කාන්තාවන් 959 ක් HIV ආසාදිතයින්
දෙසැම්බර් 1 වෙනි දා ලෝක ඒඩ්ස් දිනයයි. ශ්‍රී ලංකාවේ සෑම සතියකම ඒඩ්ස් රෝගීන් හය දෙනෙකු සොයා ගැනෙන බව ඔබ දන්නවා ද ? මෙය හුදු එක පිරිසකට පමණක් වෙන් වූ රෝගයක් සේ සැලකිය යුතු නැති අතර, තමාටත් නොදැනිම ඒඩ්ස් රෝගය වැළඳී ඇති බවක් නොදන්නා බොහෝ දෙනෙකු ද අප සමාජය තුළ සිටියි.
ලංකාවේ HIV ඒඩ්ස් රෝගයේ පැතිරීම
අද වන විට ලංකාවේ වාර්තා වී තිබෙන සමස්ත ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව 2766 කි. පිරිමින් 1807ක් සහ කාන්තාවන් 959 දෙනෙකු ඒ අතර වේ. ඒඩ්ස් රෝගය නිසා පසුගිය 2016 වසරේදී 110 දෙනෙකු මිය ගොස් ඇත. පුරුෂ හා කාන්තාවන් අතර ඒඩ්ස් රෝගය වැළඳී ඇති අනුපාතය 1.9: 1 කි. ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව වාර්ෂිකව දළ වශයෙන් ඒඩ්ස් ආසාදිතයන් 200ක් පමණ වාර්තා වෙමින් තිබේ.
පුද්ගලිකත්වය රැකීම සහ නොමිලේ ප්‍රතිකාර ක්‍රම
ඒඩ්ස් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් මෙරට දියත් වෙමින් තිබේ. ඒඩ්ස් රෝගීන්ගේ පුද්ගලික රහසිගතභාවය සුරකින නොමිලේ ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒඩ්ස් ව්‍යාපෘතියේ හිටපු ව්‍යාපෘති සම්බන්ධිකාරක පුබුදු පතිරණ මහතා සඳහන් කළේය.
‘’ඒඩ්ස් සඳහා ප්‍රතිකාර කරන සෑම දෙනාගේම රහස්‍යභාවය ආරක්ෂා වෙනවා. ඕනෑම ඒඩ්ස් රෝගියකුට වෙනත් පළාතක සායනයක් (clinic) තෝරගන්න පුළුවන්. අනුරාධපුරයේම එක්කෙනෙක් ගත්තොත් එයාට අනුරාධපුරන්ම බෙහෙත් ගන්නත් පුළුවන්. කොච්චර රහසිගතව ප්‍රතිකාර කළත් එම සායනයට නිතර යන විට අඳුරන අය මුණගැසෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක ලංකාවේ ඕනම තැනක ඒඩ්ස් සායනයක් තෝරා ගැනීමේ හැකියාව ඒ අයට තියෙනවා. ඒ හැම තැනකදිම පූර්ණ රහස්‍යභාවය ආරක්ෂා කෙරනවා. කිසිදු තොරතුරක් එළියට දෙන්නෙ නැහැ. අඩු තරමින් තමාගේ බිරිඳ හෝ සැමියාට වත් එම තොරතුරු ලබා දෙන්නේ නැහැ. තමන්ගෙ දත්ත පරීක්ෂා කිරීමේ හැකියාව ඇත්තේ රෝගියාට පමණයි.’’
ඒඩ්ස් මර්ධන ව්‍යාපෘතිය මඟින් රෝගියාගේ විශ්වාසවන්ත භාවය ආරක්ෂා කරනවා පමණක් නොව ඔහුගේ ජීවිත කාලය පුරා ඖෂධ සපයන්නේ ද කිසිදු අයකිරීමකින් තොරවයි. තව ද, ප්‍රතිකාර ගැනීමට යන සෑම රෝගියෙකුටම රුපියල් 750 ක ප්‍රවාහන දීමනාවක්ද ගෙවනු ලබයි.
ඒඩ්ස් රෝගින්ගේ ප්‍රතිකාර සඳහා මුල්‍යාධාර
පසුගිය වසර තෙක්ම ඒඩ්ස් රෝගීන්ගේ පරීක්ෂණ, ප්‍රතිකාර, ගෙවීම් ආදිය සඳහා මුල්‍යාධාර ලැබුනේ ඒඩ්ස්, ක්ෂය රෝගය, හා මැලේරියාව මර්දනය සඳහා වන ගෝලීය අරමුදල (Globala fund fight against Aids, TB and Malleriya) මගිනි. ආණ්ඩුවට මෙන්ම ඒඩ්ස් සම්බන්ධයෙන් කටයුතු කරන අනෙකුත් සංවිධානවල ව්‍යාපෘති සඳහා මුල්‍යාධාර ලබා දෙන්නේ ද මෙම ගෝලීය අරමුදල මගිනි. ගිය වසර තෙක් එචයිවී ආසාදිතයින් හට ඖෂධ සැපයීම සඳහා ආණ්ඩුවට මුදල් ලබා දුන්නේ ද මෙම ගෝලීය අරමුදලයි. එහෙත් ගිය වසරේ සිට ඒඩ්ස් සඳහා බෙහෙත් ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම ආණ්ඩුවෙනි. එමගින් බෙහෙත් ගෙන්වීමේ ක්‍රමවේදයේ යම් වෙනසක් සිදු වූ නිසා මේ දිනවල ඒඩ්ස් රෝගීන් හට බෙහෙත්වල අඩුපාඩුකම් හට ගෙන තිබේ.
