Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැලිමඩ සානුවේ අශ්ව බළඇණියේ කැප්පෙටිපොළ බළකොටුව 

සීතල මිහිදුමින් පිරුණු කඳු අතර පිහිටි තැනිතලා බිමක් වන වැලිමඩට නුදුරු කැප්පෙටිපොළ නගරය එතරම් ඈත අතීතයක් ඇති ටවුමක් නම් නොවෙ යි. නමුත් එහි පිහිටි පැරණි බළකොටුව මහනුවර යුගයේ ඌව කැරැල්ල සිදු වූ කාලයට අයත් අපූරු මතක සටහන් සහිත තැනක්. 

වැලිමඩ එළවළු, සෞම්‍ය දේශගුණය ගැන කතාකරන වැඩිදෙනෙක් මෙම ඉපැරණි ස්මාරකය ගැන දන්නේ නැහැ. අපි අද ඒ ගැන සොයා බලමු.  

බළකොටුවට මඟ පෙන්වන පුරාවිද්‍යා පුවරුව- sltb කැප්පෙටිපොල facebook page

තියෙන්නෙ කොහෙද?

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැප්පෙටිපොළ ගමේ තමයි  බළකොටුව පිහිටා තිබෙන්නේ. කැප්පෙටිපොළ  පිහිටා ඇත්තේ වැලිමඩ සිට කිලෝමීටර් 6 ක් දුරින්. 1818 ඌවේ කැරල්ලේ නායකයෙක් වුණු මොනරවිල කැප්පෙටිපොල නිලමේ සම්බන්ධ මතක සටහන් සහ ජනප්‍රවාද  මේ ස්මාරකය අවට පෙදෙසේ පැතිරී තිබෙනවා. 

එක් ජනප්‍රවාදයක කියවෙන්නේ කැප්පෙටිපොළ නිලමේ  මේ ස්ථානයේ සිට සටන් සංවිධානය කරවූ බව යි. ඒ අතර වේගයෙන් ව්‍යාප්ත වුණු ඌව වෙල්ලස්ස කැරැල්ල මැඬ පැවැත්වීම සඳහා ඉංග්‍රීසින් මෙහි බළකොටුවක් ඉදි කර තිබෙනවා.

විදුහල් බිමේ කැප්පෙටිපොළ ප්‍රතිමාව- uva news facebook page

පාළුගම කැප්පෙටිපොළ වුණු විදිහ

1818 කැරැල්ලත් සමඟ වියරු වුණු ඉංග්‍රීසි හමුදා ගම්බිම් විනාශ කළ නිසා මේ අවට පදිංචි ජනතාව ගම් හැර ගොස් තිබෙනවා. මේ නිසා පසුව එම පෙදෙස හැඳින්වුණේ පාළුගම කියල යි. 1818ට පෙර ඉතා සරුසාර ප්‍රදේශයන් වශයෙන් තිබූ  මේ ගම  එදා හැඳින් වූයේ කොස්ගහ කුඹුර වශයෙනු යි. 

 1817 දී මේජර් ඩග්ලස් විල්සන්ගේ පාලනයට මේ පෙදෙස නතු කර තිබුණා. ඒ ඔහු බදුල්ල රෙසිඩන්ට්වරයා ලෙස පත්කළ නිසා යි. එකල  මේ ප්‍රදේශය විල්සන් තැන්න නමින් හැඳින් වුණා. තැනින් තැන කුඹුරු ගොවිතැන වගේ ම එළවළු වගාවත් සාරවත්ව මේ තැනිතලාවේ සිදු කර තිබුණා.  පසු කාලයක ඉංග්‍රීසින් මෙහි පිහිට වු තැපැල් කාර්යාලය හැඳින්වූයේ ද ‘විල්සන්’ කියා යි.  

බළකොටුව අසල වටපිටාව- sltb කැප්පෙටිපොළ facebook page

  ආණ්ඩුව 1970 මාර්තු 04 වැනි දින, විල්සන් තැපැල් කාර්යාලය කැප්පෙටිපොළ තැපැල් කාර්යාලය ලෙස නම් කළ අතර  විල්සන් තැන්න ද කැප්පෙටිපොළ ලෙස නම් කළා. කැප්පෙටිපොළ නිලමේගේ ප්‍රතිමාවක් ද  කැප්පෙටිපොළ මහා විදුහල් බිමේ ඉදි කර තිබෙනවා.   

