මාතර යුගයේ කවිය ගැන කතා කරද්දි අමතක කරන්නම බැරි චරිතයක් තමයි ගජමන් නෝනා. සුන්දර ළමා කාලයකට උරුමකම් කිව්වත් තරුණ වියේ පටන්ම මුහුණ දෙන්නට සිදු වූ අනේකවිධ දුක් දොම්නස් නිසා ඇයට ජීවිතය එතරම් පහසු වුණේ නැහැ.
පරපුර
ගජමන් පවුල විදාතාමුල්ල පරපුරට අයත් වන අතර අතර විදාතාමුල්ල ගමගේ දොන් දාංචි ද සිල්වා අභය ගුණවර්ධන සමරජීව හෙවත් පත්තායමේ ලේකම් ගජමන් නෝනාගේ මාමා කෙනෙකු වෙනවා.
දොන් ෆ්‍රැන්සිස්කු සේනාරත්න කුමාර පෙරුමාල් වන ඇගේ පියා ලිපිකරුවකු ලෙස සේවය කළ අතර, ඇගේ මව වන ප්‍රැන්සිනා ග්‍රේරු හෙවත් නෝනා බබා හාමිනේ මිලාගිරිය පාසලේ ගුරුවරියක් ලෙස සේවය කළා. මේ දෙපලට ලැබුණු පළමු දරුවා වන දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා උපන්නේ 1746 මාර්තු 10 වැනිදායි. ඇයට බාල සහෝදරියක් සහ සහෝදරයෙක් සිටි අතර පසු කාලයේදී කොර්නේලියා, පියාගේ නමෙන් ගජමන් යන කොටසත් මවගේ නමෙන් නෝනා යන කොටසත් එක්වී ගජමන් නෝනා ලෙස ප්‍රසිද්ධ වුණා.
මොවුන් කොල්ලුපිටියේ පදිංචිව සිටි අතර කොර්නේලියාට වයස අවුරුදු 13දී පමණ එහි සිට මාතරට පැමිණ ඇත්තේ ඇගේ පියාට මාතර තෝම්බුව භාර නිලධාරී තනතුර ලැබීමෙන් පසුවයි. ඔවුන්ගේ මාතර වේරගම්පිට තුප්පහි වත්තේ නිවසට ආසන්නව පිහිටා ඇති වේරගම්පිට රජමහා විහාරයේ එවකට වැඩ සිටියේ කරතොට ධම්මාරාම ස්වාමීන් වහන්සේයි.
ළමා කාලය
කොර්නේලියා කුඩා කාලයේ පටන්ම අකුරු ලිවීමටත්, කවි නිර්මාණයත් ආශා කළා. ඇගේ හැකියාවන් හඳුනාගත් කොර්නේලියාගේ මාමා වන පත්තායමේ ලේකම් පිරිමි දරුවෙකු ලෙස ඇයව වෙස් ගන්වාගෙන කරතොට ධර්මාරාම පණ්ඩිත නාහිමි වෙත රැගෙන යන්නේ ඇගේ කවීත්වය දියුණු කිරීමටයි. ඇය පිරිමි දරුවෙකු මෙන් කොණ්ඩය පැත්තට පීරා සරමක් සහ බැනියමක් ඇඳ වේරගම විහාරයේ නැවතී අධ්‍යාපනය ලැබුවා.
“පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ
වතුර අරන් ළිඳ උඩ තැබුවාය කළේ
අට පහ නොදන්නා ජඩයෙකි මේක කළේ
ගෙදර යන්න දෙනවද මගෙ පුංචි කළේ”
මෙය වයස අවුරුදු 8දී පමණ ඇය කියූ කවියක් බව සඳහන් වෙනවා.
අධ්‍යාපන කටයුතු නිම වීමෙන් කාලයක් ගත වූ පසු ඇය දිනක් කරතොට හිමියන් හමුවීමට ගොස් තම අනන්‍යතාවය හෙළි කර සිටියා. එවන් දෙයක් කිරීමෙන් ඇය මහත් පාපයක් අත් කරගත් බව කරතොට හිමියන් පැවසූ විට තමන් එසේ කළේ කාව්‍ය නිර්මාණයට තිබූ කැමැත්ත නිසාම බව ගජමන් නෝනා පැහැදිලි කර කරතොට හිමියන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
මෙම සිද්ධිය දැනගත් පසු බොහෝ දෙනා කෝපයට පත් වී කරතොට හිමියන් සහ කොරනේලියා සම්බන්ධ කර විවිධ කටකතා ගොතා තිබෙනවා. ඒ අවස්ථාවේදී නොසැලී සිටි කොර්නේලියා කවියක් ලියා සියල්ලටම බෙදා හැරීමෙන් පසු එම කටකතා ක්‍රමයෙන් තුරන් වූ බව සඳහන් වෙනවා.
