අද කොළඹට පැමිණෙන මන්ත්‍රීවරුන්ට නවාතැන් දෙන්නේ මාදිවෙල මන්ත්‍රී නිවාසවල යි. නමුත් 1982 දී කෝට්ටේ ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ඉදිකර පසුව මාදිවෙල මන්ත්‍රී නිවාස තනන තුරු මන්ත්‍රීවරු නවාතැන් ගෙන සිටියේ කොළඹ හතේ නිහඬ පරිසරයක පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක් වන ශ්‍රාවස්ති මන්දිරයේ යි.
කොළඹ ජාතික කෞතුකාගාරයට නුදුරින් මාකස් ප්‍රනාන්දු මාවතේ ගස්වැල් පිරි වත්තක් මැද තිබෙන මේ සුදු පැහැති අලංකාර ගොඩනැඟිල්ල මෑත අතීතයේ නම් පවතින්නේ පාළුවට ගිය ආකාරයෙන්. අගනා ඉතිහාසයක් සහිත අවුරුදු 100කට වඩා පැරණි මේ ගොඩනැඟිල්ලේ අතීතයත් ඉතා රසවත්.
ආතර් ද සිල්වා
ශ්‍රාවස්තියේ හිමිකරු වන්නේ මෙරට සිටි ධනවතෙක් මෙන් ම උගතෙක් ද, නිදහස් සටනේ පුරෝගාමියෙක් ද වූ වෛද්‍ය ඩබ්ලිව්. ආතර් ද සිල්වායි. 1913 දී තැනූ එය ඔහුට ලැබී ඇත්තේ දෑවැද්ද වශයෙන්. ඔහු එයට තබා ඇති නම තමයි ශ්‍රාවස්තිය යි. අදටත් එය ඒ නමින් ම හඳුන්වනවා.
ලංකා නිදහස් සටනේ බෞද්ධ පුනර්ජීවනය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ සංවිධානයක් වූ පරම විඥානාර්ථ සංගමයේ බෞද්ධ පාඨශාලා සාමාන්‍යාධිකාරි ධුරය 1900 මුල් කාලයේ ආතර් ද සිල්වා දරා තිබෙනවා. සුද්දන්ගේ තැබෑරුම් ව්‍යාපාරයට එරෙහි ව රැල්ලක් සේ පැතිර ගිය අමද්‍යප සභාවේ ආරම්භක සභාපති ධුරය සහ තරුණ බෞද්ධ සංගමයේ උප සභාපති ධුරයද දැරුවේ ඔහු යි. ලංකා ජාතික සංගමයේ ලේකම් ධුරය ද ඔහු දැරුවා.
පසුව දේශපාලනයට පැමිණි ආතර් ද සිල්වා 1931දී සහ 1936 මහා මැතිවරණවලින් ජය ගෙන එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළා. ඔහු 1936 සිට 1942 දක්වා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ද කටයුතු කළා. අලංකාර වූ සියුම් දැව කැටයම්, කිරිගරුඬයෙන් සැකසුණු දොර ජනෙල් කවුළු, විසිත්ත කාමර, ආපන ශාලා, භෝජනාගාර, සුඛෝපභෝගී නිදන කාමර ආදියෙන් ශ්‍රාවස්තිය සමන්විත යි. ඉහළ මාලයේ සිත්කලු ආලින්දය, දෙපස වූ දැවමුවා කුඩා මැදිරි මෙන්ම කැටයම් පිරි තරප්පු පෙළ ද මේ මැඳුරේ අලංකාරත්වය ඉහළ නැංවීමට සමත්.
ආතර් ද සිල්වාගේ දෑවැද්ද
1869 මාර්තු 15 වැනිදා ගාල්ලේ උණවටුණ ග්‍රාමයෙහි උපන් ආතර් ද සිල්වා, පාසල් අධ්‍යාපනයෙන් පසු ව 1891 වසරේ දී පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳව ශිෂ්‍යත්වයක් හිමි කර ගෙන ඉන්දියාවේ බොම්බායේ පශු වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වී අධ්‍යාපනය ලැබුවා. පශු වෛද්‍යවරයෙක් ලෙස ලංකාවට පැමිණි ආතර් 1893දී කොළඹ මහ නගර සභාවේ පළමු පශුවෛද්‍යවරයා ලෙස පත්වෙනවා. එවිට ඔහුගේ වයස අවුරුදු 24යි.
තරුණ ආතර් කොල්ලුපිටියේ සුප්‍රකට ඇල්ෆ්‍රඩ් හවුස් නම් මන්දිරයේ හිමිකරු වූ ප්‍රකට ව්‍යාපාරික චාල්ස් හෙන්රි ද සොයිසාගේ දියණියක හා පෙමින් බැඳුණත් පෙම්වතියගේ පියා බෑණාගෙන් ඉල්ලා සිටියේ විවාහය සිදු කිරීමට නම් කිතුණු ආගමට පැමිණෙන ලෙස යි. එයට එකඟ නොවූ ආතර් පෙම්වතිය අත්හරිනවා.
