Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර 47ක් මැදවච්චියෙන් පාර්ලිමේන්තු ආ දේශපාලඥයා

1940 වසරේ දී කෘෂිකර්ම නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවයට පිවිස පසුව දේශපාලනඥයෙකු ලෙස නමක් දිනාගත් මෛත්‍රීපාල සේනානායක ලංකා දේශපාලන ඉතිහාසයේ හමුවන සුවිශේෂී චරිතයක්. 1947 වසරේ මැදවච්චිය ආසනය ජයග්‍රහණය කරමින් මුල්ම වරට පාර්ලිමේන්තුවට පිවිසි ඔහු අඛණ්ඩව වසර 47ක් පාර්ලිමේන්තුව නියෝජනය කළේ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ වාර්තාවක් තබමින්. එලෙස මැතිවරණ ගණනාවක් ජයග්‍රහණය කරමින් ජනතාවගේ විශ්වාසය දිනාගත් ඔහුගේ දේශපාලන දිවිය ගැන මෙම ලිපිය මඟින් තොරතුරු ඉදිරිපත් කරනවා.

මෛත්‍රීපාල සේනානායක (amazon.com)

1947 මැතිවරණයෙන් මුල්ම වරට පාර්ලිමේන්තුවට පිවිසෙයි 

1947 වසරේ පැවති මුල්ම මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ඔහු තරග වැදුණේ 

මැදවච්චිය ආසනය සඳහා යි. එහිදී ඔහුට එරෙහිව ආරිය පතිරණ, ඩබ්ලිව් තෙන්නකෝන්, සහ යූ.බී මඩුකන්ද යන අපේක්ෂකයන් ස්වාධීනව ඉදිරිපත් වුණා. ඒ වන විට ජනතාවගේ ආකර්ෂණය නොමඳව දිනාගෙන සිටි මෛත්‍රීපාල සේනානායක ආසනය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 1879ක් ලබාගනිමින්.

මැදවච්චිය ආසනයේ ඡන්ද ප්‍රතිඵලය

මෛත්‍රීපාල සේනානායක (එක්සත් ජාතික පක්ෂය) – ඡන්ද 3283

ආරිය පතිරණ (ස්වාධීන) – ඡන්ද 1404

ඩබ්ලිව් තෙන්නකෝන් (ස්වාධීන) – ඡන්ද 1247

යූ.බී මඩුකන්ද (ස්වාධීන) – ඡන්ද 1196

මෛත්‍රීපාල සේනානායකට උප ඇමති ධූරයක් හිමිවෙයි 

1952 වසරේ පැවති දෙවන මහා මැතිවරණයේ දී මෛත්‍රීපාල සේනානායක මැදවච්චිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා බවට පත්වුණා. එහිදී ඔහු සමග සටනට පිවිසියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ ආරිය පතිරණ යි. පළමු මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව ආසනයේ ජනතාවට ඔහු ප්‍රිය වූ නිසා දෙවන වරටත් පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ වැඩි ඡන්ද 6073ක් ලබාගනිමින්.

මැදවච්චිය ආසනයේ ඡන්ද ප්‍රතිඵලය 

මෛත්‍රීපාල සේනානායක (එක්සත් ජාතික පක්ෂය) – ඡන්ද 8112

ආරිය පතිරණ (ස්වාධීන) – ඡන්ද 2039

එලෙස දෙවන වරටත් පාර්ලිමේන්තුවට පිවිසි ඔහුට ඩඩ්ලි සේනානායක රජයේ ස්වදේශ කටයුතු උප ඇමති ධූරය හිමිවුණා.

මෛත්‍රීපාල සේනානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙයි    

1953 දී එක්සත් ජාතික පක්ෂ රජය විසින් ඉදිරිපත් කළ අයවැයෙන් සත 25කට තිබුණු හාල් සේරුව සත 70 දක්වා ඉහළ දැමුවා. එම නිසාම විපක්ෂයේ සංවිධානත්වයෙන් රටේ මහා හර්තාලයක් පැවැත්වුණා. එම අවස්ථාවේ දී ආණ්ඩුව ගැන ඇතිවුණු අප්‍රසාදය හේතුවෙන් මෛත්‍රීපාල සේනානායක ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළා. ඉන් ටික කලකට පසුව ඔහු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වුණේ එම පක්ෂයේ නායක ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගේ ආරාධනයකට අනුව යි.

1953 හර්තාලයේ අවස්ථාවක් (socialistaction.org)

1956 මහා මැතිවරණය ඉහළින්ම ජය ගනියි 

1956 මහා මැතිවරණයේ දී මෛත්‍රීපාල සේනානායක ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙසින්. ඔහුට එරෙහිව එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළේ 1947 සහ 1952 මහා මැතිවරණවල දී කලාවැව ආසනය ජයග්‍රහණය කළ සෙනෙවිරත්න මහදිවුල්වැව නම් අපේක්ෂකයා යි. එම කාල වකවානුව වන විට පැවති එක්සත් ජාතික පක්ෂ රජය ජනතා අප්‍රසාදයට ලක්ව තිබුණු නිසා බණ්ඩාරනායක ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ මැතිවරණය ජයග්‍රහණය කළේ විශිෂ්ඨ ආකාරයෙන්. එහිදී මෛත්‍රීපාල සේනානායක වැඩි ඡන්ද 9560ක් ලබාගනිමින් සිය ආසනය රැකගත්තේ පෙරටත් වඩා විශාල ජයග්‍රහණයක් ලබමින්.