කැප්පෙටිපොළගේ රහස් සාකච්ඡා

ඉංග්‍රීසීන්ගේ දිසාවේවරයකු ලෙස  කටයුතු කරමින් සිටි මොනරවිල කැප්පෙටිපොළ ඉංග්‍රීසීන්ගේ නියෝගයක් අනුව මේජර් විල්සන්ගේ මරණයෙන් පසුව  ඌව – වෙල්ලස්ස කැරැල්ල මර්දනය කිරීමට  විශාල ඉංග්‍රීසි හමුදාවක් සමඟ පැමිණියා. ඔහු මෙහි පිහිටි ඉංග්‍රීසි බළකොටුව සමීපයේ කඳවුරු ලාගෙන කැරැල්ල මර්දනය කිරීමට ඉංග්‍රීසින්ට සහාය දෙමින් සිටියා. 

මාතලේ කැප්පෙටිපොළ වලව්ව- lankadeepa.lk

 ඒ අතර  අද පිහිටි කැප්පෙටිපොල බලකොටුව ආසන්න තැනක දී ඌවේ කැරැලි නායකයන් වූ බූටෑවේ රටේ රාළ, කිවුල්ගෙදර මොහොට්ටාල හා දඩවින්නේ දිසාව පැමිණ  මොනරවිල කැප්පෙටිපොළ සමඟ රහසිගත ව සාකච්ඡා කර තිබෙනවා. ඉන් පසුව කැරැල්ල ගැන පැහැදුණු නිලමේවරයා ඉංග්‍රීසි සේනාව ආයුධ සමඟ ආපසු යවා කැරැලිකාර සිංහල හමුදාව සමඟ එක්වීමට තීරණය කර තිබෙනවා.   

කැප්පෙට්ටිපොළ තැනූ විල්සන් බළකොටුව

ඌවේ කැරැල්ලෙන් ආරක්ෂාවීමට බදුල්ලට පසු ව ඉංග්‍රීසින් තම ආරක්ෂාව සඳහා  වැලිමඩ සානුවේ  ඉදිකළ  ප්‍රධාන  බළකොටුව කැප්පෙටිපොල බළකොටුව යි. කැරැල්ල ක්‍රමයෙන් වර්ධනය වූ 1816 දී එය තැනූ බව පැවසෙනවා. එය පිහිටා ඇත්තේ සුන්දර වටපිටාවක යි.  

ආයත චත්‍රස්‍රාකාර පෙනුම – ravindu lakshan  facebook page

එය ඉංග්‍රීසීන්ගේ අශ්වාරෝහක හමුදාව සඳහා ම පිහිටුවා තිබූ  බව සඳහන් වෙනවා. තවත් බළකොටුවක් වැලිමඩ ඌවපරණගම ප්‍රදේශයේ ඉදි කළත් එය පසුව විනාශ වී තිබෙනවා. අශ්වයන් ගාල් කළ බවට සලකුණු අදත් මේ ස්ථානයේ දැක ගත හැකි යි. ඒ අනුව මෙය හමුදා සෙබළුන් නවාතැන් ගත් තැනක් නොව අශ්වාරෝහක හමුදාවේ අශ්වයන්ට නවාතැන් සැපයූ තැනක් බවයි පේන්නේ. 

අණදෙන නිලධාරී විල්සන්

කැරලිකරුවන් පරාජය කිරීමට පැමිණෙන හමුදාවේ අසුන් ගාල් කළ  මේ බළකොටුවේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළේ  මේජර් විල්සන්. මේ නිසා විල්සන් බළකොටුව ලෙසත් මෙය ඉංග්‍රීසි ලේඛනවල සඳහන්. ඩග්ලස් විල්සන් කැරලිකරුවන් මර්දනය කිරීමට යාමේ දී බිබිල යල්කුඹුරේ දී  එල්ල කළ හීපහරකින් මරණයට පත්වුණා. ඒ 1817 සැප්තැම්බර් 16 වැනි දා යි. 