කොළඹ තිබුණු විශාල ම ගොඩනැඟිල්ල
පසුව යෝජනාවක් අනුව ආතර් විවාහ වුණේ තවත් ප්‍රකට ධනවතෙක් වූ මොරටුවේ චන්ද්‍රසේකර මුදලිවරයාගේ දියණිය වූ කැතරින් චන්ද්‍රසේකර සමඟ යි. එම විවාහයෙන් දායාද ලෙස අක්කර දහස් ගණනක වතුපිටි සහ විශාල ධනයක් ද ව්‍යාපාර ද ඔහුට උරුම වුණා. චන්ද්‍රසේකර මුදලි සුවිසල් ශ්‍රාවස්ති මන්දිරය තනා ආතර් සිල්වා යුවළට විවාහ දායාදයේ කොටසක් ලෙස තෑගි කර තිබෙනවා. එය එකල කොළඹ කුරුඳුවත්තේ කෞතුකාගාරය හැරුණුවිට තිබුණු විශාල ම ගොඩනැඟිල්ල වුණා.
වත්තක් මැද අගනා ගෙවුයනකින් අලංකාර වුණු ශ්‍රාවස්ති ගොඩනැඟිල්ල බොහෝ දෙනකුගේ ආකර්ශනයට ලක්වූ ගොඩනැඟිල්ලක්. දෙමහල් එම ගොඩනැඟිල්ල ඉදිරිපස අලංකාර පෝටිකෝවකින් යුක්ත යි. ගොඩනැඟිල්ල දෙපසින් පිහිටි කුලුණු දෙක තුන් මහලකින් යුක්ත යි. ඉංග්‍රීසි ගෘහනිර්මාණ ලක්ෂණ මෙහි දැකගත හැකි යි.
ශ්‍රාවස්තියේ සිටුවරයා
ආතර් ද සිල්වා විවාහයෙන් පසු කෙටිකලකින් ම ශ්‍රාවස්තියේ සිටුවරයා නමින් ප්‍රසිද්ධියට පත් වුණේ ඔහු විශාල වශයෙන් මහජන සුබසෙතට මුදල් වියදම් කළ නිස යි. එක් අවස්ථාවක පරම විනඥාර්ථ සංගමයේ මුදල් හිඟයක් මතු වූ විටක දී ශ්‍රාවස්ති මන්දිරය උගසට තබා ඔහු මුදල් සපයා දී තිබෙන බවත් සඳහන්. ආතර් ද සිල්වා 1942 මාර්තු 31 වැනි දින මෙලොවින් සමු ගත්තා. ඔහු මිය යන්නට පෙර ශ්‍රාවස්ති මැදුර රජයට පවරා දෙන්නට තීරණය කර තිබෙනවා. ඔහු සිහිපත් කිරීම සඳහා 1984 දී ශත 60ක වටිනාකමින් යුත් මුද්දරයක් ද නිකුත් කෙරුණා.
සම්භාවනීය අමුත්තෝ
මෙරට මැති ඇමැතීන් පමණක් නොව විදෙස් රටවල මැති ඇමතීන් මෙන් ම සම්භාවනීය අමුත්තන් බොහෝමයක් ලංකාවට පැමිණි අවස්ථාවන්හි ශ්‍රාවස්ති මන්දිරයේ නවාතැන් ගෙන තිබෙනවා. නිදහස් ඉන්දියාවේ පළමු අගමැති වූ ශ්‍රී ජවහර්ලාල් නේරු , ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙක් වූ මහත්මා ගාන්ධි, වගේම ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙක් වූ ඩොනමෝර් සාමිවරයා පවා මෙහි නවාතැන් ගෙන තිබෙනවා.
මන්ත්‍රීන්ට නේවාසිකාගාරයක්
මැති සබේ රැස්වීම් සඳහා කොළඹට පැමිණි විට නැවතීමට විශේෂ නිවාසයක් මන්ත්‍රීවරුන්ට සපයා දීම ඉංග්‍රීසි පාලන කාලෙදි පවා අවධානයට ගත් ගැටලුවක්. මන්ත්‍රීන් වැඩි ගණනක් එක් ව සිටින විට පාර්ලිමේන්තුවේ විවාද කෙරන ගැටලු ගැන වඩාත් පුළුල් ලෙස කරුණු අවබෝධ කර ගැන්මට ද ඉඩ ලැබීම ඉන් එක් හේතුවක් ලෙස එකල සලකා තිබෙනවා. මේ නිසා මන්ත්‍රීන් සඳහා විශේෂ නේවාසිකාගාරයක් පිහිටුවීම පිළිබඳව ඉංග්‍රීසි ආණ්ඩුව සලකා බැලුවා.
