ඔබගේ මූලික අවශ්‍යතාවලින් ඔබ වඩාත් මුල් තැනක් දෙන්නේ කුමකට ද? බොහෝ දෙනාගේ උත්තරය වනුයේ ආහාර හෝ සුරක්ෂිත නිවසකට. එය කිසිසේත් ම වැරදි නැත. නමුත් පිරිසුදු වාතයට මූල් තැනක් දෙන්නේ අතලොස්සක් වැනි පිරිසක්.
2022 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ වායු ගෝලයේ ගුණාත්මකභාවය පහළ වැටීමක් දක්නට ලැබුණා. ශ්‍රී ලංකාවේ නගර කිහිපයක ම තත්ත්වය වායු ගුණාත්මක දර්ශකයේ සඳහන් වූයේ 150ත් 200ත් අතර ඉතා අහිතකර මට්ටම් වල යි. මේ තත්ත්වය යටතේ බොහෝ දෙනා නැවත මාස්ක් භාවිතා කරන්නත්, ගෘහස්ථ ස්ථානවල රැස්වෙන්නට තීරණය කිරීමත් සමඟ අපට නැඟුණු ප්‍රශ්නය නම් ගෘහාශ්‍රිත ව අප ආශ්වාස කරන වාතය කොයිතරම් සෞඛ්‍යයට හිතකර ද යන්න යි.
බහුතරයක් දෙනා එළිමහන් පරිසරයේ සිදුවන වායු දූෂණය පිළිබඳව දැන සිටියත් ගෘහාශ්‍රිත වායුවේ ගුණාත්මකභාවය පිළිබඳ ව සැලකිල්ලක් දක්වන්නේ කීයෙන් කීදෙනා ද? අපගේ එදිනෙදා ජීවිතයේ වැඩි කාලයක් අප ගෙවන්නේ නිවෙස්, කාර්යාල, පාසල් ආදී ගෘහස්ථ ස්ථානවල යි. ඒ නිසා ඒ ගැන කතා කළ යුතු ම යි.
IAQ හෙවත් ගෘහස්ථ වායු ගුණාත්මකභාවය යනු කුමක් ද?
මින් අදහස් කරන්නේ අපගේ වාසස්ථාන තුළ සහ ඒ ආශ්‍රිත ව ඇති වාතයේ ඇති ගුණාත්මකභාවය යි. හිතකර සහ අහිතකර වායු ගුණාත්මකභාවය මැනීමට අපට වායු ගුණාත්මක දර්ශකය භාවිත කළ හැකි යි. ඊට අනුව 0-50ත් අතර අගයක් පවතින විට වායු ගුණාත්මකභාවය හිතකර ලෙසත්, 300-500ත් අතර අගයක පවතින විට අතිශය අහිතකර ලෙසත් සැලකෙනවා. දර්ශකයේ අගය ඉහළ යන විට වායු ගුණාත්මකභාවයේ අහිතකර මට්ටම ද ඉහළ යනවා.
අහිතකර ගෘහස්ථ වායු ගුණාත්මකභාවය දුර්වල වාතාශ්‍රය හේතුවෙන් ඇතිවන්නක්. කාමරයක් වසා ඇති විට ඒ තුළ ඇති වාතය පිටවීමට නොහැකි වීමෙන් කාමරයේ ඔක්සිජන් මට්ටම පහත වැටී කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාමක් සිදුවෙනවා. මෙහිදී කාමරයේ ඇති තෙතමනයේ (ආර්ද්‍රතාවයේ) මට්ටම 40%-60% වැනි සෞඛ්‍යයට අහිතකර මට්ටමකට නැඟීම හේතුවෙන් බිත්ති මත, ජනෙල් වීදුරු හා අල්මාරි ආදියේ පිනි ඝනීභවනයක් සිදු වෙනවා. මේ හේතුවෙන් විවිධ ආසාත්මිකතා ඇතිකරන දෑ, පුස් බැඳීම්, ඇබැස්ටෝස්, කාබන්මොනොක්සයිඩ් සහ ෆෝමල්ඩෙහයිඩ් වැනි වාෂ්පශීලී කාබන් සංයෝග ආදී වායු දූෂක නිර්මාණය වීමක් සිදුවෙනවා.
