වසර දෙසිය තිහකටත් වඩා අතීතයකට දිව යන අමෙරිකානු ජනපති වංශකතාවේ ඝාතනයට ලක් වූ ජනපතිවරුන් සිව්දෙනෙක් අපට හමු වෙනවා. මේ සිව්දෙනා ගෙන් මුලින් ම ඝාතනයට ලක් වුණේ ජනපති ඒබ්‍රහම් ලින්කන්. ඒ 1865 දී යි. එහෙත් ඊටත් පෙර ජනපති සැචරි ටේලර් ගේ අභාවය ආහාර සම්බන්ධ රෝගාබාධයක් නිසා සිදු වූ මරණයක් ලෙස ඉතිහාස පොත්වල සටහන් ව තිබුණ ද සමහරෙක් තර්ක කරන්නේ, හිතාමතා ම වස දීමෙන් ඔහු ඝාතනය කළ බව යි.
වසර ගණනාවක් ඇදුණු විවාදය
1850 වසරේ ජූලි මස 9 වැනි දින සිදු වූ, ජනපති සැචරි ටේලර් ගේ අභාවය මුළු මහත් අමෙරිකාව ම ශෝක කරවන්නට සමත් වුණා. මේ වන විට ඔහු තේරී පත් වී ගත වී තිබුණේ වසර එක හමාරක පමණ කාලයක් පමණ යි.
ජනපත් සැචරි ටේලර්ට අමෙරිකානු ජනතාව ගෙන් බහුතරයක කැමැත්ත හිමි වී තිබුණ ද ඔහුට සතුරන් කිහිප දෙනෙක් සිටියා. මේ නිසා ඔහුගේ හදිසි මරණය පිළිබඳ විවිධ කතිකාවත් ගොඩ නැඟුණා.
කෙසේ නමුත් වෛද්‍යවරුන් නිගමනය කළේ, එම වසරේ ජූලි මස 4 වන දින හෙවත් අමෙරිකාවේ නිදහස් දින තිබූ උත්සවයකදී ගත් චෙරි හා කිරි මිශ්‍රිත ආහාරයකින්, කොළරාව සම්ප්‍රේෂණය වීම නිසා ජනපති මිය ගිය බව යි. මෙය සමහරෙක් නොපිළිගත් අතර, මෙය සිතා මතා සිදුකළ ඝාතනයක් බව ඔවුන්ගේ මතය වුණා. සමහරෙක් උප ජනපති මිලාද් ෆිල්මෝර් පවා එයට සැක කළා.
සැචරි ටේලර්ගේ මරණය සම්බන්ධ විවාද 20 වන සියවසේ අග භාගය දක්වා ම පැවතුණා. මේ නිසා 1990 දශකයේ දී, ඔහුගේ සිරුරු කොටස් නැවත ගොඩ ගෙන, ආසනික් විෂ වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවා සිදු කෙරුණා.
රටේ කලබලකාරී සමයක රට බාර ගත් සැචරි ටේලර්
1840 දශකය අමෙරිකා එක්සත් ජනපදයේ සිවිල් යුද්ධය මෝදු වෙමින් පැවතුණු සමය යි. මේ කාලයේ දී අමෙරිකාව අභියෝග රාශියකට මුහුණ දුන් අතර, මේ සියල්ල හැසිරැවිය හැකි ඉතා හොඳ පුද්ගලයෙක් ලෙස සැචරි ටේලරි ගේ නම ඉදිරියෙන් ම කියැවුණා.
ඊට එක් ප්‍රධාන හේතුවක් වූයේ ඔහු දිවියේ වැඩි කාලයක් දේශපාලනයෙන් ඈත්ව සිටීම යි. ඔහු සිය ජීවිත කාලය පුරාවට ම ඡන්දය භාවිත කර තිබුණේ නැහැ. මෙක්සිකානු-ඇමෙරිකානු යුද්ධයේදී යුද සෙන්පතියකු ලෙස ඔහු සිදුකළ වික්‍රම පිළිබඳ ව අමෙරිකානු ජනතාව අතර ඔහු කෙරෙහි ගෞරවාදරයක් ඇති ව තිබුණා.
