
ලෝකයේ බොහෝ රටවල දක්නට නොලැබෙන ආකාරයේ සුවිශේෂී සම්ප්‍රදායය ගණනාවක් බ්‍රිතාන්‍ය රජ පවුල ආශ්‍රිත ව දැකිය හැකි ය. එම සම්ප්‍රදායයන් බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ රජුන් සහ රැජනන් සියවස් ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආ, රජ පවුල ලොව පුරා අවධානයට ලක් වීමට පවා ප්‍රස්තුතය වූ ඒවා බව බ්‍රිතාන්‍ය ඉතිහාසය හැදෑරීමේ දී පිළිබිඹු වේ.
පසුගිය සැප්තැම්බර් මස සිදු වූ දෙවැනි එළිසබෙත් රැජනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍ය සිහසුනට පත් වූ තෙවැනි චාල්ස් රජුගේ, බිරිය වන කැමිලා රැජන ඉහත සඳහන් කළ ආකාරයේ රාජකීය සම්ප්‍රදායයක් වෙනස් කර ඇත. ඒ සියවස් ගණනාවක් තිස්සේ රජ පවුල තුළ ක්‍රියාත්මක වූ “ලේඩි-ඉන්-වේටින්” තනතුර අහෝසි කර, ඒ වෙනුවට වෙනත් තනතුරක් ස්ථාපිත කිරීම යි.

“ලේඩි-ඉන්-වේටින්”
යුරෝපා රටවල රැජනන් සහ වෙනත් ප්‍රභූ කාන්තාවන්ගේ පුද්ගලික සහකාර තනතුර දැරූ කාන්තාවන් “ලේඩි-ඉන්-වේටින්” යනුවෙන් හැඳින්වේ. ඔවුහු රජුගේ බිරියගේ හෝ රාජ්‍යත්වය දරන රැජනගේ, එසේත් නැත්නම් ඔවුන්ගේ සේවය ලබා ගන්නා ප්‍රභූ කාන්තාවගේ අතිශය රහස්‍ය කටයුතුවලදී පවා සහයිකාවන් ලෙස කටයුතු කර ඇති අය වෙති. මෙම තනතුර සඳහා තෝරා ගන්නා කාන්තාවන් ප්‍රභූ පවුල්වලින් පැවැත එන නමුත් ඔවුහු සේවය සපයන රැජනගේ හෝ ප්‍රභූ කාන්තාවගේ පෙළපතට වඩා තරමක් පහළ පෙළපතකින් පැවැත එති.
“ලේඩි-ඉන්-වේටින්” තනතුර දැරූ කාන්තාවන් ගෙවීමක් සහිත ව හෝ රහිත ව සිය සේවය සපයා ඇත. බොහෝ රටවල මෙම තනතුර දැරූ කාන්තාවන්, රැජනකගේ හෝ ප්‍රභූ කාන්තාවකගේ සේවිකාවක් ලෙස නොව ලේකම්වරියක හෝ මිතුරියක ලෙස සලකා ඇත. කෙසේ වෙතත් සමහර රටවල ඔවුන් මෙහෙකාරියක් හෝ වහල් සේවිකාවක් ලෙස සැලකු බව ද පැවැසේ. ඒ කුමන ආකාරයෙන් සැලකුම් ලැබුවත් මෙම තනතුර දැරූ සියලු කාන්තාවන්ට පැවරී තිබූ රාජකාරි එක හා සමාන වේ.

