Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානයේ ආරම්භය​

ඇමෙරිකා එක්සත් ජනපදයෙහි මධ්‍යම බුද්ධි ඒජන්සිය​, එහෙමත් නැත්නම් සී.අයි.ඒ. සංවිධානය, නම කියූ සැණින් ලොව පුරා ප්‍රචලිත සංවිධානයක්. ඇමෙරිකාවේ විදෙස් බුද්ධි කටයුතු, එහෙමත් නැත්නම් විදේශයන් හි ඔත්තු සේවා කටයුතු සිදුකරනු ලබන ප්‍රධාන ආයතනය වන්නේ සී.අයි.ඒ. ආයතනය යි. මෙම ආයතනයේ ආරම්භය සිදුවන්නේ 1947 දී.

මෙම ආයතනය ඇරඹීම සඳහා මූලික කටයුතු සිදු වූයේ 1940 දී යි. එතැන් පටන් 1947 දී එම සංවිධානය ස්ථාපිත වීම දක්වා ගත වූ කාලය පිළිබඳ සොයා බැලීමට අප අදහස් කළා.

කර්නල් ඩොනවන්

සී.අයි.ඒ. සංවිධානය ස්ථාපිත කිරීම සඳහා වූ ක්‍රියාවලියේ ආරම්භකයා ලෙස සැලකිය හැක්කේ කර්නල් විලියම් ජේ. ඩොනවන් නම් වූ නීතිවේදියා යි. ඔහු හිටපු හමුදා නිලධාරියෙකු වූ අතර පළමු ලෝක යුධ සමයෙහි ඇමෙරිකානු හමුදාව වෙනුවෙන් සේවය කළ පදක්කම්ලාභී නිලධරයෙකු වුණා. ඇමෙරිකාවේ බුද්ධි අංශ ස්ථාපිත කිරීමෙහිලා ඔහුගේ කාර්යයභාරය කෙතරම් වී ද යත් ඔහු “ඇමෙරිකාවේ බුද්ධි සේවාවන්හි පියා” ලෙස ද හැඳින්වෙනවා.

1940 දී ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී. රූසවෙල්ට් විසින් ඩොනවන් ව පිටත් කර හරින්නේ යුරෝපයේ පවතින තත්ත්වය පරික්ෂා කිරීමට යි. ඒ වන විට දෙවන ලෝක යුද්ධයේ මුල් මාස කිහිපය ගෙවෙමින් පැවති අතර බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ තත්ත්වය එතරම් ම යහපත් වූයේ නැහැ.

ඩොනවන් (දකුණේ හිඳගෙන​) සහ රූසවෙල්ට් (මැද හිඳගෙන​) කොලොම්බියා නීති විද්‍යාලයේ එක පන්තියේ අධ්‍යාපනය ලැබූවන් (Columbia Law School)

ඩොනවන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව අනුව කියැවුණේ බ්‍රිතාන්‍යය ජර්මන් ප්‍රහාර හමුවේ නොවැටී සිටිනු ඇති නමුත් ලෝකයේ නව යුධ තත්ත්වයන්ට මුහුණදීම පිළිබඳ ඇමෙරිකාව සිය අවධානය යොමු කළ යුතු බව යි.

ඩොනවන් මේ පිළිබඳ නාවික හමුදා ලේකම් ෆ්‍රෑන්ක් නොක්ස්, යුධ ලේකම් හෙන්රි ස්ටිම්සන්, නීතිපති රොබර්ට් ජැක්සන් යන අය සමග සාකච්ඡා කළා. 1941 ජූනි 10 වන දා ඔහු විසින් යෝජනා කළේ “උපක්‍රමික තොරතුරු රැස් කිරීමේ ආයතනයක්” පිහිටුවිය යුතු බව යි.

මෙම ආයතනයට යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ බුද්ධි ප්‍රධානීන් ද​, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානියා ද, ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය (එෆ්.බී.අයි) හි ප්‍රධානියා ද ඇතුළත් උපදේශක මණ්ඩලයක් සිටිය යුතු වූ අතර එම ආයතනය අනෙකුත් බුද්ධි සේවාවන්ගේ කටයුතුවලට බාධා නොවන පරිද්දෙන් ස්වාධීන ව බුද්ධි කටයුතු මෙහෙයවිය යුතු වුණා. මෙසේ ඇරඹි ආයතනය “තොරතුරු සම්බන්ධීකරණ කාර්යාලය​” (Office of the Coordinator of Information) ලෙස නම් කරනු ලැබුණා.

