දෙවන ලෝක යුද්ධය ලොව ඇවිළ යන විට, බ්‍රිතාන්‍ය රජ පවුලෙහි ඔටුන්න හිමි කුමරිය වූ එලිසබෙත් නව යොවුන් වියෙහි පසු වුණා. දෙවන ලෝක යුද සමයේ උච්චත ම අවස්ථාව එළැඹි විට ඉන් බ්‍රිතාන්‍යයට දැඩි බලපෑම් එල්ල වුණා. මේ නිසා එරට හමුදා බලය තර කිරීමට සිදු වූ අතර, තරුණ ප්‍රජාව වැඩි වැඩියෙන් හමුදාවට බඳවා ගැනුණා. මේ අවස්ථාවේ දී සිය රට වෙනුවෙන් යුද පෙරමුණට යන්නට ඉදිරිපත් වූ අය අතර එලිසබෙත් කුමරිය ද වුණා. ඇය රජ පවුලෙන් හමුදාවට බැඳුණු පළමු කාන්තාව බවට පත් වුණා.
1939 වසරේ දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වන විට එලිසබෙත් කුමරිය 13 වියැති වුණා. ඒ වන විටත් හොඳින් දැනුම් තේරුම් තිබූ අයකු වූ ඇය, රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට සිය පියා වන සයවන ජෝර්ජ් රජුට සහාය වෙමින් සිටියා. 1942 වසරෙන් පසු, ලෝක යුද්ධය උපරිම වශයෙන් මහා බ්‍රිතාන්‍යයට බලපෑම් කරන විට එරට යුද හමුදාවට ඇය බැඳී සේවය කරන්නට පටන් ගත්තේ, රජ පවුලට අයත් සමහරකුගේ විරුද්ධත්වය ද මැද යි. දෙවන ලෝක යුද සමයේ දී බ්‍රිතාන්‍ය යුද හමුදාව වෙනුවෙන් ඇය සැලකිය යුතු මෙහෙයක් ඉටු කළ අතර, ඒ හා සම්බන්ධ, එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ රසවත් කතා රාශියක් ද තිබෙනවා.
රාජකීය මෝටර් කාර්මික ශිල්පිණිය
එලිසබෙත් කුමරිය බ්‍රිතාන්‍ය යුද හමුදාවට බැඳුණේ මෝටර් කාර්මික ශිල්පිණියක ලෙස යි. ඇය එහිදී මෝටර් රථ සහ ට්‍රක් රථ එන්ජින් අලුත්වැඩියා කිරීම, ටයර මාරු කිරීම මෙන් ම ට්‍රක් රථ හා ගිලන් රථ පැදවීම ද ඉගෙන ගත් අතර, ඉක්මනින් ම යුද බිමට අනුයුක්ත ව සේවය කරන්නට ද වුණා.
යුද බිමෙහි එලිසබෙත් කුමරිය හැඳින්වුණේ ‘මෝටර් රථ කාර්මික කුමරිය’ ලෙස යි. ඇය මෙම කර්තව්‍යයන් ඉතා සතුටින් සහ උනන්දුවෙන් සිදු කළ අතර සිය අපිරිසුදු අත් රජ පවුලේ සාමාජිකයන්ට පෙන්වා සතුටු වුණා. ට්‍රක් රථ පැදවීමට ඇය කෙතරම් ආශා කළේ ද යත්, යුද්ධයෙන් පසුවත්, ඇය සිය වතු යායවල ට්‍රක් රථ පදිනු නිතර ම දක්නට ලැබුණා. රාජ්‍යත්වයට පත් වූ පසුව ද සිය මෝටර් රථවල කාර්මික දෝෂ හඳුනා ගන්නටත්, ඒවා අලුත්වැඩියා කරන්නටත් ඇය ක්‍රියා කළා.
රාජකීයයකු වුව ද දෙවන ලෝක යුද සමයේදී බ්‍රිතාන්‍ය හමුදාව වෙතින් ඇයට විශේෂ සැලකිලි ලැබුණේ නැහැ. ඇය අනෙක් සියලු බ්‍රිතාන්‍ය පුරවැසියන් සේ ම, හදවතින්ම සිය රට රැකීමට ඉදිරිපත් ව සිටියා. දෙවන ලෝක යුද්ධය බ්‍රිතාන්‍යයන් ජයග්‍රාහී ව අවසන් කළ විට ඇය ද බකිංහැම් මාලිගයෙන් ඉවතට පැමිණ, සෙසු ජනතාව හා එක්ව, උද්දාමයෙන් ජයග්‍රහණය සැමරුවා.