ඒඩ්ස් රෝගය සඳහා වන බෙහෙත් ලංකාව තුළ විකිණිමට නොහැක. එසේ කර ඇත්තේ එය මාෆියාවක් බවට පත් විය හැකි හෙයිනි.
ලංකාවේ ඒඩ්ස් වැළඳීමේ වැඩිම අවදානමක් ඇති කණ්ඩායම්
ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගය වැඩිපුර වැළඳුනු සහ ඒඩ්ස් වැළඳීමේ වැඩි අවදානමක් තිබෙන කණ්ඩායම් කිහිපයක් හඳුනාගෙන ඇත. Most at risk population හෙවත් ‘MART group’ ලෙස හැඳින්වෙන්නේ වැඩිම එචිඅයිවී ඒඩ්ස් වැළඳීමේ අවදානමක් ඇති කණ්ඩායම්ය. කාන්තා ලිංගික ශ්‍රමිකයින්, සමලිංගික පිරිමින් (MSM), බීච් බෝයිස්, මත් කුඩු භාවිතා කරන්නන් යන කණ්ඩායම් මෙහිදී ප්‍රධාන වශයෙන්ම සඳහන් කළ හැකිය.
කාන්තා ලිංගික ශ්‍රමිකයින්
ලිංගිකව ක්‍රියාකාරී වැඩිය. එමෙන්ම බහුවිධ සහකරුවන් ඇසුරු කිරීම නිසා ඒඩ්ස් රෝගය වැළඳීමේ අවදානම වැඩි කණ්ඩායමක් ලෙස සැලකේ.
සමලිංගික පිරිමින් (MSM)
සමලිංගික කාන්තාවන්ට වඩා සමලිංගික පිරිමි අයට ඒඩ්ස් රොගය වැළඳීමේ අවදානම වැඩිය.
බීච් බෝයිස්
පිටරටින් එන ගැහැණු මෙන්ම පිරිමි අය සමඟ ද විවිධ සම්බන්ධතා තිබෙන හෙයින් මොවුන්ද ඒඩ්ස් රොගය වැළදීමෙ අවදානම වැඩි ය.
මත් කුඩු භාවිත කරන්නන්
වර්තමානයේ දී මත් කුඩු භාවිත කරන්නන් සිරුරට විද ගැනීමට ඇබ්බැහි වී සිටී. එය බොහෝ විට සිදු කරන්නේ තනිවම නොවන අතර කණ්ඩායම් වශයෙන් වීමද ඒඩ්ස් අවදානම වැඩි වීමට හේතු වී තිබේ.
එච්අයිවී ඒඩ්ස් වැළදී ඇති අයගේ සහකරු හෝ සහකාරිය.
එච්අයිවී ආසාදිත අයෙකුගේ සහකරු හෝ සහකාරියට අනිවාර්යයෙන්ම ඒඩ්ස් රෝගය වැළඳේ
සතියකට ඒඩ්ස් රෝගීන් සය දෙනෙක්
මෙම වසරේ ජුලි සිට සැප්තැම්බර් දක්වා වන තුන්වන කාර්තුව තුල පමණක සොයාගෙන ඇති ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව 78ක් වී තිබේ. ඒ අනුව ඒඩ්ස් රෝගීන් සතියකට හය දෙනෙකු අනිවාර්යයෙන් සොයා ගනියි.
පුබුදු පතිරණ මහතා පෙන්වා දෙන අන්දමට සතියකට අලුතින් ඒඩ්ස් රෝගීන් හය දෙනෙකු සොයා ගනු ලබයි.
‘’ඇත්තටම වැඩි වන ඒඩ්ස් රෝගීන් ගැන නෙවෙයි. හොයා ගන්නා ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. ලංකාවේ අය ඒඩ්ස් රෝගය තියෙනවද කියලා පරික්ෂා කරන්නේ නැති තත්ත්වයක් තියෙනවනේ. ඒඩ්ස් රෝගය බලන්නේ රැකියාවකට යන්න හරි වෙනයම් අවශ්‍යතාවක් සඳහා ඉල්ලා සිටියොත් පමණයි.’’
ඒඩ්ස් රෝගය පරික්ෂා කර ගැනීම ඉතා වැදගත්ය. මන්ද අදත් රෝගය වැළඳී ඇති නොදන්නා ය සමාජය තුළ සිටිති. ඔවුන් වරදක් කර නොතිබුනත් නොදැනුවත්වම ඒඩ්ස් රෝගය වැළඳී තිබෙන්නටද පුළුවන. එහෙයින් ඒඩ්ස් පරික්ෂා කර බැලීම ඔබට මෙන්ම සමාජයේ යහපතටද හේතු වනු ඇත.