ඕ.එස්.එස්.

1942 දී මෙම ආයතනය කොටස් දෙකකට වෙන්කරනු ලැබුණා. මේ අනුව “කරලියෙන් ඉහළ​” කටයුතු සිදුකිරීම සඳහා යුධ තොරතුරු කාර්යාලය (Office of War Information) පිහිටුවන ලද අතර රහසිගත ඔත්තු සේවා කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා “උපක්‍රමික සේවා කාර්යාලය​” (Office of Strategic Services – OSS) පිහිටුවනු ලැබුණා. ඕ.එස්.එස්. ආයතනය සාමාන්‍යයෙන් සී.අයි.ඒ. ආයතනයේ මූලාරම්භකයා ලෙස සලකනු ලබනවා. එම ආයතනය 1945 දී විසිරුවා හරින ලද අතර සී.අයි.ඒ. සංවිධානය පිහිටුවන ලද්දේ ඉන් වසර දෙකකට පසු යි. නමුත් සී.අයි.ඒ. සංවිධානයේ කටයුතු සඳහා ගුරුහරුකම් බොහොමයක් ඕ.එස්.එස්. සංවිධානය තුළින් උකහා ගනු ලැබුණා.

මේ අතර යුධ තොරතුරු කාර්යාලය වර්තමාන එක්සත් ජනපද තොරතුරු ඒජන්සියේ (US Information Agency) මූලාරම්භකයා වෙනවා.

ඕ.එස්.එස්. ආයතනය මුල්කාලීන ව භාවිතා කළ බුද්ධි තොරතුරු රැස් කිරීමේ සහ ගබඩා කිරීමේ ක්‍රමවේදයන් පසුකාලීන ව සී.අයි.ඒ. සංවිධානයට ගුරුහරුකම් සැපයූවා. මේ අතර ම විදේශීය බුද්ධි සේවාවන් විසින්, විශේෂයෙන් ම බ්‍රිතාන්‍ය බුද්ධි සේවා විසින්, ඕ.එස්.එස්. ආයතනයට එහි ආරම්භක අවස්ථාවේ දී බොහෝ උපදෙස් සහ පුහුණුව ලබාදුන්නා. මේවා පසුකලෙක සී.අයි.ඒ. සංවිධානයට ද වැදගත් වුණා.

ඕ.එස්.එස්. සංවිධානය දෙවන ලෝක යුධ සමයේ දී උතුරු අප්‍රිකාවට හමුදා ගොඩබැසීමට පෙර ඊට සුදුසු ස්ථාන සොයා දීම, චීනයේ ජාතිකවාදී හමුදා පුහුණු කිරීම​, ජර්මනිය තුළට ඔත්තුකරුවන් යැවීම සහ එහි වූ ඔත්තුකරුවන්ගෙන් තොරතුරු රැස් කිරීම​, මධ්‍යස්ථ රටවල සිට බුද්ධි කටයුතු මෙහෙයවීම ආදී කටයුතුවල නිරත වුණා.

වැඩි බලයකින් යුතු සංවිධානයක්

1944 ඔක්තෝබර් 5 වන දා එවක ඕ.එස්.එස්. අධ්‍යක්ෂ ජෙනරාල් වූ ඩොනවන්ගේ කාර්යාලය විසින් සැකසූ වාර්තාවක් මඟින් ලෝක ව්‍යාප්ත බුද්ධි ආයතනයක් පිළිබඳ සාකච්ඡා වුණා. මෙම යෝජනාව අනුව අදාල ආයතනය බුද්ධි තොරතුරු එකතු කිරීම​, විශ්ලේෂණය, සහ වාර්තා කිරීම සිදු කළ යුතු වූ අතර එම ආයතනයට තමන්ගේ ම සන්නිවේදන ජාලයක් ද තිබිය යුතු වුණා. එහි බුද්ධි කටයුතු ඒ ආයතනය මඟින් ම මෙහෙයවිය යුතු වුණා. නමුත් මෙම ආයතනයට පොලිස් කටයුතු සඳහා කිසිදු අයිතියක් තිබිය යුතු වූයේ නැහැ. වැදගත් ම කරුණ වූයේ මෙම ආයතනයේ ප්‍රධානියා ඍජුව ම ජනාධිපතිට වාර්තා කළ යුතු බවට යෝජනා වීම යි.