හැඩකාර කොර්නේලියා
බොස්තරුක්ක හැට්ටය සහ ගවුම් සායකින් සැරසී, ඇට මාලයක් පැළඳ සිටි කොර්නේලියාව අවට වැසියන් ඇමතුවේ නෝනා ලෙසයි. ඇය ඉතාමත් සුන්දර රූපයකට හිමිකම් කියූ බවත් සඳහන් වෙනවා. වයස අවුරුදු 22දී ගාල්ලේ ප‍්‍රකට කවියෙකු වූ තල්පේ මෙරෙංචිගෙයි ගාර්දියෙස් ආරච්චි සමඟ විවාහ වී ඇය ගාල්ලේ තල්පේ ප්‍රදේශයේ පදිංචියට ගියා. විවාහයෙන් පසු උපන් දරුවාට ඔවුන් ජුවානිස් අල්විස් යන නම තැබුවා. කිසිදු අඩු ලුහුඬුකමකින් තොරව ගලා ගිය ජීවිතයට තිත තබමින් විවාහයෙන් දෙවසරකට පසු කොර්නේලියාගේ සැමියා මිය යනවා. ඉන්පසු පියාගේ ඉල්ලීම මත ඇය නැවතත් මාතර නිවසට පදිංචියට ගියා.
දෙවන විවාහය
තම දරුවාද රැක බලාගෙන ජීවත් වූ තරුණ කොර්නේලියා දෙමව්පියන්ගේ පෙරැත්තය නිසා නැවතත් විවාහ වීමට තීරණය කළා. ඇගේ දෙවැනි විවාහය සිදු වුණේ මාතර උයන්වත්තේ පදිංචි දොන් ග්‍රේබ්‍රියල් හෙන්ද්‍රික් සිරිවර්ධන විජය විමලසේකර මුහන්දිරම් සමඟයි. මෙම විවාහයෙන් ඔවුන් දොන් ගිරිගෝරිස්, දොන් දාවිත් සහ දොන් දියස් නම් දරුවන් තිදෙනෙකු ලබනවා. නමුත් විවාහයෙන් වසර 8කට පසු ඇගේ දෙවන සැමියාත් මිය යන්නේ ගජමන් නෝනා දරුවන් සිව් දෙනෙකු සමඟ මෙලොව තනිකර දමමිනුයි.
මෙම අවාසනාවන්ත සිදුවීම් වලින් හෙම්බත්ව සිටි ගජමන් නෝනාට පිහිටට සිටියේ ඇගේ පියා පමණයි. නමුත් ජනප්‍රවාද වල සඳහන් පරිදි කසාගල් විහාරයට ගොස් එන අතරමඟදී ගජමන් ආරච්චි වල් අලියෙකුගේ පහර දීමකින් 1801දී පමණ මිය ගොස් තිබෙනවා. ඉන්පසු දැඩි ආර්ථික අඟහිඟකම් වලට මුහුණ දුන් ඇය තම දරුවන් පෝෂණය කළේ උසස් පවුල් වල ගැහැණු ළමුන්ට අධ්‍යාපනය ලබා දීමෙන් උපයා ගත් මුදලින්. කලකට පසු ඇගේ දරුවන්ගෙන් දෙදෙනෙක් උණ රෝගයකින් පීඩා විඳ මිය ගිය අතර එය සිදුවී ටික කලකින් ඇගේ මවත් මියැදුණා. ඇගේ එක් දරුවෙක් සසුන්ගතව සිටි බවත් ඒ සාමණේරයන් වහන්සේත් අකාලයේ අපවත්ව ඇති බවත් පැවසෙනවා. මෙලෙස ටිකෙන් ටික සිදු වන සමීපතමයන්ගේ වියෝව ඇයට දරාගත නොහැකි තරම් බලවත් වුණා. ඇයට තම දුක නිවා ගන්නට තිබූ මාර්ගයත් කවිය පමණයි.