මන්ත්‍රී නේවාසිකාගාරයක් පිහිටුවිය යුතුය යන මුල් ම යෝජනාව එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළේ මන්ත්‍රී ඒ. රත්නායක යි. එම යෝජනාව පිළිගත් ආණ්ඩුව 1943 වර්ෂයේ දී මන්ත්‍රීවරුන් සඳහා නේවාසිකාගාරයක් පිහිටුවීමට තීරණය කර ඒ සඳහා එවකට රජයේ දේපලක් ව පැවති ශ්‍රාවස්ති ගොඩනැඟිල්ල ලබා ගත්තා. එහි මන්ත්‍රීවරුන් 72 දෙනකුට පමණ නැවතීමට කාමර පහසුකම් පැවතුණා. ඔවුන්ට ගාස්තුවක් ගෙවීමෙන් ආහාර පාන ද ලබාගත හැකිවුණා.
නේවාසික ප්‍රශ්න
1960 දශකය වනවිට නේවාසික මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා පැමිණියේ ලබා දෙන ආහාර හොඳ නැති බව යි. පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වැඩිවීම නිසා ශ්‍රාවස්තියේ ඉඩකඩ ද මදි වුණු බව වාර්තා වෙනවා. මන්ත්‍රීවරුන්ට බිම පැදුරු එළා ගෙන නිදා ගැනීමට පවා සිදු වූ බව පැවසෙනවා. ඉඩකඩ ප්‍රශ්නය විසඳීමට ශ්‍රාවස්ති භූමියේ තවත් සොල්දර ගොඩනැඟිල්ලක්ද ඉදි කෙරුණු අතර ඇමැතිවරුන් සඳහා වෙන ම නිවාසයක් ද තනවා තිබෙනවා. 1970 දශකයේ දී සමගි පෙරමුණු සිරිමා ආණ්ඩුව පැවති කාලයේ ශ්‍රාවස්තියේ කෑම මිල ගණන් අධික බවටත් මන්ත්‍රීවරුන් චෝදනා කර තිබෙනවා.
මේ ශ්‍රාවස්තියේ එදා ආහාරපාන හා නවාතැන් පිළිබඳ ගාස්තු ලංකාදීප ලිපියක පළ ව තිබූ අයුරුයි.
‘මන්ත්‍රීවරයකුට ශ්‍රාවස්තියෙන් කාමරයක් වෙන් කරවා ගැනීමට අවශ්‍ය නම් ඒ කාලයේ ගෙවිය යුතු මාසික මුදල රුපියල් 75ක් විය. එහි ගත කරන හැම රැයකටම රුපියල් 3 බැගින් ගෙවිය යුතුය. ඒ මුදලට කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි, තුවා, උණුවතුර පහසුකම් ආදිය ද සැලසිණි. ශ්‍රාවස්තිය පෙරදිග මෙන්ම අපරදිග කෑම බීම ද සැපවූවේය. උදේ වේලකට ගෙවිය යුතු මුදල රුපියල් 1.50ක් විය. දවල් හෝ රෑ කෑම වේලක් සඳහා රුපියල් 2.50ක් අය කෙරුණි.’ – ලංකාදීප, 2021 නොවැම්බර් මස 13 වැනි දා
මන්ත්‍රීවරු කොළඹින් කෝට්ටේට
1982 දී පාර්ලිමේන්තුව ගාලු මුවදොර සිට කෝට්ටේට පැමිණි අතර මන්ත්‍රී නිල නිවාස කොළඹ ජාවත්තේ කැප්පෙටිපොළ මාවතේ ගොඩනැඟිල්ලකට සහ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලට ගෙන යාම සිදු කළා. මෙම ගොඩනැඟිල්ල 1994 දී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් කාර්යාලවලට යොදා ගත්තා. පසුව 1995න් පසු බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සහ අනෙක් ඇමැති කාර්යාල සඳහා එය ලබා දී තිබුණා.
මෑත අතීතය දක්වා ම ශ්‍රාවස්තිය බස්නාහිර පළාත් සභා කාර්යාලය ලෙස භාවිත කෙරුණා. 2018 නොවැම්බරයේ සිට එහි ප්‍රධාන ගොඩනැිල්ලේ අතුරුදහන්වූවන් පිළිබඳ සොයාබැලීම සඳහා බිහි වූ කොමිසමේ කාර්යාලය පවත්වාගෙන ගොස් තිබුණු අතර පසුව එය කිසිම වැඩකට යොදා ගෙන තිබුණේ නැහැ.
ශ්‍රාවස්තිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නේවාසිකාගාරයක් වශයෙන් පැවැති කාලයේ විවිධ දේශපාලන පක්ෂවලට අයත් මන්ත්‍රීවරුන් එහි සමගියෙන් මෙන් ම විනෝදයෙන් පදිංචි වී සිටි බව සඳහන්. පාර්ලිමේන්තුවේදී එකිනෙකාට එරෙහි ව දරුණු ලෙස බැණ අඬගහගන්නා පෙරළිකාර මන්ත්‍රීවරුන් පවා සවස් කාලයේ ශ්‍රාවස්ති මන්දිරයට පැමිණ එකම මේසයේ හිඳ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ආහාර අනුභව කිරීම එකල දැකගත හැකිවුණා.