ඔහු සිහිකිරීමට එතැන ස්මාරකයක් ද තනා තිබෙනවා.  මුහුදුබඩ ලන්දේසි බළකොටු මෙන් අලංකාර සැලසුමක් මෙහි දැකගත නොහැකි යි.  පිටතට පෙනෙන යුද අට්ටාලත් දැකගැනීමටත් නැහැ. බළකොටුවක තිබිය යුතු නිල නිවාස, ආයුධ ගබඩා, ආරක්ෂිත පවුරු හා ළිඳ ආදී  කිසිවක් මෙහි දකින්න බැහැ. මෙහි ඇතුළත බිත්තිවලින් පිටතට පන්නා ගලින් තනා ඇති  කොක්කක ස්වාභාවය ගන්නා ඉදිකිරීම අශ්වයින් ගාල් කිරීමට තැනූ කොකු බවයි පැහැදිලි වන්නේ. 

ඉදිරිපසින් පිහිටි ආරුක්කුව-sltb කැප්පෙටිපොල facebook page

 කොටුව පිටුපසින් විවෘතයි

මෙය ආයත චතුරස්‍රාකාර හැඩයක් ගන්නා කළුගල් ප්‍රාකාර සහිත ගොඩනැගිල්ලක්. දිගින් අඩි 90 ක්ද පලලින් අඩි 40ක්ද උසින් අඩි 15 පමණ වූ මෙය තනි කළුගලින් නිමවා තිබෙනවා. බිත්ති අඩි 3ක්  පමණ පළලින් යුක්තව ඉතා සවිමත් ව ඉදිකර තිබෙනවා. කොටුවට ඇතුළු වීමට ඉදිරිපස බිත්තියේ මැදින් ආරුක්කුවක් සහිත කුඩා දොරටුවක් තිබෙනවා.   

එය අඩි 07ක් උස අඩි 04 පළල ආරුක්කුවක්.  ඉදිරිපස හා දෙපස බිත්ති වඩාත් උස් ව ඉදිකර කර තිබෙනවා. පාබල හමුදාවේ ඉංග්‍රීසි සෙබළුන්ට  මේ කැරැලිකරුවන් මර්දනය කිරීම දුෂ්කර වුණා. කඳුකරයේ සැඟව සිට පහරදෙන සිංහල හමුදාව කැරැල්ලේ ජය ලබමින් සිටියේ ඒ නිසා යි. මේ නිසා එවකට ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රික් විශේෂ ආශ්වාරෝහක බළ ඇණියක් මේජර් විල්සන් යටතේ කැප්පෙටිපොළ ප්‍රදේශයේ පිහිටුවූවා.

හරස් ප්‍රාකාර-indaka karunadasa; life of travel facebook page

තැනිතලා විවෘත භූමිය

සෘජුකෝණාස්‍ර ස්වරූප ගොඩනැඟිල්ලේ බිත්ති බැඳ ඇත්තේ ද තුන් පැත්තකින් පමණ යි.  ගොඩනැඟිල්ලේ පිටුපස මුළුමනින් ම විවෘත ව තබා තිබෙනවා. ඒ අශ්වාරෝහයකයන්ට පහසුවෙන් මෙතැනට පිවිසීම සඳහා වෙන්නට පුළුවන්. මෙය තනා තිබෙන්නේ  ඈතට දිස්වන දසුනක් සහිත තැනිතලා විවෘත භූමියක යි.   

  බළකොටුව ඇතුළත පිහිටි ගොඩනැඟිල්ලේ  වර්තමානයේ ඌව පළාත් පේෂකර්ම දෙපාර්තමේන්තුවේ ආයතනයක් පවත්වාගෙන යනවා. මෙය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙසත් නම් කර තිබෙනවා. 

ගවරම්මාන විල්සන් බංගලාව

බළකොටුවේ අණ දෙන නිලධාරි  මේජර් විල්සන් වාසය කළේ මෙහි සිට කිලෝ මීටර එකහමාරක් දුරින් පිහිටි බංගලාවක යි. වැලිමඩ නුවරඑළිය මාර්ගයේ පිහිටි ගවරම්මාන ගමෙයි එය  පිහිටා තිබෙන්නේ.  එම ගොඩනැඟිල්ල අද ගවරම්මාන ශ්‍රී පියතිස්ස පිරිවෙනට අයත් වෙනවා.   