ලෝක යුද්ධයේ මුල් කාලයේ එලිසබෙත් කුමරිය සිදු කළ සේවය
ලෝක යුද්ධය ඇති වූ විගස නිවේදනයක් නිකුත් කළ බ්‍රිතාන්‍ය රාජකීය පවුල සිය ජනතාවට ප්‍රකාශ කර සිටියේ, තමන් කිසි ලෙසකින් බ්‍රිතාන්‍යය හැර දා නොයන බව යි. පසුව ජර්මානුවන් ලන්ඩනයට බෝම්බ හෙළීම ආරම්භ කළ අතර, බ්‍රිතාන්‍ය රජය එලිසබෙත් කුමරියගේ මව් රැජිනට යෝජනා කළේ හැකි ඉක්මනින් සිය දියණියන් දෙදෙනා ද සමඟ කැනඩාවට පලා යන ලෙස යි. එහෙත් එය ප්‍රතික්ෂේප කළ ඇය පවසා සිටියේ සයවැනි ජෝර්ජ් රජු නොයන්නේ නම් තමා ද එලෙස නොයන බව යි. තමා නොයන්නේ නම් දියණියන් දෙදෙනා වන එලිසබෙත් සහ මාග්‍රට් ද නොයන බව යි. කිසි ලෙසකින් රජු ද පලා නොයන බැව් ඇය පවසා සිටියා.
ගුවන්විදුලි වැඩසටහනක්
යුද සමයෙහි බොහෝ කොට ම එලිසබෙත් කුමරිය සහ මාග්‍රට් කුමරිය රැඳී සිටියේ, ලන්ඩනයෙන් සැතපුම් 20 ක් පමණ ඈතින් පිහිටා තිබෙන වින්ඩ්සර් මාලිගයේ යි. යුද්ධය නිසා අපහසුතාවට පත්ව සිටින සිය සම වයසේ බ්‍රිතාන්‍ය දරුවන් ගැන සැලකිලිමත් වූ, එවකට 14 වියැති එළිසබෙත් කුමරිය, ගුවන්විදුලි වැඩසටහනක් මඟින් එම දරුවන් ආමන්ත්‍රණය කරන්නට ක්‍රියා කළා. ඒ 1940 වසරේදී යි. එහිදී සිය නැගෙණිය වන මාග්‍රට් කුමරිය ද පසෙක තබා ගෙන ඉතා හැඟීම්බර කතාවක් කළ ඇය තමන්ට එම දරුවන්ගේ හැඟීම් වැටහෙන බවත්, යුද භූමියට ගොස් සිටින ඔවුන්ගේ මාපියන්ට කෘතඥපූර්වක වන බවත්, දිවි හිමියෙන් තමන් ඇතුළු රජ පවුල ඔවුන් වෙත උපරිම සහාය ලබා දෙන බවත්, අවසානයේ සියල්ල හොඳින් අවසන් වනු ඇති බවට තමන්ට විශ්වාස බවත් ඇය ප්‍රකාශ කළා.
ගුවන්විදුලියෙන් ජාතිය එලෙස ඇමතීමෙන් පසු සිය රටෙහි ප්‍රගමනය වෙනුවෙන් තව තවත් දේ කරන්නට එලිසබෙත් කුමරිය ක්‍රියා කළා. 1943 වසරේදී ඇය වින්ඩ්සර් මාලිගයේ එළවළු පාත්ති ඇති කරමින්, එය රට පුරා ප්‍රසිද්ධ කළේ, යුද්ධය හේතුවෙන් ඇති වන ආහාර හිඟය මඟ හරවාගන්නට නම් රට පුරා වැවිය යුතු බවට වන සිය මතවාදය ආදර්ශයෙන් ම පෙන්වමිනු යි.
තමන් 18 හැවිරිදි වියට එළඹි විට ම සිය මාපියන් ඇමතූ ඇය තමන්ට බ්‍රිතාන්‍ය යුද හමුදාවට බැඳීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.
