයි. මෙය පහසුවෙන් ආසාදනය වීමට හැකි නිසා හොඳින් පිරිසිදු කිරීම අත්‍යවශ්‍යයි. එනිසා, කැපුමේ අසාමාන්‍ය වේදනාවක්, සැරව වහනයක්, හෝ උණක් ඇතිවුණොත් වහාම වෛද්‍යවරයෙකුට පෙන්වීම අනිවාර්යයි.
නියමිත දිනට ප්‍රසූත වේදනාව නොදැනුනහොත්?
පිළිසිඳගැනීමක් සිදු වූ පසු දරුවා බිහිවන දින වකවානු වෛද්‍යවරයා විසින් දැනුම් දුන්නත්, ඇතැම් විට ඇතැමුන්ට මෙම කාලයේ දී ප්‍රසූත වේදනා දැනෙන්නේ නැහැ. මෙහිදී ගර්භාෂය ප්‍රසූතියට අවශ්‍ය පමණින් උත්තේජනය වී නැති නිසා ප්‍රසූති වේදනා නොදැනෙන බව සොයාගෙන, ඒ සඳහා සිදුකළ යුතු උත්තේජනයන් කෘත්‍රිම සිදුකෙරෙනවා.
මෙහිදී මුත්‍රා බටයක් ගැබ්ගෙලට ඇතුල් කිරීම හෝ ගැබ්ගෙල ආසන්නයට ඖෂධයක් ඇතුලත්කිරීම බොහෝවිට සාර්ථක උපක්‍රම ලෙස සැළකෙනවා.
- එනිසා, ප්‍රසූති වේදනා දැනීම පමා වූ පමණින් සිසේරියන් සැත්කම් සිදු නොකරන බව සිහි තබාගන්න.
දරු ප්‍රසූතිය පිළිබඳ සිහිතබා ගත යුතු වැදගත් කරුණු:
මේ ලිපියෙනුත්, පෙර ලිපියෙනුත් දරු ප්‍රසූතිය පිළිබඳව වන ප්‍රායෝගික කරුණු කීපයක් අප ඔබට ඉදිරිපත් කළා. අවසාන වශයෙන් තවත් කරුණු කීපයක් මෙහි සඳහන් කෙරෙනවා.
- ප්‍රසූතිය වේදනා සහගත, සංවේදී අවස්ථාවක්. නමුත් වේදනාව මතම පදනම්ව තීරණ ගැනීමට වෛද්‍යවරුන්ට බැහැ. පරීක්ෂාවන්ගෙන් සොයාගන්නා කරුණු මතයි ඔවුන්ට තීරණ ගැනීමට සිදුවන්නේ. මේ කරුණ තේරුම් ගැනීම රෝහලක දී ප්‍රසූතිය සිදු කරනවිට ඉතාමත් වැදගත්.
- සෑම විටම සිසේරියන් සැත්කමක් සිදුකිරීම පහසු විසඳුමක් නොවෙයි. අනවශ්‍ය ලෙස සීසර් කිරීම ඉතා හානිදායක වෙන්න පුළුවන්.
- කාර්යබහුලත්වය නිසා වෛද්‍යවරුන් සහ හෙදියන්ට ප්‍රසූතියේ සෑම ක්‍රියාවලියක්ම ප්‍රසූතිය අතරතුරදී විස්තර කිරීමට නොහැකි වන්නට පුළුවන්. එනිසා ප්‍රසූතියට ප්‍රථමව තමාගේ වෛද්‍යවරයාගෙන හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් මෙම තොරතුරු විමසීම වැදගත්.
රජයේ රෝහලක දිනකට සිදුවන උපත් ප්‍රමාණය හා කාර්ය මණ්ඩල හිඟකම නිසා වෛද්‍යවරුන්, හෙදියන්, සහ අනෙකුත් කාර්ය මණ්ඩලය සේවය කරන්නේ ආතතියකින් සහ වෙහෙසකින්. එනිසා ඇතැම්විට අඩුපාඩු සිදුවනවා වන්නට හැකියි. එසේම ඔවුන් විසින් සිදුකරන ඇතැම් ප්‍රතිකර්ම ඔබේ දැනුමට අනුව වැරදි වන්නටත් පුළුවන්. නමුත් ශ්‍රී ලංකාව මුළු ලෝකයෙන්ම ළදරු හා මාතෘ මරණ අනුපාතය ඉතාම පහළ රටක්. ඒ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන්නන්ගේ දැනුම සහ කාර්යක්ෂමභාවය හේතුවෙනුයි. එනිසා, ප්‍රසූතියකදී ඔවුන් දෙන උපදෙස් අකුරටම පිළිපැදීම මවගේත් දරුවාගේත් යහපතටම හේතු වෙයි.
වෛද්‍ය හසින්ද උදලාගමගේ සහයෙන් සැකසිනි.
Sources : National Guidelines For Maternal Care – Volume I
cover image: (The Birth Photography Collective)