
ලස්සන වෙන්නට අතීතයේ ජීවත් වූ මිනිසුනුත්, අද ජීවත් වන්නන් මෙන් ම මහත් වූ උනන්දුවක් දැක්වූවා. එකල කාන්තාවන් ද සිය මුහුණ ඇතුළු අඟ පසඟ කැපී පෙනෙන ලෙස, සුරූපී ව තබාගන්නට විවිධ උපක්‍රම අනුගමනය කළා. එකල තිබූ විශ්වාස සහ, සීමිත දැනුම අනුව එලෙස අනුගමනය කළ සමහර ක්‍රමවේද දෙස වර්තමාන ඇසකින් බලන විට ඒවා අමුතු, විසුළු මෙන් ම, සමහර විටෙක භයානක ඒවා ලෙස පෙනී යනවා. මේ ලිපිය වෙන්වන්නේ එවැනි ක්‍රමවේද සහ විශ්වාස කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට යි.

ඇහි පිහාටු සහ ඇහි බැම ගලවා දැමීම
මධ්‍යකාලීන එංගලන්තයේ පැවති මෙම ‘ලස්සන වීමේ’ ක්‍රමවේද බොහෝ කොට ම භාවිත කළේ වංශවත් කතුනු යි. එකල බ්‍රිතාන්‍ය ජාතිකයන් ‘විශාල නළල් තලයක් පැවතීම සැලකුවේ රූමත් බවේ සහ ප්‍රඥාවේ සංකේතයක් ලෙස යි. මේ නිසා එරට කාන්තාවන් හැකිතාක් විශාල නළල් තලයක් පවත්වා ගෙන යන්නට උත්සුක වුණා. මෙය කැපී පෙනීම සඳහා ඇහි පිහාටු, ඇහි බැම පමණක් නොව, හිසෙහි ඉදිරිපස කෙස් පවා ඉවත් කරන්නට ඔවුන් උත්සුක වුණා. මෙලෙස, කුඩා බිළිඳකුගේ මෙන් විශාල නළල් තලයක් තිබෙන ස්ත්‍රීන් පිරිරිසුදු මෙන් ම අහිංසක අය බවට ද මතයක් එකල එංගලන්තයේ පැවතුණා.
කළු දත්
‘ඔහගුරෝ’ ලෙස හැඳින්වූ මෙම ක්‍රමවේදය ජපානයේ ‘යෙයියාන්’ සමය හෙවත් ක්‍රිස්තු වර්ෂ 794 සිට 1185 දක්වා වූ කාලයේ දී, එරට කාන්තාවන් අතර මහත් සේ ජනප්‍රිය ව තිබුණා. එදවස ජපාන කාන්තාවන් කළු දත් ඇති ව සිටීම සැලකුවේ රූමත් බවේ සහ පරිණත භාවයේ සංකේතයක් ලෙස යි.

ජපාන කාන්තාවන් මෙලෙස දත් කළු කරන්නට ‘කනෙමිසු’ නම් ද්‍රාවණයක් භාවිත කළා. මෙම ද්‍රාවණය සකසා ගන්නේ යකඩ කුඩු, විනාකිරි, තේ කහට සහ සහල්වලින් සැකසූ වයින් එකට මිශ්‍ර කර ගැනීමෙනු යි. මෙම මිශ්‍රණය මඟින් දත්වලට ස්ථිර හානි ගෙන නොදුන්නත්, ඉතා කටුක මලකඩ වැනි ගන්ධයක් ඉන් වහනය වී තිබෙනවා. කෙසේ නමුත් ජපාන පිරිමින් එකල එය එතරම් ගැටලුවක් බවට පත් කර ගෙන නැහැ.
ශරීරයේ රුධිරය ඉවත් කර ගැනීම
‘නොඉඳුල් රැජන’ ලෙසින් විරුදාවලිය ලත් පළමුවන එළිසබෙත් රැජණ නිතර ම පෙනී සිටියේ අවතාරයක් මෙන් සුදුමැලි වූ මුහුණක් සහිතව යි. මේ පෙනුම ලබා ගන්නට ඇය සුදු පැහැති ආලේපනයක් භාවිත කළා. රැජනගේ මුහුණේ වර්ණය අනුව යමින්, එකල එංගලන්ත වංශවත් කාන්තාවන් ද මෙලෙස සිය සමෙහි වර්ණය සුදුමැලි කර ගන්නට උත්සුක වූ අතර, ඔවුන් ද ඒ සඳහා සුදු පැහැති ආලේපන භාවිත කළා. සමහරකුට එම ‘රාජකීය පැහැය’ ස්වභාවයෙන් ම ලබා ගැනීමට අවශ්‍ය වූ අතර, මේ සඳහා සිය ශරීරවල රුධිරය ඉවත් කර ගැනීමට පෙලැඹුණා.