අමෙරිකාවේ උතුරුදිග ජනතාව ඔහුගේ යදධ වික්‍රම සම්බන්ධයෙන් පැහැදීමකින් පසුවෙද්දී, දකුණුදිග වැවිලිකරුවන් ඔහු දුටුවේ වහලුන් හිමි, කෙට්න්ටකි හි වැවිලිකරුවකු ලෙස යි. මේ නිසා ඔහු බලයට පත්වුවහොත්, තමන්ගේ කර්තව්‍යයන්ට හොඳ කලක් යනු ඇතැයි ඔවුන් සිතුවා. මේ අනුව දෙපාර්ශවයෙන් ම යම් ප්‍රසාදයක් සැචරි ටේලර් වෙත හිමි ව තිබුණා. කෙසේ නමුත් දකුණට සාපේක්ෂ ව උතුරේ ඔහුට අකමැති පිරිසක් ද සිටියා. ඔවුන් ඔහු දුටුවේ තරු සහ පටිවලට කෑදර හමුදා නිලධරයකු ලෙස යි.
අපක්ෂපාතී නායකත්වයක්
කාරණා මෙසේ සිදු වෙද්දී දේශපාලනයේ නියුතු බොහෝ දෙනා ඔහු දුටුවේ, අමෙරිකාව ඒ වන විට පැවති තත්වයෙන් මුදා ගත හැකි, අපක්ෂපාතී නායකත්වයක් සැපයිය හැකි අයකු ලෙස යි. කෙසේ නමුත් 1847 පමණ වන තුරු ම ඔහුට දේශපාලනයේ ඉහළට යාමේ එතරම් ආශාවක් තිබුණේ නැහැ. එනමුත්, එවකට ජනපති ජේම්ස් කේ. පෝල්ක් සමඟ ඔහුට ආරෝවක් තිබුණා. යුද සමයේදී පෝල්ක් ඔහුට යම් අකටයුතුකමක් කර තිබුණා. මේ නිසා ඔහු අභිබවා යාමේ කැමැත්තක් ටේලර්ට තිබුණා.
1848 වසරේදී සැචරි ටේලර් දේශපාලනයට පිවිසියේ ‘විග්’ පක්ෂයෙනු’ යි. වහලුත් තබාගෙන, ඊට විරුද්ධ මත දරන අයකු සේ රඟපාන කුහකයෙක් බැව් කියමින්, ඩිමොක්‍රැටික් පාක්ෂිකයන් ඔහුට පහර ගසන්නට පටන් ගත්තා. අවසානයේ ඔහු බලයට පැමිණියා.
වහල් භාවයට විරුද්ධ මතයක
බලයට පැමිණි පසු දකුණුදිග වැවිලිකරුවන් භීතියට පත් කරමින්, වහල් භාවයට විරුද්ධ මතයක සිට ටේලර් කටයුතු කරන්නට පටන් ගත්තා. මේ නිසා උරණ වූ වැවිලිකරුවන් ඉතා කෝපයෙන් යුතු ව ඔහු වෙත ප්‍රතිචාර දක්වන්නට පටන් ගත්තා. තමන් අමෙරිකා එක්සත් ජනපදය අතැර ස්වාධීන වන බැව් ඔවුන් ටේලර් වෙත දැන්වූවා. මේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි ප්‍රකාශකයක් කරමින්, ටේලර් පවසා සිටියේ, කිසිවෙක් අමෙරිකානු එකමුතුව හැර යන්නට උත්සාහ කරන්නේ නම් තමන් ඒවායේ මූලිකයන් අල්ලා, එල්ලා මරා දැමීමට කිසි සේත් පසුබට නොවන බව යි.