“සිතට කයට සැපදෙන මව්පියොත් නැත
නිවට කලට සලකන නෑසියොත් නැත
ගැහැට ලෙඩට වෙද පිළියම් කිසිත් නැත
දුකට අපට පිහිටවන්නට කාත් නැත”
නිර්මාණ
මාතර යුගයේ කවි කිවිඳියන් අතරින් උගත් කමෙන් සහ කවීත්වයෙන් ඉහළම තැනක සිටි ගජමන් නෝනාට මුහුණ පාන්නට සිදුවූ හැල හැප්පීම් නිසා ඒ හැකියාවන් ඔප් නංවා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඇය පසු කාලීනව කවි ලියා ඇත්තේ ඇගේ දරුවන් ජීවත් කරවීමටයි. ඇගේ කවි සමකාලීන නිර්මාණ වලට සාපේක්ෂව උසස් නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කළා. දෙනිපිටියේ නුග රුක වැනුම, පියාගේ මරණය පිළිබඳ ශෝකාලාපය, දැඩිතර ශෝක මාලය, මාතර දිසාපති ජෝන් ඩොයිලි වෙත යැවූ පෙත්සම, සෙව් වික‍්‍රම ආරච්චි මහතාට සෙත් පතා ලියූ කවි, තිලකරත්න මුදලිගෙන් පිහිට පතා යැවූ සන්දේශය, තිලකරත්න දිසානායක ළමාතැනීට කළ පින්කම් වැණුම, ඇලපාත මුදලි සමඟ සිදුවූ කවි සංවාද සහ සමරසේකර ගුණවර්ධන ගජනායක අවමඟුල් වරුණ ඇයගේ නිර්මාණ කිහිපයක්.
ඇලපාත මුදලි
වැන්දඹුවක් ලෙස ජීවත් වූ කාලයේදීත් ගජමන් නෝනා සමඟ පෙම් සබඳතා ඇති කර ගැනීමට ප්‍රභූවරුන් රැසක් උත්සාහ ගත් අතර ඔවුන් අතරින් ඇලපාත මුදලි සුවිශේෂීයි. කරතොට භික්ෂූන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක්ව සිටි ඔහු පසුව උපැවිදිව ක්‍රිස්තියානි ආගම වැළඳගත්තා. ඔහු ගජමන් නෝනාට තම සිතැඟි කවියෙන් පැවසූ අතර ඇයත් කවියෙන්ම ඒවාට පිළිතුරු දුන්නා. ඔවුන් දෙදෙනාගේ කවි සංවාද මාතර යුගයේ කවිය ඉතාමත් රසවත් කිරීමට දායක වුණා.
නෝනාගම
ඇය පියාගේ මරණයෙන් පසු ආර්ථික පරිහානියට පත්ව සිටි කාලයේ මාතර අධිකරණ භාර නිලධාරියා ලෙස කටයුතු කළේ ජෝන් ඩොයිලි විසින්.ඔහු ඇගේ කවි ඉතා ප්‍රිය කළ පුද්ගලයන්ගෙන් කෙනෙක්. තමන් මුහුණ පා ඇති අසීරු තත්ත්වය කවියෙන් පැහැදිලි කළ ගජමන් නෝනා, තමන්ට පිහිටක් වන ලෙස ඩොයිලිගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව ඇගේ කවීත්වයට ගරු කිරීමක් ලෙස ඩොයිලි අම්බලන්තොටින් ඇයට ගම්වරයක් ලබා දුන් අතර එම ගම්මානය “නෝනාගම” ලෙස අදටත් ප්‍රසිද්ධයි. නෝනාගම හන්දියේ ඇගේ පිළිරුවක්ද ඉදිකර තිබෙනවා.
මරණය
ගජමන් නෝනා 1815 දෙසැම්බර් මස 15 වැනිදා මියගිය බව සඳහන් වෙනවා. ඇය මිය ගියේ දුක් පීඩා දරාගත නොහැකිව ගෙල කපාගෙන යැයිද ඇතැමුන් පවසනවා. එය සත්‍යයක් නොවන බව තවත් කෙනෙකුගේ පිළිගැනීමයි.
“සකවසිනෙක් දහස් සත්සිය සතිස් වස
වකලද තෙළෙස් උඳුවප් අවගුරු දවස
නෙක ගුණ දෝන ඉසබෙල් පෙරුමල් දිගැස
සකපුර පැමිණ දිවසිරි සැප විඳින ලෙස”
මෙය ඇය මිය යන්නට පෙර මරණය හඟවමින් ලියූ කවියකි.
Cover photo – Thinkgeek
sources –
http://srilankapoems.com/sri-lankan-poets/gajaman-nona/
http://www.divaina.com/2012/10/31/badada01.html
http://www.divaina.com/2012/01/11/badada01.html
http://www.lankalibrary.com/books/gajaman.htm
http://dailynews.lk/2016/12/22/features/102610