විලියම් ජේ. ඩොනවන් ජනාධිපති හැරී එස්. ටෲමන් අතින් විශිෂ්ට සේවා පදක්කම ලබයි (Getty Images)

1945 ජනවාරි 18 වන දා ඒකාබද්ධ උපක්‍රමික සමීක්ෂණ කමිටුව විසින් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් වෙත වාර්තාවක් ලබාදෙමින් මධ්‍යම බුද්ධි ආයතනයක් පිළිබඳ යෝජනා කළා.

මින් ස්වල්ප දිනකට පසු මෙම සාකච්ඡා පිළිබඳ පුවත්පත්වලට තොරතුරු ලැබී තිබුණ අතර ඔවුන් ඒ පිළිබඳ වාර්තා පළ කළා. මේ පිළිබඳ ඇති වූ විවාදයේ දී ඇතැමුන් බිය පළ කළේ මෙවන් ආයතනයක් නිර්මාණය කළහොත් එය සාම කාලයේ ගෙස්ටාපෝවක් මෙන් කටයුතු කළ හැකි ය යන්න යි.

එහෙත් ජනාධිපති රූසවෙල්ට් සිය මරණයට ස්වල්ප දිනකට පෙර නැවත ඩොනවන් කැඳවා මධ්‍යම බුද්ධි ආයතනයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳ සෙවීමට නියම කළා.

යුද්ධයෙන් පසු

දෙවන ලෝක යුද්ධය අවසාන වූ පසු ඇමෙරිකානු බලධාරීන් හැකි ඉක්මණින් යුධ සමයේ පිහිට වූ ආයතන ඉවත් කිරීමට ක්‍රියා කළා. මේ අනුව 1945 සැප්තැම්බර් 20 වන දා ඕ.එස්.එස්. ආයතනය ද විසිරුවා හරිනු ලැබුණා. එහි කටයුතු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ යුධ හමුදාව අතර බෙදා දෙනු ලැබුණා.

නමුත් මධ්‍යම බුද්ධි ඒකකයක් පිළිබඳ සාකච්ඡාව ඉවත් වූයේ නැහැ. විශේෂයෙන් ම ඇමෙරිකාව සහ සෝවියට් දේශය අතර එදිරිවාදිකම්වල ආරම්භක සලකුණු මතු වෙද්දී එවැන්නක අවශ්‍යතාව නැවත වැදගත් වුණා. 1945 නොවැම්බර් 14 වන දා රාජ්‍ය ලේකම්, යුධ ලේකම්, සහ නාවික හමුදා ලේකම් මුණගැසී මේ පිළිබඳ තවත් සාකච්ඡා වටයක් පැවැත්වූවා. 1946 ජනවාරි 22 වන දා මධ්‍යම බුද්ධි කණ්ඩායම නම් ආයතනය පිහිටුවීම සඳහා විධායක ආඥාවක් නිකුත් කරන ලද්දේ එම සාකච්ඡා ආදියෙහි ප්‍රතිඵලය ලෙස යි.

එවකට කපිතාන්වරයෙකු වූ රොස්කෝ එච්. හිලෙන්කොටර් 1945 දී (Getty Images)

මෙම නව ආයතනය මීළඟ වසර එකහමාරක පමණ කාලය තුළ මධ්‍යම බුද්ධි ආයතනයක් සඳහා නිදසුනක් සේ ක්‍රියා කළා. කෙමෙන් කෙමෙන් එහි වගකීම් සහ බලතල ඉහළ නංවනු ලැබුණා.

1947 ජූලි 25 වනදා ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය විසින් ජාතික ආරක්ෂක පනත සම්මත කළා. මෙම පනත අනුව නව ආයතනයක් ලෙස සී.අයි.ඒ. සංවිධානය පිහිටුවීමට අවශ්‍ය නීතිය සම්මත වුණා. නිල වශයෙන් එම ආයතනය ස්ථාපිත කෙරුණේ 1947 සැප්තැම්බර් 18 වන දා යි. එහි ආරම්භක ප්‍රධානියා වූයේ එවකට මධ්‍යම බුද්ධි අධ්‍යක්ෂ වූ රොස්කෝ එච්. හිලෙන්කොටර් නම් වයිස් අද්මිරාල්වරයා යි.

සී.අයි.ඒ. ආයතනයේ කටයුතු සහ මෙහෙයුම් පිළිබඳ අපි ඉදිරි ලිපිවල දී සලකා බලමු.

කවරයේ පින්තුරය: සී.අයි.ඒ. මූලස්ථානයේ ලොබිය (Reuters)

මූලාශ්‍රය:

Central Intelligence Agency (cia.gov)

Related Articles