ටේලර් ගේ මෙම ප්‍රකාශ සහ ක්‍රියාවන් නිසා, ඔහු බලයට පත් වී වසරක් යාමටත් මත්තෙන්, ඉතා ප්‍රබල සහ භයානක සතුරන් පිරිසක් ඔහුට ඇති වුණා.
සැචරි ටේලර් ගේ අමුතු සහ හදිසි මරණය
1850 වසරේ ජූලි මස 4 වන දින ජනපති ටේලර් නිදහස් දින් සමරු උත්සවවලට සහභාගී වුණා. ඔහු වොෂිංටන් ස්මාරකය ඉදිකිරීමට නියමිත බිම්කඩ වෙත එදින ගිය අතර, තවත් සථාන කිහිපයක ම සංචාරය කළා.
ටේලර් මේ දිනයේ දී, ඉහත ස්ථානවලින් ලබා දුන් චෙරි සහ කිරි ආහාරයට ගෙන තිබුණා.ධවල මන්දිරය වෙත පැමිණි පසු ඔහුට විශාල තිබහක් දැනී තිබුණු අතර, මේ නිසා ඔහු ශීතල ජල වීදුරු කිහිපයක් ම ඉල්ලා සිට, ඒවා පානය කළා.
පසු දිනයේදී ජනපතිවරයා, ඉතා දරුණු උදර වේදනාවකින් පෙළෙන්නට වුණා. වේදනාව අඩුවීම සඳහා, වෛද්‍ය නිර්දේශය මත, ඔහු අයිස් කැබලි ආහාරයට ගත්තා. ඒ වේදනාව අවම වීම සඳහා යි. ඔවුන් ඔහුට අබිං සහ කැලොමෙල් නිර්දේශ කළා. එමෙන්ම ඔහු විරේක කරන්නට ද උත්සාහ කළා.
ඔහුගේ තත්ත්වය ඉක්මනින් ම ඉතා නරක අතට හැරුණා
කෙමෙන් කෙමෙන් ටේලර් හොඳ අතට හැරුණු අතර, ලිපි කිහිපයක් ලියා, බිල්පතක අත්සන යෙදීමට තරම් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දියුණු වුණා. කෙසේ නමුත් මේ තත්ත්වය පැවතියේ කෙටි වේලාවක් පමණයි. ඔහුගේ තත්ත්වය ඉක්මනින් ම ඉතා නරක අතට හැරුණා.
මේ සිද්ධියෙන් දින කිහිපයකට පසු, ජනපති ටේලර්, සිය සයනයේ පසෙකට, සිය බිරියට අඬගැසුවා. මේ වන විට ඔහු මරණාසන්න ව සිටියා.
“මම සෑමවිට ම මගේ රාජකාරිය හරියාකාර ව සිදු කළා. මම දැන් මියයන්නට සූදානම්. මට ඇති එකම පසුතැවීම ඔබ හා මගේ මිතුරන හැර දා යන්නට වීම යි” ඔහු පැවසුවා.
මරණය පිළිබඳ ව විවාදාත්මක තත්ත්වයක්
ජනපති සැචරි ටේලර් 1850 වසරේ ජූලි මස 9 වන දින මිය ගියා. ඔහුගේ වෛද්‍යවරුන් පැවසුවේ කොළරාව නිසා ඔහු මිය ගිය බව යි. වර්තමානයේ වෛද්‍යවරුන් විශ්වාස කරන්නේ එවකට වොෂිංටන් නුවර සනීපාරක්ෂක පද්ධතිවල තිබුණු අඩු ලුහුඬුකම් නිසා මෙලෙස ජනපතිට කොලරාව වැලඳෙන්නට ඇති බව යි.