සිය ශරීරයේ රුධිරය ඉවත් කර ගැනීම සඳහා වඩාත් ජනප්‍රිය ක්‍රමවේදය වූයේ, කූඩැල්ලන් ආධාරයෙන් රුධිරය ඉවතට අද්දවා ගැනීම යි. සමහර කාන්තාවන් මේ සඳහා වරු ගණන් වැය කර තිබෙනවා. කෙසේ නමුත් මේ ක්‍රමවේදය කෙතරම් සාර්ථක වූවා ද යන්න පිළිබඳව නම් විවාද රාශියක් තිබෙනවා.
ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා පටිපණුවන් ආහාරයට ගැනීම
මේ අසාමාන්‍ය හැඩ වීමේ ක්‍රමය පිළිබඳත් අසන්නට ලැබෙන්නේ බ්‍රිතාන්‍යයෙන් ම යි. වික්ටෝරියානු යුගයේ උසස් කාන්තාවන් සිය ශරීරය සිහින් ව පවත්වාගන්නට උනන්දු වූ අතර, මේ සඳහා විවිධාකාර ක්‍රමවේද ද අත්හදා බැලුවා. මේ අතරින් ජනප්‍රියත ම ‘ප්‍රතිකාරයක්’ වූයේ ‘පටිපණු බිත්තර’ ආහාරයට ගැනීම යි.

පටිපණු බිත්තර සහිත පෙති එවක බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය වූ අතර, ඒවා ගිල දැමීමෙන් පසු, තමන්ගේ උදරවල පරිපණුවන් බෝ වී, ඔවුන් ගන්නා ආහාරවලින් කොටසක් පණුවන් ආහාරයට ගැනීම නිසා, හොඳින් කා බී, සිහින් ව සිටිය හැකි බව එවක බ්‍රිතන්‍ය කාන්තාවන්ගේ පිළිගැනීම වුණා. මෙම ක්‍රම වේදය නිසා සමහරෙක් ලෙඩ රෝගවලට පවා ගොදුරු වුව ද, ඉන් ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා පටිපණුවන් ආහාරයට ගැනීමේ තිබූ ජනප්‍රිය බව නම් අඩු වුණේ නැහැ.
දහඩිය ‘ෆේෂල්’
පුරාතණ රෝමයේ ජීවත් වුණු වංශවත් කාන්තාවන් අපූරු ‘ෆේෂල්’ එකක් භාවිත කළා. ඔවුන් මේ සඳහා භාවිත කළේ රණ ශූරයන්ගේ මුහුණුවලින් පිස දා ගත් දහඩිය යි. මෙමඟින් තම සමෙහි පැහැය වඩාත් වැඩිදියුණු වනු ඇති බවට ඔවුන් විශ්වාස කළා. මීට අමතර ව පුරාතණ රෝමයේ ස්ත්‍රී පුරුෂ සියලු දෙනා විශ්වාස කළේ රණශූරයන්ගේ දහඩිය ප්‍රබල වාජීකරණ ඖෂධයක් බව යි. මේ නිසා එකල රෝමයේ රණශූරයන්ගේ දහඩිය සඳහා අති විශාල ඉල්ලුමක් තිබුණා.

රසදිය සහ ඊයම් ආධාරයෙන් මුහුණු පැහැපත් කර ගැනීම
මධ්‍යතන යුගයේ කාන්තාවන්, පැහැපත් වීම සඳහා විවිධ අමුද්‍රව්‍ය සහිත ආලේපන වර්ග භාවිත කර ඇති අතර, වර්තමානය වන විට ඒවායින් සමහරක් ශරීරයට අතිශය අහිතකර, විෂ ද්‍රව්‍ය බව හඳුනා ගෙන තිබෙනවා.
සුදු ඊයම්, රසදිය, කාබොලික් අම්ලය සහ මර්ක්යුරික් ක්ලෝරයිඩ යහමින් එකල ක්‍රීම් වර්ග මෙන් ම, රූපලාවන්‍ය දියර වර්ගවලට යොදාගැනුණු අතර, මේවා මඟින් ක්ෂණික පැහැපත් වීමක් සිදුවන නිසා, කාන්තාවන් අතර එම ආලේපන අතිශය ජනප්‍රිය ව තිබුණා. කෙසේ නමුත් මේවා දීර්ඝකාලීන ව භාවිත කිරීම නිසා විවිධ සෞඛ්‍ය ගැටලු මෙන් ම ජීවිත හානි ඇතිවූ අවස්ථා පවා එකල වාර්තා වී තිබෙනවා.

මීට අමතර ව එකල කාන්තාවන් අතර, තමන් අකැමැති සැමියන් විෂ දී ඝාතනය කිරීමත් ජනප්‍රිය ව තිබූ අතර, 17 වන සියවසේ සිසිලියේ නිෂ්පාදිත ‘ඇක්වා ටොෆානා’ රහසිගත ව කාන්තා වත්සුණුවලට මුසු කොට, සිය සැමියන් මැරීමට සිතා සිටින කාන්තාවන්ට විකිණීමේ ව්‍යාපාරයක් ඉතාලියේ ක්‍රියාත්මක ව තිබෙනවා. වත්සුණු නිවෙසට රැගෙන ආ එම කාන්තාවන් ඒවා හොර රහසේ ම සිය සැමියන්ගේ ආහාරයට මුසු කොට තිබෙනවා.