බ්‍රිතාන්‍ය රජ පවුල
බ්‍රිතාන්‍යයේ “ලේඩි-ඉන්-වේටින්” තනතුර දරන කාන්තාවන් එරට රජ පවුලේ කාන්තා සාමාජිකාවන්ගේ (බොහෝ විට රජුගේ බිරිය හෝ කිරුළ දරන රැජන) පුද්ගලික සහකාරියන් ලෙස කටයුතු කරයි.
තමන්ට අවශ්‍ය කාන්තාවන් ඒ සඳහා පත් කිරීමට රජ පවුලේ සාමාජිකාවන්ට නිදහස තිබූ නමුත් සමහර අවස්ථාවල රජු හෝ රැජන, ස්වාමිපුරුෂයන් හෝ මව්පියන්ගේ නිර්දේශය මත එම පත් කිරීම් සිදු කර තිබේ. රජ පවුලේ ඇතැම් සාමාජිකාවන්ට මෙම තනතුර සඳහා පත් කිරීම් සිදු කරන අවස්ථාවල එරට අමාත්‍යවරුන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගැනීමට සිදු වූ බව කියැවේ.

මෙම තනතුර සඳහා බොහෝ විට තෝරා ගන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලට ඥාතීත්වයක් ඇති කාන්තාවන් වීම විශේෂත්වයකි. රජුගේ බිරිය හෝ කිරුළ දරන රැජන මහජන හෝ වෙනත් රැස්වීම්වලට සහභාගීවන අවස්ථාවල ඔවුන් කැටුව යාම මෙම සහයිකාවන්ට පැවැරී ඇත. ඉතා වැදගත් මහජන හමුවීම් හෝ වෙනත් උත්සව අවස්ථාවලට සහභාගී වන විට ඔවුහු සිය සේවය ලබා ගන්නා රැජනගේ රුව සහිත කුඩා නිල ලාංඡනයක් පැළඳ සිටිති. එය ඔවුන්ගේ හිස්වැසුමට හෝ ඇඳුමේ ඉහළ කොටසට සම්බන්ධ කර තිබේ.

මහජන හමුවීම්වලට රැජන කැටුව යාමට අමතර ව තවත් රාජකාරි ගණනාවක් මෙම “ලේඩි-ඉන්-වේටින්” තනතුර දරන කාන්තාවන්ට පැවරී තිබේ. රැජනගේ කාර්ය මණ්ඩලය කළමනාකරණය කිරීම, රැජනගේ නිදන කාමරය සහ ඇඳුම්/ ආභරණ අල්මාරි වැනි දෑ සුදුසු පරිදි සකස් කිරීම, රැජනට අවශ්‍ය යම් යම් දෑ මිල දී ගැනීම, ලැබෙන ලිපි සහ වෙනත් පණිවිඩ පරික්ෂා කිරීම, තෝරා ගත් පණිවිඩ සහ ලිපි රැජනට යොමු කිරීම, රැජනගේ උපදෙස් පරිදි ලිපිවලට පිළිතුරු යොමු කිරීම ඔවුන්ට පැවරී ඇති ප්‍රධාන රාජකාරි වේ. ඒවාට අමතර ව රැජනගේ අවශ්‍යතාව පරිදි වෙනත් අමතර රාජකාරී ඉටු කිරීමට ඔවුහු බැඳී සිටිති.
දෙවැනි එළිසබෙත් රැජන
1953 සිට 2022 සැප්තැම්බර් දක්වා බ්‍රිතාන්‍ය කිරුළ දැරූ දෙවැනි එළිසබෙත් රැජන වෙනුවෙන් සේවය කළ මෙම තනතුර දැරූ කාන්තාවෝ ගණනාවක් වූහ. 1967 සිට 2021 මිය යන තුරු ග්‍රැෆ්ටන්හි ආදිපාදවරිය රැජනගේ ප්‍රධාන සහයිකාව ලෙස කටයුතු කළා ය. ඇය 2022 වසරේ දී මිය යාමෙන් පසු පුරප්පාඩු වූ එම තනතුරට වෙනත් අයෙකු පත් කිරීමට රැජන කටයුතු නොකළා ය.
එයාර්ලි ආදිපාදවරිය, ෆාර්න්හැම් ආර්යාව, ඩේම් මේරි මොරිසන්, බර්මින්හැම්හි වේල්ස් කුමරිය, බ්‍රැඩ්ලි හි හසී ආර්යාව, එල්ටන් ආර්යාව, රොබට් ද පාස්, ඩේම් ඇනබෙල් වයිට්හෙඩ් සහ මයිකල් ගෝර්ඩන්-ලෙනොක්ස් යන අය ද එළිසබෙත් රැජනගේ සහයිකාවන් ලෙස කටයුතු කළහ.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී රැජන මිය යාමෙන් පසු සිහසුනට පත් වූ තෙවැනි චාල්ස් රජු නිවේදනය කළේ එළිසබෙත් රැජනගේ සහායිකාවන් ලෙස කටයුතු කළ කාන්තාවන් එතැන් පටන් “රජ මාලිගයේ සහයිකාවෝ” යන තනතුර යටතේ කටයුතු කරනු ඇති බව යි. රැජනට අදාළ රාජකාරි (කිහිපයක් හැර), විශේෂයෙන්ම මාලිගයේ පැවැත්වෙන මහජන හමුවීම් සහ වෙනත් උත්සව අවස්ථා සංවිධානය කිරීම, කාර්ය මණ්ඩලය සම්බන්ධීකරණය කිරීම, ලිපි සහ වෙනත් පණිවිඩ පරික්ෂා කිරීම සහ ඒවාට රජුගේ උපදෙස් මත පිළිතුරු යොමු කිරීම වැනි රාජකාරි ඔවුන්ට පැවරෙනු ඇත.
කැමිලාගේ තීරණය
රජුගේ බිරිය ලෙස කැමිලාට ද “ලේඩි-ඉන්-වේටින්” තනතුර යටතේ සහයිකාවන් පත් කර ගැනීමට හැකියාව තිබුණත් එම තනතුර අහෝසි කර ඒ වෙනුවට “රැජනගේ මිතුරියෝ” යන තනතුර යටතේ සිය සහයිකාවන් බඳවා ගන්නා බව කැමිලා රැජන පසුගිය දා නිවේදනය කළා ය. එළිසබෙත් රැජනගේ සහයිකාවන් ලෙස කටයුතු කළ ප්‍රභූ කාන්තාවන් දිනපතා ම පාහේ සේවයට වාර්තා කළ යුතු වූ නමුත් කැමිලාගේ සහයිකාවන්ට ඒ ආකාරයෙන් නිරන්තරයෙන් සේවයට වාර්තා කිරීමට සිදු නොවනු ඇති බව වාර්තා වේ.