මෝටර් කාර්මික ශිල්පිණියක ලෙස
බ්‍රිතාන්‍ය යුද හමුදාවේ කාන්තා අංශය එකල හැඳින්වූවේ ‘ඔක්සිලරි ටෙරිටෝරියල් සර්විස්’ හෙවත් ඒ.ටී.එස් අංශය ලෙස යි. එලිසබෙත් කුමරිය 1945 වසරේ මුල් කාර්තුවේ දී එයට බැඳුණේ ‘එලිසබෙත් වින්ඩ්සර්’ යන නමිනු යි.
යුද හමුදාවට බැඳීමට පෙර ඇය මාස ගණනාවක් ඒ පිළිබඳ ව විමසමින් සිය මාපියන්ගේ අවසරය ලබා ගන්නට වෙහෙසුණා. සයවන ජෝර්ජ් රජු සහ මව් රැජන පුන පුනා ඇය වෙත පවසා සිටියේ රජ පවුලේ කිසිදු කාන්තාවක එදා මෙදා තුර යුද හමුදාවේ සේවය කර නැති බව යි. කෙසේ නමුත් ඉන් සිය උත්සාහය අත්හරින්නට එලිසබෙත් සූදානම් වූයේ නැහැ. අවසානයේ ඇයට යුද හමුදාවේ සේවයට බැඳීමට අවසර ලැබුණු අතර 1945 වසරේ මාර්තු මස ඇය ඇඩ්ලර්ශොට් හි දී සිය පුහුණුවීම ආරම්භ කළා.
එලිසබෙත් කුමරියට බ්‍රිතාන්‍ය හමුදාවෙන් විශේෂ සැලකිලි ලැබුණේ නැහැ. අංක 230873 යටතේ යුද හමුදාවට අනුයුක්ත වුණු ඇයගේ නිලය දෙවන ලුතිතන්වරයකුට සමාන තත්ත්වයේ ලා සැලකෙන එකක් වූවා.
එලිසබෙත් වින්ඩ්සර් සති හයක මෝටර් කාර්මික ශිල්පී පුහුණුවක් ද ලද අතර එහිදී ඇය ඉතා හොඳින් බර වාහන පැදවීම මෙන් ම ඒවා නඩත්තු කිරීම ද ඉගෙන ගත්තා. සිය අත්වල ග්‍රීස් වැනි දේ තැවරෙන අයුරින් වැඩ කිරීමට ඇය ඉතා ආසාවක් දැක්වූ අතර, සිය මිතුරියන්ට ඒවා පෙන්වා සතුටු වීම ද ඇය සිදු කළා. රජ පවුලේ දියණියකට සාමාන්‍යයෙන් නොලැබෙන ‘නිදහස’ ඇය මෙහිදී ඉතා උපරිමයෙන් විඳින්නට ක්‍රියා කළා. මිතුරියන් ද ඇති කර ගත්තා. බ්‍රිතාන්‍ය මාධ්‍ය ද ඇගේ කඩිසර ක්‍රියාකලාපය අගය කළ අතර නිතර ම ඇය හඳුන්වන්නට වූයේ ‘ප්‍රින්සස් ඔටෝ මිකැනික්’ හෙවත් මෝටර් කාර්මික කුමරිය නමිනු යි.
දෙවන ලෝක යුද්ධය අවසන් වීමට ආසන්නයේ
එලිසබෙත් කුමරිය සිය යුද පුහුණුව අවසන් කළේ 1945 වසරේ අප්‍රේල් මස 14 වැනි දා යි. සයවන ජෝර්ජ් රජු සිය බිරිය සමඟ එලිසබෙත් කුමරියගේ සුව දුක් බැලීම පිණිස පැමිණෙන්නට කටයුතු කළා. එහිදී සිය දියණියගේ ක්‍රියාවන් ගැන සෑහීමකට පත් වුණා.
එලිසබෙත් කුමරියට ජෝර්ජ් රජු සෑහෙන නිදහසක් ලබා දී තිබුණ ද, ඇය ඔටුන්න හිමි කුමරිය නිසා, ඇගේ ආරක්ෂාව වෙනුවෙන් යම් යම් නීති කිහිපයක් පනවන්නටත් කටයුතු කර තිබුණා. ඇය ආහාර ගැනීම අනෙක් සගයන් සමඟ නොකළ යුතු වූ අතර, එය නිලධාරීන් ආහාර ගන්නා ශාලාවේ සිදු කළ යුතු වුණා. ඇය රාත්‍රියේ නිදා ගැනීම පිණිස, ආසන්නයේ වූ වින්ඩ්සර් මාලිගයට පැමිණිය යුතු වුණා. 1945 වසරේ ජූලි මස ඇයට කණිෂ්ට කොමදාරුවරියක වශයෙන් උසස්වීමක් ද ලැබුණා.