මව්වරුන්ගෙන් දරුවන් වෙත ඒඩ්ස් ආසාදනය වීම මේ වන විට පාලනය කර ඇත
මව්වරුන්ගෙන් දරුවන්ට එච්යිවී ආසාදනය වේ. මේ නිසා නූපන් දරුවන් උපත ලබන්නේ ඒඩ්ස් රෝගීන් ලෙසය. ලංකාවේද එලෙස එච්.අයි.වී ශරීරගත වූ දරුවන් 100ක් පමණ සිටිති. මෙම ප්‍රවනතාවය වලක්වා ගැනීම පිණිස අද වනවිට ගැබිණි කාන්තාවන්ට ඒඩ්ස් රෝගය වැළඳී ඇත්දැයි පරික්ෂා කිරීම තවත් ක්‍රරමයක් දියත් වෙමින් තිබේ. වසර දෙකක පමණ කාලයක සිට ගැබිණි කාන්තාවන් සඳහා එච් අයි වී පරීක්ෂණය අනිවාර්ය වී තිබේ. මෙමගින් ගැබිණි මාතාවකට ඒඩ්ස් රෝගය වැළඳී තිබුණ හොත් මවගේ දරුවාට රෝගය බෝ වීමට ඇති අවදානම සියයට සියයක්ම අවම කර ඇති පතිරණ මහතා සඳහන් කළේය.
‘’අම්මා එච්අයිවී positive වුනත් අනිවාර්යයෙන්ම දරුවව එච්අයිවී negative ගන්න පුළුවන්. එවැනි අවස්ථාවක දරුවාව ගන්නේ සීසර් සැත්කමක් මඟින්. රෝගය වැළඳී ඇති බවට හෙළි වූ දා සිට බවට ප්‍රතිකාර කිරීම ආරම්භ කරනවා. දරුවා ඉපදුනාට පසුව මවගේ කිරි ලබා දීම නතර කරලා වෙනත් අන්දමකින් දරුවාට කිරි ලබා දීම සිදු කරනවා. ඒ සඳහා මූල්‍යාධාර ලබාදීම සිදු කරන්නේත් ගෝලීය අරමුදල මගින්.’’
සැකයක් ඇතත් නැතත් පරික්ෂා කරගත යුතු ඒඩ්ස් රෝගය
ශ්‍රී ලංකාවේ එච්.අයි.වී./ඒඩ්ස් මර්දනය කිරීමේ ජාතික වගකීම, ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වේ. ජාතික ක්‍රමෝපායික සැලසුම සහ ඒඩ්ස් ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ක්‍රියාවට නැංවීමේ කේන්ද්‍රස්ථානය වනුයේ ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනයි. මෙහි පූර්ණ කාලීන පර්යන්ත සායන 31 ක් සහ ශාඛා සායන 23 ක් ඇති අතර මුලස්ථානය පිහිටා ඇත්තේ අංක 29, ද සේරම් පෙදෙස, කොළඹ, 10 යන ස්ථානයේ යි.
ලංකාව පුරා ඇති සායනවලින් තමන්ට කැමති ස්ථානයකට ගොස් අදාළ වෛද්‍යවරුන් සමඟ කතා බස් කිරීමෙන් පසුව අදාළ පරීක්ෂණ සියල්ල නොමිලේ සිදු කරවාගත හැකිය. ලංකාවේ ඕනෑම ස්ථානයකින් මෙම පරීක්ෂණය සිදු කරගත හැකි ය.
පුද්ගලික ස්ථානවල ඒඩ්ස් රෝගය පරීක්ෂා කළ ද අවසන් වාර්තාව සඳහා අනිවාර්යයෙන් ම යා යුතු වන්නේ රජයේ ස්ථානයකටය. පුද්ගලික අංශයෙන් නොමිලේ ප්‍රතිකාර ලැබෙන්නේද නැත. පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිළිබඳව ද එතරම් විශ්වාසයක් තැබිය නොහැකිය. නමුත් ආණ්ඩුවේ සායනවල තත්වය ඊට වඩා බොහෝ සෙයින් යහපත් ය. ඊට අමතරව පවුල් සැලසුම් සංවිධානය හරහාද එච්අයිවී පිලිබඳ පරීක්ෂණ සිදු කරගත හැකි ය.
ඒඩ්ස් රෝගියෙකුට ප්‍රතිකාර ගැනීමට යාමේදී ලබා දෙන රු. 750ක මුදල ලබා දීම ද අදාල සංවිධාන හරහා රහසිගතව සිදු කෙරෙන අතර එම ස්ථානයෙහි තිබෙන පත්‍රිකාව පුරවා වෛද්‍යවරයා සහතික කිරීමෙන් පසුව එම පත්‍රිකාව එම ස්ථානයෙහි තබා යා හැකිය. අදාළ සංවිධාන මගින් පසුව එම මුදල බැංකුවේ තැන්පත් කරනු ලබයි.
Cover Image – https://www.planetfem.co.uk