කැමිලාගේ සමීප මිතුරියන් වන සාරා ට්‍රෝටන්, ජේන් වොන් වෙස්ටන්හෝල්ස්, කැතරින් ආර්යාව, සාරා කෙස්වික් ආර්යාව, ලාන්ස්ඩවුන් සහ ඕල්පෙන් හි ආදිපාදවරියන් දෙදෙනා යන අය කැමිලාගේ සහායිකාවන් ලෙස කටයුතු කරනු ඇති. ඔවුන්ට අමතර ව රාජකාරි අවස්ථා සහ වෙනත් වැදගත් උත්සව අවස්ථා සඳහා ඇය කැටුව යාමට සහ ඇගේ දිනපොත භාර ව කටයුතු කිරීමට මේජර් ඔලී ප්ලන්කට් පත් කර තිබේ.
එළිසබෙත් රැජනගේ සහායිකාවන්ට පැවරී තිබූ ලිපි සහ වෙනත් පණිවිඩ කියැවීම සහ ඒවාට පිළිතුරු යොමු කිරීම වැනි රාජකාරි කැමිලාගේ සහායිකාවන්ට පැවරී නැත. ඔවුන්ට වැටුපක් නොගෙවන නමුත් ඔවුන්ගේ වියදම් රජ මාලිගය දරයි. සහායිකාවන්ට සහ දිනපොත භාර ව කටයුතු කරන නිලධාරියාට අමතර ව පුද්ගලික ලේකම්වරයෙක්/වරියක් සහ සහකාර පුද්ගලික ලේකම්වරයෙක්/වරියක් පත් කර ගැනීමට ද අයට අවස්ථාව ලැබේ.