මැදවච්චිය ආසනයේ ඡන්ද ප්‍රතිඵලය 

මෛත්‍රීපාල සේනානායක (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) – ඡන්ද 10829

සෙනෙවිරත්න මහදිවුල්වැව (එක්සත් ජාතික පක්ෂය) – ඡන්ද 1269

එලෙස තෙවන වරටත් පාර්ලිමේන්තුවට පිවිසි මෛත්‍රීපාල සේනානායකට අනතුරුව පත්වුණු බණ්ඩාරනායක රජයේ ගමනාගමන සහ රජයේ වැඩ අමාත්‍ය ධූරය හිමිවුණා. එම අමාත්‍ය ධූරය හිමිවීමෙන් පසුව ඔහු කළ සුවිශේෂී සේවාවක් වුණේ ජනසතු ව්‍යාපාර ආරම්භ කිරීම යි. ඒ අනුව බස් ජනසතු කිරීම මෙන්ම වරාය ජනසතු කිරීම සිදුවුණේ සාමාන්‍ය ජනතාවට සහනයක් සලසමින්. එසේම එම කාලයේ දී මෛත්‍රීපාල සේනානානායක පක්ෂයේ උප සභාපතිවරයෙකු බවටත් පත්වුණේ ඔහු සතුවුණු දක්ෂතා නිසා යි.

බස් ජනසතු කිරීමේ උත්සවයේ දී කතා කරමින් (Biography-Maithripala senanayake)

1960 වසරේ පැවති මැතිවරණ 2ම පහසුවෙන් ජයගනියි 

1960 වසරේ මාර්තු මාසයේ පැවති මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වුණත් මෛත්‍රීපාල සේනානායක සිය ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සෙනෙවිරත්න මහදිවුල්වැව වැඩි ඡන්ද 7342කින් පරාජය කරමින්.

මැදවච්චිය ආසනයේ ඡන්ද ප්‍රතිඵලය 

මෛත්‍රීපාල සේනානායක (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) – ඡන්ද 9475

සෙනෙවිරත්න මහදිවුල්වැව (එක්සත් ජාතික පක්ෂය) – ඡන්ද 2133

ආරිය පතිරණ (ස්වාධීන) – ඡන්ද 509

ඒ.ඊ.ඕ වීරසිංහ (ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය) – ඡන්ද 226

නමුත් එලෙස පත්වුණු ඩඩ්ලි සේනානායක ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජය රාජාසන කතාව පරාජයට පත්වීම නිසා එම වසරේ ජූලි මාසයේ දී යළි මැතිවරණයක් පැවැත්වුණා. එහිදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පියදාසව වැඩි ඡන්ද 7298කින් පරාජය කළ මෛත්‍රීපාල සේනානායක පිට පිටම 5 වැනි වරටත් මැදවච්චිය ආසනය ජයග්‍රහණය කළා.

මැදවච්චිය ආසනයේ ඡන්ද ප්‍රතිඵලය 

මෛත්‍රීපාල සේනානායක (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) – ඡන්ද 9534

බී.කේ පියදාස  (එක්සත් ජාතික පක්ෂය) – ඡන්ද 2236

එම මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ කර්මාන්ත, ස්වදේශ සහ සංස්කෘතික අමාත්‍ය ධූරයෙන් පිදුම් ලද ඔහු දේශීය කර්මාන්ත වැඩි දියුණු කිරීමට කටයුතු කළා. 

1965 මහා මැතිවරණයේ අවස්ථාවක් (gettyimages)

1965 මහා මැතිවරණයෙන් නැවතත් පාර්ලිමේන්තුවට 

1965 මහා මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යහපත් එකක් වුණේ නැහැ. එම මැතිවරණයෙන් ප්‍රතිවාදී එක්සත් ජාතික පක්ෂය ආසන 66ක් ජයග්‍රහණය කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළේ ආසන 41ක් පමණ යි. සිය පක්ෂය මැතිවරණයෙන් පරාජය වී තිබුණත් මෛත්‍රීපාල සේනානායක යළි මැදවච්චිය ජයග්‍රහණය කර තිබුණේ වැඩි ඡන්ද 4731කින්.