මුහුදු මට්ටමේ සිට අඩි 2750ක් උසැති කොඩිය දැමු කන්ද පාමුල තමයි විල්සන් බංගලාව ඉදිකර ඇත්තේ. මෙම ස්ථානයේ සිට විශාල භූමි ප්‍රදේශයක් පහසුවෙන් දැක බලා ගැනීමට හැකි යි. ඉංග්‍රීසි සමයට අයත් ඌවේ ගොඩනැඟිලි අතරට මේ බංගලාවත් අයත්. 1815 සිටම මෙම බංගලාව පැවති බවට  ලිඛිත සාක්ෂි පවතිනවා. ජනප්‍රවාදවල කියවෙන්නේ  උඩරට රාජධානියට අයත් ඉහළ නිලධාරින්ගේ නවාතැන්පොළක් සහිත ‘සිංහල උළුගෙයක් මෙම ගොඩනැඟිල්ල පිහිටි තැන තිබූ බ වයි.   පසුව ඉංග්‍රීසින් එය අලුත්වැඩියා කර භාවිත කර තිබෙනවා.  

මේජර් විල්සන් මරා දැමූ තැන ඉංග්‍රිසින් පිහිටවූ ස්මාරකය- youtube.com

බංගලාවේ  අයිතිය

මේජර් විල්සන් පදිංචි වීමත් සමඟ ම විල්සන් බංගලාව ලෙස එය හැඳින්වෙන්නට වුණා. නිවසට අමතර ව තැපැල් කාර්යාලය, අශ්වගාල හා කම්කරු නිවාස ද මෙම ස්ථානයේ ඉදි කර තිබෙනවා.  මෙහි සිට ඉංග්‍රීසින් යුද සැලසුම් කළ බවට ද මතයක් පවතිනවා. මෙහිදි ගන්නා තීරණ අසල පිහිටි කඳු  මුදුනේ කොඩියක් දැමීමෙන්  අනෙක් ප්‍රදේශවලට  දැනුම් දුන් බව පැවසෙනවා. ඌව පරණගම මැක්ඩොවල්ඩ් බළකොටුව, හීන්බෙලි අත්තේවෙල කොටුව ආදී තැන්වලට  එසේ  සංඥා  ලබා දෙන්නට ඇති. 

ඉංග්‍රීසි පාලනයෙන් පසු ව  විවිධ පාර්ශවවලට මෙම බංගලාවේ  අයිතිය හිමි වූ අතර  1957 මැයි 03 වන දින යාපනයේ  තෝමස් සෞන්ද්‍රනායගම් මෙම දේපල මිලට ගත්තා.  ඔහුගේ බිරිය වන තෙරේසා සෞන්ද්‍රනායගම්ගෙන්   විල්සන් බංගලාව  විදුරුපොළ සුමංගලාරාම මූල මහා විහාරවාසි විදුරුපොළ ධම්මානන්ද හා දික්කාපිටියේ නන්ද හිමිවරුන් 1968 ජුලි මස 17 වන දින රුපියල් 27000 මුලකට  මිලට ගෙන තිබෙනවා. ඉන්පසු  පියතිස්ස පිරිවෙන් විද්‍යායතනය විල්සන් බංගලාව වෙත ගෙනවිත් අද දක්වා පවත්වාගෙන යනවා. 

ඔබත් වැලිමඩ ගියොත් මේ තැන්වලට යන්න අමතක කරන්න එපා!

කවරයේ ඡායාරූපය- කැප්පෙටිපොල බලකොටුව ඉදිරිපසින්- sltb කැප්පෙටිපොල facebook page
මූලාශ්‍ර:
පෞරාණීක ස්මාරක- බදුල්ල දිස්. නිලන්තිකා ප්‍රියදර්ශනී, ප්‍රියංගා ප්‍රියදර්ශනී, පුරාවිද්‍යා දෙපා.
Dinamina.lk
amazing lanka .com

Related Articles