සැචරි ටේලර් ගේ මරණයෙන් පසුව බොහෝ දේ ඉක්මනින් වෙනස් වුණා. 1850 ජූලි මස 10 වන දින උප ජනපති මිලාද් ෆිල්මෝර් ජනපති ධූරයේ දිවුරුම් දුන්නා. ඔහු සැචරි ටේලර්ට විරුද්ධ ව යමින් වහල් භාවය පවත්වා ගැනීමට පක්ෂව කටයුතු කළා. මේ නිසා වසර එක හමාරක් පුරාවට, වහල් භාවය පවත්වා ගැනීම අධෛර්යයමත් කරමින් සැචරි ටේලර් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නැවත කණපිට හැරවුණා.
1990 දශකයේදී සැචරි ටේලර් ගේ සිරුර නැවත ගොඩ ගැනීම
සැචරි ටේලට්ගේ මරණය පිළිබඳ ව විවාදාත්මක තත්ත්වයක් ඉතිහාසය පුරාවට ම පැවතුණා. බොහෝ දෙනෙක් එය ජනපතිගේ හුදු අවාසනාව ලෙස හුවා දැක්වුව ද, සමහර විද්වතුන් එය මිනිමැරුමක් බවට කරුණු දැක්වූවා. ෆ්ලොරීඩා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ක්ලාරා රයිසින් පවසන්නට වූයේ, ටේලර්ගේ මරණයට පෙර වූ රෝග ලක්ෂණ, ආසනික් විසවීමට සමාන බව යි.
විශේෂයෙන් සැචරි ටේලර් ගේ ක්‍රියාකලාපය නිසා ඇති වූ සතුරනුත්, පසුකාලීන ව වහල් භාවයට විරුද්ධව ක්‍රියා කළ ඒබ්‍රහම් ලින්කන් ඝාතනය වීමත්, ටේලර්ගෙන් පසු ජනපති වූ ෆිල්මෝර් ටේලර්ට අතිශය විරුද්ධ මත දැරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමත් යන කාරණා නිසා, එම මතය තව සාක්ෂාත් වනවා. ඉතිහාසඥයන්ට අනුව සැචරි ටේලර් ජීවත් ව සිටියානම්, සමහර විටෙක අමෙරිකානු සිවිල් යුද්ධය ඇති නොවීමටත් ඉඩ තිබුණා.
රයිසින්ගේ මේ ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව 1991 වසරේ දී සැචරි ටේලර් ගේ දේහය නැවතත් ගොඩ ගැනුණා. ඒ ආසනික් විෂවීම පිළිබඳ ව පරීක්ෂා කිරීම සඳහා යි. ආසනික් ශරීර ගත වූවානම්, එහි කොටස් වසර සිය ගණනක් වුව ද ශරීරයේ රැඳෙනාවා. මේ නිසා මියයාමෙන් වසර 140 කට පසු වුව ද, ඔහුගේ සිරුරු කොටස්වල ආසනික් අංශු තිබිය යුතු වුණා.
පර්යේෂණවල අවසානයේ ප්‍රතිඵල පැමිණියා. ටේලර් ගේ දේහය තුළ ආසනික් අඩංගු බැව් තහවුරු වුණා. එහෙත් ඒ ඉතා කුඩා ප්‍රමාණයකිනු යි. ආසනික් විසවීමක් වීමට නම් එම ප්‍රමාණය දෙසියය ගුණයකින් පමණවත් වැඩි විය යුතු වුණා. මේ අනුව ටේලර් ආසනික් විස වීමකට ලක් නොවුණු බැව් තහවුරු වුණා.
පසුවදන
මේ අනුව ටේලර් ගේ මරණය හුදු අවාසනාව සහ අපරික්ෂාකාරී බව නිස සිදුවූවක් වීමට වැඩි සම්භාවිතාවක් ඇති බවට තීරණය වුණා. එහෙත් වෙනයම් ආකාරයකින් ඔහු විෂ වීමකට ලක් කළා ද යන්න පිළිබඳ ව ද මත ගොඩනැඟී තිබෙනවා. එහෙත් ඒවා පරීක්ෂා කිරීමට ඔහුගේ සිරුරේ තත්ත්වය ඒ වන විට හොඳ මට්ටමක තිබුණේ නැහැ.