නිදා ගැනීම හා ආහාර ගැනීම හැරුණු විට, සිය සගයන් කළ සියල්ලම ඒ ආකාරයෙන් ම ඇය සිදු කළ යුතු වූ අතර, ඇය ඒවා ඉතා උනන්දුවෙන් සිදු කළා. ඒ වන විට බ්‍රිතාන්‍යය තුළ වූ වයස අවුරුදු 30 ට අඩු, නීරෝගී, අවිවාහක කාන්තාවන් සියලු දෙනා යුද හමුදාවට බැඳී රට වෙනුවෙන් සේවය කිරීම හෝ, කර්මාන්තයකට සම්බන්ධ වීම අනිවාර්යයෙන් ම කළ යුතු බවට නීතියක් පනවා තිබුණා.
තමන් රාජකීයයකු වූ බැවින් ඒවායෙන් ගැල වී සිටින්නට එලිසබෙත් කුමරියට කිසිදු අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඇයට නිරතුරුව ම අවශ්‍ය වූයේ, කාන්තාවක, තරුණියක ලෙස සිය රට වෙනුවෙන් තමන්ගේ වැඩ කොටස ඉටු කිරීමට යි.
දෙවන ලෝක යුද සමයෙන් පසු එලිසබෙත් රැජනගේ දිවිය
1945 වසරේ ජුනි මස දී ජර්මානු හමුදා මිත්‍ර පාක්ෂික හමුදාවන්ට යටත් වුණා. මෙය ලන්ඩන් වැසියන් උත්සවාකාරයෙන් සමරන්නට වුණා. වීදිබට ඔවුන් ගී ගයමින්, ප්‍රීතිඝෝෂා නඟමින් එය සමරන්නට වූ අතර, එලිසබෙත් කුමරිය හා මාග්‍රට් කුමරියන් ද ඔවුන් හා එක් වුණා. එලිසබෙත් කුමරිය සිය නිල ඇඳුම ඇඟලා ගෙන වීදි බට අතර, ඇය කිසිවෙක් තමන් හඳුනාගනීවි යැයි බිය වී සිටියේ, එම ක්‍රියාව රාජකීයයන්ට සුදුසු නොවන බැව් මත පළ වේ යැයි කුකුසක් නැඟුණු නිසා යි.
සිය හිස්වැස්ම පහතට වන පරිදි හිස ලා ගත් ඇය, සාමන්‍ය යුවතියක් පරිද්දෙන්, සමාන්‍ය ජනයා අතරට එක් වූ අතර, ඔවුන් සමඟ නටා, කා බී ප්‍රීති වුණා. ඇය පසුකාලීන ව ප්‍රකාශ කර තිබුණේ, එදින රාත්‍රිය සිය ජීවිතයේ අමතක නොවන රැයක් වූ බව යි.
දෙවන ලෝක යුද්ධය අවසන් වී වසර හතක් ගත වන්නටත් මත්තෙන් දෛවෝපගත ලෙස බ්‍රිතාන්‍ය කිරීටය එලිසබෙත් කුමරියට භාර වුණා. ඇය දෙවන එලිසබෙත් රැජන බවට පත් වුණා. ඒ වන විට ඇය 25 වියැති වුණා. එලෙස 1952 වසරේ පෙබරවාරි මස 6 වැනි දින රාජ්‍යත්වයට පත් වූ මේ හැඩකාර, කඩිසර තරුණිය අවසානයේ 96 වියැති මිත්තණියක ලෙස 2022 වසරේ සැප්තැම්බර් මස 8 වැනි දින සිය අවසන් සුසුම වා තලයට මුසු කළේ වසර 70 කට අධික කාලයක් ඉතා සාර්ථක ලෙස බ්‍රිතන්‍යයේ කිරුළ දරීමෙන් පසුව යි.
සිය පාලන සමයෙහි රජ පවුල බ්‍රිතන්‍ය ජනතාවට වඩාත් සමීප කළ ඇය, සමහර යල් පැනගිය රාජකීය නීති රීති වෙනස් කිරීමට ද මූලික වුණා. මීට කුඩා කල පටන් ඇය සතු වූ ධනාත්මක ආකල්ප ඉවහල් වන්නට ඇති බැව් විද්වතුන් පවසනවා.