මැදවච්චිය ආසනයේ ඡන්ද ප්‍රතිඵලය 

මෛත්‍රීපාල සේනානායක (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) – ඡන්ද 10839

ඩී.ඇම් ආරියදාස  (එක්සත් ජාතික පක්ෂය) – ඡන්ද 6108

ඇම්.ඩබ්ලිව්.කේ පණ්ඩුල (ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය)- ඡන්ද 264

ඩබ්ලිව්.ඇස් අබේසිංහ (මහජන එක්සත් පෙරමුණ) – ඡන්ද 156

1970 මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව තනතුරු රැසක් හිමිවෙයි 

1970 මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ප්‍රබලම ප්‍රතිවාදියා වුණු එක්සත් ජාතික පක්ෂය හමුවේ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත්තා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 91ක් ලබාගන්නා විට එක්සත් ජාතික පක්ෂයට හිමිවුණේ ආසන 17ක් පමණ යි. එම මැතිවරණයේ දී සුපුරුදු පරිදි මැදවච්චිය ජනතාවගේ විශ්වාසය දිනාගත් මෛත්‍රීපාල සේනානායක සිය ආසනය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 9598ක් ලබාගනිමින්. 

මැදවච්චිය ආසනයේ ඡන්ද ප්‍රතිඵලය 

මෛත්‍රීපාල සේනානායක (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) – ඡන්ද 17094

ඩී.ඇම් ආරියදාස  (එක්සත් ජාතික පක්ෂය) – ඡන්ද 7496

ඩබ්ලිව්.ඇස් අබේසිංහ (මහජන එක්සත් පෙරමුණ) – ඡන්ද 135

එලෙස පිට පිටම 7 වැනි වරටත් මැදවච්චිය ආසනය ජයග්‍රහණය කළ ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ වාරිමාර්ග, විදුලිබල සහ මහාමාර්ග අමාත්‍ය ධූරය හිමිවුණා. එසේම එම රජයේ සභානායක ධූරය හිමිවුණේත් මෛත්‍රීපාල සේනානායකට යි. එලෙස සමගි පෙරමුණු රජයේ ප්‍රබල තනතුරු රැසකට උරුමකම් කී ඔහු අගමැතිනිය විදේශගත වුණු අවස්ථාවන්වල දී වැඩ බලන අගමැතිවරයා ලෙසින් කටයුතු කළා. ඔහු අමාත්‍ය ධූරය දැරූ සමයේ රජරට වැව් රැසක් ප්‍රතිසංස්කරණය කරමින් ගොවි ජනතාවට වගා කටයුතු වලට අවශ්‍ය ජලය ලබාදුන්නා. ඊට අමතරව මහවැලි ව්‍යාපාරය යටතේ පොල්ගොල්ල ව්‍යාපෘතිය අවසන් වුණේත් මෙතුමාගේ කාලයේ දී යි. එසේම 1974 වසරේ දී නව ලක්ෂපාන බලාගාරය ජනතා අයිතියට පවරමින් රටේ  විදුලිබල අවශ්‍යතාවයට විසඳුමක් ලබාදීමට ඔහු පියවර ගත්තා. 

නව ලක්ෂපාන බලාගාරය  විවෘත කළ බව දැක්වෙන සමරු ඵලකය (nalakagunawardene.com)

1977 මහා මැතිවරණයෙන් පසුව වසර 17ක් විපක්ෂයේ සිටීමට සිදුවෙයි  

1977 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාව අතර අප්‍රසාදයට ලක්ව තිබුණු නිසා එම වසරේ දී පැවැත්වුණු මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත්තේ එක්සත් ජාතික පක්ෂය යි. එහිදී එක්සත් ජාතික පක්ෂය ආසන 140ක් ලබාගන්නා විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවුණේ ආසන 8ක් පමණ යි. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්ත පරාජයක් ලබාගත් අවස්ථාවේ මෛත්‍රීපාල සේනානායක සිය ආසනය ජයග්‍රහණය කළේ සිය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කළ සුවිසල් මෙහෙවර නිසා යි.

මැදවච්චිය ආසනයේ ඡන්ද ප්‍රතිඵලය 

මෛත්‍රීපාල සේනානායක (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) – ඡන්ද 14228

ඩී.ඇම් ආරියදාස  (එක්සත් ජාතික පක්ෂය) – ඡන්ද 13862

එඩ්මන්ඩ් සියඹලාපිටිය (ස්වාධීන) – ඡන්ද 435

එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුද රැසකට මුහුණදුන්නා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැරලිකාර පිලේ සාමාජිකයෙකු වුණු මෛත්‍රීපාල සේනානායක සිය නායිකාවට විරුද්ධව වැඩ කිරීම නිසා පක්ෂ තහනමකට පවා ලක්වුණා. 1989 වසරේ දී සමානුපාතික ක්‍රමය යටතේ පැවති මුල්ම මැතිවරණය සඳහා මෙතුමා තරග කළේ නැහැ. එවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් මෙතුමා පාර්ලිමේන්තුවට පිවිසියා. ඉන් පසුව 1994 වසරේ පැවති මහා මැතිවරණය සඳහා තරග නොකළ මෛත්‍රීපාල සේනානායක එවර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට අසමත් වුණු නිසා ඔහුගේ වසර 47ක පාර්ලිමේන්තු දිවිය අවසන් වුණා.

කවරයේ ඡායාරූපය - බණ්ඩාරනායක සහ මෛත්‍රීපාල සේනානායක (Biography-M senanayake)

Related Articles