මේවා පිළිකුල් සහගත මෙන් ම සෞඛ්‍යයට ද අහිතකර යි. මේ හේතුවෙන් දුවිලි ආසාත්මිකතා, හිසේ කැක්කුම්, නාසය සිරවීම්, ඔක්කාරය, තෙහෙට්ටුව, මෙන් ම මතකය සහ අවධානය පහත් වැටීම් ආදී අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් ඇතිවිය හැකියි. එ පමණක් නොව කාබන්මොනොක්සයිඩ් විසවීම් ආදී අතිශය භයානක තත්ත්වයන් ද ඇතිවිය හැකියි.
දුර්වල ගෘහස්ථ වායු ගුණාත්මකභාවය ශ්‍රීලංකාවට බලපාන්නේ කෙසේ ද?
ශ්‍රි ලංකාවේ මේ පිළිබඳ ව ඇති දැනුම්වත්භාවය අල්ප වීම හේතුවෙන් මෙය අනිවාර්යයෙන් ම සාකච්ඡාවට බඳුන් විය යුතුයි. ජපානය වැනි රටවල් දශක ගණනාවක් පුරා මීට ප්‍රමුඛතාවක් දී ඇති අතර ශ්‍රී ලංකාව ඇත්තේ ඊට සෑහෙන්නට පසුපසින්.
ලිප්-උදුන් සහ වෙනත් උපකරණවලින් පිටවන වායු (විමෝචනය) හේතුවෙන් ශ්‍රී ලාංකික නිවෙස් බොහෝමයක් නොදැනුම්වත්ව ම අහිතකර ගෘහස්ථ වායු තත්වයන් හා පොර බදමින් සිටිනවා. පළිබෝධනාශක, දර භාවිතය, සත්ත්ව අපද්‍රව්‍ය සහ ගොඩනැඟිලි ඉදිකිරීම් ද්‍රව්‍ය ආදියත් මෙම තත්ත්වයට හේතුකාරක වනවා.
කෙසේ වෙතත් මෙම අහිතකර තත්ත්වය ශ්‍රී ලංකාවේ නිවෙස්වලට පමණක් ආවේණික එකක් නොවෙයි. පාසල්, කාර්යාල ආදිය තුළ ද සුදුසු වාතාශ්‍රයක් සහ වායු ගුණාත්මකභාවය නිරීක්ෂණ පද්ධතියක් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙනවා. ඊට අමතර ව මේ හේතුවෙන් විවිධ බැක්ටීරියා සහ වයිරසයන්, දුවිලි මයිටා, පරාග සහ වෙනත් ජීවවිද්‍යාත්මක දුෂක හරහා එන අවදානම් තත්ත්ව ද පවතිනවා.
මීට ප්‍රධාන උදාහරණයක් ලෙස ක්ෂය රෝගය පෙන්විය හැකි යි. මෙරටින් වසරකට ක්ෂය රෝගීන් දහස් ගණනක් වාර්තා වන අතර අදටත් මෙය, විශේෂයෙන් ම ග්‍රාමීය ප්‍රදේශවල, සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රධාන සැලකිල්ලට ලක් වන කරුණක්. මෙම රෝගය දුවිලි වලින් පිරී ගිය, අඳුරු, තෙත්, දුර්වල වාතාශ්‍රයක් සහිත කාමරවල වැඩෙන බැක්ටීරියාවක් නිසා ඇති වන්නක්.
නිවෙස් තුළ වන වාතාශ්‍රයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමෙන් වාතයෙන් බෝවන රෝග පැතිරීම ද අවම කළ හැකිය.
අප ආශ්වාස කරන වාතයේ ගුණාත්මකභාවය ඉහළ නංවා ගන්නේ කෙසේ ද?
යහපත් ගෘහස්ථ වායු තත්ත්වයක් පවත්වාගෙන යාමට නම් ස්ථාවර වායු සැපයුමක් සහ පිටකිරීමක්, පිරිසුදු වාත මූලාශ්‍රයක්, තෙතමනය සහ තාපය ඉවත් කිරීම මෙන් ම පිරිසුදු ඔක්සිජන් සැපයුමක් ද අවශ්‍ය වෙනවා. මෙය හිතන තරම් සංකීර්ණ ක්‍රියාවලියක් නොවෙයි.
යහපත් ගෘහස්ථ වායු තත්ත්වයක් පවත්වාගෙන යාමට ක්‍රම දෙකක් තිබෙනවා. පළමුවැන්න නම් ස්වාභාවික වාතාශ්‍රය යි. මෙහිදි ගෘහස්ථ අවකාශයක් හරහා නැවුම් වාතය සංසරණය කිරීමට බාහිර වායු පීඩනය මත යැපීමට සිදු වන අතර මීට අතිරේක නඩත්තුවක් අවශ්‍ය නොවන අතර කිසිදු අතිරේක මුදලක් ද වැය වන්නේ නෑ. මෙය පැරණි සාම්ප්‍රදායික ගොඩනැඟිලිවල සාමන්‍යයෙන් දක්නට ලැබුණු ලක්ෂණයක්. කෙසේ වෙතත්, වර්තමාන පිරිවැය සහ නාගරීකරණය හේතුවෙන් ඇති වී ඇති සීමා නිසා ස්වාභාවික වාතාශ්‍රය ලබා ගැනීම තවදුරටත් පහසු ක්‍රමයක් නොවෙයි.
එසේනම් විකල්පය කුමක් ද? යාන්ත්‍රිකව ඇතිකරන වාතාශ්‍රය මීට පිළිතුර විය හැකි යි. උදාහරණයක් වශයෙන් උස් නිවසකට SIROCCO හෝ TURBO මාදිලියේ ඉහළ ස්ථිතික පිටාර පංකාවක් (high static exhaust fan) භාවිත කරමින් නිසියාකාර ව එහි වායු සංසරණය සිදු කළ හැකියි. ඊට කුඩා ස්ථානයකට එතරම් විශාල පංකාවක් අවශ්‍ය නොවන බැවින් යාන්ත්‍රික ව ඇතිකරන වාතාශ්‍රය පහසු මෙන්ම දැරිය හැකි මිල ක්‍රමයක් මත පදනම් වූවන් ද වනවා.
ගෘහ නිර්මාණ ශිල්පය ද මෙහි දි වැදගත් සාධකයක්. ඒ මඟින් පිරිසුදු වාතයේ ගලා යාමත් කෙතරම් දුෂිත වායු අභ්‍යන්තරය සිරවී තිබෙනවා ද යන්නත් තීරණය කළ හැකි යි. ප්‍රමාණයෙන් කුඩා, වට වී ඇති නිවසකට ඒ හරහා පැය විසිහතර පුරා නිරන්තර වායු ගලනයක් වුවමනා යි.
සාරය (lowdown)
අප ආශ්වාස කරනා මේ වායු අප වැදගත් කොට සැලකිය යුතුයි. යහපත් වායු තත්ත්ව අපව නීරෝගී ව තබනවා මෙන්ම දැනටත් විශාල.බරක් දරන අපේ සෞඛ්‍ය පද්ධතියට යම් නිදහසක් ලබා දෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාව යායුතු දුර බොහොම යි; ගෘහස්ථ වායු ගුණාත්මකභාවය පිළිබඳ ව දැනුම්වත්භාවය ඇතිකීරීමේ සිට නිසි නිරීක්ෂණ පද්ධතියක් ඇතිකීරීම දක්වා පැහැදිලි වෙනසක් එයට අවශ්‍යයි. අපගේ වාසස්ථාන නිර්මාණය කිරීමේ දී ඒවාට වාතාශ්‍රය ලැබෙන මාර්ග නිර්මාණය කිරීම මෙහිදී සැලකිය යුතු සාධක බවට පත්වෙනවා.
2022 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු ශ්‍රී ලංකාවේ වායූගෝලයේ තත්වය යම්තාක් හොඳ අතට හැරී තිබුණත් වාර්තාවලට අනූව ඉදිරි කාලයේ එය නැවතත් නරක අතට හැරෙන්න හැකියාවක් තිබෙනවා. මේ හේතුවෙන් එළිමහන ඇතැම් සෞඛ්‍යය මට්ටමෙන් සංවේදී කණ්ඩායම් වලට අනාරක්ෂිත තැනක් විය හැකියි. වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ වැටීම සාමාන්‍ය ජනයාටත් බලපාන්නට පුළුවන් කරුණක් විය හැකි යි.
එබැවින් අපි බාහිර පරිසරයේ වායු ගුණාත්මකභාවය පිළිබඳව තියුණු ඇසකින් බලා ඉන්නා අතර ම ගෘහස්ථ වායු තත්ත්වය පිළිබඳවත් සැලකිල්ලෙන් සිටිමු. මේ පිළිබඳව දැනුම්වත්භාවය ඇතිකිරීමෙන්, ශ්‍රීලාංකිකයන්ට පිරිසුදු හුස්මක් සහ නිරෝගී සෞඛ්‍යයක් අත්පත් කරගෙන යහපත් ජීවිත ගත කරන්නට පුළුවන් වනු ඇති.